පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය.

වෛරය, ක්‍රෝධය, සැකය නායකත්වය සොයා යන ගමනේ අතුරු ඵලයක්‌ය. නායකත්වය සෙවීම මිනිසාට පමණක්‌ උරුම දෙයක්‌ නොවේ. සෑම සත්වයෙකුටම පොදුය. සත්වයා මහා අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌ කරගන්නේ මේ නායකත්වයට ඇති ගිජුභාවය නිසාය. මෙවැනි අකුසල් රැස්‌කරමින් ඔබ මේ පාලනය කිරීමට යන්නේ කවුරුන්වද? අනුන්මය. අනුන්ව පාලනය කිරීමට යන ඔබ මොහොතක්‌වත් සිතුවාද තමාට තමාවත් පාලනය කර ගැනීමට නොහැකි ලෝකයක තමාට අනුන්ව පාලනය කිරීමට නොහැකි බව. කවුද ඔබට මේ අවබෝධය ලැබීම වලක්‌වන්නේ. තන්හාවයි. අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකරගනිමින්, විවිධ සටකපට උපක්‍රම යොදමින්, මුසාබස්‌ දොඩවමින්, නැතිගුණ පෙන්වමින් ඔබද පාලනය මුවහත් කරගන්නවා.

බලය උදෙසා මොනතරම් ගහමරා ගන්නවාද, පාවාදීම් කරනවාද, කුලල් කාගන්නවාද, අනුනට මඩ ගසනවාද? බලයට ඇති කෑදරකම, ගිජුබව නිසාම තළුමරමින් ඉහත චර්යාවන් සිදුකිරීම බලය ලබාගැනීමට කළයුතු චාරිත්‍රයක්‌ බවට පත්වෙලා. මේ හැම දෙයම මේ අය සතුටින්මයි කරන්නේ. තිබෙන සැප ආරක්‍ෂා කරගන්න, ඇති සැප වැඩිකරගන්න, නැති සැප ඇතිකරගන්න ලෝකය පස්‌සෙ දුවනවා. දුක්‌ විඳිමින් සැප සොයනවා. වර්තමානයේ සොයන සැප ලැබිලා නැහැ. ඒ නිසා අනාගතය තුළ සොයනවා. ඔවුන් දන්නෙ නැහැ අනාගතය කියල කියන්නෙ වර්තමානයටමයි කියලා. වර්තමානයමයි අතීතය වූවේත් කියලා. මේ අයට හති දැනෙන්නෙ නැහැ. විඩාවක්‌, නිදිමතක්‌ දැනෙන්නෙ නැහැ. සැප සෙවීමට, ආරක්‍ෂා කරගැනීමට, වැඩිකර ගැනීමට ඇති තන්හාව නිසා.

තන්හාව කියන්නේ හොඳ දක්‍ෂ මැහුම්කාරියක්‌. ඇය විසිහතර පැයේම ඉඳිකටුවයි, නූලයි අත තබාගෙනයි සිටිනුයේ. ඉන්ද්‍රියයන්ට පස්‌සයවන හැම කැමැත්තක්‌ම තද මැස්‌මකින් මසන්න. දක්‍ෂ මැහුම්කාරියගේ මේ වෙලීම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. කැමැත්තෙන්ම සසර බන්ධන වලට කොටුවෙන සත්වයාට, මේ තන්හාවේ මැහුම්කාරිය අතදිගහැර උදව්කරනවා. කුමක්‌ සඳහාද? ඔබව බවය සමඟ බන්දන්න, උපාදානය කරවන්න. අපිට හිතෙනවා ලෝකයේ දක්‍ෂම මැහුම්මහන දරුවෝ ඉන්නේ කටුනායක පැත්තේ කියලා. ඒත් ඒක මුලාවක්‌. ඒ අය මහන මැහුම් අවුරුද්දකින්, දෙකකින් නැතිනම් පහකින් දිරලා යනවා. ගැලවිලා යනවා. ඒත් තන්හාවේ මැහුම්කාරිය මහන මැහුම, ගසන වෙළුම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. ඇයට විඩාවක්‌, නිදිමතක්‌, වෙහෙසක්‌ නැහැ. හැම තත්පරයකම ඔබ ඉදිරියේ ඇය සීරුවෙන් සිටිනවා. ඔබට පස්‌සය වන සෑම රූපයක්‌ සමඟම ඔබව වේදනාව විඳීමට සලස්‌වනවා. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා වශයෙන්.

ඔබ කවදාහරි නිවීම ලබන්නේ තන්හාවේ මැහුම්කාරිය හඳුනාගෙන ඇයගෙන් මිදුනුදාටය. එතෙක්‌ ඔබ කුසල් අකුසල් පිsරුණු මඟක නායකයින්ද, පාලකයින්ද වීමේ දොළදුක සංසිඳුවාගැනීමට අකුසල්ම කරගසාගනිමින් ගමන් කරයි.

තිරිසන් ලෝකයේ සතුන් සහ පක්‍ෂීන් දෙස ඔබ හොඳින් බලන්න. ඔය තිරිසන් සතුන් කිසිවෙක්‌ රාත්‍රියට හෝ දවාලට එක දිගට පැයක්‌ නිදාගන්නේ නැහැ. ඒ සතුන්ට නිදාගන්න වාසනාවක්‌ නැහැ. පිනක්‌ නැහැ. ගසක අත්තක්‌ සෙලවුනොත්, කොළයක්‌ වැටුනොත්, තවත් සතෙකුගේ හඬක්‌ ඇසුනොත්….. මේ ආකාරයට නිරතුරුව බියට පත්වී නින්ද කැඩෙනවා. තිරිසන් සතුන් මුළු රැයම නිදාගන්නේ බයෙන්. මෙය අහම්බයක්‌ නොවේ. කර්ම විපාකයක්‌මයි. කර්මය තමයි පෙර ජාතිවල මිනිස්‌ ආත්ම වල ඉපැදිලා ලොකු කුඩා පාලකයෝ වෙන්න ගිහින් කරපු අකුසල්. මිනිස්‌සු බියගන්වලා, පීඩනයට පත්කරලා, මුලාකරලා, අතීත භවවල කරපු අකුසල් මරණින් මතු විපාක දෙන්නේ ඔය විදිහට. ලොකු කුඩා පාලකයන්, නායකයන් මියගිය පසු පාංශකූල පොලේදී අනුශාසනා, දේශනා, ගුණකථා, බැනර, ශෝක ප්‍රකාශ, සැරසිලි වලින් ඔවුන්ව නිවන් දැක්‌වුවද සැබෑ යථාර්ථය කටුකය. ඔබ හොඳින් නිරීක්‍ෂණය කර බලන්න. තිරිසන් සත්ව ප්‍රජාවේ නායකත්වය වෙනුවෙන් එම සතුන් වියරුවෙන් ගැටෙන හැටි. වියරුව මරාගනිමින් නායකත්වයට සටන්වදින විලාසය. මේ සියල්ල එම සතුන්ගේ සංසාරික හුරුපුරුදුය.

ශ්‍රී සද්ධර්මය පවතින අවස්‌ථාවක, වාසනාවන්ත මනුෂ්‍ය විලාසයක්‌ ලබා, නායකත්වයට ඇති ගිජුභාවය නිසා, අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් ආත්මයක්‌ ලැබූ පසු, නැවතනම් කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක්‌ නම් ලැබිය නොහැකිය. මන්ද තිරිසන් සත්ව ප්‍රජාව තුළ ඇති වෛරය නිසා දුකෙන් දුක කරාම, තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදී යාම එම ස්‌වභාවය නිසාය. බලන්නකො මේ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක්‌ ලබපු ඔබ, අනුන්ව පාලනය කරන්න ගිහිල්ලා කල්ප ගණන් අපාදුක්‌ විඳින සත්වයන් බවට පත්වෙනවා. මොන තරම් අවාසනාවක්‌ද.

හැබැයි සමහරු ඉන්නවා, පෙර පිං නිසාම ආයාසයකින් තොරවම නායකත්වය, ප්‍රධානත්වය ලැබෙනා අය. ඒ අය බදාගැනීමකින්, තෘෂ්ණාවකින් තොරවම නායකත්වය දරනවා. බහුතරයේ අකමැත්තෙන් නායකත්වය අතහරිනවා. ඔහු තමන්ට ලැබූ අවස්‌ථාව නිසා කුසලයක්‌ රැස්‌කරගන්න දක්‍ෂ වෙනවා. ඔබම සිතන්න. ඔබ බදාගත්තොත් ඔබට උරුමවන්නේ සතර අපායමය. ඔබ අතහැරියොත්, මධ්‍යස්‌ථවූවොත් ඔබට සුගතිය උරුමවෙනවා.

මේ ලෝකයේ සැබෑම ශ්‍රේෂ්ඨම පාලකයා තමයි, මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක්‌ නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඒ තමයි අරිහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි දකිනවා. කුමක්‌ද එහෙනම් මෙතැන තිබෙන්නේ. වේගයක්‌. ඇතිවෙමින් නැතිවෙන රූපයක්‌ සහ සිතක්‌ පමණක්‌ බව දකිනවා. පස්‌සය නිසා හටගන්නා වේදනාව සත්වයාව ක්‍රියාකාරීත්වයට පත්කරනවා. ඇතිවුනාවූ පස්‌සයද, වේදනාවද අනිත්‍ය බව උනවහන්සේ අවබෝධයෙන් දකිනවා. පාලනය කිරීමට යමක්‌ නොමැති තැන පාලකයෙක්‌ අවශ්‍ය නැහැ. දැන් බලන්න පාලනය කිරීමට කිසිවක්‌ම නොමැති තැනක, පාලකයෝ වෙන්න ගිහිල්ලා මිනිස්‌සු මොන තරම් මෝහයකද වෙලී සිටින්නේ. අනේ දෙවියනේ අවිද්‍යාව මොනතරම් අසාධාරණයක්‌ද මේ සතවයාට කරන්නේ.

පාලකයන්. ප්‍රධානීන්, නායකයන් වෙන්න වෙරදරන ඔබට ලෝකයේ ශ්‍රේෂ්ඨම පාලකයා වෙන්න මඟක්‌ තියෙනවා. ඔබ මේ මඟ දිනාගත්තොත් එම ජයග්‍රහණය නැවැත උදුරාගන්න මේ තුන්ලෝකයේම කිසිවෙකුටත් බැහැ. ඔබට කරන්න තිබෙන්නේ සුළු දෙයයි.

“සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක්‌ ඔබේ පාලනයට යටත්කරගන්න”

මෙතෙක්‌ කල් ඔබ ක්‍රියාත්මක වූයේ ඔබට අයිති නැති සිත ඔබට අණකළ මග ඔස්‌සේය. ඔබ මේ මොහොතේම ඔබේ සිතට නියෝග කරන්න. “දැඩිව” නියෝග කරන්න.

“සිත ඔබ මෙතුවක්‌ කාලයක්‌ ඔබට අවශ්‍ය ආකාරයට මාව ක්‍රියාත්මක කළා. සතර අපායට, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල ගාල්කළා. කල්ප ගණන් සංසාරයේ ඇවිද්දුවා. මෙතුවක්‌ කල් මම අවිද්‍යාව නිසා ඔබට රැවටුණා. මින්මතු ඔබ කියන දේ කරන්නේ නැහැ. මම කියන දෙය ඔබ කළ යුතුයි”

ඔබට පුළුවන් නම් මේ තීරණය ක්‍රියාත්මක කරන්න, ඔබ තමයි මේ ලෝව ශ්‍රේෂ්ඨතම පාලකයා. ඔබට අයිති නැති, ආගන්තුක සිතක්‌, ඔබව බවයේ සිරකරුවෙක්‌ කරගෙන සිටින අසාධාරණයෙන් ඔබව මුදාගන්නා ශ්‍රේෂ්ඨම පාලකයා ඔබ වෙනවා.

ඔය ඇතිවන නැතිවන සිත ඔබේ පාලනයට ගතහොත්, ඔබට පුළුවන්කම ලැබෙනවා මුළු විශ්වයේම පාලනය ඔබ අතට ගන්න. රටක්‌, නරගයක්‌, ගමක්‌, ආයතනයක්‌, පන්සලක්‌, ආරණ්‍යයක්‌ නොවේ මුළු විශ්වයම. ඔබේ නිවන් මෙහෙයුමේදී සමාධියේ උපරිම තලයකට පැමිණෙන විටක, ප්‍රඥාව විසින් මුළු විශ්වයම අනිත්‍යභාවයේ වේගයෙන් සියුම්කොට ඔබ ඔබේ දෝතට ගන්නවා. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය තුළින් විශ්වය යනු තම දෑතට ගතහැකි හිස්‌දෙයක්‌ය යන්න ඔබ දකිනවා. ප්‍රඥාවෙන් ඔබ විශ්වය ඔබේ ග්‍රහණයට ගන්නවා. මෙතෙක්‌ විශ්වයේ පාලනයට යටත්වූ ඔබ, විශ්වය යනු අතිදැවැන්ත වේගයට හසුවන, සතරමහා ධාතූන්ගේ ස්‌වභාවයක්‌ බව අවබෝධයෙන් දකිනවා. මෙතෙක්‌ විශ්වය ලෙසින් ඔබ දකිමින් සිටියේ පස්‌සය නිසා හටගන්නා වේදනාවක්‌ බව දකිනවා. ඔබට දැනෙනවා ඔබ ලෝකයෙන් එතෙරවුනාය කියලා. සමාධියේ උපරිම තලයකදී ඔබට වැඩෙන ප්‍රඥාව තුළිනුයි විශ්වයේ පාලනය ඔබට ලබාදෙන්නේ. ඔබ කවදාවත් හිතන්න එපා මොන ධ්‍යානයේදීද ඔබට මේ ඥාණයන් ලැබනේනේ කියලා. එහෙම හිතුවොත් ඒවා කෙළෙස්‌ ධර්මයන්. එසේ වුවහොත් නිවීම ඔබෙන් ඈතට යනවා. මේවා ධර්මයේ ආශ්චර්යයන්. හේතුඵල ධර්මයන්. හේතුව තමයි සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මීම. තුන් සිවුරත් පාත්‍රයත් හැර ඉතිරි සියල්ල අතහැරීම. අත්හැරීමෙන් අර්ථවත්වූ නිවන් මඟ අවසන් මෙහෙයුමේදී, අතහැරීමේ උපරිමය නිසාම තීව්‍රර වන ප්‍රඥාව විසින් ඔබට මේ ගුණයන් ලබාදෙයි. ජීවිතයේ එක්‌වරක්‌ පමණක්‌ මේ ඥානදර්ශනයන් පහළවේ. ඔබට ඒවා නැවත නැවත ආවර්ජනය කර දැකිය හැකිය. එහෙත් දැන් ඔබට මේවා අවශ්‍ය නැත. එය තවත් සිදුවීමක්‌ පමණක්‌මය. සියල්ල අයිති අනිත්‍යයටය. සිදුවූ එකම දෙය ඔබ ප්‍රමාදයෙන් මිදීම පමණකි. අප්‍රමාදීව කළයුත්ත කරගත්තා පමණකි.

මනුෂ්‍ය ලෝකයේ අනුන්ගේ පාලකයෝ වෙන්න ගිහින්, සතර අපායට වැටෙන තමන්ගෙ සිත පාලනය කරගෙන ලෝකයෙන්ම එතෙරවෙන්න. ලෝකයම ප්‍රඥාවෙන් සියුම්කර ඔබේ දෑතට ගන්න. සැබෑ පාලකයෙක්‌ වන්න. නැවත ලෝකයට නොඑනා ලෙසින්ම ලෝකයෙන් සහමුලින්ම මිදීයන්න. සැනසිල්ලේ නිවීයන්න. සතියෙන් සිහියෙන් යුතුව, ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ධර්මයද, විනයද යන දෙකම ඔබ කෙරෙන් ආරක්‍ෂාවනු ඇත. ධර්මය සහ විනය පතපොතින් සොයා නොයන්න. නමුත් දැනුම ලැබීමටනම් ඔබ පතපොත නිරතුරුව පරිහරණය කරන්න.

මනුෂ්‍යයෙකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට මෙලොවදී අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨම, උතුම්ම අත්දැකීම කුමක්‌ද කියලා ඔබ දන්නවාද? මේ කියන්න යන වචන පෙළ විශ්වයේ ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළයි. මේ වචන පෙළේ අර්ථය ඉක්‌මවා ගිය සුන්දරත්වයක්‌ මේ විශ්වයේ කොතැනකවත් නොමැත. මේ වචන පෙළේ සුන්දරත්වයක්‌ ඔබ දකින්න නම් ඔබ නිවන් මග වඩන කෙනෙක්‌ම වෙන්න ඕනේ. ඔබ තුළ දැන් කුතුහලයක්‌ තිබෙනවා නේද ඒ සුන්දර වචන පෙළ කුමක්‌ද කියලා දැනගන්න. ඒ මෙයයි.

“ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය”

ඔබ මෙම වචන පෙළ නිතරනිතර සිහිකරන්න. එවිට ඔබට සිතේවී මේ මඟ ගමන් කරන්න. බලන්න ලෝකයේ සැබෑම යථාර්ථය තියෙන්නේ කොතැනද කියලා. සත්වයා යන්නේ මොන මුලාවක්‌ පසුපසද? සත්වයා සුන්දරයි කියලා දකින්නේ කුමක්‌ද?

පුළුවන් තරම් රැස්‌කරන්න. ගොඩගසාගන්න. අවසානයේ සියල්ලම දමා මැරිලා යන්න. දමලා යන දේවල් මමය, මගේය කියලා රැස්‌කරන්න ගිහිල්ලා රැස්‌කරපු අකුසල් නිසා සතර අපායේ බින්න බහින්න.

දරුවන්ට, බිරිඳට රැස්‌කරලා අකුසල් පුරවාගෙන මැරිලා අපාගතවන්න මිනිසා හරිම දක්‍ෂයි.

බලන්න…. අත්හැරීමත්, රැස්‌කිරීමත් අහසයි පොළොවයි වගේ වෙනස්‌ සමීකරණ දෙකක්‌. එතරම් පරතරයක්‌ තිබියදීත් එහි වෙනස ඔබ දකින්නේ නැහැ. ඔබ තුළ තිබෙන අවිද්‍යාව, තන්හාව නිසා දරාගෙන සිටින බර කොපමණද යන්න ඔබට දැනෙන්නේ නැහැ. ඔබ මුළු විශ්වයේම බර දරාගෙනයි සිටින්නේ. විශ්වයේ බරෙන් ඔබ නිදහස්‌ වන්න. එවිට ඔබ ලොව නිදහස්‌ම පුද්ලගයා වෙනවා. “මම, මගේ , අපි, අපේ” කියලා කල්ප කෝටි ගණනක සිට වපුරපු, පුරවපු බර කද ඔබ දරාගෙනයි සිටින්නේ. ඔබ තුළ “මම මගේ” කියලා කෙනෙක්‌ නොමැති බවට ඔබ ප්‍රඥාවෙන් දකින මොහොතේ, මේ බර කද ඔබෙන් ගිලිහෙනවා. මේ බර ඔබෙන් ගිලිහීයාමේදී එය ඔබට හොඳින් දැනෙනවා. ඔබට දැනෙනවා, තේරෙනවා මහා වෙනසක්‌ ජීවිතය තුළ සිදුවූ බව. ඔබ නුවනින් බලනවා, මෙනෙහි කරනවා, ඔබ අවබෝධය ලබනවා, ඔබ තුළින් රාගය, ද්වේෂය, මෝහය නැතිවීගිය බව. ඒ කෙළෙස්‌ ධර්මයන් නැතිවීගොස්‌ තිබුණේ ඒවා තිබූ බවට සලකුණකුදු නොතබාමය. එයයි ආශ්චර්යය ධර්මයේ.

ඔබ සිතන්න අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි ගසක්‌ තියෙනවා කියලා. ඔබ බුල්ඩෝසර කිහිපයක්‌ යොදලා ඒ ගස මුලින්ම උදුරනවා. ඔබ කොතරම් වෙහෙසගත්තත් ඔබට බෑ දශමයක ප්‍රමාණයේ හෝ මුල් කැබැල්ලක්‌ පොළොවේ නොසිටන ලෙස එම ගස ඉවත්කරන්න. මොන ආකාරයක්‌ යොදා ගස ඉවත් කළද පුංචි මුල් කැබැල්ලක්‌ හෝ පොළොවේ තිබෙනවා. නමුත් නිවන් මඟ අවසන් මෙහෙයුමේදී භික්‍ෂුව තුළින් රාගය, ද්වේෂය, මෝහය නිවීයන්නේ ඒවා කිසිකලෙකත් භික්‍ෂුව තුළ තිබූ බවට සලකුණකුදු නොතබාමය. ඉතිරි නොකරය.

එවිට ඔබට දැනෙනෙවා ඔබ මෙතෙක්‌ දරාගෙන සිටි බර ඔබට අයිති දෙයක්‌ නොව, ලෝකයට අයිති දෙයක්‌ බව. තමන්ට අයත් නැති බරක්‌ තමන්ගේ කරගනිමින්, කරගසාගෙන යන මෝහබරිත පෘතග්ජන තත්ත්වයෙන් මිදීමට හැකිවීම ගැන ඔබට සතුටක්‌ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ කළයුත්ත කරගත්තාය කියන හැඟීමයි. ඔබ මෙහිදී ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද ඔබ ජයග්‍රහණයක්‌ නොවේ ලැබුවේ. දිනුම් කණුවක්‌ නොවේ ඔබ පසු කළේ. තව කෙනෙක්‌ පරාජය කළා නොවේ. ඔබ පළවෙනියා වුනා නොවේ. මේ ලෝකයේ පවතින ස්‌වභාවය, යථාර්ථය හඳුනාගත්තා, අවබෝධකරගත්තා පමණක්‌මය.

ලෝකයේ මෙම විජයග්‍රහණය, ජයග්‍රහණය නොසමරනු ලබන, ලොව ශ්‍රේෂ්ඨම, නිහතමානීකම දෝරේ ගලායන ජයග්‍රහණයයි.

ඔබ මෙහිදී කිසිවක්‌ ලබා නැත. සියල්ල අතහැරුණා පමණමය. එය ජයග්‍රහණයක්‌ නොව නිදහස්‌වීමකි. එහෙත් ඔබ බර දරාගෙන සිටින ලෝකයා අතර, ඔවුන්ගේ සිව්පසය ලබමින්, යෑපෙමින් ලෝකයේ බරෙන් සැහැල්ලු වන නිදහස “නිදහසේ” අත්දකිනු ඇත. ඔබ ලබන ඒ උතුම් නිදහස ඔබට මිස වෙනත් බාහිර කෙනෙකුට නොදැනෙනු ඇත. මන්ද මනුෂ්‍යයා දරාගෙන සිටින බර නිසා, අනුන්ගේ සැහැල්ලුවද, නිදහසද ඔහු, ඔහුට බරක්‌ කරගන්නා බැවිනි. බර දරාගත් මිනිසුන් අනුන්ගේ සැහැල්ලුව, තමන්ට බරක්‌ කරගැනීම පෘතග්ජන සිරිතය. මේ ස්‌වභාවය නිසා සත්වයා නොදැනුවත්ව කරගන්නා අකුසල් ප්‍රමාණය අති විශාලය.

ලෝකයේ බරෙන් ඔබ නිදහස්‌වන්න. නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියාදෙන්න. ලෝකයත්, සිතේ ස්‌වභාවයත් අනිත්‍ය පමණක්‌ම බව දකින්න. සිත අනිත්‍ය බව අවබෝධකර ගන්න. එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්‌වභාවය ඔබට අවබෝධවේවී. සිත අතහරුණවිට, ඔබට ලෝකයද අතහැරෙනු ඇත.