ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.

තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක්‌ මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා ‘මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය’ කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස්‌ කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා.

මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ.

වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක්‌ පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.

මෙය සටහන් තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක්‌ ඉන්නවා. ඔහු විවාහකයෙක්‌. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක්‌ ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි කරගත් අයෙක්‌. දිනක්‌ මේ මහත්තයා කියනවා ‘දරුවන්ගේ අකීකරුකම් නිසා, මගේ බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය අමතක වෙනවා. හැබැයි මම කියලා කියලා දැන් හුඟක්‌ අඩුවෙනුයි කේන්ති ගන්නේ’ කියලා.

දවසක්‌ ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක්‌ වශයෙන් කියලා තියෙනවා ‘ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා’ කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු.

බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ.

ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක්‌ කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම….

එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.

‘අනිච්ජාවත සංඛාරා’ සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක්‌ වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි ලෝකයේ තිබෙන සංකීර්ණභාවයට, අධිවේගීභාවයට හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න ‘මම මැරෙණවා’ය කියන කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ පිංකම්…. සාම්ප්‍රදායික මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න. එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය අනුන්ගේ පිං ගොටුවකින් යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න.

කෙනෙක්‌ මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර ඇත්දැකීමක්‌. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය. මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක්‌ පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි.

බලන්නකෝ මරණයක තිබෙන වටිනාකම. අපි මරණය අඩු ලංසුවෙන්, අසුබ ලංසුවෙන් සැලකුවත්, බලන්න, මරණයක ඇති ගාම්භීරත්වය, ප්‍රෙෘඩත්වය. කොටින්ම එය මරණයක්‌ නොව නිවී යැමකි. ඔබට මට නොදැනුනාට, රහතන්වහන්සේගේ මරණය අභියස ලෝක ධාතුව කම්පා වෙයි. ලෝක ධාතුව කම්පාවන්නේ, රහතන්වහන්සේ අවබෝධ ඥාණයෙන් ලෝක ධාතුව කම්පාකළ අයෙකු හෙයිනි. අයෝමය සතරමහා ධාතුව විනිවිද දකිමින් අවබෝධ කළ හෙයිනි. මුළු ලෝක ධාතුවම අනිත්‍යාවබෝධයෙන් හෙළිකොට ගෙන, මුලාව විනිවිද අවබෝධය කරා ගිය හෙයිනි. ඔහුට ලෝකය තවත් හිස්‌ දෙයක්‌, ඵලයක්‌ නැති දෙයක්‌ පමණක්‌මය.

මේ තරම් අර්ථවත් මරණයක්‌ ධර්මය තුළ තිබියදී, තුණ්‌ඩු කෑල්ලක නම ගම ලියා පරදත්තරූප ජීවී ප්‍රේත ප්‍රේතියන්ට පිංදෙමින් අපි මරණයට මොන තරම් අවනම්බුවක්‌ ද, අගෞරවයක්‌ ද කරන්නේ. හිතන්න. ඔය සාම්ප්‍රදායික තුණ්‌ඩු කැබැල්ල බිමින් තියලා ‘මට නම් ඔය අනුන්ගෙන් පිං ගන්න මරණයක්‌ එපා’ය කියලා. ශ්‍රද්ධාව, වීර්යය මදභාවය නිසා එච්චර හිතන්න බෑ කියමුකෝ. ඉන් මෙහා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීලයෙන් පරිපූර්ණ පිංවතා, පිංවතිය මැරෙන්නේ සිහිනුවණින් සාධුකාර දෙමින්ය කියලා. කවුද මේ ශීලයෙන් පරිපූර්ණ පිංවතා? ඒ සතර අපායෙන් මිදුණ පිංවතායි. මරණින් මතු ඔහු ලබන උපත මොන තරම් ශ්‍රේෂ්ඨ උපතක්‌ වේවි ද? ඇයි අපි එවැනි මරණයකට සූදානම් නොවන්නේ.

ලොකු හෝටලයක තිබෙන මඟුල් උත්සවයකට අඳින සාරිය ගැන හිතනතරම්වත් අපි මරණය ගැන හිතන්නේ නැහැ. ඒකෙන් අදහස්‌ වෙන්නේ, සාරිය ගැන ඔච්චර හිතන්නේ සාරිය දවටගන්න ඔය කය, මරණයට පත්වෙන කයක්‌ කියලා නොසිතනා එකමයි. පිංවත් ඔබට මරණය අමිහිරි අත්දැකීමක්‌. අනුන්ගේ මරණය ගැන කථාකරන අපි තමාගේ මරණය ගැන සිතීමටත් බිය වෙනවා. අසුන්දර මරණයක්‌ අභියස ඇති අසුන්දර කථන්දරය වගේම සුන්දර මරණයක්‌ අභියස ඇති සුන්දර නව ජීවිතය මොන තරම් චමත්කාරජනකද? ලෙඩ ඇඳේ ජීවත්වන අවුරුදු හැත්තෑපහේ මහළු පිංවතා ද යදින්නේ ජීවිතයයි. ඔහු තුළ ඇත්තේ ද ජරා, ව්‍යාධි, මරණ පමණක්‌මය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ජීවීතයයි. ධර්මය සරණ කර නොගත් පුද්ගලයා නිරතුරුවම සැප – දුක පටලවාගනී. දුක, සැපයක්‌ කරගන්නා ඔහු සැබෑ සැපයට බියවෙයි. සැබෑ සැපයට අපතුළ බිය සකස්‌ කරන්නේ අකුසලයයි.

පිංවත් ඔබ, මරණයට වටිනාකමක්‌ ලබාදීම උදෙසාම, මරණින් මතු හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වෙන නව ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක්‌ ලබාගැනීම පිණිසම මේ සටහන උපයෝගි කරගන්න. මෙය කියවා ඔබ තුළ ජවයක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න. රහතන් වහන්සේගේ, රහත් භික්‍ෂුණීන් වහන්සේ නමකගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකරගන්න. මාර්ගඵලලාභී උපාසක, උපාසිකාවගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න.

මේ සටහන් තබන වේලාව රාත්‍රී 1.30යි. නින්ද අහලකවත් නැහැ. පංච නීවරණ පළාගොසින්. සද්ධර්මයට ඇති හිරිඔතප් දෙක නිසා අදහස්‌ එනවා, දෝරෙගලාගෙන. භික්‍ෂුව ඒ අදහස්‌ ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්නේ නැහැ. පිංවත් ඔබගේ යහපත උදෙසාම… පිංවත් ඔබලාට නොදන්නා යමක්‌ දැනගැනීම උදෙසාම…. මේ ගලා එන්නේ අදහස්‌ නොව කරුණාවයි. මේ කරන්නේ සටහනක්‌ තැබීම නොව ධර්මයේ සංදිට්‌ඨික ගුණයේ අර්ථයයි. මේ මධ්‍යම රාත්‍රිය ගෙවී උදාවන අලුයම ආකාශය සිසාරා සියුම් සංගීත රාවයක්‌ පැතිරෙනවා. හොඳින් අවධානය යොමු කරන විට ඒ දිව්‍ය සංගීතයයි. සංගීත හඬ, ජයමංගල ගාථාවල සංගීත ස්‌වරයයි. සංගීත ස්‌වරය බොහොම පැහැදිළියි. ඒ කියන්නේ දෙවියන් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා සිල්වත් ලෝකයාට ප්‍රර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දෙවියන් ඒ ආකාරයට ආශිර්වාද කරනු ලබන දිව්‍ය සංගීත හඬ ඇසෙනවිට භික්‍ෂුවට හොඳටම විශ්වාසයි මේ මොහොතේ භික්‍ෂුව අපවත් නොවෙන බව. අතීත සංස්‌කාරයන් තව ගෙවීමට ඇති නිසයි මේ මොහොතේ ජීවත්වෙන්නේ. නමුත් මීළඟ නිමේශයේ දිව්‍ය තල වලින් ශෝකී සංගීත රාවයක්‌ භික්‍ෂුවගේ ශ්‍රොත වලට ඇසුණහොත් භික්‍ෂුව අනිවාර්යයෙන්ම දන්නවා තමා දැන් මරණයට සූදානම් වෙන්නේ කියලා.

බලන්න මොනතරම් ආශ්චර්යමත් ධර්මයක්‌ද ඔබ ඉදිරියේ තිබෙන්නේ කියලා. මෙයයි ධර්මයේ සංදිට්‌ඨික ගුණය. තමා ජීවත්වන බවත්, තමා මැරෙන මොහොතත් දැනුවත්වයි ඔහු ජීවත්වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්‌සතියෙන් පරිපූර්ණ නම් ඔබ මැරෙණ මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය තලයකට. බලන්න. මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්‌ද? මරණය කියන කාරණය මොන තරම් සුන්දර මංගල්‍යයක්‌ද? පිංවත් තරුණ ඔබ දෑඟිලි බැඳලා, අත්පැන් වත්කරලා, පෝරුවට නැගලා, ජයමංගල ගාථා කියවලා මංගල්‍යයක්‌ කරගතහොත් ඒ බැඳුණු මොහොතේ පටන් ඔබ මොන දුක්‌කන්දරාවක්‌ද විඳින්නේ. ‘මම’ කියන දුක වෙනුවට තව ‘මගේ’ කියන දුක්‌ කීයක්‌ කරගහගන්න සිද්ධවෙනවාද? පිංවත් ඔබ බැඳෙන සාම්ප්‍රදායික මෝහ මූලික බැඳීම් මංගල්‍යවලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය ඔබේ සහකරු, සහකාරිය කරගතහොත් එයයි සැපයම ඉතිරිය කරගත් සැබෑම මංගල්‍යය. අපි ‘මරණය මරණය’ යෑයි අඳෝනා තැබුවද, ධර්මයට අනුව මෙතැන මරණයක්‌ නැහැ. පුද්ගලයෙක්‌ මැරෙණ නිමේශයේම ඊළඟ ප්‍රතිසන්ධිය සකස්‌කර ගන්නවා. රැස්‌කර ගන්නා වූ සංස්‌කාරයන්ට අනුරූපීව. අපි මෝහය නිසා කුණුවෙන මළකුණක්‌ එම්බාම් එකෙන් සරසවලා, ඒකට මඟුල් ඇඳුම අන්දවලා අඬනවා, වඳිනවා, විලාප තබනවා. අපි මේ විලාප තබන්නේ ඒ මොහොතේ භවයේ කොතැනක හෝ උපත ලබා ඇති සත්වයෙක්‌ වෙනුවෙන්. අන්න ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මළකුණකට වටිනාකමක්‌ නොදී මරණින් මතු ලබන භවය සැපවත්කර ගැනිම උදෙසාම මාර්ගය කියා දෙන්නේ. මෙතැනදීත් අපිට පැහැදිළියි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මරණය ගැනම කථා කරන ධර්මයක්‌ නොව, මරණින් මතු සැපයටම මාර්ගය කථා කරන ධර්මයක්‌ කියලා. පිංවත් ඔබයි මෝහ මූලිකව මරණයක්‌ බදාගෙන ධර්මයේ නැති දුකක්‌ උපදවා ගන්නේ, තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම….

ශ්‍රද්ධාව අඩු පිංවතුන් නිරතුරුවම මැසිවිලි නගනවා, සද්ධර්මයට එරෙහිව. ‘බුදුරජාණන් වහන්සේ දුක ගැනමයි කියන්නේ’ කියන කාරණය ‘ධර්මයට අනුව ගියොත් අපට අඹුදරුවන්, දේපල තනතුර අත්හරින්නයි වෙන්නේ’ කියන කාරණය. නමුත් ගිහි පිංවතුන්ලාට ධර්ම මාර්ගයට අදාළව ඉහත කාරණා කිසිවක්‌ අතහරින්න යෑයි කොතනකවත් දේශනා කරලා නැහැ. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉහත සැප සම්පත් පරිහරණය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ. නමුත් පිංවත් ඔබ අත්හැරීමට ගන්නා උත්සහයේ තරමටම දුක අඩු වෙනවා කියන කාරණය ප්‍රකාශ වෙනවා. පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතරම මෙනෙහි කරමින් ජීවත්වෙන්න කියලා කියන්නේ, පිංවත් ඔබට මරණය පෙර සඳහන් කළ පරිදි මංගල්‍යයක්‌ කරගන්න මිස හඬමින් විලාප තබමින් කරන අවමංගල්‍යයක්‌ තත්ත්වයට පත්කර ගැනීමට නොවේ. පිංවත් ඔබ මරණයට පෙර සූදානම් වුවහොත් පමණයි ඔබට මරණය මංගල්‍යයක්‌ කරගන්න අවකාශ ලැබෙන්නේ. එම මරණය නැමැති මංගල්‍යයේදී සශ්‍රික දිව්‍යතල වල දෙවියන්, දිව්‍යාංගනාවන් ජයමංගල ගාථා සංගීත ස්‌වරය නගමින්ම ඔබව දිව්‍ය තලවලට පිළිගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ කුණු, ජරා, ව්‍යාධි මරණ සැපය වගේද පිංවතුනේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළින් ඔබට පෙන්වන ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ පංචඋපාදන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන සැපය. ධර්මයෙන් පිංවත් ඔබට කථාකරන්නේ ඉහත මංගල්‍යයක්‌ වන මරණය නමුත් ශ්‍රද්ධාව අඩු පිංවතුන් ‘මරණය’ ලෙස දකින්නේ මොන තරම් මෝහ මූලික දෘෂ්ඨිගත මරණයක්‌ද?