අභිධර්මයේ මූලික කරුණු

Feb 12, 2015 Comments Off on අභිධර්මයේ මූලික කරුණු by

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සූක්ෂම පරම ගම්බ්හිර චිත්ත චෛතසිකාදී පරමාර්ථ ධර්මයන් ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුසල බලයෙන් ලත් සර්වඥතාඥානය ඇති ලොව්තුරා බුදුවරයෝ ම ය.සෙස්සෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. බුදු සමයේ ශරීරය ද සාරය ද එය ම ය.

සූත්‍ර පිටකයෙහි එන කරුණු වලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම් පුරා ලැබිය යුතු විශිෂ්ඨ ඥානයක් නුවමනාය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නා ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත්වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදු සස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණුවලින් බොහොවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍රමානුකූලව විභාග කර ද නැත. පැහැදිලි කර ද නැත. එබැවින් බුදු සමය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකිය. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ම ය. ධර්මදේශනයක වරද නිවරද සොයා ගත හැකි වීමට, ඇදකුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගත හැකි වීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන ධර්මදේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට මට්ටම් ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

ඇතැමෙක් “අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේය , එය පසු කාලයදී යම් කිසිවකු විසින් ඇති කරන ලද්දක් ය,ප්‍රථම ධර්ම සංගීතියේදී එය සංගායනා නොකරන ලද්දේය” යි කියති. එය ඔවුන්ගේ මති මාත්‍රයෙකි. අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නවුන්, බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසූ බව අත්ථසාලිනී නම්වු විජම් අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන්ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියන්නවුන් තද ප්‍රහාරයකට ද ලක් කොට තිබේ. අත්ථසාලිනීයේ නිදාන කථාව බලනු.

තථාගතයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සිව්වන සතියෙහි රතනඝරයෙහි වැඩ සිට අභිධර්ම පිටකය සම්මර්ශනය කළ බව බුදු සස්නෙහි අතිප්‍රසිද්ධ කරුණකි. ඒ බව අභිධර්ම පොත්වල පමණක් නොව සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ.

“චතුත්ථෙ සත්තාහෙ බොධිතො පච්ඡිමුත්තරදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලංකෙන නිසීදිත්වා අභිධම්මපිටකං විචිනන්තො සත්තාහං විතිනාමෙසි. තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං” මේ බුද්ධවංස අටුවාවෙහි ඒ කාරණය දක්වන පාඨය ය.

“තතො පච්සඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලංකෙන නිසීදිත්වා අභිධම්ම පිටකං විසේසතො චෙත්ථ අනන්ත නය සමන්ත පට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනඝර චෙතියං නාම ජාතං” මේ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි ඒ කාරණය දැක්වූ පාඨයය.

අභිධර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්ධනය කරන්නාවූ, ඥානය ප්‍රසන්න කරන්නාවූ, ඥානය තියුණු කරන්නාවූ ප්‍රකරණයකි. තථාගතයාණන් වහන්සේ බෝධි මූලයේදී සව් කෙලෙසුන් නසා බුදු වූයේ වී නමුදු සම්බුද්ධත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීතාදී රශ්මීහු නො නික්මුණාහුය. සතරවන සතියෙහි රතන ඝරයෙහි වැඩහිඳ ධම්මසංගණියේ පටන් ක්‍රමයෙන් අභිධර්ම ප්‍රකරණයන් මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ථාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන්ගත් කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේ ගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්‍රසන්න වනු සමගම තත් සම්ප්‍රයුක්ත කාමාවචර මහාක්‍රියා චිත්තයද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චෛතසිකයෝද ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තයට නිඃශ්‍රය වන හෘදය වස්තුව ද ප්‍රසන්න විය. අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝ ද චිත්තය සේ ම ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තජ රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයේ ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණය ඇති ආලෝක ධාරාවෝ අධිෂ්ඨානාදී ක්‍රියාවක් නැතිව ම ලෝකය ඒකාලෝක කෙරෙමින් නික්මෙන්නට පටන් ගත්හ. තථාගත ශරීරයෙහි කේශාදී නීලවර්ණ ස්ථානයන්ගෙන් නීලරශ්මි ධාරාවෝ නික්මුණාහුය. සම ආදි පීතවර්ණ ස්ථානයන්ගෙන් පීත වර්ණ රශ්මිධාරාවෝ නික්මුණාහුය. ලේ ආදි රක්ත වර්ණ ස්ථානයන්ගෙන් ලෝහිත රශ්මීහු නික්මුණාහුය. දන්තාදී ශ්වේතවර්ණ ස්ථානයන්ගෙන් අවදාත රශ්මීහු නික්මුණාහුය. ශරීරයේ ඒ ඒ තැන් වලින් මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර රශ්මීහු ද නික්මුණාහුය. එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සැම කල්හිම විහිදෙන්නට පටන් ගත්තේ ය.

අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් තථාගතයන් වහන්සේගේ අතිශයින් තීක්ෂණ වූ ඥානය පරමාර්ථ ධර්ම විෂයයෙහි අතිවේගයෙන් ගමන් කෙළේය. එබැවින් ඒ සතියෙහි සම්මර්ෂණය කරන ලද ධර්මය මෙතෙකැයි පමණ නො කළ හැකිය. අතිදීර්ඝ වූ ඒ අභිධර්මය වචනවලට නඟා දේශනය කරත හොත් වර්ෂ සියයකින් වුව ද දහසකින් ලක්ෂයකින් වුවද නො නිම කළ හැකි බව :

“සත්ථා පන එවං සත්තාහං මනසා චින්තිත ධම්මං වචිභෙදං කත්වා දෙසෙන්තො වස්ස සතෙනපි වස්ස සහස්සෙනපි වස්ස සතසහස්සෙනපි මත්ථකං පාපෙත්වා දෙසෙතුං සක්කොතීති න වත්තබ්බං.” යනුවෙන් අත්ථසාලිනී නම්වූ විජම් අටුවාවේ දක්වා තිබේ.

සතර වන සතියෙහි සිතින් සිතූ ඒ අතිදීර්ඝ අභිධර්මය තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සත්වන වර්ෂයෙහි තීර්ථකයන් ගේ මාන මර්දනය පිණිස සැවැත් නුවර සමීපයෙහි කණ්ඩම්බ නම් වෘක්ෂමූලයෙහි යමක ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව් ලොවට වැඩ වදාරා එහි පාරිච්ඡත්තක නම් වූ දිව්‍ය වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම් වූ දිව්‍ය ශෛලාසනය මත උදාගිර මුදුනට පත් හිරු මඬල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට, දසදහසක් සක්වළින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම සමූහයා මධ්‍යයෙහි මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොට දේව ගණයා අමතා “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා” යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කළ හැකි පමණට හකුළුවා දේශනය කළ සේක.

පර්වතයකින් ගඟක් ගලා බස්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වාම අතිසීඝ්‍රයෙන් කළ ඒ අභිධර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂූන් වහන්සේලාට නූගත හැකිය. නො දැරිය හැකිය. දෙව්ලොව අභිධර්ම දේශනය කරන්නාවූ තථාගතයන් වහන්සේ දේශනය නො නැවතී පවතිනු සඳහා ඒ අසුන මත බුදුරුවක් මවා ඒ බුදුරුව මෙතෙක් ධර්මය දේශනය කෙරෙත්වා යි ඉටා ආහාර වැළඳීම ආදිය පිණිස දිනපතා මිනිස් ලොවට වඩනා සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිති. ඇතැම් දෙවි කෙනෙක් නො දනිති. මිනිස් ලොවට වඩනා වූ තථාගතයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිඬු සිඟා ගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දන් වළඳා දිවා විහරණය පිණිස සඳුන් වනයට වඩනා සේක. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට එතැනට වඩනා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයෙහි දෙසූ අභිධර්මය වෙරළ තීරයෙහි සිට අත දිගු කොට මහ සයුර දක්වන්නාක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනය කරන සේක. සිව්පිළිසිඹියාපත් ඒ මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අති සංක්ෂේපයෙන් දේශනය කළ ඒ ධර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝධ කර ගැනීමට සමත් වන සේක. උන්වහන්සේ බුුුදුන් වහන්සේගෙන් උගන්නා වු ඒ අභිධර්මය භික්ෂූන්ට උගෙනීමට දැරීමට ප‍්‍රමාණ වන සැටියට මඳක් විස්තර කර ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂූන් පන්සියයකට උගැන්වු සේක. එ් භික්ෂූන් පන්සිය දෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අභිධර්ම දේශනය නිමවනු සමග ම අභිධාර්මිකයෝ වූහ. අද පවතින අභිධර්ම පිටකය දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගැන් වු ඒ අභිධර්මය ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වනු ලද්දක් බැවින් සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගන්වන ලද්දක් වුව ද බුද්ධ දේශනය සැටියට ම පිළිගනු ලැබේ.

ප‍්‍රථම ධර්ම සංගායනයේ දී අභිධර්ම පිටකයක් නොතිබුණැයි ඇතැමුන් කියතත්, විනය පිටකයට අයත් චුල්ලවග්ග පාළියෙහි ප‍්‍රථම ධර්ම සංගායනය විස්තර කරන පඤ්චසතික බන්ධකයෙහි‐

“උපාලිං විනයං පුච්ජි ‐ සුත්තන්තානන්ද පණ්ඩිතං
පිටකං තීණි සංගීතිං ‐ අකංසු ජිනසාවකා” යි

පිටකත‍්‍රයක් සංගායනය කළ බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නො පැවතියේ නම් තුන් පිටකයක් වීමට අභිධර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතුය. සූත‍්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත‍්‍ර, විනය පිටක දෙක මෙන් ම බුද්ධ කාලයේ පටන් ම පැවතුන බව කිය යුතු ය. ප‍්‍රථම සංගීති සමයයෙහි අභිධර්ම පිටකය නො තිබිණැයි කීම ප‍්‍රතිෂ්ඨා විරහිත හිස් කියුමක් බව ද දත යුතූය.

ප‍්‍රථම ධර්ම සංගීති සමයේ දී උපාලි මහ තෙරුන් වහන්සේට විනය පිටකයත්, ආනන්ද ස්ථවිරයන් වහන්සේට දීර්ඝ නිකායත්, සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයනට මජ්ඣිම නිකායත්, මහ කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත්, අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කළ බව සුමංගල විලාසනී නම් වු දීඝනිකායට්ඨ කථා නිදානයේ සංගීති කථාවෙහි දක්වා තිබේ. අභිධර්ම පිටකය යම් කිසිවකුට භාර කළ බවක් එහි සඳහන් නොවේ. අභිධර්ම පිටකය භාර කළ කෙනකු එහි සඳහන් කර නැත්තේ අභිධර්ම පිටකය සංගායනා නොකළ නිසා යයි කියති. අභිධර්ම පිටකය යම් කිසිවකුට භාර කළ බව එහි සඳහන් නැත ද අභිධර්ම පිටකය සංගායනා කළ බවක් එහි පැහැදිලි ලෙස ම දක්වා තිබේ.

“තතො අනන්තරං
ධම්මසංගණි විභංගඤ්ච ‐ කථාවත්ථු ච පුග්ගලං
ධාතු යමක පට්ඨානං ‐ අභිධම්මොති චුච්චතී ති

එවං සංවණ්ණීතං සුඛුමඤාණගොචරං තන්තිං සංගායිත්වා ඉදං අභිධම්මපිඨකං නාමාති වත්වා පඤ්චඅරහන්තසතානි සජ්ඣායමකංස. වුත්තනයෙනෙව පඨවි කම්පො අහොසි.”

මේ සුමංගල විලාසිනියෙහි අභිධර්ම සංගායනය කළ අයුරු දැක්වු පාඨය ය. මෙතරම් පැහැදිලි ලෙස කියා තිබෙන අභිධර්ම සංගායනය භාර කළ කෙනකු නො දැක්වෙන පමණින් ප‍්‍රතික්ෂේ්ප කිරිමට කිසි යුක්තියක් නැත. ඒ ඒ තෙරුණ් වහන්සේලාට ඒ ඒ පොත් භාර කළ බව කියා තිබෙන්නේ සුමංගල විලාසිනියේ සංගීති කථාවෙහි පමණකි. අත්ථසාලනියේ හා විනය අටුවාවෙහි ද චුල්ලවග්ග පාළියෙහි ද එන සංගීති කථාවල කාහටත් පොත් භාර දුන් බවක් සඳහන් වී නැත. එ බැවින් ඒ භාර දීම එ තරම් සැලකිය යුතු කරුණක් වශයෙන් නො සැලකිය හැකිය. අභිධර්ම පිටකය සංගායනය කළ බව සංගායනය දක්වන සෑම පොතක ම කියා තිබේ. එබැවින් සංගායනය කරන කාලයේ අභිධර්ම පිටකයක් නො පැවැත්තේ ය යනු පිහිටක් නැති කථාවක් බව දත යුතු ය.

“බුදුන් වහන්සේ විසින් අභිධර්ම පිටකය දේශනය කරන ලදුයේ දෙවියන්ට ය. එය මිනිසුන්ට උවමනා ධර්මයක් නොවේය” යි ද ඇතැම්හු කියති. දෙවියනට පමණක් නොව මිනිසුන්ටත් අභිධර්මට දේශනට කල සැටි ඉහත කියන ලදි. දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දෙකක් නැත්තේය. සැමට ම ඇත්තේ එක ම නිවනය. සැම දෙනා විසින් ම ඒ නිවනට පැමිණිය යුත්තේ ඒ නිවන ලැබිය යුත්තේ චතුරාර්ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේ ය. බුදුන් වහන්සේ දහම් දෙසනුයේ සත්ත්වයනට ඒ චතුරාර්ය්‍ය සත්‍යය අවබෝධ කරවීම පිණිස ය. දෙව් මිනිස් කාහටත් ඇත්තේ එක ම නිවන බැවින් සෑම දෙනා විසින් ම එය ලැබිය යුත්තේ ද එකම ක‍්‍රමයෙන් නිසා දෙවියන්ට වෙන ම ධර්මයකුත් මිනිසුන්ට වෙන ම ධර්මයකුත් නැත. තථාගතයන් වහන්සේගේ සකල ධර්මය දෙවි මිනිස් සැමට සාධාරණය. එබැවින් අභිධර්මය දෙවියන්ට මිස මිනිසුන්ට වුවමනා නැත යයි කීම නො දැනීමෙන් කියන්නක් බව දත යුතුය.

චතුරාය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවු ඉතා ම හොඳ ක‍්‍රමය අභිධර්ම පිටකය උගෙනීම ය. සූත‍්‍ර පිටකයේ සූත‍්‍රවල තිබෙන කරුණු කෙනකුට චතුරාය්‍ය සත්‍යය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇතිකර ගැනීමට ප‍්‍රමාණ නොවේ. අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත‍්‍ර ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාය්‍ය සත්‍යය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාය්‍ය සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස් යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය. චතුරාය්‍ය සත්‍යය පිළිබඳ වු පරිපුර්ණ දැනුමකින් මිස මඳ දැනුමකින් මග ඵල ලබා නිවන් නොදැකිය හැකිය. එ බැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිධර්ම උගත යුතුය. එසේ කරන තැනැත්තා ම බුදු සස්නෙන් ලැබිය යුතු උසස් ප‍්‍රයෝජන ලබන්නේ ය.

මහාසමය සුත්තේ ච අථෝ මංගලසුත්තකෙ,
සමවිත්තේ රාහුලෝවාදේ ධම්මචක්කේ පරාභවෙ

දෙවතා සමිති තත්ථ අප්පාමෙය්‍යා අනප්පිකා
ධම්මාභිසමයො වෙත්ථ ගණනාථෝ අසංඛියා

මහාසමය සූත‍්‍රය, මංගල සූත‍්‍රය, රාහුලෝවාද සූත‍්‍රය, ධර්මචක‍්‍ර සූත‍්‍රය, පරාභව සූත‍්‍රය යන මේ සූත‍්‍ර ධර්මයන් අසා ගණනින් අප‍්‍රමාණ සත්ත්ව සමූහයකට ධර්මාභිසමය වු බව මෙයින් දැක්වේ. තවත් නොයෙක් තැන්වල ද සූත‍්‍ර ධර්ම ඇසීමෙන් බොහෝ සත්ත්වයින් නිවන් දුටු බව පොත් පත් හි දක්වා තිබේ. එසේ දක්වා තිබෙන්නේ ඒ ඒ සූත‍්‍රයට අයත් ඒ වචන ටික ඇසීමෙන් ම ඒ සත්ත්වයනට ධර්මාභිසමය වූ නිසා නොවේ. ඒවායින් කියනුයේ ඒ ඒ සූත‍්‍රය දේශනා කළ අවස්ථාවෙහි ඒ ඒ සත්ත්වයනට ධර්මාභිසමයය වු බවය. තථාගතයන් වහන්සේගේ එක් එක් ධර්ම දේශනයක් ඉතා දිග ය.

“බුද්ධානං හි භත්තානුමොදන කාලෙපි ථෝකං ව`ඞ්ඪෙත්වා අනුමෝදෙන්තානං දෙසනා දිඝමජ්ඣිම නිකායප්පමාණං හොති. පච්ජාභත්තං පන සම්පත්තපරියාය ධම්මං දෙසෙන්තානං දේසනා සංයුත්ත අංගුත්තරික ද්වෙ මහා නිකායප්පමාණා හොති.”

“භත්තානුමෝදන කාලයේ දී මදක් වැඩි කොට අනුමෝදනා කරන බුදුන් වහන්සේගේ දේශනය දීර්ඝ මධ්‍යම දෙනිකාය පමණවේ. පසු බත් කාලයේ පැමිණි පිරිසට දහම් දෙසන්නා වූ බුදුන් වහන්සේගේ දේශනය සංයුක්ත අංගුත්තරික මහා නිකාය දෙක පමණ වේය” යනු එහි තේරුමය.

සූත‍්‍ර පිටකයට අයත් නිකායන් අතුරෙන් දීඝනිකායෙහි දීර්ඝ සූත‍්‍ර දෙතිසක් ඇත්තේ ය. මජ්ඣිම නිකායෙහි මධ්‍ය ප‍්‍රමාණ සූත‍්‍ර එකසිය පනස් දෙකක් ඇත්තේ ය. අංගුත්තර නිකායෙහි සූත‍්‍ර නව දහස් පන්සිය සත් පනසක් ඇත්තේ ය. සංයුක්ත නිකායෙහි සූත‍්‍ර සත් දහස් සත්සිය දෙසැටක් ඇත්තේ ය. සංයුක්ත අංගුත්තර නිකාය දෙක පමණට දික් වන තථාගතයන් වහන්සේගේ එක් ධර්ම දේශනයක් සූත‍්‍ර ප‍්‍රමාණයෙන් කියත හොත් සූත‍්‍ර (17319) සතළොස් දහස් තුන්සිය දහ නවයක් පමණ දික් බව කිව යුතුය.

ධර්මදේශනයකදි තථාගතයන් වහන්සේ දාන කථාවය, ශීල කථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ ආදීනවය ය, කාමයන්ගේ ලාමක බව ය, කාමයන්ගේ කිලිටි බව ය, කාමයන් ගෙන් වෙන්වීමේ අනුසසය යන මේවා ප‍්‍රකාශ කොට අවසානයේ දී සාමුක්කංසික චතුරාර්ය සත්‍යය දේශනය ද කරන සේක. සූත‍්‍ර දහස් ගණනක් පමණ දික් වු ඒ දීර්ඝ දේශනයට, චතුරාර්ය සත්‍යය ජනයාට අවබෝධ කර ගැනීමට සෑහෙන තරමට කරුණු ඇතුළු වන්නේ ය. එබැවින් ඒ දීර්ඝ දේශනය අසා බොහෝ සත්ත්වයෝ ධර්මාවබෝධය කොට ගෙන සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණ නිවන් දකිති. තථාගතයන් වහන්සේගේ ඒ දීර්ඝ දේශනය අද කිසි පොත පතක නැත්තේය. දැනට ඇති කිසිම සූත්‍ර ධර්මයක නාමරූප ධර්ම ගැනද චතුරාය්‍ය සත්‍යය ගැන ද සෑහෙන විස්තරයක් නැත්තේය. එක සූත්‍රයක කියැවුණු කරුණ සමහර විට තවත් සූත්‍ර සියයක ඇත්තේය. එබැවින් සුත්‍ර පිටකය මහත් වී තිබෙන තරමට එය කරුණු වලින් මහත් වී නැත. දැනට ඇත්තාවූ තථාගතයන් වහන්සේ ගේ එකම දීර්ඝ දේශනය අභිධර්ම පිටකය ය. අභිධර්ම පිටකය ප්‍රකරණ වශයෙන් සතක් වුවද ධර්ම ප්‍රමාණයෙන් සූත්‍ර පිටකයටද විනය පිටකයටද වඩා මහත්ය. විනය පිටකයෙහි ඇත්තේ ධර්මස්කන්ධ විසි එක් දහසෙකි. සූත්‍ර පිටකයෙහි ඇත්තේද ධර්මස්කන්ධ විසි එක් දහසෙකි. අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ දෙසාලිස් දහසෙකි. සුවසූ දහසක් ධර්මස්කන්ධයන් බාගයක්ම අභිධර්ම පිටකය ය. ඒ අභිධර්ම පිටකය එකිනෙකට සම්බන්ධය ඇති බැවින් එක් සූත්‍රයක් වැනිය. එහි ක්‍රමානුකූලව ධර්මය විස්තර වන්නේය. ඒ අභිධර්ම පිටකය බුද්ධ දේශනයක් වුවත් නොවූවත් ධර්මය ගැන මනා අවබෝධයක් ඇති කර ගත හැකි වීමට ඇති එක ම ක්‍රමය ඒ අභිධර්ම පිටකය උගෙනීමය. ධර්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය, කථාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප්‍රස්ථාන ප්‍රකරණය යි අභිධර්ම පිටකයේ ප්‍රකරණ සතකි. ඒ සප්ත ප්‍රකරණයන් අතුරෙන් ධර්මසංගණී මාතෘකාවය. ධාතුකථා ප්‍රකරණය, යමක ප්‍රකරණය යන මේවා කට පාඩමෙන් ම උගත යුතු පොත් ය. ඒ පොත් බුරුමයේ උගන්වන්නේ රාත්‍රියේ අන්ධකාරයේය. අභිධර්මය උගැන්වීමේ ආකාරයෙන් දිවාවාචනය, රාත්‍රිවාචනය යයි දෙකකට බෙදා තිබේ. ඉහත කී කට පාඩමෙන් උගත යුතු පොත් රාත්‍රිවාචනය ය. ඉතිරි අභිධර්ම පොත් දිවාවාචනය ය.

අභිධර්ම රාත්‍රිවාචනය කුඩා අය බාලාවතාර සිදත්සඟරාදිය පාඩම් කරන්නාක් මෙන් අමාරුවෙන් පාඩම් කළ යුත්තක් නොවේ. එසේ පාඩම් කරන්නට ගියහොත් මුළු ජීවිත කාලයත් එයට මඳ වේ. අභිධර්මාර්ථ සංග්‍රහය ආදී පොත් ක්‍රමානුකුලව උගත් ශිෂ්‍යයහට ගුරුවරයා විසින් කරුණු පහදා දුන් කල්හි රාත්‍රිවාචනය තමාට යොදා ගෙන කිය හැකි වන්නේය. අභිධර්මය උගෙනීම යයි කියනුයේ පොත් බැලීම නොව ඒ ප්‍රකරණ පාළි වශයෙන් හා ස්වරුපාර්ථ වශයෙන් ද අවබෝධයෙන් තමාට යොදා කිය හැකි වන පරිදි දැනුම ඇති කර ගැනීමය.

අභිධර්ම ප්‍රකරණවලට බැස ගෙන ඒවා උගත හැකිවීමට පළමුවෙන් කොටින් අභිධර්මය උගත යුතුය. එසේ නො කොට සප්ත ප්‍රකරණයට අයත් පොත්වලින් ම අභිධර්මය උගෙනීම දුෂ්කරය. එබැවින් අභිධර්ම පිටකයට බැස ගැනීමට බලාපොරොත්තු වන්නවුන්ට පටන් ගැනීමේ දී උගෙනීමට පෞරාණික ධර්මධරයන් වහන්සේලා විසින් අභිධර්ම ග්‍රන්ථ නිපදවා තිබේ. අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්මාවතාරය, නාමරූප පරිච්චේදය, පරමාර්ථ විනිශ්චය, නාමරූප සමාසය යන මේ පොත් ඒ සඳහා විරචිත ඒවාය. ඒ පොත් වලින් අභිධර්මය උගන්නවුන් අතර වඩා ප්‍රසිද්ධියට පැමිණ තිබෙන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය ය. අන් සියල්ලට ම වඩා උගෙනීමට හොඳ පොත හැටියට පිළිගෙන තිබෙන්නේ ද එය ය. එබැවින් සන්න ටිකාදී පරිවාර ග්‍රන්ථ රාශියක් එයට තිබේ. ඒ පමණ පරිවාර ග්‍රන්ථ ඇති අන්‍ය බෞද්ධ ග්‍රන්ථයක් නැති තරම්ය. මෑත කාලයේ දී අභිධර්මය උගෙනීම සඳහා හෙළබසින් පිළියෙළ කර තිබෙන ග්‍රන්ථ රාශියක් ද ඇත්තේ ය. ඒවා කර තිබෙන්නේ ද අභිධර්මාර්ථ සංග්‍රහය අනුවමය. එබැවින් ඒවා ද අභිධර්මාර්ථ සංග්‍රහයේ පරිවාර ග්‍රන්ථ සැටියට ම සැලකිය හැකිය.

“අභිධර්මයේ මූලික කරුණු” නමැති මේ පොත අප සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ. පරමාර්ථධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් පොතපත කියවීමෙන් හා ගුරුන් ගෙන් ඇසීමෙන් ද ඒ ධර්මය උගන්නා තැනැත්තන්ට නොයෙක් විට වැරදි හැඟීම් ඇති වෙයි. වැරදි හැඟීම් ඇතිවීම යයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමය. මෙකල අභිධර්මය උගෙන ගෙන සිටින අය අතර ද බොහෝ දෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් කරගෙන සිටින බව ඔවුන්ගේ කථා වලින් ද ඇතැම් ලියවිලි වලින් ද අපට පෙනිණ. අපට මේ පොත ලිවීමේ අදහස පහළ වුයේ ද එහෙයිනි. වැරදි හැඟීම් ඇති වීමේ ප්‍රධාන හේතුව වචනවල අවුලය. දැන් තිබෙන පරමාර්ථ ධර්ම දක්වන පොත් සියල්ල ම වාගේ සම්පාදනය වී තිබෙන්නේ වචන ප්‍රධාන කර ගෙනය. වචනය විග්‍රහ කොට වචනයට අනුව ම ධර්මය තේරුම් කරන්නට ඒ ගත් කරුවන් උත්සාහ කර තිබේ. විග්‍රහ කොට වචනය වර්ණනා කිරීම් වශයෙන් කරන ධර්ම විවරණයෙන් ඒ ඒ ධර්මය තේරුම් ගැනීම අපහසුය. ධර්මය උගනුවන්ට වැරදි හැඟීම් ඇති වීමට වචන වර්ණනා කිරීම් වශයෙන් ධර්මය දැක්වීම ද එක් හේතුවකි. එබැවින් අප විසින් ඒ ක්‍රමය නොගෙන ධර්මය ම ප්‍රධාන කර ගෙන ධර්මය විවරණය කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. අභිධර්මය උගන්නකුට වඩාම පිරිසිදු දැනුමක් වුවමනා වන්නේ අභිධර්මයේ මෞලික කරුණු ගැනය. එබැවින් ඒ කරුණු ගැන දැනුම පිරිසිදු කර ගැනීමට උපකාර වීමේ අදහසින් ශක්ති පමණින් මේ පොත සම්පාදනය කරන ලදී.

අභිධර්මාර්ථ සංග්‍රහය ආදී පොත්වලින් අභිධර්මය උගන්නා වූ ද, උගත්තා වූ ද, අභිධර්මය උගන්වන්නා වූ ද කාහටත් මෙයින් මහත් ප්‍රයෝජනයක් වනු ඇතය යනු අපගේ විශ්වාසය ය.

චිරං තිට්ඨතු සද්ධම්මො

මිට – ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර.

රේරුකානේ චන්දවිමල හිමි

About the author

The author didnt add any Information to his profile yet