ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌….

ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ පෙරුම් පුරා පැමිණියද සිද්ධාර්ථ කුමරාට වයස අවුරුදු 29 වන තෙක්‌ එතුමා ඉලක්‌ක කරගෙන පැමිණි පාරමී ගමනේ අරමුණ ගැන දැනීමක්‌ හැඟීමක්‌ නොදැනින. කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙරනිමිති දැකීමත් සමඟය. එතෙක්‌ කුමරා ගතකළේ සිය පියා විසින් නිර්මාණය කරන ලද, සැලසුම් කරන ලද දුක නැති සමාජ පරිසරය තුළ කෙළිලොල් ජීවිතයක්‌ය. ධර්මය සොයාගෙන ගිහි ජීවිතයෙන් නික්‌මුණ කුමරා මුලින්ම කළේ සියල්ලම අතහැරීමය. යශෝධරාව, රාහුල කුමරු, රාජ සම්පත් සියල්ලම අතහැරියේය. ප්‍රථම අදියර එය විය. සියල්ල අතහැරලා කැලයටයි ගියේ. පරිසරයට, ස්‌වභාවධර්මයට ගිහින් මොකද කළේ?

කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා…. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.

මෙවැනි පරිසරයක කුමරා ගිය මඟ කුමක්‌ද? ඔබ නිවීසැනසිල්ලේ සිතන්න. සිතමින් අවබෝධය ලබන්න. කුමරා කැලයට ගොස්‌ බලාගෙන සිටියා පරිසරය, ස්‌වභාවධර්මය දෙස. ඇතිවෙන නැතිවෙන සිතිවිලි දෙස. වෙන බලන්න දකින්න දෙයක්‌ කැලයේ තිබුණේ නැහැ. කුමරා දැක්‌කා උදයට හිරු පායනවා. සවසට හිරු බැස යනවා. රාත්‍රියට සඳ පායනවා. උදේට සඳ බැසයනවා. වැස්‌ස වහිනවා. පායනවා. පින්න, සීතල, සුළඟ, වලාකුළු, දේදුණු එනවා යනවා. නියඟය එනවා, ගංවතුර එනවා. එකම දේ නැවත නැවත සිදුවනවා. ගස්‌වල දලුලනවා, කොළ බවට පත්වෙනවා, වියෑළෙනවා, වැටෙනවා, නැවැත නැවැත ඒ දේම සිද්ධවෙනවා. මල් එනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා, බිමට වැටෙනවා, පැළවෙනවා, පැළය ගසක්‌ වෙනවා, එකම දෙය නැවත නැවතත් වෙනවා. හිස රැවුල කපනවා. එය නැවත නැවත සිද්ධ වෙනවා. කුසගිනි දැනෙනවා. ආහාර ගන්නවා. එය නැවත නැවත සිදුවෙනවා. ශරීරයේ හැම ස්‌වභාවයක්‌ම, පරිසරයේ හැම ස්‌වභාවයක්‌ම නිත්‍ය භාවයේ නොපැවතී අනිත්‍යභාවයට පත්වෙනවා. බෝසත් කුමරුන් කැලයේ සිටිමින් දකින්න ඇත්තේ ඔය ස්‌වභාවයයි. වෙන දකින්න දෙයක්‌ කැලයේ නැහැ. එහෙම නම් ඉහත පරාසය තුළ ධර්මයේ අර්ථය තිබෙන්න ඕනේ. සියල්ල අතහැරීම තුළ බෝසත් කුමරුන්ගේ සැහැල්ලු, නිකෙලෙස්‌ සිත නිරතුරුවම සමාධිමත්ව තිබීම නිසා ඉහත ස්‌වභාවයන් ඉතා හොඳින් බෝසත් කුමරුන්ට පෙනෙන්නට, දැනෙන්නට ඇත. බෝසත් කුමරුන් සම්මා සම්බුද්ධ පදවිය අවබෝධ කරගන්නා මොහොත දක්‌වාම උන්වහන්සේ අවබෝධය ලැබුවේ ස්‌වභාවධර්මය, පරිසරය තුළින්මය.

ස්‌වභාවධර්මයත්, තමාගේ කයත්, සිතත් දෙස අත්හැරීමෙන් සමාධිමත් වූ සිතින් බැලීමේදී, අනිත්‍ය හැර වෙනත් ස්‌වභාවයක්‌ මෙහි නොමැති බව උන්වහන්සේ දකින්නට ඇත. ඔය මඟ තමයි අපගේ ශාස්‌තෲන් වහන්සේ නිවීම සඳහා ගිය මඟ. අබුද්ධෝත්පාද කාලවලදී පහලවන පසේ බුදුරජාණන් වහන්සේලාද ධර්මය අවබෝධ කරගන්නේ ඉහත බුදුමඟ අනුගමනය කරමින්ය. ඔබේ අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන සැප, කෙටි, දුර, කල්මරණ මාර්ග සිතේ අනිත්‍ය බව දකිමින් අතහරින්න. සැබෑ බදුමඟ ඔබ ගමන් කරන්න. කිරි ගසකට ඇනීමේදී යම්සේ කිරි වෑහේද, ඉහත බුදුමඟ ඔබ ගතහොත් නිවීම ඒකාන්තය. මන්ද එය බෝසතුන් වැඩි මඟ නිසාය. ධර්ම විනය දෙක යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේද ඉහත මාර්ගයමය. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. විනය යනු සතියයි, සිහියයි. එහි අර්ථය සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න යන්නයි. ශාසනය තුළ මුල් දශක දෙක තුළදී, විනය පැනවීමකින් තොරව සංඝරත්නය හික්‌මුණේ උන්වහන්සේලා සතියෙන් යුක්‌තව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසාය. එහි ප්‍රතිඵලය ධර්මාවබෝධයයි. පසු කාලීනව සංඝරත්නය සතියෙන් තොරව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසා සතිය සිහිය ඇති කිරීමට විනය පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.

ඔබ දක්‍ෂවෙන්න සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ඔබ දකින්නේ ධර්මයේ ස්‌වභාවයයි. ධර්මයේ ස්‌වභාවය, වෙන දෙයක්‌ නොවේ. අනිත්‍යය පමණමයි. ස්‌වභාව ධර්මයත්, ඔබත් දෙකක්‌ නොව එකකි. දෙකම නිර්මාණය වී ඇත්තේ ඝණ, ද්‍රව, උණුසුම්, වායු ධාතූන්ගෙන්ය. මේවායේ ස්‌වභාවය අනිත්‍යයයි. ස්‌වභාවධර්මයත් ඔබේ කයත් දෙකම ඉහත ධාතූන්ගෙන් සැදි නිර්මානයන්ය. ඇසට නොපෙනෙන, ප්‍රඥාවෙන් පමණක්‌ දැකිය හැකි ප්‍රවේගකාරීව අනිත්‍යභාවයට පත්වන ඉහත ධාතූන්, අනිත්‍යතාවයට පත්වන වාරයක්‌ පාසාම අවකාශ ධාතුවක්‌ද ඇතිකරවයි. එම අවකාශ ධාතුවද ධාතූන් ඇතිවන නැතිවන මොහොතක්‌ පාසාම අනිත්‍යභාවයට පත්වේ. මේ සියල්ලම ශීල, සමාධි, මඟ ඉක්‌මවාගොස්‌ ප්‍රඥාවෙන් දකින ධර්මයෝය. ස්‌වභාවධර්මය ලෙසත්, කය ලෙසත් අපි දකින්නේ විවිධත්වයෙන් යුතු හැඩයන්, වර්ණයන්, ස්‌වභාවයන් ලෙසින් එකිනෙකට වෙනස්‌ ධාතු කොටස්‌ හතර පමණකි.

ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නාමයකින් හඳුන්වාගනී. එහෙයින් ඔබ ස්‌වභාවධර්මයත් කයත් එකගොඩකට දමන්න. මේවා ක්‍රියාත්මකභාවයට පත්වන සිත දෙස බලන්න. සිත තුළද ඔබ දකින්නේ අනිත්‍ය ස්‌වභාවය පමණක්‌මය.

බාහිර රූපත් අභ්‍යන්තර ආයතනත්, විඤ්ඤාණයත් පස්‌සය වීමෙන් සකස්‌වෙන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය. එහෙයින් මේ සියලු ධර්මයෝ අනිත්‍ය ධර්මයෝය.

ඔබ කළයුත්තේ මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් යුක්‌තව බලා සිටීමම පමණකි. එවිට ඔබ තුළ නිරායාසයෙන්ම වැඩෙන්නේ සතර සති පට්‌ඨානයයි. සතර සතිපට්‌ඨානය නිවන් මඟේ නිවීමේ තීරක බලවේගයයි. කාය, චිත්ත, ධම්ම, වේදනා යනු ලෝකයයි. සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් දැකීම යනු ධර්මාවබෝධයයි. ලෝකාවබෝධයයි.

ඔබ සියල්ල අතහරින්න. අනිත්‍ය වූ රූපය දෙස අනිත්‍යවූ සිතෙන් බලාසිටින්න. එවිට ඔබට සියල්ල ලැබේවි. ඒ සියල්ල ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.