තවත් වරක් භික්ෂුව ගම්මානයක ජීවත්වෙනකොට එම ගමේ අතීතයේ සිට සකස්කොට තිබු දානය ලබාගැනීමේ ක‍්‍රමයේදී ගමේ හැමෝටම දානය දීමේ අවස්ථාව ලැබී තිබුණේ නැහැ. එම නිසාම දානය නොමැති පිංවතුන්ලා අමනාපයෙන් සිටියේ. ගම්වල පැවතෙන සම්ප‍්‍රදාය වෙනස් කරන්න අපි යන්නේ නැහැ. තිබෙන ක‍්‍රමය තුළ හැකිනම් ගමේ ඉන්නවා. එම ක‍්‍රමය ගැටළු සහගත නම් ගමෙන් පිටවී යනවා. දවසන් එම ගමේ පිණ්ඩපාතයේ වඩිනකොට බෞද්ධ කාන්තාවන් දෙදෙනෙක් භික්ෂුව වඩින පාරේ අනෙක් පැත්තෙන් වැවට දිය නෑමට යනවා. භික්ෂුව බිම බලාගෙනයි වැඩියේ. ඉන් එක කාන්තාවක් අනෙක් කාන්තාවට කියනවා ‘දානය වැරදිලාවත් අපේ ගෙදරට ආවොත් බල්ල ලිහනවා’ කියලා. භික්ෂුව ඒ වෙලාවේ තේරුම් ගත්තා මේ කාන්තාව හුඟාක් කේන්තියෙන් ඉන්නේ කියලා. නමුත් භික්ෂුව ගමෙන් පිටවෙන්න පෙරාතුව එම කාන්තාවගේ නිවසට පිණ්ඩපාතය ලබාගැනීම සඳහා වැඩියා. ඇය නිවස තුළට ගොස් බත් ගෙනත් පූජා කළා. භික්ෂුව ඇයට පිං අනුමෝදන් කළා. එහෙත් ඇය අත්දෙක එක්කොට වැඳගෙන සිටියේවත් නැහැ. ඇය භික්ෂුව හාස්‍යයට ගත්තා කියලා භික්ෂුවට සිතුනා. භික්ෂුව බොහෝම කරුණාවෙන් පිං අනුමෝදන් කරලා ගෙදර කඩුල්ලෙන් පිටවුණා. ඒ ගෙදර හිටපු ඇතිකරන බල්ලා එදා බැඳලා සිටියේ නැහැ. නිදැල්ලේ ආලින්දයේ සිටියා. ඒත් ඒ බල්ලා භික්ෂුවට බිරුවේවත් නැහැ. ඒ වේලාවේ භික්ෂුවට සිතුනා ගෙදර පිංවත් නෝනා තරම් ගෙදර හදන බල්ලා සැර නැහැය කියලා. භික්ෂුව ඇයගේ දෙපා අසලටම වැඩියත් ඇයගේ ද්වේශ සහගත සිතිවිලි නිසාම ඇයට ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගත්තේ නැහැ. එහෙත් භික්ෂුව තමන්ට ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තා. ගෙදර ආවොත් බල්ලා ලෙහනවා කියලා අදාළ කාන්තාව කියනවා ඇසිලාත්, ඇයට මෛත‍්‍රිය කළා.

පිංවත් ඔබ පරිස්සම් වන්න. දුශ්ශීලභාවය නිසාම, සකස්වන ද්වේශය හරිම භයානකයි. අපට ලැබෙන වටිනා අවස්ථාවන් අපට අහිමි කරනවා. ද්වේශය සකස්වෙන්නේම සක්කාය දිට්ඨිය නිසාමයි. ලෝකයාගෙන් ප‍්‍රතිචාර ප‍්‍රශංසා වැඩිවෙන්න වැඩිවෙන්න අපේ ජිවිත වලට වේගයෙන් සක්කා දිට්ඨිය කාන්දු වෙනවා. මේ අවදානම නිරතුරුවම මනුෂ්‍යයාව ධර්මානුකූලව ජිවිතය දෙස බැලීමේ අවස්ථාව අතපසුකොට දමනවා. එම නිසා අපි නිරතුරුවම දක්ෂවෙන්න ඕනේ අපිට ලැබුණ අවස්ථාවෙන් උපරිම ධර්මානුකූල ප‍්‍රයෝජනය ගන්න. එසේ නොවුනහොත් ජිවිතයේ අනිත්‍යභාවය නිසා එවැනි අවස්ථාවක් ඔබට නැවත නොලැබෙන්න පුළුවන්.

බුදුරජාණන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ගමක පිණ්ඩපාතයේ හැසිරෙනකොට ගිහි පිංවතුන්ලා සමඟ කටයුතු කරන කොට හඳ වගේ හැසිරෙන්න කියලා. හඳ කවදාවත් එකම තැනක නැවතිලා සිටින්නේ නැහැ. හඳ හැමදාමත් හවසට නැගෙනහිරින් මතුවෙලා, බටහිරින් බැසයනවා. එම ගමන තුළ හඳ කොතනකවත් නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්වහන්සේලාටත් ඔබලා හඳ වගේ වෙන්න කියන්නේ ඒ අර්ථයෙන්. හඳ කිසිම තැනක නැවතිලා ඇලිලා ප‍්‍රමාදවෙලා ඉන්නේ නැහැ. නැවතත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ගැඹුරු ප‍්‍රපාතයක් දෙස බලන කෙනෙක් එම ප‍්‍රපාතය දෙස බලන්නේ යම් සේද කය ප‍්‍රපාතයෙන් මෑත් කරගෙනමයි හිස පමණක් යොමුකොට ප‍්‍රපාතය බලන්නේ. ප‍්‍රපාතය ඒ තරමටම අවදානම් සහිතයි. ගැඹුරු ප‍්‍රපාතයක් දෙස බලන ආකාරයටමයි ගිහි බැඳිම් දෙස බැලිය යුත්තේ. සීමාව ඉක්මවා ගියාවූ ගිහි බැඳීම් භික්ෂුත්වයේ අර්ථයන්ට මාරාන්තික හානි පමුණුවනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමාගේ අම්මා තාත්තා නිසාවත් බොරුවක් නොකී භික්ෂූන් වහන්සේලා ගිහි පිංවතුවන්ගේ ලාභසත්කාර නිසා බොරු කියනවා කියලා. ඒ නිසාමයි බුදුරජාණන්වහන්සේ නිරතුරුවම දේශනාකරන්නේ ආමිසයට දායාද නොවී නිතරම ධර්මයට දායාද වෙන්න කියලා. ඔබලා ආමිසයට දායාද වුණොත් ඔබලාට පමණක් නොවේ ඔබලාගේ ශාස්තෘන්වහන්සේ කෙරෙහිත් ගිහි පිංවතුන් කලකිරේවි ගරහාවි කියලා. මෙය සටහන් තබන භික්ෂුව සෑම මොහොතකම සිතන්නේ තමා කරන ක‍්‍රියාවන් තුළින් තමා සිතන සිතිවිළි තුළින් ලොව්තුරා බුදුරජාණන්වහන්සේට අගෞරවයක් වේවිද කියලා. අපි අපේ උතුම් ශාස්තෘන්වහන්සේගේ ගෞරවය නිරතුරුවම ආරක්‍ෂා කරන්න ඕනේ. එය තමයි අපේ ශාස්තෘන්වහන්සේට දක්වන කෘතවේදිත්වය.

ඊයේ උදේ වරුවේ උන්වහන්සේගේම උත්සහයෙන් පාර සොයාගෙන තරුණ 30 වියැති සාමණේර ස්වාමීන්වහන්සේ නමක් වැඩමකළා. උන්වහන්සේ බොහෝ ප‍්‍රියමනාප ස්වාමීන්වහන්සේ නමක්. ගොඩාක් ඈත ප‍්‍රදේශයක පන්සලක සිටයි වැඩම කළේ. උන්වහන්සේ කියනවා තමාට කැලයට ගොස් භාවනා කරන්න කැමතියි කියලා. භික්‍ෂුව උන්වහන්සේගෙන් ඇසුවා ඔබවහන්සේ දැන්ගත කරන පන්සල් ජිවිතය හොඳින් ධර්මානුකූලව ගතකරනවාද කියලා. ඒ පිංවත් ස්වාමීන්වහන්සේ කියනවා පන්සලේ දහම් පාසල්, දායක පිංවතුන්ගේ පිංකම් වැනි දේවල්වලට මැදිවී, ඇලීම් ගැටීම් මැදයි ජීවත්වෙන්නේ කියලා. මේ පිංවත් ස්වාමීන්වහන්සේ තමාගේ නායක ස්වාමීන්වහන්සේටත් බොහෝම ගරුකරන කෙනෙක්. තමන් වහන්සේලා දෙනම පමණක්ලූ පන්සලේ වැඩසිටින්නේත්. ඒ වෙලාවේ එම තරුණ ස්වාමීන්වහන්සේගේ සත්පුරුෂභාවය නිසාම උන්වහන්සේට භික්ෂුව අවවාද කළේ. ඔබවහන්සේ මුලින්ම හොඳ පන්සල් ස්වාමීන්වහන්සේ නමක් වෙන්න. බුදුරජාණන්වහන්සේ කෙරෙහි ධර්මරත්නය සංඝරත්නය කෙරෙහි හොඳින් සද්ධාව ඇතිකරගන්න. හොඳින් සිල්පද ආරක්‍ෂා කරගන්න. එවිට ඔබ හොඳ පන්සල් හාමුදුරුනමක් වේවි. දහම් පසාල් කටයුතු දායක පින්වතුන්ලාගේ කටයුතු ඇලීමේ ගැටීමේ ස්වභාවයෙන් තොරව සිදුකරන්න. වයෝවෘද්ධ නායක ස්වාමීන්වහන්සේටත් හොඳින් ගරුකරන්න. ගිහි පිංවතුන්ලා සැවොම ඔබවහන්සේගේ සිල්වත්භාවය දැකලා ඒ තුළින් සකස්වෙන හැසිරීම දැකලා දැන් අපේ පොඞ් හාමුදුරුවෝ හරිම හොඳයි කියන තැනට මුලින්ම එන්න. ඔබවහන්සේට ප‍්‍රිය උපදවන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දැකීමට උත්සහ ගන්න. සෑම රූපයක්ම විනිවිද දකිමින් සංසාරබිය සකස්කොට ගැනීමට දක්‍ෂවෙන්න. එවිට පිංවත් ඔබවහන්සේට පුළුවන් ඔබවහන්සේ දක්‍ෂනම් පන්සලම ආරණ්‍යයක් බවට පත්කොට ගන්නට.

පන්සලක වැඩසිටින තරුණ සාමණේර ස්වාමීන්වහන්සේ නමකට පන්සල තුළින් ශක්තිමත් වී කැලයට යන මාර්ගයයි මෙහි සටහන් තැබුවේ. පන්සලේ වැඩසිටිමින් ශීලයටමයි ජිවිතයෙන් මුල්තැන දියයුත්තේ. ශීලයෙන් පරිපූර්ණභාවයමයි කැළයට ගොස් අර්ථවත්ව සමාධිය වැඞීමට උපකාරීවන්නේ. හැම වෙලාවෙම කය මෑත් කරගෙන ප‍්‍රපාතය දෙස බලනවා වාගේ ගිහි පිංවතුන්ලා සමග කටයුතු කරන්න. කැලයේවත් පන්සලේවත් නොවේ නිවීමේ අර්ථය තිබෙන්නේ. ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ උපේක්‍ෂාවේ නිරෝධය තුළමය. මේ අවබෝධය ලබන්න කැළයේ හුදෙකලාභාවය හුඟක්ම ප‍්‍රයෝජනවත් වෙනවා.

ලොවුතුරු බුදුරජාණන්වහන්සේ ස්වාමීන්වහන්සේලා තුළින් සිදුවූ වැරැුද්දෙන් වැරැද්ද හඳුනාගෙන එම වැරදි නැවත සිදුනොවීමට විනය කාරණා එකින් එක පණවන්නේ ධර්මයේ සන්දිට්ඨික ගුණය වැඞ්පුර එකම දවසක් හෝ ලෝකය තුළ පවතින්න. මේ මොහොතේ ඔබ අපි ලබන මේ සද්ධර්මයේ රැකවරණය බුදුරජාණන්වහන්සේ විනය කාරණා පැණවීම තුළම ඇතිවූ සුරක්‍ෂිතභාවයමයි. එම නිසා ප‍්‍රාතිමෝක්ෂ ශීලය ආරක්‍ෂාකොටගෙන ජීවත් වෙන සෑම ස්වාමීන්වහන්සේනමක්ම එම උතුම් ශීලය රැකගැනීම උදෙසා වීර්ය්‍ය වඩන ස්වාමීන්වහන්සේලා සෑම දෙනෙක්ම ධර්මයේ සන්දිට්ඨික ගුණය මේ දක්වා ආරක්‍ෂාවීමට අපිත් දායක වුනාය කියලා සතුටුවෙන්න පුළුවන්.

මේ හේතුව නිසාම සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ජීවමානම තිබෙන සැම මොහොතකම එය මෙතෙක් රැුකගැනීමේ ගෞරවය හිමිවන්නේ පිංවත් ස්වාමීන්වහන්සේලාටමයි. දිනකට ගිහි පිංවතුන්ලා ලක්ෂ ගණනක් ‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ’ කියලා ධර්මයේ ගුණයන් වන්දනාකරන මොහොතක් පාසාම සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්ෂාකොට ගෙන සිටින ප‍්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් පරිපූර්ණ එම ශීලයේ පරිපූර්ණභාවයට පත්වීමට වීර්ය්‍ය වඩන පිංවත් ස්වාමීන්වහන්සේලාට මුළු බෞද්ධ ලෝකයාගේම ආශිර්වාදය ලැබෙනවා. සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්ෂාකරගැනීමේ මුරදේවතාවුන් වහන්සේලා මහාසංඝරත්නයමයි. සිංහ ජාතිය පැවතුනොත් ශාසනය සුරක්‍ෂිතවෙනවාය කියන කාරණය අර්ථවිරහිත කාරණයකි. තෙරුවන් කෙරෙහි සද්ධාවත් ශීලයත් සිංහල මනුෂ්‍යයා තුළින් අර්ථවත්වුවහොත් පමණක් සිංහල ජාතියද පවතිවී යැයි එම අර්ථය අපි නිවැරදි කරගතයුතුය. සිංහල ජාතිය නිසා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂාවෙනවා නොව තෙරුවන් කෙරෙහි සද්ධාවත් ශීලයත් ආරක්ෂාකරගන්නා තරමට සිංහල ජාතිය ආරක්ෂාවන බව අප සිහිකොටගත යුතුය. යම් හෙයකින් සිංහල ජනතාව තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ශීලයෙන් පිරිහීමට පත්වුවහොත් ජාතිය ආරක්ෂිත නොවන බව පිරිහීමට පත්වන බව වර්තමාන සාධක තුළින්ම අපි තේරුම්ගත යුතුයි. හේතුඵල ධර්මයන් තුළින් සකස්වන නිරතුරුව අනිත්‍යතා ධර්මතාවයන් සිහිනුවණින් දකින්නනම් තෙරුවන් කෙරෙහි සද්ධාවත් ශීලයත් අත්‍යවශ්‍ය වෙනවා.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහාකරුණාගුණය නිසාම මේසා පරිපූර්ණව දේශනාකොට ඇති ධර්මවිනය යම් දවසක තෙරුවන් කෙරෙහි සද්ධාවත් ශීලයෙන් දුර්වලතාවයටත් පත්වීම නිසාම අතුරුදහන් වී යනබව බොහෝම පැහැදිලිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. හේතුඵල ධර්මයන් නිසාම අතුරුදහන්වී යන උතුම් සද්ධර්මය එකම දිනක් හෝ වැඩිපුර ආරක්‍ෂාවීමට ගිහිපැවිදි හේදයකින් තොරව සද්ධාවෙන් ශීලයෙන් පරිපූර්ණය ජීවත්වීම මේ මොහොතේ බුදුරජාණන්වහන්සේ උදෙසා පිංවත් ඔබ කරණ ශ්‍රේෂ්ඨම පූජාව වෙනවා. ශාස්තෘන්වහන්සේ උදෙසා එම යුතුකම ඉටුකරන සෑම පිංවතෙක්ම එහි ආනිසංස හේතුවෙන්ම ධර්මාවබෝධය දිශාවටයි ගමන් කරන්නේ. බුදුරජාණන්වහන්සේගේ මහාකරුණා ගුණයේ උණුසුම තුළටමයි ගමන්කරන්නේ. සද්ධර්මයේ සන්දිට්ඨික ගුණයේ අර්ථය ගිහි වේවා පැවිදි වේවා අපේ ජිවිකයට එකතුවෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සිල්වත් ජිවිතයන් තුළින්මයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂ ගණනාවක් දස පාරමීධර්මයන් පරිපූර්ණ කොටස අවබෝධකොට වදාළ උතුම් සම්මාසම්බුද්ධ ගුණයට පිංවත් ඔබේ කෘතවේදීභාවය සද්ධාවත් ශීලයත් ජිවිතයට එකතුකරගැනීම තුළින්ම දක්වන්න. මනුෂ්‍යයා සද්ධාවෙනුත් ශීලයෙනුත් ඈත්වෙනකොට මනුෂ්‍යයාගේ බර වැඩිවෙනවා. මෙතනදී බර කියලා කියන්නේ සිතේ බරගතිය. මේ බර සකස්කරන්නේ පංචනීවරණයන්මයි. පංචනීවරණයන්ගේ බර වැඩිවෙන්න වැඩිවෙන්න පංචුපාදානස්කන්ධයට තෘෂ්ණාවෙන් බැඳෙනවාය කියන කාරණයයි පැහැදිළි වෙන්නේ. ශීලය තුළින් මනුෂ්‍යයා සකස්කරගන්නා සමාධිමත්භාවයේදී පංචනීවරණ සැහැල්ලූභාවයට පත්වෙනවා. ඒ නිසා මනුෂ්‍යයාගේ කයේ බර සැහැල්ලූවෙනවා. සමාධිමත්භාවය තුළ පිංවත් ඔබ ලබන සැහැල්ලූභාවයේදීත් ඔබ බැඳීයන්නේ පංචඋපාදානස්කන්ධයටමයි. ඒ කියන්නේ දෙවනි වටයේදී ධ්‍යාන සැපය විඳීමේ සැපයට ඔබ බැඳීයනවා.

මේ සමාධිය තුළදී සකස්වෙන විඳීමේ සැපය වේදනාවේ ආශ්වාදයයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. ආශ්වාදයක් ඇති තැන ආදීනවයක් තිබෙනවා. ආශ්වාදයත් ආදීනවයත් හදුනාගත් තැනැත්තා නිස්සරණය සොයාගෙන යනවා. ශීලය තුළින් සකස්කොටගත් සමාධි සැපය විදර්ශනාවට යොමුකරලා සමාධි සැපයත් පංචඋපාදානස්කන්ධයක් බව දැකලා සමාධි සැපයේ අනිත්‍යතාවය දකිමින් විදර්ශනා නුවණ වඩවාගන්නවා. භව නිරෝධය දක්වාම ගමන්කරන වැඩපිළිවෙල තමා තුළින්මයි අවබෝධකොටගත යුත්තේ. තැන් තැන්වල සොයන්න අවශ්‍ය නැහැ. වටපිට බලන්න අවශ්‍ය නැහැ. දුක කියන කාරණය තමා තුළමයි තිබෙන්නේ. පංචඋපාදානස්කන්ධය කියන කාරණය තමා තුළමයි සකස් වන්නේ. දුකට බැඳීයන පංචඋපාදානස්කන්ධය ඔබ තුළින්මයි ඔබ අවබෝධකොටගත යුත්තේ. තමා තුළින් පංචුපාදානස්කන්ධයේ අනිත්‍යතාවය අවබෝධකරගැනීමට නම් මුලින්ම පිංවත් ඔබ සමාධි සැපයේ විඳිම අනිත්‍යබව නුවණින් මෙනෙහි කළ යුතුමයි.

භික්ෂුව හමුවීමට පැමිණි මහත්මයෙක් භික්ෂුවට ප‍්‍රකාශ කළේ, තමා දීර්ඝකාලයක පටන් භාවනාකරන බවත් තමා වැඩියෙන්ම යෙදෙන්නේ සක්මන්භාවනාවේ බවත්ය. දිනක් තමා සක්මන්භාවනාවේ යෙදි සිටින විට සිත හොඳින් සමාධිමත්ව ඇති අවස්ථාවක සක්මන තුළ සිටියදීම තමාගේ ශරීරය ඇතිවෙමින් තැතිවී යන ආකාරය ඉතාමත් හොඳින් අරමුණු වූ බවත් ඒ මොහොතේම තමාගේ ඇස් දෙක කඳුලින් බරව තමා හඩාවැටුන බවත් ප‍්‍රකාශ කළා. මෙවැනි අවස්ථාවකදී අපි දකින්නේ විදර්ශනාමය අවබෝධයක් නොවේ. එම මහත්මයා විදර්ශනාමය අවබෝධයක් ලැබුවා නම් කඳුළු සලමින් හඩන්නේ නැහැ. මෙතනදී ඒ මහත්මයා ලබන්නේ සමාධියේ විඳීමේ සැපය. මෙය ආශ්වාසයක්. සංකීර්ණ වූ ජිවිත ගත කරන ගිහි පිංවතුන් පංචනීවරණයන් යටපක් කොට ලබන සමාධීයේ මේ සැහැල්ලූවට නිරතුරුව රැවටෙනවා. ඔබ දක්ෂ වෙන්න ඕනේ සමාධියේ ආශ්වාදය උදෙසා සකස්වන සැම සිතක්ම විදර්ශනවාට ලක්කොට එම සිතේ අනිත්‍ය දකින්නට.

සමාධියේ සැබෑම ආශ්චර්ය්‍ය තම ජිවිත තුළට අර්ථවත්ව එකතුකොට ගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයකදී ලොව්තුරා බුදුරජාණන්වහන්සේ හැරුණුකොට එකම උත්තමයයි. ඒ තමයි උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ. සම්මා සම්බුද්ධ ශාසනයක රහතන්වහන්සේලා දෙදෙනෙක් සිටිනවා. ඉන් ආශ්චර්ය්‍යමත්ම මහරහතන්වහන්සේ තමයි උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ. අනෙක් රහතන්වහන්සේ තමයි ප‍්‍රඥාවිමුක්ත මහරහතන් වහන්සේ.

උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේගේ ස්වභාවය බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරනවා. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ රූපසමාපත්තීන් ඉක්මවා ආරුප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් වෙත්නම් ඒ විමෝක්ෂයන් නාමකයින් ස්පර්ශ කොට වෙසෙයි. ඔහු විසින් චතුරාය්‍ය සත්‍යය ප‍්‍රඥාවෙන් දැක අවබෝධකොට ආස‍්‍රවයෝ ක්ෂය කරන ලද වෙති. මෙයින් පැහැදිලිවෙන්නේ උභතෝභාගවිමුක්ත රහතන් වහන්සේ යනු රූපාවචර අරූපාවචර ධ්‍යානයන් සහිතව චතුරාය්‍ය සත්‍යය අවබෝධකොටගත් උත්තමයා උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ බවයි. රූපාවචර අරූපාවචර ශාන්තවිමෝක්ෂයන් නාමකයින් ස්පර්ශ කිරිම හේතුවෙන් උන්වහන්සේට එර්දි ප‍්‍රාතිහාරය්‍ය පෑමේ ශක්තිය වගේම, අනෙකුත් මිනිස් දැක්ම ඉක්මවාගිය දිවැස් නුවණින් ලෝකය දැකීමේ ශක්තිය ලැබෙනවා. වර්තමාන සමාජයේ අපි කවුරුත් රහතන්වහන්සේ යැයි කියු පමණින් මනසින් දකින්නේ එර්දි ප‍්‍රාතිහාරය්‍ය සහති දිවැස් නුවණ සහිත උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේමයි.

සම්මා සම්බුද්ධ ශාසනයක සිටින දෙවනි රහතන්වහන්සේ තමයි ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ. ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේගේ ස්වභාවය ගැන ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනාකරනවා. මේ ශාසනයේ ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා අරූප වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් වෙත්ද ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්ශ කොට නොවෙසයි. එහෙක් ඔහු ප‍්‍රඥාවෙන් චතුරාය්‍යසත්‍ය අවබෝධකොට ආස‍්‍රවයෝ ක්ෂය කරන ලද වෙයි. මේ පුද්ගලයා ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ යැයි කියමි. ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ යනු චතුරාය්‍යසත්‍ය අවබෝධකොටගත් රූපාවචර අරූපාවචර සමාපත්තීන්වලට සමවැදීමට නොහැකි රහතන්වහන්සේයි. අරූපාවචර සමාපත්තීන්වලට සමවැදීමට නොහැකි නිසාම උන්වහන්සේට එර්දි ප‍්‍රාතිහාරය්‍ය පෑමේ සහ මිනිස් ඇස ඉක්මවා ගියාවූ දිවැස් නුවණ ඇතිකරගැනීමේ හැකියාවක් නොමැති බව සුසීම සුත‍්‍රයේදී බුදුරජාණන්වහන්සේ පැහැදිළිව දේශනා කොට ඇත. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේත් ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේත් දෙදෙනාම චතුරාය්‍යසත්‍ය අවබෝධකොටගත් රහතන්වහන්සේලාමය.