විඤ්ඤාණයේ අනාගතයට සංස්‌කාර අස්‌වද්දාගන්නා රඟ දකින්න

Feb 26, 2017 Comments Off on විඤ්ඤාණයේ අනාගතයට සංස්‌කාර අස්‌වද්දාගන්නා රඟ දකින්න by

පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි ‘ කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන් තබන භික්‍ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්‍ෂුවගේ රූපය මළ කඳක්‌ කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්‌වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින් සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… වශයෙන් නුවණින් මෙනෙහි කරන්න. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලා, රහත් උත්තමාවියන් වහන්සේලා ලක්‍ෂ ගණනකගේ දේහයන් අනිත්‍යභාවයට පත්වී සකස්‌ වුණ පස නැමැති සතර මහා ධාතුව මතයි පිංවත් ඔබ මේ මොහොතේ දෙපා තබාගෙන සිටින්නේ. නික්‌ලේශී උතුමන්ගේ අතීත තෘෂ්ණාවෙන් හැදුන සතර මහා ධාතුව නමැති රූපය, සතරමහා ධාතුවටම එකතුකොට දීලා උන්වහන්සේලා නිවී යන්නේ, සංස්‌කාරයන්ගේ නිරෝධය නිසාමයි. රහතන් වහන්සේලා සර්පයෙක්‌ හැව අරින්නා සේ රූපය කෙරෙහි තෘෂ්ණාව අතහැර, රූපය සතරමහා ධාතුවටම මුසුකොට නිවී යද්දී අපි තවමත් රූපය මගේ කොටගෙන සංස්‌කාරයන් රැස්‌කොට ගන්නවා. පොහොසත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. දුප්පත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. හඬන පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. සිනහවෙන පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. සිල්වත් පිංවතාත්, දුසිල්වත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. ලෝකය තේරුම්ගන්න බැරි අවුලක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඉහත අවුල නිසාමයි. මේ සෑම අවුලක්‌ම තම අවබෝධඥානයෙන්, ‘සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි’ කියන එකම අර්ථයට අරගෙන පංචඋපාදානස්‌කන්ධය නිශේධකොට දමන්නේ ‘රහතන් වහන්සේ’ කියන අර්ථයයි.

සංස්‌කාරයන් ගැන මේ සටහන ලියන වෙලාවේ සංස්‌කාරයන්ගේ වියරු, කටුක යථා ස්‌වභාවය ලෝකයට තම උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධකොට දේශනාකොට වදාළ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සම්බුදු අසිරියෙන් බබළන රූපකාය භික්‍ෂුවට මැවිලා පෙනෙනවා. බුදුරජාණන්වහන්සේ, පටිච්චසමුප්පන්නව පිරිනිවීගොස්‌, දැනට වසර දෙදහස්‌ හයසියයක්‌ ගතවී තිබුණත්, මෙය සටහන් තබන භික්‍ෂුව තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේ පසුපසින් වඩින භික්‍ෂුවක්‌මයි. බුදුරජාණන්වහන්සේ ඈත්වුණේ නැහැ. ඈත්වෙලා නැහැ. බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන පසුපසින් වඩිනකොට දැනෙන සම්බුදු සිසිලස භික්‍ෂුවට තවමත් හැඟෙනවා. බුදුරජාණන්වහන්සේගේ ගුණයන්, ඥානයන්, මහා කරුණා ගුණයන් භික්‍ෂුවට තවමත් දැනෙනවා, පෙනෙනවා. අපි ධර්ම විනයෙන් ඈත්වෙන්න, ඈත්වෙන්න බුදුරජාණන්වහන්සේ අපෙන් ඈතට යනවා. ධර්ම විනයෙන් ඈත්වූ භික්‍ෂුවකට බුදුරජාණන්වහන්සේ පිරිනිවීගොස්‌ අවුරුදු දෙදහස්‌ පන්සියයක්‌ම වෙනවා. ධර්මවිනය තුළ අවංකවම ජීවත්වන භික්‍ෂුවට බුදුරජාණන්වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම කියන තෙමඟුල සමරන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේගේ පසුපසින් වඩින බුද්ධ ශ්‍රාවකයෙක්‌මයි. නමුත් මේ සෑම සංස්‌කාරයක්‌ම මොහොතින් මොහොත අනිත්‍යභාවයට පත්වෙනවා.

පංචඋපාදනස්‌කන්ධ ධර්මයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංස්‌කාර තුළත් විඥානය බැසගෙන තිබෙනවාය කියලා. දුප්පත් පිංවතෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන එකම දේපළ තමයි පොල් අතු සෙවිල්ලු කුඩා පැල්පත. සඳ තිබෙන රාත්‍රියක පොල්අතු අතරින් සඳඑළිය පෙනෙනවා. ඒ තරමටම දිරාගිය පැල්පතක්‌. නමුත් මේ දිරාගිය පැල්පත, මේ දුප්පත් පිංවතා, රාජ මන්දිරයක්‌ වගේ තෘෂ්ණාවෙන් මගේ කොටගෙනයි ජීවත්වෙන්නේ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් ලැබුණු දුගී පැල්පත කියන අල්ලාගැනීම තුළ විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා, ඔහු මහා ධනවතෙක්‌. ඔහුට සුඛෝපභෝගී මහා මන්දිරයක්‌ තිබෙනවා. ඔහු තමන්ට, පෙර කුසල් සංස්‌කාර නිසාම ලැබුණු මහා මන්දිරයේ තෘෂ්ණාවෙන් මගේ කොටගෙන ජීවත්වෙන්නේ. අතීත කුසල් සංස්‌කාර හේතුවෙන් ලැබුණ මහා මන්දිරය කියන අල්ලාගැනීම තුළ විඤ්ඤාණය බැසගෙන තිබෙනවා. සංස්‌කාර ධර්මයන් තුළ, විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා බැසගෙන සිටින නිසාම සත්ත්වයා සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන වියරු කටුක යථා ස්‌වභාවය මතුකොට ගන්නේ නැහැ. සංස්‌කාර වෙනස්‌වෙනවාය කියන දැක්‌ම මතුකොටගන්නේ නැහැ. මොකද අතීත සංස්‌කාර හේතුවෙන් සකස්‌වන විඤ්ඤාණය වර්තමාන සංස්‌කාරයන් තුළ බැසගෙන විඤ්ඤාණයේම පැවැත්මට අදාළ සංස්‌කාරයන් නැවත නැවත පෝෂණය කොටගන්නවා. පටිච්ඡ සමුප්පාද ධර්මයේදී සංස්‌කාර හේතුවෙන් විඤ්ඤාණය සකස්‌වුණත්, පංචඋපාදනස්‌කන්ධ ධර්මයේදී සංස්‌කාරයන් තුළ විඤඤාණය බැසගෙන, විඤ්ඤාණයේ අනාගත පැවැත්මට අදාළ සංස්‌කාරයන් නැවත අස්‌වද්දාගන්නවා. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ සියුම් කපටි ක්‍රියාකාරකම් පිංවතුන්ලා බොහෝම සියුම්ව මතුකොට දක්‌වගන්න දක්‍ෂවෙන්න ඕනේ.

නවතම ලිපි පෙළ

About the author

The author didnt add any Information to his profile yet