මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන “භික්‌ෂුවට” වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් “ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ” යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින් සතුටු වීම සහ ගිහි පිංවතුන් යුතුකම් මඟහරින්නේ නම්, එයද කමටහනක්‌, ලෝක ස්‌වභාවයක්‌ යෑයි ගෙන ලෝකයෙන් මිදි යැමය. භික්‍ෂුවට උපරිම මට්‌ටමින් යෑපීමට අවශ්‍ය තුන් සිවුරන් පාත්‍රයත් කුටි පහසුකමත් පමණි. නිවන් මඟේ සීමාවද මේ අවමය තුළ ගොනු වී පවතී. භවමඟේ සීමාව මීට වඩා විශාල වශයෙන් පුළුල්ය.

තමා විසින් කළ යුතු වත් රාශියක්‌ ආරණ්‍යය තුළ ඇත. මිදුල් ඇමදීම, කුටි පිරිසිදු කිරීම, දාන ශාලාවේ ක්‍රියාකාරකම්, රෝගී භික්‍ෂූන්ට උපස්‌ථානය කිරීම, බුදු මැඳුරේ පූජා කටයුතු, වැඩිහිටි භික්‍ෂූවන්ට ආගන්තුක භික්‍ෂූවන්ට උපස්‌ථාන කිරීම යන මේවා භික්‍ෂුව අනිවාර්යයෙන්ම කළ යුතුය. ආරණ්‍යයේ පැවැත්මත් පිරිසිදු භාවයත්, තමා තුළ මාන්නය වැනි කෙලෙස්‌ දුරු කර ගැනීමටත් වත අතිශයින්ම උපකාර වේ. මාන්නය, අහංකාරකම උඩගු බව ඇති කිසිවකුට භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැකිය. එවැනි අය මඟ වැඩූ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකු දෙන නිවැරැදි උපදේශයට වඩා, ඉහළින් යැමටත්, නිතරම තමා ගුරුවරයා වීමටත්, සිතනු ඇත. අනුන්ට සවන්දීමට කැමති නොවනු ඇත. නිවීම සඳහා යන ගමනේදී උස්‌, පහත්, දුප්පත්, පෝසත්, ලොකු, කුඩා ඕනෑම දෙයක ඉගෙනීමට යමක්‌ ඇති නම් එය ඉගෙන ගැනීමට අපි දක්‌ෂ විය යුතුය. මාන්නය ඇති තැනැත්තාට මෙය කළ නොහැකිය. මේ සියල්ලටම බෙහෙත වතය.

ඔබ වැසිකිළිය පිරිසිදු කරන විට ඔබ පිරිසිදු කරන්නේ වැසිකිළිය බව නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුල ඇමදීමේදී, මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කුණු බවයි. නිවන් මඟට සිත පිරිසිදු කරගත යුත්තේ මෙසේය. මාරයාගේ ස්‌වභාවය ඔබට ලකුණු සහ හොඳ නම ලබාදීමට ඔබව පෙළඹවීමය. ඔබ ලකුණු දිය යුත්තේ මාරයාට නොව ඔබගේ නිවන් මඟටය.

ඔබ සිතිය යුත්තේ වැසිකිළිය කිසිවෙක්‌ නොසෝදා ඇත්තේ, මිදුල කිසිවෙක්‌ අතු නොගා ඇත්තේ ඔබේම යහපත සඳහා බවයි. ඔබ ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. මෙවැනි වත් ඔබ මඟහරින විට, ඔබේ සිත කුණු අශූචි වැනි කෙලෙස්‌වලින් දිනපතා පිරෙන බව වටහාගත යුතුය. කුණුවලින් පිරිණු සිත මාරයාට හොඳ තෝතැන්නකි. සෑමවිටම ස්‌ථානයේ සිටින වැඩිපුරම පඩික්‌කම් සෝදන භික්‍ෂුව වීමට ඔබ මැලි නොවිය යුතුය.

නිවන් මඟේ හික්‌මෙන භික්‍ෂුව සෑම විටම නිහතමානීකමේ උපරිමේ සිටිය යුතුයි. කෙනෙක්‌ ඔබගේ හිසටය අත සේදුවද එය ඔහුගේ ස්‌වභාවය යෑයි සිතා ඔබ ඔබේ ස්‌වභාවය තුළ නොගැටී සිටිය යුතුය. ඔබ හැමෝටම පසු පසින් සිටීමටත්, දහසක්‌ දේ ඔබ දන්නවා වුවද, කිසිත් නොදන්නෙක්‌ සේ පිරිස ඉදිරියේ හැසිරිය යුතුය. ඔබ ගොළුවෙක්‌ නොවේ. අහන දෙයට පිළිතුරු දෙන අයෙක්‌ විය යුතුය. මෙසේ ඔබ හැමෝටම පසුපසින් යැමට කිසිම පැකිළීමක්‌ දැක්‌විය යුතු නැත. පසු පසින් යන්නාට සෑම විටම ඉදිරියෙන් යන අය දෙස බලා යැමත් ඉගෙනගත හැකිය. ඉදිරියෙන් යන සියල්ලන්ගේම ගුණ අගුණ, හැසිරීමේ අංග චලනයේ ස්‌වරූපය, විවිධත්වය නිරීක්‍ෂණය කළ හැක්‌කේ පසුපසින් යන්නාටය. ඒ අයගේ හොඳ ද, නරකද ඔබ බැහැර කළ යුතුය. සියල්ලන් තුළ ඇත්තේ සතර මහා ධාතූන්ගේ විවිධත්වයක්‌ පමණක්‌ බව දැකිය යුතුය. තමා අන්තිමයා වීමෙන් ලද අවස්‌ථාවෙන් ඔබ ප්‍රයෝජනය ගන්න. තමා අන්තිමයා වීමෙන් තමන්ට අන් හැමෝම දකින්නට ලැබීමත්, ඉදිරියෙන් යන අයට තමාව දකින්නට නොලැබීමත්, ඔබ ලැබූ භාග්‍යයක්‌ බව දකින්න. ඔබ අහිංසක ලෙස මෙම ලෝක ධාතුව තුළ මනුෂ්‍යයකුට යා හැකි ශ්‍රේෂ්ඨම ගමන යන විට වැඩිහිටි ස්‌වාමීන්වහන්සේලා ඔබගෙන් අසාවි “ආයුෂ්මතුන් මහණ වුණාට මොකුත්ම දන්නෙ නැහැනේ. සිවුරු හැරලා යන්න හිතාගෙනද ඉන්නේ” වැනි ප්‍රශ්න. මෙවැනි අවස්‌ථාවලදී ඔබ නොදන්නා බව හඟවන්න. ඔබ දන්නා බව කියන්න ගියොත් ඒ වැඩෙන්නේ මාන්නයමය. ඒ ප්‍රකාශය කරන්නේ මාරයාය. ඔබ කලබල නොවන්න. ඒ හිමිවරු කියන දෙයට නිහතමානීව සවන් දෙන්න. ඔබ මේ සියලු ක්‍රියාකාරකම් ඔබට අයිති දේවල් නොවන නිසා අතහරින්න. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කර නොගන්න. ඔබගේ මේ අත්හැරීමේ ක්‍රියාව දැනගත යුත්තේ ඔබම පමණකි. දෙවැන්නෙන් එය දැනගතහොත්, ඒ ක්‍රියාත්මක වූයේ මාරයාය. නිවීම ඔබ තනිවම යා යුතු ගමනකි. අවසානයේ ඔබද ඔබට අතහැරෙනු ඇත. ඔබද ඔබට අතහැරෙන මොහොත භවගමන නිමා වන මොහොතයි. මේ ජයග්‍රහණයට මඟ වියදම් දෙන්නේ “වත” බව දෙවරක්‌ නොසිතාම ඔබ දැනගත යුතුය. මඟ වියදම යනු නිහතමානීකමයි. නිහතමානීකමේ උපරිමය මමත්වයේ නිවීමයි.

බුලත් කෙල බැඳුණ පඩික්‌කම, මුත්‍රා කහට බැඳුන වැසිකිළියක, මකුළුදැල් බැඳුන දාන ශාලාවක, නිවීම සඳහා අවශ්‍ය කළමනා ඇති තැන් බව අමතක නොකරන්න. මමත්වයේ නිවීම සැබැවින්ම ඔබට අත්දැකිය හැක්‌කේ නිහතමානීකමේ උපරිමයට ඔබ පැමිණි කල්හිමය.