දෙවියා අවධානමට ලක්වෙන තවත් අවස්ථාවක් පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සප්ත සූර්යගමන සුත‍්‍රයේදී. මෙම සූත‍්‍රය වර්තමානයේ විද්‍යාව හදාරණ පිංවතුන්ලා සැකයෙන් යුතුව බලන සුත‍්‍රයක්. වරක් මෙම සූත‍්‍රයට අනූව, පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින මහපොළව මත යොදුන් 84,000 ක් උසැති මහාමේරු පර්වතය මේ මොහොතේ තිබෙනවාය කියලා. භික්ෂුව දේශනා කරන කොට විද්‍යාව හදාරණ ඊට නැඹුරු පිංවතුන්ලා පිරිසක් ඉහත කාරණය හාස්‍යයට ලක්කලා. නවීන තාක්ෂණය විසින් සැටලයිට් ආධාරයෙන් මේ මහපොළව ඡායාරූපගත කොටයි තිබෙන්නේ. යොදුන් 84,000 ක් උස කන්දක් තිබෙනවානම් එය සැඟවී තිබෙන්න බැහැයි කියලා, මේ උතුම් ධර්ම කාරණය හාස්‍යයට ලක්කලා. භික්ෂුව ඒ මොහොතේ එම මහත්වරුන්ට ප‍්‍රකාශ කලේ ඔබලා ඔය සිනාවෙන්නේ බුදුරජාණන් වහන්සේටයි, උතුම් ධර්මයටයි කියලා. නමුත් එම සුත‍්‍රය කරුණු සහිතව විග‍්‍රහ කොට පෙන්වන කොට එම පිංවතුන්ලාට නවීන විද්‍යාව අභිබවාගිය සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත් භාවය නුවණින් මෙනෙහි කරන්න ඇතිය කියලා භික්ෂුව විශ්වාස කරනවා. ඉහත සූත‍්‍රයේ සඳහන් කාරණය සිද්ධ වෙන්නේ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී එම ශාසනය අතුරුදහන්ව ගියාට පසුවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාමේරු පර්වතය ගැන. එය මේ මොහොතේ විෂයවන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. මෙහෙම කාලය ගෙවී ගිහින් අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යොදුන් 84,000 ක් උසැති මහාමේරු පර්වතය පෙනෙන්නට පටන් ගන්නවාය කියලා. සම්මා සම්බුද්ධ ඥානයෙන් දේශනා කොට වදාළ, ඉහත කාරණය අපි හේතුඵල ධර්මයන්ට අනූව මෙසේ ගලපාගත යුතුව තිබෙනවා. අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට පෘථිවියේ ඇතිවන උෂ්ණය විසින් හිම දියවෙල මහාමේරු පර්වතය පෙනෙන්නට පටන්ගන්නවා විය යුතුයි. මේ කාරණය පිංවත් ඔබට මෙහෙම ගලපාගන්න පුළුවන්. ඉන්දියාවේ ගංගා, යමුනා ගංගාවන් පටන් ගන්නා ස්ථානයන් තවම ඉන්දියාව දන්නේ නැහැ. ඒ අය දන්නවා මේ ගංගා හිමාලයෙන් පටන්ගන්නවාය කියලා. නමුත් ඒවායේ ආරම්භක උල්පත ඒ අයට හොයාගන්න බැහැ. එම ප‍්‍රදේශ හිමෙන් වැසිලයි තිබෙන්නේ, අහසයි පොළවයි එක්වෙලා පෙනෙන්නේ, ඒවා අභිරහස් ගුප්ත ප‍්‍රදේශ මනුෂ්‍යයෙකුට එම ප‍්‍රදේශ වලට කිට්ටු වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාමේරු පර්වතය බොහෝම සශ‍්‍රීක කඳුයායකි. එය මහපොළොවෙන් යටට යොදුන් 84,000 ක් තිබෙනවා. මහපොළොවෙන් ඉහළට යොදුන් 84,000 ක් තිබෙනවා. මහපොළොවෙන් ඉහළට තිබෙන යොදුන් 84,000 දිව්‍යතලවලටම උසයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහාමේරුව සශ‍්‍රීක වනස්පති වෘක්ෂයන්ගෙන්, තෘණ වර්ග වලින් හිම වළසුන්, හිම මුවන් වැනි සතුන්ගෙන් ගහන සුන්දර කඳුවැටියක්ය කියලා. අවුරුදු සියයක් දහසක් වැස්ස නැති නිසාම සියළු තණපත්, ගහකොළ වියළි මුඩු කඳුවැටිය පෙනෙන්නට තිබෙන්නේ. මේ මොහොත වන විට ඉහත මහාමේරු පර්වතය දකින්නට මනුෂ්‍යයෝ මේ ලෝකයේ නැහැ. පෘථිවියේ උෂ්ණත්වය වැඩිවීම නිසා මනුෂ්‍ය ප‍්‍රජාව මැරිලගොස් ඉවරයි. මනුෂ්‍යයා පිපාසය, කුසගින්න, උෂ්ණත්වය නිසාම ද්වේශයෙන්, වෛරයෙන් මිය පරලොව ගොස් ප්‍රේතයින්, බූතයින්, නිරිසත්වයින් ඉඩෝරයට ඔරොත්තුදෙන කෘමීන් වශයෙන් මැරෙමින් ඉපදෙමින් මෙම කාශ්ඨක පරිසරයේ දුක් විඳිනවා.

මෙහෙම වැස්ස නැතිව, තවත් අවුරුදු සියයක් දහසක් ගතවෙන කොට යමෙක් අහස දෙස බැලූවොත් අහසේ ඉරවල් දෙකක් පායලා තිබෙනවා. නමුත් මේ දෙවැනි ඉර දකින්න මනුෂ්‍යයෙක් මේ ලෝකයේ නැහැ. දෙවැනි ඉර පෑයුවට පසුව මහාමේරු පර්වතයේ තිබෙන මහාදිය පාරවල්, මධ්‍යම දිය පාරවල්, කුඩා දිය පාරවල් සියල්ලම සිඳියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සශ‍්‍රීක දිය උල්පත් වලින් ගහනවා තිබු මහාමේරු පර්වතය කාන්තාරයක් වෙනවා.

මෙහෙම තවත් අවරුදු සියක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට අහසේ තුන්වැනි ඉරත් පායනවා. දැන් ඉරවල් තුනයි, තුන්වැනි ඉර පෑයුවට පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙක් මහාමේරුවේ දියඋල්පත් වලින් පෝෂණය වූ පංචමහා ගංගාවන් ගංගා, යමුනා, අචරවති, සරභු, මහි, කියන ගංගාවන් සම්පූර්ණයෙන්ම වැලි තලා මතුවෙන්න සිඳී යනවා කියලා. පංච මහා ගංගාවන් යම් දවසක සිඳී යනවානම් අපේ මහවැලි, කැළණි, වලවේ ගංගා ගැන මොනවා කතා කරන්නද?

මෙහෙම තවත් අවුරුදු සියක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට අහසේ හතරවැනි ඉරත් පායලා තිබෙනවා. දැන් ඉරවල් හතරයි. හතරවැනි ඉර පෑයුවට පසුව පංච මහා විල් සම්පූර්ණයෙන්ම සිඳී යනවා. අනෝතත්තය, රථකාරය, සිංහප‍්‍රාපාතය, මන්දාකිණිය, ෂඞ්දනය කියන පංචමහාවිල් සම්පූර්ණයෙන්ම සිඳි යනවා. දෙවියන් කාමස්වාදය විඳින්නේ මෙම පංචමහාවිල් වලින්. මේ පංචමහාවිල් වලට දිය ලැබෙන උල්පත් ගලාගෙන පැමිණියේ දිව්‍යතලවලට උසැති මහාමේරු පර්වතයෙන්. දැන් දෙවියනුත් ඉඩෝරයට හසුවෙලා. දෙවියනුත් පෘථිවියේ උෂ්ණත්වයෙන් පීඩාවට පත්වෙලා. දෙවියනුත් ඉඩෝරයෙන් පීඩාවට පත් වෙනකොට දෙවියන් තුලත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්මයි සකස් වෙන්නේ. එම අකුසලයන් නිසාම දෙවියනුත් දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සතර අපායන්ට වැටෙනවා. අපමණ පිනෙන් උපන් දෙවියනුත් දෙවියන් කාමාස්වාදය විඳින පංචමහාවිලූත් යම් දවසක සිඳි වියළී යනවා නම් පිංවත් ඔබේ නිවසේ තිබෙන ළීඳ ගැන වතුර පයිප්පය ගැන පිහිනුම් තටාකය ගැන මොනවා කථා කරන්නද?

මෙහෙම වැස්ස නැතිව තවත් අවුරුදු සියයක් දහසක් ගතවෙනකොට ආකාසයේ පස්වැනි ඉරත් පායනවා. දැන් ඉරවල් පහයි. නමුත් ඉරවල් බලන්න දකින්න මනුෂ්‍යයෝ මේ ලෝකයේ නැහැ. මනුෂ්‍ය ප‍්‍රජාව උෂ්ණත්වය නිසාම විනාශ වෙලා නමුත් ඒ අය නිවන් දකින්නේ නැහැ. ඉඩෝර, කාන්තාර, දේශගුණයට ඔරොත්තු දෙන සතර අපායේ සත්වයින් හැටියට ඉපදෙමින් පිච්චෙමින් මැරෙනවා. එදාට ඔබත්, මමත් භවයේ සිටිය හොත් හේතුඵලධර්මයන්ට අනූව මේ කර්කශ පරිසරයේ මැරෙන උපදින සත්වයෙක් වේවි.

පස්වෙනි ඉර පායලා තිබෙන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළොවෙන් හතරෙන් තුනක් වසාගෙන තිබෙන මහා සාගරය සම්පූර්ණයෙන්ම සිඳි යනවා. මහා සාගරය වැලි තලාවක් වගෙන් පෙනෙන්නේ, ඈතින් ඈතට හරක් කුර සටහන් වල පිරුණු වතුර කළදක් වගේ වළ ගොඩැලි මත දිය කඳුලක් රැුඳි තිබෙනවා පෙනෙනවා යම් දවසක මහා සාගරයත් සිඳිලා යනවා නම් මුළු ලෝකයම මනුෂ්‍යයන්ගෙන් තොර එකම වැලි තලාවක් වෙනවානම් පිංවත් ඔබ මගේ කොට අල්ලාගෙන සිටින රට, ජාතිය, ආගම, දේශසීමා ගැන මොනවා කතා කරන්නද. මහා සාගරය දැන් සම්පූර්ණයෙන්ම සිදිගොස් ඇති නිසා දැන් මහාමේරුව මුහුද යටට ගිලි තිබුණ යොදුන් 84,000 ක් මතුවෙලා. දැන් මහාමේරු පර්වතය දිගින්, පළලින්, උසින් යොදුන් එක්ලඏ හැට අටදාහක් විශාලත්වයකින් පෙනෙන්නේ.

මෙහෙම තවත් අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට හයවෙනි ඉරත් අහසේ පායලා තිබෙනවා. දැන් ඉරවල් හයයි. හයවැනි ඉර පෑයුවට පසුව පෘථිවියේ උෂ්ණත්වය වැඩිභාවය නිසාම මහාමේරු පර්වතය හතර වටින්ම දුම් දමනවා. එම දුමින් මුළු පෘථිවිතලයම වැසී යනවා. යොදුන් එක්ලක්ෂ හැට අටදාහස් උස, පළල මහාමේරුවයි මේ දුම දමන්නේ. පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න ඕනේ මහාමේරු පර්වතය මුදුනත දිව්‍යතලවලට උස නම් මේ දුමෙන් දිව්‍යතලත් පීඩාවට පත්විය යුතුයි. දෙවියනුත් පීඩාවට පත්විය යුතුයි. ඉරවල් හයක උෂ්ණත්වය, ආලෝකය, යටපත් කොට පෘථිවිය දුමෙන් වැසී යනවා. මේ මුළු පෘථිවිතලයම දුමෙන් වැසී යනවා නම් අනාගතය ආලෝකමත් කර ගැනීම උදෙසා අපි ඇති කරගන්න බලාපොරොත්තු කුමක් කරන්නද?

මුළු පෘථිවියම දුමෙන් වැසිලා තවත් අවුරුදු සියයක් දහසක් තිබෙන කොට අහසේ හත්වෙනි ඉරත් පායලා තිබෙනවා. දැන් ඉරවල් හතයි. සත්වෙනි ඉර පෑයීමත් සමඟම දුමෙන් රත්වෙලා තිබුණ මහාමේරු පර්වතය සතර වටෙන්ම ගිනිගනිමින් පෘථිවිය මතට කඩා වැටෙනවා. යොදුන් 168,000 ක් උසින්, පළලින්, දිගින් යුත් මහාමේරු පර්වතය ගිනි ගනිමින් පුපුරා කඩා වැටිම නිසා මුළු පෘථිවියම ගිනිගෙන විනාශයට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිනිගැනීමෙන් අඟුරු කැබැල්ලක්වත් ඉතිරි වන්නේ නැහැ කියලා. සියල්ල ගිතෙල් දැවුන කළ ඉතිරි වෙන අළු බවට පත්වෙනවා. යම් දවසක මුළු පෘථිවියම ගිනිගෙන අළු බවට පත්වෙන දිනයක් එනවා නම් මේ රූපයට සැප ලබාදීම සඳහා අපි ඉදිකරන කාම රූපි, අරූපි මාළිගාවන් ගැන මොනවා බලාපොරොත්තු තබාගන්නද?

කෙනෙකුට ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන් පෘථිවියේ තිබෙන්නේ එක ඉරයි කොහොමද ඉරවල් හතක් පායන්නේ කියලා. ඒවා හේතුඵල ධර්මයන්. පළමු ඉර පායලා තිබී අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට ඇතිවන පෘථිවියේ උෂ්ණත්වය විසින් දෙවැනි ඉර ඇති වෙනවා. දෙවැනි ඉර පායලා අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට පෘථිවියේ ඇතිවෙන උෂ්ණත්වය විසින් තුන් වැනි ඉර ඇතිවෙනවා. මේ විදියට පෘථිවියේ උෂ්ණත්වය වැඩිවෙන්න වැඩිවෙන්න එම පෘථිවියේ උෂ්ණත්වය විසින් ඉරවල් ඇතිවෙන්නේ. මේ ආකාරයට හත්වැනි ඉර පෑයුවාට පසුව ඊටත් වඩා උෂ්ණත්වයක් පෘථිවියට දරාගන්න බැහැ. පෘථිවියට එම උෂ්ණත්වය දරාගන්න පුළුවන් නම් අටවැනි ඉරකුත් පායාවී. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දකිනවා හත්වැනි ඉරට වඩා උෂ්ණත්වයක් පෘථිවියට දරාගන්න බැහැය කියලා. හේතුඵල ධර්මයන් විසින් මේ විනාශය සකස්කරන්නේ.