භික්‍ෂුවට ඇසෙනවා සර සර ගාන හඬක්‌. ඒ හඬ නිතරම ඇසෙන්නේ කුටිය අසල ගැවසෙන තලගොයාගෙන්. එම සතා නිතරම වියළි කොළ වැටුණු පොළවට ඉව කරමින් කෑම සොයනවා. පොළව හාරන සෑම තැනකින්ම අනිවාර්යෙන්ම ගැඩවිල් පණුවෙක්‌, පත්තෑයෙක්‌, ගෝනුස්‌සෙක්‌ ඩැහැගන්නවා. තලගොයා මේ සෑම සතෙක්‌ම මරාගෙන කන්නේ මරණීය ෙච්තනාවක්‌ ඇතිකරගෙනමයි. මේ තලගොයා තුළත් මනුස්‌සයාට වගේම පංචඋපාදන්ස්‌කන්ධයක්‌ සකස්‌වෙනවා. නමුත් මේ සතා මේ ධර්මතාවයන් ගැන දන්නේ නැහැ. ඔහු ප්‍රමාදයට පත්වෙලා. කුමක්‌ නිසාද මේ ප්‍රමාදභාවය සකස්‌වුණේ. පෙර ජීවිතයේ ශීලයේ දුර්වලතාවය නිසාමයි. මේ සතාට කර්මය කරමඵල විශ්වාසය නැහැ. නමුත් මරණීය ෙච්තනාව සකස්‌ වෙනවා. තලගොයා ගිල දමන සෑම සතෙක්‌ පාසාම තලගොයාට ප්‍රාණඝාත අකුසලය සිද්ධවෙනවා. ඒ වගේමයි තලගොයාට ගොදුරුවී මියයන සෑම සතෙක්‌ටම එම සතා කළාවූ අකුසලයක්‌ විපාක දෙනවා. කෙනෙක්‌ අකුසල් සංස්‌කාරයන් උපද්දවා ගන්නකොට තව කෙනෙක්‌ අකුසල් සංස්‌කාර ගෙවනවා. මේකට තමයි ලෝකය කියන්නේ. කෙනෙක්‌ උපද්දවනවා තව කෙනෙක්‌ ගෙවනවා. කඳුළ සිනහව දෝලනය වන ලොවක අපි සැපම සොයනවා.

මේ තලගොයාම පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් ඉපදිලා සිටියදී තේරුම් නොගත් දෙය තලගොයෙක්‌ වෙලා කෙසේනම් තේරුම් ගන්නද? මේ තලගොයා තව කල්ප ගණනාවක්‌ම අකුසල් කරමින්ද කළාවූ අකුසල්වලට විපාක විඳිමින්ද භවයේ ගමන් කරනු ඇත. මේ තලගොයාගේ ජීවිතය තුළ සැඟවී ඇති භවගමනේ අන්තරාකාරී බව ඔබ නුවණින් මෙනෙහි කිරීමට දක්‌ෂ වුවහොත් එය ඔබට මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීමට අවබෝධය සකස්‌ කරනු ඇත.

පිංවතුන්ලා මුලින්ම කරන්නට යන්නේ භාවනා කිරීම. ඔතනදී තමයි අපි වරද්දගන්නේ. මුල්ම කාරණය ලෙසින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගන්න. දෙවැනිව ශීලයක්‌ ආරක්‌ෂා කරගන්න. මේ කාරණා දෙක පරිපූර්ණ නැතිව විදර්ශණා භාවනාවක්‌, සමථ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. නිසියාකාරව තෙරුවන් කෙරෙහි සද්ධාව තූළින්, ශීලය තුළින් පිංවත් ඔබ පිරිසිදුභාවයට පත්වෙලා ඕනේ භාවනාවකට යොමුවෙන්න. ඔබ තුළ ඒ පිරිසිදුභාවය සකස්‌වෙලා නැතිනම් භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. භාවනාව නාමයෙන් සක්‌කායදිට්‌ඨියමයි, මාන්නයමයි වැඩෙන්නේ.

මෙතැන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවේ පිහිටීම කියන කාරණය නිවැරුදි අර්ථය තේරුම් අරගෙන නැහැ. භික්‍ෂුව දන්න භාවනා උපදේශක මහත්මයෙක්‌ සිටියා. ඔහු විශාල පිරිසකට භාවනා පංති පවත්වන භාවනා ගුරුවරයෙක්‌. මේ භාවනා ගුරුවරයා බාහිරට නොපෙනෙන්න උදරය හරහා සුදු නූලක්‌ (ආරක්‌ෂාවක්‌) දමාගෙනයි සිටින්නේ. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ ඔය ශරීරයට සුදු නූලක්‌ දමාගෙන ඉන්නේ කියලා. මේ භාවනා ගුරුවරයා කියනවා ‘මට හරියට සතුරු කරදර තිබෙනවා. ඒකට ආරක්‍ෂාවක්‌ කරලයි මේ නූල දැම්මේ’ කියලා. බලන්න මේ භාවනා ගුරුවරයා අඩුම වශයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවවත් ඇතිකෙනෙක්‌ නොවේ. මොහු රැවටීම තුළයි ජීවත්වෙන්නේ. අවංකවම මොහු දන්නේ නැහැ මොහු තුළ සද්ධාව පිහිටල නැහැ කියන එකවත්. එය හරිම අවාසනාවක්‌. ඔහුත් රැවටිලා තම ගෝලයනුත් රවට්‌ටලා. සසර මෙතුවක්‌ කලක්‌ අපට වැරදුන ලොකුම තැන තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවේ සැබෑම අර්ථය හඳුනා නොගත් කාරණය. යමෙක්‌ අන්‍යශීලවෘත වලට ගරුකරනවා නම්, මිථ්‍යාදෘෂ්ටික මාර්ගය ඔස්‌සේ ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවානම්, තෙරුවන්ගේ ගුණයන් කෙරෙහි විචිකිච්චාව ඇතිකරගෙන තිබෙනවා නම්,ඔවුන් ගිහිපැවිදි කවුරුන් වුවද තවමත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණ නැති බව, තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාම පිළිගත යුතුය. ඔබ තුළ ඇත්තේ අමූලිකාසද්ධාවකි. මෝහය මුසු, නිරතුරුවම අභියෝග හමුවේ වෙනස්‌වන සද්ධාවකි. සමාජය පුරා යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම්, කේන්ද්‍ර, ගුරුකම් ව්‍යාපාරයක්‌ කරගනිමින් ජීවත්වෙන, ඒවායේ ප්‍රතිලාභයක්‌ ලබන ලක්‍ෂ කීයක්‌ ඉන්නවාද? ඒ සෑම දෙනෙක්‌ම ඉහත අභියෝගය තුළ ජීවත්වන බව සද්ධර්මයේ නාමයෙන් සටහන් කළ යුතුව ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සුත්‍රදේශනා කියවීමෙන් ඉහත කාරණය ගැන නිවරැදි වැටහීමක්‌ ලබාගත හැකිය. නමුත් මේ නිවරැදි භාවයට පත්වීම ලෝකයේ ඇති දුර්ලභම දෙයක්‌ වනු ඇත. මේ උතුම් ශාසනයක්‌ මුණගැසුණ මොහොතේ එවන් දුර්ලභ මනුෂ්‍යයෙක්‌ වීමට පිංවත් ඔබත් උත්සහ ගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණීමට පිංවත් ඔබ අන්‍ය ශීලවෘතයන් කෙරෙහි, මිථ්‍යාදෘෂ්ටික ක්‍රමවේදය කෙරෙහි ඇති බැඳීම් වලින් වහා වහා මිදෙන්න. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, ශිල්වත් භාවයෙන්, මෛත්‍රීයෙන්, දානය තුළින්ම, සතුරු කරදර මඟහරවා ගන්න. ජීවිතය ඉදිරියට පැමිණෙන ප්‍රශ්න කම්කටොළු සංස්‌කාරයන්ගේම ස්‌වභාවයක්‌ හැටියට දැකීමටත්, ඒවාම කමටහන් කොටගෙන ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමටත් උත්සහගන්න. මෙය සටහන් තබන භික්‍ෂුවට ගිහි ජීවිතයේදී විඳීමට සිදුවුණ ප්‍රශ්න, බලාපොරොත්තු කඩවීම්, දුක්‌ කම්කටොළුවල ජයග්‍රාහී ඵලය මේ භික්‍ෂූත්වය බව ඔබට සිහිපත් කරමි. ප්‍රශ්න අපේ ජීවිතය ඉදිරියට එන්නේ එම ප්‍රශ්න අපේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගන්නමයි. එම නිසා ප්‍රශ්ණ තුළින් ධර්මයේ යථාර්ථය දකින්න. ජීවිතය කියන්නේ පිළිතුරු සොයා නොගත් ප්‍රශ්නයක්‌. එහෙමනම් ප්‍රශ්නවලින් මිදෙන්න ඔබට බැහැ. ජාතිය කෙටිකරගන්න දිශාවටයි ඔබ ගමන් කරන්නේ. ජීවිතය ඉදිරියට පැමිsණි ප්‍රශ්න නිසා මේ භික්‍ෂුව ගිහි ජීවිතයේදී කොච්චරනම් ලෝකයට හොරෙන් තනිවම හඬලා ඇතිද? පැය ගණන්, දවස්‌ ගණන් හිස කකියන තුරාවට කල්පනා කරලා ඇතිද? දේවාල කෝවිල් වලට කොච්චර යන්න ඇතිද? මේවා සටහන් තබන්න භික්‍ෂූවට ලැඡ්ජාවක්‌ නැහැ. නමුත් මේ කිසිවකින් ප්‍රශ්නයට පිළිතුරක්‌ නොලැබෙනකොට මම අවසානයේ ගියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට. උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මරත්නය හමුවට. එතැනදියි මම අවබෝධකර ගත්තේ දුක කියන්නේත්, සැප කියන්නෙත් මට අයිති දෙයක්‌ නොවන බව. මගේ වසඟයේ තබාගත හැකි දෙයක්‌ නොවන බව. හේතුවක්‌ නිසා සකස්‌ වෙන දෙයක්‌ බව. තෘෂ්ණාවමයි හේතුවුණේ දුකට. රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. දුක එතකොට මැරිල යාවි. තෘෂ්ණාව නොමැරුණොත් ඔබ මැරුණත් දුක ඔබේ පසුපසින් ඒවි. දුක ඇති තැන තෘෂ්ණාවයි ඔබ අවබෝධ කරගත යුත්තේ. දුක කියන්නේ අවබෝධ කිරීමෙන් පමණක්‌ නැති කළ හැකි දෙයක්‌මයි.