සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර – වේදනාව

Dec 05, 2016 Comments Off on සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර – වේදනාව by

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්‌සය’ (ස්‌පර්ශය) කියන ධර්මතාව සකස්‌ වුණා. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලය තමයි වේදනාව.

‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’

ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්‌වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක්‌ වේදනාව, උපේක්‍ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්‌. සැප, දුක්‌, උපේක්‍ෂා කියන විඳීම් තුනම නිරෝධය කරන්නේ රහතන්වහන්සේයි. රහතන්වහන්සේ දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් නොකරන නිසා, විඳීම නිරෝධය වෙලා යනවා. සමහර පිංවතුන්ලා කියනවා රහතන්වහන්සේට විඳීම තිබෙනවාය කියලා. මේ කාරණය නිවැරදිව තේරුම්ගන්න නම්, වේදනාව කියන වචනයේ සැබෑම අර්ථය තේරුම්ගන්නට ඕනේ. වේදනාව කියන අර්ථයට අදාළ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්ණාව නිරෝධය කළ උත්තමයෙක්‌. එමනිසා රහතන්වහන්සේ කියන අර්ථය තුළ වේදනාව කියන අර්ථය ප්‍රතික්‍ෂේප වෙනවා. ඉහත මතය දරන පිංවතුන්ලා ඵස්‌සයත්, වේදනාවත් කියන අර්ථ දෙක පටලවාගෙනයි සිටින්නේ.

රහතන්වහන්සේ ටොෆියක්‌ වළඳනවා යෑයි සිතමු. රහතන්වහන්සේට එම ටොෆියේ රසය දැනෙනවා. ඒ වගේම රහතන්වහන්සේට උෂ්ණය සීතල දැනෙනවා. අනුන් තමන්ට චෝදනාවක්‌ කළත් රහතන්වහන්සේට එය ඇසෙනවා. රහතන්වහන්සේ බාහිර රූප දකිනවා. මෙතැනදි සිද්ධවෙන්නේ ඵස්‌සය. ඵස්‌සය කියන ධර්මතාවය රහතන්වහන්සේ තුළ සිද්ධවෙනවා. නමුත් රහතන්වහන්සේ දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ රූපය කෙරෙහි විඤ්ඤාණය කෙරෙහි, තෘෂ්ණාව උතුම් ඥාන දර්ශන තුළින් ක්‍ෂය කරලයි සිටින්නේ. රහතන්වහන්සේ පැණි රසයක්‌ වළඳනකොට උන්වහන්සේට පැණිරසයක්‌ දැනෙනාව. නමුත් එම පැණ රස කෙරෙහි උන්වහන්සේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් සකස්‌කොටගන්නේ නැහැ. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් සකස්‌වෙනවා කියන්නේ වේදනාවේ නිරෝධයයි. දැනුණා, ඇසුණා, දැක්‌කා කියන්නේ ඵස්‌සයයි. දැනුණ දෙය, ඇසුණ දෙය, දැක්‌ක දෙය තෘෂ්ණාවෙන් තෙත් කිරීමයි වේදනාව කියන්නේ.

රහතන්වහන්සේ තුළ ඵස්‌සය කියන ධර්මතාවය නිරතුරුවම සිද්ධවෙනවා. රහතන්වහන්සේ අවබෝධ ඥානයෙන්ම ඵස්‌සයේ අනිත්‍යභාවය දකින නිසා, වේදනාව රහතන්වහන්සේ තුළ නිරෝධය වූ ධර්මතාවයක්‌ වෙනවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් විඤ්ඤාණයත් කියන තියුණු මාර ධර්ම තුනක්‌ විසින් සත්වයා භවයට ගාල් කිරීමේ ක්‍රියාන්විතයේ මුල් පියවරයි වේදනාව කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, වේදනාව තුළත් විඤ්ඤාණය බැසගෙන තිබෙනවාය කියලා. විඤ්ඤාණය නමැති අප්‍රකට මැජික්‌කරුවා පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භව ගමනේ කැමති, අකමැති උපේක්‍ෂාසහගත ධර්මතාවයන්, දැනීම් මතුකොට දෙමින් වේදනවා තුළ ක්‍රියාත්මකව සිටිනවා.

පෙර ජීවිතයේ ප්‍රභූ, මහේශාක්‍ය ජීවිතයක්‌ ගතකරපු මහත්මියක්‌ සිටිනවා. ඇය මේ ජීවිතයේ ඉපදිලා තිබුනේ ප්‍රභූ, මහේශාක්‍ය පවුලක නොවෙයි. නාගරික මධ්‍යම පංතික පවුලක. නමුත් මේ මහත්මියගේ හැසිරීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන්, ඇවතුම් පැවතුම්වලින් නිරතුරුව පෙර ජීවිතයේ ප්‍රභර් මහේශාඛ්‍ය ගතිලක්‍ෂණ ප්‍රකට වෙනවා. සත්වයාගේ වේදනාව තුළ පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

එක පිංවත් දරුවෙක්‌ සිටිනවා, පුංචි කාලයේදීම එම දරුවා ගාථා කියනවා. අම්මාගේ දුඹුරුපාට සාරිය පෙරවාගෙන ‘මම සාදු’ ‘මම සාදු’ කියලා කියනවා. එම දරුවාගේ කැමැත්ත පන්සල් යන්නමයි. පටිච්චසමුප්පන්නව ගලාගෙන එන විඤ්ඤාණය, දැනීම් මේ ජීවිතයේ එම ජීවිතයේ විඳීම තුළ බැසගෙන තිබෙනවා.

එක පිංවත් දැරියක්‌ සිටිනවා, ඇය ළමා කාලයේදීම තම දෙමාපියන්ට කියන්නේ ‘මම හමුදාවට බැඳෙනවා ‘ කියලා. ඇය ළමා කාලයේදී බෝනික්‌කෙකුට වඩා, සෙල්ලම් පිස්‌තෝලයක්‌ තුවක්‌කුවක්‌ සමග සෙල්ලම් කරන්න කැමතී. ළමා ඇයගේ ප්‍රියතම සෙල්ලම ‘හොරා-පොලිස්‌’ සෙල්ලමයි. ඇය පෙර ජීවිතයේදී කොටි යුද්ධය දරුණුව පැවති කාලයේ රට, ජාතිය, ආගම දැඩි ලෙස උපාදානය කරගෙන සිට මියගිය සිංහල බෞද්ධ කාන්තාවක්‌. පටිච්චසමුප්පන්නව ගලාගෙන පැමිණෙන විඤ්ඤාණය ඇයගේ වර්තමාන වේදනාව තුළ බැසගෙන සිටිනවා.

දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, පට්‌ච්චසමුප්පන්නව ගලාගෙන එන විඤ්ඤාණය කියන ධර්මතාවය, සත්වයාගේ විඳීම තුළ ක්‍රියාත්මකවන ආකාරය.

නවතම ලිපි පෙළ

About the author

The author didnt add any Information to his profile yet