ඉහත සූත‍්‍රය භික්ෂූව සටහන් කළේ දෙවියන් හා දිව්‍යතල අවදානමට ලක්වෙන අවස්ථාවක් ගැන සඳහන් කරන්න. මේ සූත‍්‍රයේ සඳහන් වෙනවා, දිව්‍යතලවල දෙවියන් සතුටුවන කාමාස්වාදය විඳින පංචමහා විල් සිඳිලා යනවා කියලා. මහාමේරු පර්වතයේ මුදුනත දිව්‍යතලවලට උස නිසා මහාමේරු පර්වතය අවුරුදු සියයක් දහසක් දුම් දමන කොට එම දුමෙන් දිව්‍යතල වැසියන් පීඩාවට පත් වෙන්න ඕනේ. ඉහත සූත‍්‍රයේදී සත්වෙනි ඉර පායලා මහාමේරුව ගිනිගැනීමේදී මුළු පෘථිවියම ගිනිජාලාවක් බවට පත්වෙමින් පවතින විට දිව්‍යතලයත් පීඩාවට පත්වෙන්න ඕනේ. මෙතැනදී සුරක්ෂිත භාවයට පත්වෙන්නේ මාර්ගඵලලාභී දෙවියා දිව්‍යාංගනාව පමණයි. ආභස්සර බ‍්‍රහ්මතලය සුරැකිව පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සූත‍්‍රය ආරම්භයේදීම සටහන් කළ පළමු ඉර පායලා තිබී, අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට කියන අවස්ථාවේදී පටන් සත්වැනි ඉර පායා පෘථිවිය ගිනිගෙන දැවෙන මොහොත දක්වා ඇති කාලය අවුරුදු දස දහස් ගණනක් වෙන්න පුළුවන්. මේ කාලවකවානුව තුල පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු සියළුම මාර්ගඵලලාභී දිව්‍ය දිව්‍යාංගනාවන් මේ පෘථිවියේ වෙන්නාවූ විනාශය දැකලා එම විනාශය නුවණින් මෙනෙහි කරලා අනිත්‍යසංඥාවන් වැඩිලා නිවන් අවබෝධකොට ගන්නවා. මේ සා විනාශයක් පෘථිවිය මත තම දෑස් ඉදිරිපිට සිද්ධවෙන කොට අවම තරමින් සද්ධානුසාරී ධම්මානුසාරී දෙවි කෙනෙකුවත් මේ ලෝකයට සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. මේ විනාශය කමටහන් කොට ගෙන නිවන් අවබෝධය ලබනවා. ඉන් මෙහා සියළුම දෙවියන් මේ අනතුරේ ගොදුරු බවට පත්වෙනවා. මේසා දරුණු විනාශයක් සිද්ධවෙනකොටත් මාර්ගඵලලාභී දෙවියන්, දිව්‍යාංගනාව සුරක්ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉහත හේතුව නිසා විය යුතුයි.

එම නිසා පිංවත් ඔබ මේ උතුම් අවස්ථාවේදී ධර්ම මාර්ගයේ ගමන් කරමින් කල්ප විනාශයකදීවත් පීඩාවට පත් නොවන මාර්ගඵල ලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වීමට උත්සහ ගන්න. එසේ නොවුනහොත් ඉරවල් හතක උෂ්ණත්වය විසින් ඇතිකරන කර්කශ පරිසරයේ මනුෂ්‍ය ලෝකය තුල නිර්මාණය වන ගිනිගත් නිරයේදී මැරෙමින් ඉපදෙන කෘමීන්, ප්‍රේතයින්, නිරිසතුන් වශයෙන් ද්වේශය, වෛරය, වේදනාව, පිච්චීම ජිවිතය කොට ගත් අවාසනාවන්තයෙක් වීමට ඔබට සිදුවනු ඇත.

මෙම සූත‍්‍රය මෙනෙහි කරන කොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත්භාවය ඔබට වැටහෙනවා, වගේම හේතුඵල ධර්මයන්ට අනූව අනාගතය දැකීමේ තියුණු ප‍්‍රඥාව හොඳින් පැහැදිලි වෙනවා. මුලින්ම අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙනවා. එම උෂ්ණත්වය හේතුවෙන්ම හිම දියවෙලා මහාමේරුව පේන්න පටන් ගන්නවා. දෙවැනිව දිය උල්පත් සිඳි යනවා. ක‍්‍රමානුකූලව පංචමහා ගංගා, පංචමහාවිල්, මහා සාගරය සිඳි යනවා. මීළඟට උණුසුම වැඩිනිසාම මහාමේරුව දුම් දමනවා. අවසානයේදී ගිනිගෙන විනාශ වෙනවා. එකින් එක ඉරවල් පායන කොට ඇතිවන ලෝක ස්වභායන් පිංවත් ඔබ නුවණින් දකින්න. ඉහත කල්ප විනාශය ඔබේ ජිවිතය කිට්ටුවට ගෙන සංසාරබිය ඇති කරගන්න. මේ මුළු මහ පොළවම ගස්කොළන්, තණපත්, වියළි මුඩු බිමක් වෙනවා මනසින් දකින්න. ගංගා ඇළ දොළ වියළී මහා සාගරය සිඳි ගොස් මුළු පෘථිවියම වැලි තලාවක් වෙනවා මනසින් දකින්න. මුළු පෘථිවියම දුමෙන් වැසී තිබෙනවා මනසින් දකින්න. මුළු පෘථිවියම ගිනිගෙන දැවෙනවා මනසින් දකින්න. එම කාශ්ඨක උෂ්ණත්වයට හසුවී සත්වයා පිච්චි පිච්චි මැරෙනවා, නැවත උපදිනවා මනසින් දකින්න. ඔබ මනසින් සැලසුම් කරන්නා වූ අනාගත පංචඋපාදානස්කන්ධයේ බියකරු බව, විෂම බව, දුක්බව කුසල් අකුසල් සංස්කාරයන්ගේ ආශ්වාද රහිත බව දකිමින් ඉහත ලෝක ධර්මයන් සම්මා සම්බුද්ධ ඥාණයෙන් අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සෙගේ අයෝමය ගුණයන් ඥාණයන් පිළිබඳව මෙනෙහි කරමින් රාත‍්‍රී නින්දට යන්න එවිට එම රාත‍්‍රීය යහපත් රාත‍්‍රියක් වේවි.

නොවැම්බර් මාසයේ වැස්ස කාලය පටන් අරගෙන කටුමැටි කුටියේ ඉදිරි පියස්සට දමා තිබෙන කළු පැහැති පොලිතින් වහලයට ජල බිංදු වැටෙන වේගවත් හඩ වැස්සේ හඩ පරයා ඇසෙනවා. කැලයේ කිච් බිචි ගාමින් සිටි කුරුල්ලන් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. එම කුරුල්ලන් ගස්වල අතුපතරට වෙලා හොදටෝම තෙමෙනවා ඇති. උදේ ඉදන් වැස්ස නිසාම අද දවල් වරුවම කුරුල්ලෝ කුසගින්නේ ඒ නිසාම පණුවන්ට, දලඹුවන්ට වැස්ස නිසා අද අභය දානය ලැබෙනවා. අතීත අකුසල් නිසාම වැස්සට හෙම්බත් වී කුරුල්ලෝ දවස ගත කරන්නේ මොනතරම් පීඩාවකින්ද. අතීත සංස්කාර සත්වයාව බොහෝම සාධාරණ විදියටයි සලකන්නේ. වැස්සට නොතෙමි ඉන්න ඔබටත්, මටත්, ගෙදරක්, කුටියක් ලැබිලා තියෙන්නේ අතීත කුසල් සංස්කාර නිසාමයි. මහා ධාරාණීපාත වැස්සේ පිංවත් ඔබ සිතන්න ඕනේ වැස්ස නවතින්නේ කොයි වේලාවේද කියලා නොවේ, වැස්සේ සීතලට උණූසුම් වෙන්නේ කොහොමද කියලා නොවේ, වැස්සට තෙමෙන අප‍්‍රමාණ සත්වයන් අතර වැස්සට නොතෙමී ඉන්න, පිංවත් ඔබ මොනතරම් පින් කරලා ඇතිද කියන කාරණය. වැස්ස ගැන නුවණින් මෙනෙහි කරලා මතුකොට ගන්න පින, පව කියන කාරණය පිංවත් ඔබ උපයෝගිකොටගත යුත්තේ විදර්ශනා නුවණ වඩාවාගැනීම උදෙසාමයි. ඔය වැස්සට තෙමෙමින්, සීතලේ ගැහෙමින් සිටි සෑම පක්ෂියෙක්ම, සතෙක්ම, අතීත භාව වලදී ලොකු මාළිඟාවල, තට්ටු දෙකේ ගෙවල් වල ජීවත් වුණ අය. අතීතයේ ඒ අය වැස්ස වහින කොට, වැස්ස පායන්නේ කොයි වේලාවේද කියලා සිතුවා මිස, වැස්සට උණුසුමකට තුරුල්වුණා මිස, තමන් වැස්සට නොතෙමී සිටියදී අනෙක් සතුන් වැස්සට තෙමෙන්නේ ඇයිද කියලා සිතුවේ නැහැ. මේ උතුම් මොහොතේ පිංවත් ඔබට පුළුවන් වැස්සට තෙමෙන සතුන් අතර වැස්සට ඔබ නොතෙමී සිටින්නේ ඇයිද කියන කාරණය සිතන්න. ආකාසයේ කඩා හැලෙන මහ වැස්සට වඩා, ඔබේ සිතෙන් කඩා හැලෙන, කෙලෙස් වැස්ස ඔබව අනාගත භවගමනේදී මහා වැසි වලට තෙමෙන තිරිසන් සතෙක් කරාවි.

භික්ෂුව දන්න පිංවත් මහත්මයෙක් සිටියා. එම මහත්මයාගේ ආගම මොකක්ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. ඔහුගේ ආගම කාටවත් සොයන්නත් බැහැ. සර්ව ආගමික කියලා ආගමකුත් තිබෙනවානේ. මේ අය පන්සලටත් යනවා, පල්ලියටත්, කෝවිලටත් යනවා. එක අරමුණක සිත පිහිටලා නැහැ. විච්කිච්ඡුාව, සැකය ජිවිතය තුල ඔඩු දුවලා. සමහර විට එම මහත්වරුන් සිතනවා තමන් පැවතෙන්නේ වඳුරාගෙන් කියලා. වඳුරා අත්තෙන් අත්තට පනිමින් යනවා වගේ, ඒ මහත්මයාත් පන්සලට, පල්ලියට, කෝවිලට පනිමින් යනවා. භික්ෂුව සඳහන් කරන මහත්මයා ඉහත ස්වභාවයේ මහත්මයෙක්. ඔහුට හොඳ තීක්ෂණ බුද්ධියක් තිබුණා. ඔහුගේ තීක්ෂණ බුද්ධියට පුළුවන්, මුළු සමාජයම යම් කාරණයක පටලවා තබලා, ඇතිවන විනාශය නිවී සැනසිල්ලේ බලා සිටින්න. මේ මහත්මයා මිය ගිහින් උපත ලබන්නේ තියුණු තීක්ෂණ රතු පැහැති ඇස් ඇති බකමූණෙක් වෙලා. ඒ බකමූණන් මේ මහා වැස්සට සමහර විට තෙමෙනවා ඇති. අපූරු සුන්දර මනස්කාන්ත නිවසක අතීතයේ දැසි දස්සන් සමඟ ජීවත් වෙද්දී ඒ මහත්මයා සිතලා නැහැ. මෙපමණ සතුන් මහා වැස්සට තෙමෙන කොට ඇයි මම නොතෙමී සුවිසල් නිවසක ජීවත් වෙන්නේ කියලා.

වැස්ස හුඟාක් වේගයෙන් වහිනවා. කුටිය ඇතුලේ එල්ලී සිටි කිරි වවුල් පැටියා වේගවත් ගෙරවීම් හඩට බියවී කුටිය ඇතුලේ එහා මෙහා පියාඹනවා. ටෝච් එළියේ ආධාරයෙන් මේ කටුසටහන ලියන්නේ. වැස්ස ඔබ ඇති තරම් වහින්න. භික්ෂුවකගේ සිත අනිත්‍ය සංඥාව නැමැති, පොල් අතු වලින් හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ. ඒ සිතේ ධර්ම මනසිකාරයන් හැර වෙන සිතුවිල්ලක් නම් ඇති වන්නේ නැහැ. මේසා දරුණු වැස්සේ අකුසල් විපාක අත් විඳින තිරිසන් සතුන් විඳින දුක කමටහන් කොට ගෙන පිංවත් ඔබේ සිතත් හොඳින් ධර්මයෙන් සෙවිලි කොට ගන්න. වැසි බර රාත‍්‍රියක නින්දට යන මොහොතේ පිංවත් ඔබ වැස්සට නොතෙමී සිටිනා හේතුඵල ධර්මයන් නුවණින් දකිමින් නින්දට යන්න. එවිට එම රාත‍්‍රිය යහපත් රාත‍්‍රියක් වේවි.