සංසාරයත් සංස්‌කාරත් අතර ඇති සංසිද්ධිය කෙසේද යත්…

Mar 12, 2017 Comments Off on සංසාරයත් සංස්‌කාරත් අතර ඇති සංසිද්ධිය කෙසේද යත්… by

පංචඋපාදානස්‌කන්ධයට අදාළව, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට පැමිණි, කුසල් සංස්‌කාරයක්‌ ගැන මෙහි සටහන් තබනවා. භික්‍ෂුවට මතක්‌වෙනවා මීට වසර අටකට පෙරාතුව, භික්‍ෂුව සාමනේරකෙනෙක්‌ වශයෙන් ආරණ්‍යයක වැඩසිටියදී අහම්බෙන් වගේ සිදුවූ හමුවීමක්‌. ඒ හමුවීම තමයි මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාගේ හමුවීම. කළුතර වසන්ත සර් නමැති පිංවත් ඉංග්‍රීසි ගුරුමහත්මයෙක්‌ගේ (සංස්‌කාරක සටහන – මෙම ලිපිය පළවන මොහොත වන විට හෙතෙම පැවිදි බිමට පත්ව සිටියි) ශිෂ්‍යයන් වශයෙන් ආරණ්‍යයේ පිළිසකර කිරීමේ කටයුත්තකට පැමිණ සිටියදීයි, ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාව, මුල්වරට භික්‍ෂුවට මුණගැසුනේ. යම් හෙයකින් මීට වසර අටකට පෙරාතුව, භික්‍ෂුවට ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයා මුණනොගැසුනා නම්, භික්‍ෂුව කැලයේම පිපිලා, කැලයේම පරවෙලා යනවා. කැලයේ බඹරු කැලයේ මලෙන් රොන් අරගෙන, සතුටුවී යනවා පමණක්‌මයි, කරන්නේ. කැලයේ බඹරු කවදාවත් මලෙන් අහන්නේ නැහැ, මේ මල හටගත්තේ කොහොමද කියලා. මේ මල පිපුණේ කොහොමද කියලා. මේ මල සුවඳ හමන්නේ ඇයි කියලා. මේ මල පරවෙලා යන්නේ ඇයි කියලා. කැලේ බඹරුන්ට කැලේ මල්වලින් ඉහත ප්‍රශ්න අහන්න තේරුමක්‌ නැහැ. කැලේ බඹරු මල්වලින් රොන් අරගෙන සතුටුවෙනවා පමණක්‌මයි කරන්නේ.

මෙතැනදී කැලයේ බඹරු යෑයි භික්‍ෂුව සටහන් කළේ, කුටි ආශ්‍රිතව ඈත ගම්මානවල ජීවත්වෙන අහිංසක ජනතාව. කැලේ බඹරු රොන් අරගෙන පමණක්‌ සතුටුවෙනවාය කියලා සටහන් කළේ, එම කුටි ආශ්‍රිත ජනතාව පිණ්‌ඩපාතය බෙදලා සතුටුවෙනවා පමණක්‌මයි. කවදාවත් භික්‍ෂුවගෙන් අහන්නේ නැහැ අපි ඉපදුනේ කොහොමද? කියාලා. අවිද්‍යාව කියන්නේ කියන්නේ කුමක්‌ද කියලා. මනුෂ්‍යයාට සැප දුක්‌ ලැබෙන්නේ කොහොමද කියලා. අපි මැරුණට පස්‌සේ මොනවද වෙන්නේ කියලා. එම ගම්මානවල අහිංසක පිංවතුන් දානයේ සතුට පමණයි ලබන්නේ.

මීට වසර අටකට පෙරාතුව කැලයේ පිපිලා කැලයේම පරවෙලා යන්නට තිබුණු මලක්‌ ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ නමින් ලෝකයටම පූජාකොටගත්තේ ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයා. එසේ නොවන්න මේ මල කැලයේම පරවෙලා යන්නට තිබුණා. එහෙත් භික්‍ෂුව කැලයේ පිපී කැලයේම පරවී යන මලක්‌ නොවන්නට තිබූ නිසාමයි ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයත්, ‘දිවයින’ පුවත්පත් ආයතනයත්, ඊට උපකාර ධර්මයන් සකස්‌කොට දුන් ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලාත්, ගිහි පිංවතුනුත්, පිංවතියනුත්, කිසිම ආයාසයකින් තොරවම අතීතයේ භික්‍ෂුවට මුණගැසුනේ.

සංස්‌කාරයන් ලෝකය මුණගස්‌වනවා. ලෝකය පාලනය කරනවා. ලෝකය ගොඩනගනවා. ලෝකය වෙනස්‌කරනවා. ලෝකය විනාශ කරනවා. නමුත් මේ හැම සංස්‌කාරයක්‌ම අනිත්‍යවී යනවා. වෙනස්‌වී යනවා. විකෘතිවී යනවා. අහිමිවී යනවා.

පංචඋපාදානස්‌කන්ධයට අදාළ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන සටහන අවසන් කරන මොහොතේ, භික්‍ෂුව දෑස්‌ පියාගෙන ආවර්ජනය කරනවා, වර්තමානයේ ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි පෙලෙන් හමුවූ අපි සියලුදෙනාම, වර්තමානයේ එකට ඉඳගෙන මේ සටහන් කියනවා වගේම, මේ සටහන් ගැන සාකච්ඡා කරනවා වගේම, සද්ධර්මය ශ්‍රවණය කරනවා වගේම, අතීතයේ ඔබත් මමත් ජීවමාන බුදුරජාණන්වහන්සේලා ඉදිරියේ සන්සුන්ව වාඩිවී, සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඇති. එකම සම්මා සම්බුද්ධ ශාසනයේ, එකට පැවිදි උපසම්පදාව ලබලා ඉන්නට ඇති. එක අම්මාකෙනෙක්‌ගේ දරුවෝ වෙලා ඉපදිලා ඉන්නට ඇති. එක තිරිසන් අම්මගේ තනබුරුල්ලෙන් එකට කිරි උරාබොන්න ඇති. එකම ප්‍රේත පවුලේ සාමාජිකයන්ව සිටින්නට ඇති. එකම යුදබිමේ එකට මියයන්න ඇති. එකම දංගෙඩියේ පෙළට හිස්‌ගැසුම් කන්න ඇති. එකම ලොහොකුඹු නිරයේ එකට පැහෙන්නට ඇති. එකම සක්‌විති රජුන්ට දාව පුතුන් ලෙස ඉපදෙන්න ඇති. එකම ශක්‍රයට දාව පුතුන් ලෙස ඉපදෙන්න ඇති. එකම මාරයාගේ පිරිවාර සේනාව වී සිටින්නට ඇති. වර්තමානයේ අපි එකට එකතුවී ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි පෙළ කියනවා. සංසාරයක්‌ පුරාවට සංස්‌කාරයන් අනිත්‍යභාවය, විකෘතිභාවය, වෙනස්‌වන ස්‌වභාවය නුවනින් දකිමින් වර්තමානයේ ‘මහරහතුන් වැඩිමග ඔස්‌සේ ‘ සටහන් පෙළ පරිශීලනය කිරීමෙන් රැස්‌වෙන කුසල් සංස්‌කාරයන්ට බැඳෙන්න එපා. සංස්‌කාරයේ විෂමයි, කටුකයි, දුකයි, සැපයි වශයෙන් සංස්‌කාරයන් කෙරෙහි කළකිරීමම ඇතිකරගන්න.

තව ටික දිනකින් මේ ලිපි පෙළත් අවසන් වෙලා යාවී. එදාට පිංවත් ඔබලාට ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියන නාමයත් මතකයෙන් ගිලිහිලා යාවී. සියලු සංස්‌කාරයෝ අනිත්‍යභාවයට පත්වෙමින් ලෝකය ගලාගෙන යාවී. ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ‘ ලිපි පෙළ ප්‍රයෝජනයට ගනිමින්, ගලාගෙන යන ලෝකය උපරිම ආත්මභාව හතකට සීමාකොට ගැනීමට දක්‍ෂ පිංවතා, පිංවතිය ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ‘ ගමන් මාර්ගයට අවතීර්ණ වූ දක්‍ෂයන් අතර සැබෑම දක්‍ෂයන් වේවි.

නවතම ලිපි පෙළ

About the author

The author didnt add any Information to his profile yet