සම්මා සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වන සැවොම පැවිද්ද ලබන්නේ මේ ජීවිතය තුළම නිවන් අවබෝධ කරගැනීමේ අරමුණින් ම නොවේ. එසේ වුව ද පැවිදි භාවයට පත්වන සැවොම මෙලොවදි ලොවිතුරා බුදුරජාණන් වහන්සේ නිසා සැනසෙනවා. ලෝකයාගේ ලෞකික, අධ්‍යාත්ම්ක දියුණුව උදෙසා ක‍්‍රියාකර තමනුත් සතුටුව අනුනුත් සතුටු කිරීම හොඳ දෙයක්. එහි වරදක් නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය පැවිදි ජීවිතයට ගලපා නොගැනීම, පැවිද්දේ සැබෑ අර්ථය නොවේ. එහෙත් මෙවැනි වකවානුවක කුමන අර්ථයෙන් පැවිදි වුව ද, අවම වශයෙන් සීලයවත් ආරක්ෂා කරගෙන ජීවත්විම අගය කොට සැලකිය යුතු ය. මේ ජීවිතය තුළදී ම නිවිම අරමුණු කරගෙන පැවිදිව ආරණ්‍යයේ කුටි හදන්න, පාරවල් හදන්න, ගල්වැටි බඳින්න වගේ ආරණ්‍යය සංවර්ධන වැඩට යොමුවිම අභාග්‍යයකි. ගිහි ජීවිතයේදි ගෙවල්, අඹු දරුවන්, ඥාතින්, වගකීම්, අත්හැරලා යමෙක් පැවිදි වන්නේ අතීතයේ කළ දෙය නැවත කිරීමට නොවේ. අතීතයේ නොකළ දෙයක් කිරීමට ය.

ගිහි කාලයේ බාස් උන්නැහේ පැවිදි වෙලා ආරණ්‍යයේ බාස් වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදි වෙලා පොත් ලියනවා. අරක්කැම්යා පැවිදි වෙලා දාන ශාලාවේ දානය හදනවා… මෙය නොවිය යුතු දෙයක්. අපි සිතන්නට අවශ්‍යයයි අප පැවිදි වුනේ කෙලෙස්වලින් ගරා වැටුණු සිත, නිකෙලෙස් භාවයෙන් සංවර්ධනය කිරීමටයි කියලා. පවුල, ධනය, සමාජ තත්වය අපි ගිහි ජීවිතයේ ගොඩනැගු කෙලෙස් කන්දයි. එම බර එකිනෙක බිම තබා ආරණ්‍ය සංවර්ධන බර කරට ගන්නේ නම් එය ද කෙලෙස් කන්දක් ම ය. අපි කළ යුත්තේ කැහි ගැහැණිය දි සොටු ගැහැණිය ගැනීම නොවේ. ඒ දෙදෙනාම අවබෝධයෙන් අත්හැරීම ය. එසේ නොකළහොත් කැහි සහ හොටුවලින් ඔබ සංසාරික පීනස් රෝගියෙකු කරනු ඇත.

ඔබ ගිහි කාලයේදි ඥාතින්ට, බිරිඳට, දරුවන්ට, ඉඩමට, රැකියාවට, ව්‍යාපාරයට ඇලීමක් ඇති කර ගත්තා ද එය අතහැර ආරණ්‍යය සංවර්ධනයට, දායක පිරිසට, ගෝලයන්ට ඇලෙන්නේ නම්, ඒවා කෙරෙහි ඡන්ද රාගයක් ඇති කරගන්නේ නම් ඔබ තුළ අවබෝධාත්මක අත්හැරීමක් සිදු වි නොමැත. ගිහි කෙලෙස් කන්ද අත්හැර පැවිදි කෙලෙස් කන්ද අල්ලා ගැනීම පමණකි සිදුව ඇත්තේ. නිරතුරුව ම ගරා වැටෙන ලෝකය ඔබ ‘මගේ’ කරගැනීමට පෙළඹෙන්නේ සිත කෙලෙස්වලින්, කාමච්ඡන්දයෙන්ගෙන් ගරා වැටි ඇති නිසා ය. සිත දක්ෂ නැහැ සිත අවබෝධ කරගැනීමට. ඒ දක්ෂභාවය ඔබට ලැබෙන්නේ ප‍්‍රාඥාව තුළින්. ප‍්‍රාඥාව ලබන්නට නම් ඔබ තුළ සමාධිය සකස් වෙන්න අවශ්‍යය යි. සමාධිය තුළින් සකස්වන විදර්ශනාව ඔබව මෙහෙයවන්නේ ගොඩ නැගිමට නොව කඩා දැම්මට ය. ඇලීමට ගැටිමට නොව එහි නිස්සාරණයට ය. ගිහි ජීවිතය පුරා අප සිදු කළේ ගොඩ නැගීම ය. කඩා දැමීම සිදු විය යුත්තේ අවබෝධය තුළින් ය. අනවබෝධය නිසා කාම ලෝක, රූපි අරූපි ලෝක දක්වා මහා ගොඩනැගිලි ඔබ ගොඩ නගාගෙන ඇත. මේ ගොඩ නගාගත් සුන්දර ගොඩනැගිලිවලට ගොඩවිමට තෘෂ්ණාවේ ඉනිමං දිගේ නගින විට පය පැකිළුණහොත් සතර අපායේ මහා දුක් ගොඩකට ඇදගෙන වැටි මහා විනාශයකට පත්විමට ද පුළුවන. මේ අවදානම හඳුනා ගැනීමට ඔබ දක්ෂ විය යුතු ය.

සැපයේ දි සතුටු විමත්, දුකේ දි කඳුළු සැලීමත්, උපේක්ෂාවේදි මධ්‍යස්ථ වීමත් හැර ඉහත තුන් ආකාරයේ වේදනාවේ අනිත්‍යභාවය දැකීමට අපොහොසත් වීම නිසා සසර මෙතෙක් පැම්ණි ගමනේදි ඔබ දුක සැප හේතුවෙන් ඇසෙන් හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩියැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මේ ආශ්චර්යමත් මොහොත ඔබ අතපසු කර ගතහොත්, අනාගතයේ හෙලන්නටවන කඳුළු ප‍්‍රමාණය එයට වඩා වැඩි වනු ඇත. මහා සාගරයේ ජල කඳට වඩා වැඩි ජල කඳක් අතීතයේ ඔබේ දෑසින් ගලා ගියේ එක එක කඳුළු බිඳුව බැගින්ම ය. මේ සෑම කඳුළු බිඳුවක් ම නෙතු අගට ඉනුවේ රූපයක් ස්පර්ශය නිසා හටගත් වේදනාව නිසාම ය. අනිත්‍යය වූ රූපයත්, ස්පර්ශයත්, වේදනාවත්, විඥ්ඥානයත් නිසා කඳුළු සාගරයක් ඇසින් හෙළු අපි මුලා වූ සත්වයෝම ය. ගිහි ගෙදර යන රූපයට ඇති තෘෂ්ණාව අතහැර, ආරණ්‍යය යන රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳීම ද වැඩි වෙනසක් ගෙන දෙන ක‍්‍රියාවක් නොවේ. මේවා මාරයාගේ දාම් සෙල්ලම් ය.

‘ශාසනය රකින්න, ආරණ්‍ය දියුණු කරන්න’ මේවා මාරයාගේ ලස්සන, රසවත් අයිසිං තැවරූ කේක් ගෙඩි ය. ඔබ දක්ෂ විය යුත්තේ අයිසිං තවරා ඇත්තේ කේක් ගෙඩියකට නොව, ලෝදිය හැලියකට බව අවබෝධ කර ගැනීමට ය. සංසාරය පුරාවට සම්බුද්ධ ශාසනවල, පන්සල, ආරණ්‍යයවල, අපි පූජා කළ කුටිවල මහ රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ සිටින්නට ඇත. සුනීතලා, සෝපාකාලා, පටාචාරලා වැනි අන්ත අසරණ අඩියක සිට පැම්ණ උතුම් අරිහත්වය අවබෝධකරගත් උතුමන් උත්තමාවියන්ද වැඩසිටින්නට ඇත. එහෙත් අපි තවමත් කුටි, ආරණ්‍ය හදමින් සිටින්නෙමු.

ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නොව දුකය. නිවිමේ මග යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීම ය. දුක අපි ආදර්ශයෙන් ඊළඟ පරම්පරාවන්ට ද උරුම කර දෙන්නෙමු. දායක ගිහි පින්වතුන්ව ද එම කඹයේම දිගේලි කරමු. සැප සෙවිම සඳහා ඔබ ගොඩනගන මනෝ ලෝකයේ් ගොඩනැගිලි දිනෙන් දින ගඩොලින් ගඩොල බැඳෙන්නේ නම් බැඳෙන ගඩොලක් පාසා දුක ද, ඔබ ගලවා ඉවත් කරන ගඩොලක් පාසා ධර්මාවබෝධයේ සැපය ද ඔබ තුළ ඇතිවනු ඇත. අවිද්‍යාවේ තරමටම ඔබ ඉදිකරන භව ගොඩනැගිලි විශාල වුව ද රූපයේ ස්වභාවය අනිත්‍යය නිසා රූපය ඇසුරුකොට සකස්වන පංච උපාදානස්කන්ධයේ ස්වභාවයද අනිත්‍යය නිසාත්, තණ්හාව මාන්නය දිටිඨීය නමැති ගඩොලින් බැඳෙන එම භව ගොඩනැගිලි කවදා හෝ දිනක තමා යට කරගෙනම කඩා වැටෙන බව ඔබ දැනගත යුතුව ඇත.

පංච උපාධානස්කන්ධය අනිත්‍යයතාවයට පත්වන වේගය යම් සේ ප‍්‍රවේගකාරි ද එම වේගයෙන්ම තන්හාව, මාන්නය, දිටිඨීය නමැති ගඩොලින් බැඳෙන එම භව ගොඩනැගිලි ඔබව ඉහල කාම ලෝකවලට ඔසවා තබයි. නමුත් එසේම එම වේගයෙන් ම ඔබව සතර අපාය නමැති දුක් ආගාධය දක්වා ද එම භව ගොඩනැගිලි බිඳ වැටෙනු ඇත. යම් සත්වයෙක් සතර අපායේ දුක් විඳිනවානම් ඒ තමා විසින් ම ගොඩනැගු භව ගොඩනැගිල්ල කඩා වැටි ඊටම යටවිම නිසා දුක් විඳින අයෙක්ම ය.

ආරණ්‍යවාසි පිංවත් සැම මෙලෙස සිතන්නේ නම් මැනව. වනය තිබෙන්නේ එළි කරන්නටවත්, ලස්සන කරන්නටවත් නොවේ. වනය ස්වභාවයෙන් ම ලස්සනය. පියකරුය. අපේ හදවත් අපිරිසිදු නම්, කෙලෙස්බරිත නම් වනය ලස්සන කිරීමට අපට සිදුවේ. සත්තකින් ම ඔබ කැමති ආරණ්‍ය සංවර්ධනයට නම් මතු භවයේදි ම එම වනයේ ම, ආරණ්‍යයේ ම රුක් දෙවියෙක්, ආරණ්‍යය ආරක්ෂක දෙවියෙක්, බහිරවයෙක් ලෙස උපත ලැබිමට පුළුවන. ඒ ඔබ කැමති වූ දෙය නිසා එය සතුටින් භාරගත යුතු ය. නමුත් ප‍්‍රශ්නය වන්නේ වර්තමානයේ ප‍්‍රාථමික දෙවියකු විමට, ආරක්ෂක බහිරවයකු විමට දොරටුපාලකයෙකු විමට අවශ්‍ය උපාධානයන් කැමැත්තෙන් සකස් කරගන්නා අපි අතීතයේ මුළු දිව්‍ය තලයන්ටම අධිපති සක්දෙව් රජුන් ලෙස අනන්ත අප‍්‍රමාණ දිව්‍ය සැප විඳි අය වීම ය. අතීතයේ එවන් අසිරියක් අත්විඳි ඔබ, සැපයක් අත්විඳි ඔබ, වර්තමානයේ ප‍්‍රාථමික රුක්දෙවියෙක්, ආරක්ෂක දෙවියෙක් වීමට කැමති වෙනවා නම් එය අති උතුම් මනුෂ්‍ය සිතකින් ඇති කර ගන්නා ප‍්‍රාථමික උත්සාහයකි. බලාපොරොත්තුකි. මේ ප‍්‍රාථමික උත්සාහය සාර්ථක වුවහොත් එම ආරණ්‍යයේම, පන්සලේම කිරි වෘක්ෂයක්, ධාතු මන්දිරයක්, බුදුමැදුරක් මගේ කරගෙන අනුන් කරන පින්කම් දෙස බලා සතුටු වෙමින්, අනුන් කරන, තමන් අකමැති දේවල් දැක ද්වේෂ කරමින් ද සිටිය හැකි ය. තමන්ට අවම වශයෙන් සතර අපායෙන් එතෙර වීමට ලැබුණු අවස්ථාව මඟහැර අනුන්ගේ පිනෙන් යැපෙන්නට, සතුටු වෙන්නට වනයක්, ආරණ්‍යයක්, ගසක් උපාදානය කර ගැනීම අභාග්‍යයකි.

ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක් තුළට නිවන් මග වඩන්නෙක් යා යුත්තේ පරිසරයේ ස්වභාවය වෙනස් කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධ කිරීම මඟහැර ධර්මයේ කොටස්කරුවන් වනවා ඇත. ගිහි ජීවිතය දුක බව දැක, එය අතහැර පැවිදි ජීවිතය ද දුකක් කර ගැනීම අභාග්‍යයකි. දුක සකස් වෙන්නේ රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය නිසාම බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. පිංවත් ඔබ පොරොවන කඩදහසේ චීවරයට ඇති ඡන්ද රාගයෙන් මිදී එය අතහැර පාංශුකූල චීවරය කෙරෙහි ඡන්ද රාගය ඇති කරගතහොත් එම ක‍්‍රියාවන් දෙකම එකම කාසියේ දෙපැත්ත වගේ ය. ඇත්තේ සලකුණු, මෝස්තරයේ වෙනස පමණි. සැබවින්ම ලෝකය යනු මෝස්තරයකි. එම මෝස්තරය සිතුවම් කරන්නේ ඡන්ද රාගයෙන් තෙත් වූ ඔබගේ ඇති වෙමින් නැතිවෙන සිතය. මේ මෝස්තරකරුවා චිත‍්‍ර සිතුවම් කරයි. එහෙයින් ගිහි ගෙදර නමැති රූපය කෙරෙහි ඇති ඡන්ද රාගයෙන් මිදී, වෙනත් රූපයක් කෙරෙහි ඡන්ද රාගයෙන් බැඳීම මෝස්තරයේ හැඩය, වර්ණය වෙනස් කර ගැනීම පමණක්ම ය.

අසනීපයකට බෙහෙත් ගැනීමට රෝහලට ගිය රෝගියා කළ යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි. ඔහු එය පසෙක ලා රෝගීන්ට උපස්ථාන කිරීමට යන්නේ නම්, රෝහලේ අළුත්වැඩියා, නඩත්තු සහ අලංකරණ පිණිස වෙහෙසීමට යන්නේ නම් ඔහුගේ රෝගය විසින් ඔහුව බිලිගනු ඇත. එහි අවාසනාව වනුයේ රෝහලත්, වෛද්‍යවරයාත්, ඖෂධත් තුනම තිබියදී ඔහු රෝගයෙන් මියයාමයි.

එහෙයින් අප උත්සාහ කළ යුත්තේ මිනිස්, පේ‍්‍රත, තිරිසන් දුවකගේ බැලූම් බෝලයක් වන් ගර්භාෂ කුටියකට නැවත ගාල්වීම නොවේ. ඒ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වගබලා ගැනීමයි. ඒත් ඔබ පතනුයේ ගර්භාෂ කුටියක් නම් නැවත ඔබට එය ලැබෙනු ඇත. රතුම රතුපාට ගර්භාෂ කුටියේ වකුටු වී නලියන කලල රූපයේ මෝස්තර නිර්මාණකරුවා ද, හේතුඵල ධර්මයන්ට අනුව ඔබම වනු ඇත. ඔබ විසින් ම සතුටු වූ දෙය වනු ඇත. එහෙයින් පිංවත් ඔබ පැවිදි ජීවිතයේ සැබෑ අරමුණු නිරතුරුවම මෙනෙහි කිරීම, ඔබ විසින් ඔබ කෙරෙහිම ඇති කරගන්නා කළ්‍යාණමිත‍්‍රභාවයකි. ඔබ ඔබටම කළ්‍යාණ මිත‍්‍රයෙක් වූ කල්හි, නිරතුරුවම ඔබට ඉහළින් සිට, යමෙක් විසින් සතිය සිහිය ඇති කර දෙනු ඇත. එය ධර්ම විනය කෙරෙහි ඇති ගෞරවය නිසාම ඔබ තුළින්ම ඇති වන්නකි. මෙවැනි ස්වභාවයක් යටතේ ඔබ තුළ අකුසලයට, අවිනයට, අධර්මයට බිය ගෙනදෙන හිරි ඔතප් දෙක ඇතිවනු ඇත. නිරතුරුවම වැඩෙනු ඇත. මෙය නිවන් මාර්ගයේ ඔබේ ආරක්ෂාව උදෙසා ඔබට ලැබෙන හොඳම සහතිකයකි. ආරක්ෂකයෙකි. යමෙක් තුළ අකුසලය කෙරෙහි, හිරි ඔතප් දෙක හීන නම්, එය ඔබගේ අන්තරාය පිණිසම හේතු වේ. එවැනි අය ධර්ම විනය ගලපන්නේ බුදුරජාණන් වහන්සේගේ පැනවීම්වලට අදාළව නොවේ. තමාගේ නිදහසට, කැමැත්තට අදාළවය. මේ මනෝභාවය ඔබ තුළ වර්ධනය වන්නේ ලාබ සත්කාරවලට ඇලීම හේතුවෙන් ය. එහිදී ප‍්‍රමුඛස්ථානය ලැබෙන්නේ ලොව්තුරා බුදු සමිඳුන්ට නොව, පිංවත් දායක මහතාට ය. පිංවත් දායක මහතා යනු ව්‍යාපාර කරමින්, බිරිඳ දරුවන්, ගේදොර ඉඩකඩම් පාලනය කරමින් ජීවත් වන සමාජයේ ප‍්‍රභූ හෝ එසේ නොවන අයෙකි. එම පිංවතුන්ගේ එකම අරමුණ හැකිතාක් පිංකම් කරගැනීමය. ඒ සඳහා ආරණ්‍ය සංවර්ධනයට මුදල් යොමු කිරීමය. එම පිංවතුන්ගේ ගිහි ජීවිතයේ කාර්යබහුලත්වය නිසා මෙහි බර පැටවෙන්නේ භික්ෂූන්වහන්සේලාටය. මේ හේතුවෙන් ස්වාමින් වහන්සේලාට සිදුවන්නේ වැලි, ගඩොල්, සිමෙන්ති සහ බාසුන්නැහේලා සෙවීමටය. ඉහත පළිබෝධය අවබෝධයෙන් හඳුනාගෙන තම භික්ෂූත්වය ගතකිරීම සැබැවින්ම ප‍්‍රශංසනීය ය. එහෙත් ප‍්‍රමාදභාවයට පත්වීම නිසා යමෙක් එම දායක පිරිස් කැමති මාර්ගයේ ගමන් කළහොත් අපි යන්නේ කොයි පාරේද යන ප‍්‍රශ්නාර්ථය අප තුළ ඇති කරගත යුතුව ඇත. නිවන් මඟ වඩනා පිංවත් ඔබට ගමන් කිරීමට මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට නොමැත. එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය පමණි. ගෞරවණීය පැවිදි ජීවිතයේ බොහොම කැමැත්තෙන්, තෘප්තියෙන් යුතුව අපි යන ගමනේ දී මඟ නොමඟ ගැන නිරතුරුවම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. මන්ද හිරි ඔතප් දෙක යනු ලෝකයේ දුර්ලභම ධර්මතාවයන් වන නිසා ය.