වස් කාලය ගෙවී ගිහින්, චිවර මාසයේ අවසාන පොහොය අදයි. පිංඩපාත මඩුවට දානය රැගෙන පැමිණි දායක මහත්මයෙක් ප‍්‍රකාශ කලා, තමන්ගේ ගමේ පන්සලේ මුල්ම වතාවට අටපිරිකර පනහක් පූජා කරලා වස්පිංකම බොහෝම උත්කර්ෂවත් අන්දමින් සිද්ධකලාය කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින ගමේ පන්සලේ දායක මහත්වරුන්ට හරිම සන්තෝෂයි පිංකම ගැන. අනේ සාදු සාදු පිංවතුන් ගොඩාක් පිංකම් කරගන්නවා. ගෞරවනීය ස්වාමීන්වහන්සේලාත් කුසලයේ අර්ථයන් කඨින පිංකම තුලින් මතුකොට ගන්න දක්ෂවෙන්න ඕනේ. භික්ෂුව වැඩ සිටි කුටියේ දායක පිංවතුන් භික්ෂුවට කඨින වස්ත‍්‍රය හැටියට අදනයක් පූජා කළේ. භික්ෂුවගේ තුන් සිවුර පරිපූර් නිසා එම අදනයත්, කුටියේ අතහැර දමලයි භික්ෂුව දැන් වැඩ සිටින කුටියට වැඩියේ. අතිරික්තය කියන්නේ හිසරදයක්. අතිරික්ත දෙය අතහරින කම්, භික්ෂුවට සැනසිල්ලක් නැහැ. ඉහත අතහැරීම තුළ අර්ථවත්ව ජීවත් වන ගෞරවනීය ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් වර්තමානයේ වැඩ සිටිම අපි කාටත් සතුටක්, වගේම අපේ භාග්‍යයක්.

වසරකට වතාවක් එළඹෙන කඨින පිංකම ගිහි පිංවතුන්ලා සිදුකරන්නේ බොහෝම ගෞරවයෙන්. ඒ ගෞරවයේ තරමටම පිංවතුන්ලාට පින් රැුස්වෙනවා. වර්තමානයේ කඨින පිංකම බොහෝම මිල අධික පිංකමක් බවට පත්වී ගෙන යනවා. මේවා ගැන සිතීම පැත්තකින් තියලා පිංවත් ඔබ උත්සහ ගන්න ඕනේ කඨින චිවර පූජාවේ සැබෑම අර්ථය ජිවිතයට එකතුකොට ගන්න. ලෝකයටම සඟවා, අනුන්ගේ පිංකමෙන් තමා ගත හැකි උපරිම ප‍්‍රයෝජනය ලබාගැනීමට. පින කියන්නේ සංස්කාරයන් බව ඇත්ත. නමුත් ප‍්‍රඥාව වඩවා ගැනීම උදෙසා පින අත්‍යාවශ්‍ය වෙනවා. ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට වස් ආරාධනා කිරිමත් සමඟම එළඹෙන තුන් මාසයේ පිංවතුන්ලා දානමය, ශීලමය, සද්ධර්ම ශ‍්‍රවණය පිංකම් ගොඩාක් සිද්ධකරගන්නවා. මේ කර ගන්නා වූ පිංකම් විදර්ශනා නුවණ ඇති කර ගැනීම උදෙසාමයි ප‍්‍රයෝජනයට ගත යුත්තේ. පිංවත් ඔබ වස් පිංකම් ආරම්භ කිරිමේදී පූජා කරන වැසි සළුවේ පටන් මුළු වස් පිංකම පුරාවටම ලෝභ, ද්වේෂ, මෝහ සිතක් සකස් වෙන්න දෙන්න එපා. වර්තමානයේ කඨින පිංකම කියන කාරණයේදී තරඟයක් කියන කාරණය අපි දකිනවා. වියදම් පක්ෂයේ වැඩිභාවය තමයි, පිංකමේ සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ වෙන්නේ. සමාජය යන දිශාවකට ගියාදෙන් පිංවතුන් දක්ෂ වෙන්න ඕනේ සමාජයේ ඇස වහලා ඔබගේ විදර්ශනා ඇස තියුණු කරගන්න. පිංවත් ඔබ තුල ලෝභ, ද්වේෂ සිත් හීනකර ගැනීම තුලයි අමෝහය කියන අර්ථය වැඩෙන්න සුදුසු පරිසරය ඔබතුල නිර්මාණය වන්නේ. එතැන සිට පිංවත් ඔබ සිතන්න අතීත සංසාර ගමන පුරාවට අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපිද පිංවත් ඔබ වැසි සළු ලක්ෂ කීයක් පූජා කරගන්න ඇතිද, ඔබේ දෑතින් අතීත සංසාරයන්හිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටත් වැසි සළු පූජා කරලා වස් ආරාධනා කරන්න ඇති. සංසාරයක් පුරාවට ඔබ පූජා කල කඨින වස්ත‍්‍ර ප‍්‍රමාණය එක ගොඩක් කලොත් එය ගිජ්ජකූට පර්වතය ප‍්‍රමාණය ඉක්මවා යාවි. වස් පිංකම් උදෙසා ඔබ පූජා කලාවූ ආහාර, දානය එක ගොඩක් කලොත් එයත් ගිජ්ජකුට පර්වතයේ ප‍්‍රමාණය ඉක්මවා යාවි. ඒ වාගේමයි කඨින චිචර පිංකම් නිසා රැස්කොට ගත් කුසල් සංස්කාරයන් නිසා ඔබ සක්විත රජ සැප, ශක‍්‍ර සැපය කොතෙක් ලබන්නට ඇතිද. මේ අනිත්‍ය භාවය දකිමින් විදර්ශනා නුවණ දියුණු කොට ගන්න.

පිංවත් ඔබලා පසුගිය වසරේ ගෞරවයෙන් පූජා කල කඨින චිවරය මේ වන විට දිරාගොස් ඇති, පාංශකූල චිවරයක් බවට පත්වෙලා ඇති. පසුගිය වසරේ පූජා කල කඨින චිවරයේ අනිත්‍යභාවය දකිමින්, මේ මොහොතේ ඔබ පූජාකරන නැවුම් කඨින චිවරයේද අනිත්‍ය භාවය විදර්ශනා නුවණින් දකින්න. පිංවත් ඔබගේ අතේ තිබෙන කඨින චිවරය, පාංශකූල චිවරයක් වනවා මනසින් දකින්න. දැන් ඔබ තුලින් මෝහයයි දුරුවෙන්නේ. වස් පිංකමේදී අලෝභ, අද්වේෂ සිතුවිලි අතරින් අමෝහය කියන අර්ථවත් ධර්මය මතුකොට ගන්න දක්ෂවෙන්න. එසේ නොමැතිව යන්නන් වාලයේ ඔබත් ගියොත් අතීතයේ ඔබ පූජා කල ගිජ්ජකූට පර්වර්තයේ ප‍්‍රමාණයට වැඞ් කඨින චිවර ගොඩට තවත් එක් කඨින චිවරයක් පූජා කොට, අනිත්‍යභාවයට පත්වෙන සංස්කාරයන් පමණක් රැස්කොටගත් අදක්ෂයෙක් වේවි. එම නිසා අතීතයේ ඔබ සිදුකරගත් සෑම පිංකමකම යථාර්ථය රැස්කරගත්තාවූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය විදර්ශනා නුවණින් දකිමින් රාත‍්‍රී නින්දට යන්න. එවිට එම රාත‍්‍රීය ඔබට යහපත් රාත‍්‍රියක් වේවි.

වස්කාලය ආරම්භයේදීම භික්ෂුව මුණ ගැසෙන්න තරුණ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩියා. වස් කාලයේ ඔබ වහන්සේලා කොහේ වඩින ගමන්ද කියලා භික්ෂුව එම ස්වාමීන් වහන්සේලාගෙන් ඇසුවා. උන්වහන්සේලා දෙනම ප‍්‍රකාශ කළේ, අපි වස් සමාදන් වුනේ නැති බවයි. උන්වහන්සේලා දෙනම වස් එකක් සහිත උපසම්පදා හිමිවරුන් දෙපළක්. භික්ෂුව විමසුවා, ඇයි වස් සමාදන් වුනේ නැත්තේ කියලා. එතකොට උන් වහන්සේලා ප‍්‍රකාශ කරනවා වැස්ස තවම නැති නිසා, වස් සමාදන් වුනේ නැහැය කියලා. ඇසල පොහොයට වැස්ස නැති නිසා මේ ස්වාමීන් වහන්සේලා දෙනම වස් සමාදන් වෙලා නැහැ. භික්ෂුව ඒ වේලාවේ විමසුවා ලබන පසළොස්වක පොහොයටත් වැස්සේ නැත්නම් පසුවස් සමාදන් වෙන්නේ නැද්ද කියලා. ඊට පිළිතුරක් ලැබුනේ නැහැ. භික්ෂුව ඒ වේලාවේ විමසුවා ඔබ වහන්සේලාගේ ගුරුවරයා කවුද කියලා. උපසම්පදා වෙලා ගුරුවරයාගෙන් බැහැරව තනිපංගලමේ යන ස්වාමීන් වහන්සේලා දෙනමක්. මේ ගමන අනතුරු දායක නිසාමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විනය කාරණාවක් පනවන්නේ පස්වැනි වස දක්වා ගුරුවරකේ ඇසුරේ වැඩ සිටින්න කියලා.

මාරයා අපේ ඔළුවට නානාප‍්‍රකාර මතවාද පටවනවා. අප දක්ෂ වෙන්න ඕනේ විනයධර, ධර්මධර, ගුරු ඇසුරක් තුලින් එම මතවාද පරාජය කොට දමන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ නම් ඇසළ මාසයේ පසළොස්වක පොහොයට වස් සමාදන් වෙන්න කියලා අපි එම ඇසළ පොහොයට වස් සමාදන් වෙන්න ඕනේ. කාලයත් සමඟ වෙනස් වන දෙයක් නොවේ, සද්ධර්මය. කාලය වෙනස් වන බව අවබෝධකොට දෙන ධර්මයක්, සද්ධර්මය. පිංවත් ඔබ දකිනවානම් වර්තමානයේ වස් කාලයේ වහින්නේ නැහැ කියලා. ඒ දැක්ම තුල තිබෙන්නේ ධර්මයේ අර්ථය වන අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වීම. මේ වෙනස් වීම නුවණින් දැකලා අපි තව තව ධර්මයට සමීපවෙන්න ඕනේ. වෙනස් වන කාලයත් සමඟ අපිත් දුවන්නේ නැතිව එසේ නොමැතිව වෙනස්වීම උදෙසා වෙනස් වීම් කරලා ධර්මය අධර්මය කිරිම, විනය, අවිනය කිරිම අපි කලයුතු නැහැ. වැස්ස, නියඟය වෙනස් වෙනවා. මේ වෙනස් වීම තමයි ධර්මය කියන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් විනය නීති පනවන්නේ, මේ වෙනස් වීම දැකලා. වෙනස් වන ලෝකය තුළ නොවෙනස් වන අවබෝධයෙන් පරිපූර්ණ වීමට අවශ්‍ය පරිසරය සකස් කොට දීමට. වැස්ස කියන කාරණය නොවේ අපි අදාල කරගත යුත්තේ ඇසළ පොහොය කියන කාරණයයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් පැනවීමයි. හෙට දවසේ මුළු ලෝකයම මහ වැසි වැහැල ගංවතුරෙන් යට වෙන්න පුළුවන්. සතර මහා ධාතුවේ කිපීමේ ස්වභාවය අපට වෙනස් කරන්න බැහැ. සතර මහා ධාතුවේ වෙනස් වීම, වෙනස් වීම තුල සිටිමින්ම අවබෝධ කර ගැනීමයි අපි කළ යුත්තේ. එසේ නොවුන හොත් වෙනස් වන සෘතු නියාම ධර්මයන් සමඟ සැමදාම අපිට දුවන්න වේවි. සතර මහා ධාතුව ඔහේ අනිත්‍යභාවයට පත්වෙමින් දුවපුදෙන්. පිංවත් ඔබ ධර්ම විනය ළඟ නවතින්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ. සද්ධර්මය අතුරුදහන් වෙනවා නම් ඒ පුද්ගලයා ඇති වන්නේ මේ ශාසනය තුලමයි කියලා. මුහුදේ යාත‍්‍රා කරන නැවක් බඩු වැඞ් වීමෙන් ගිලී යන්නේ යම් සේද, ඒ ආකාරයට සද්ධර්මය අතුරුදන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සද්ධර්මයට, සංඝරත්නයට අකීකරුව, ගෞරවයෙන් තොරව, ශික්ෂා පදවලට අගෞරව කිරිම සමාධිය කෙරෙහි අගෞරව කිරිම කියන කාරණා ශාසනය අතුරුදහන් වීමට හේතුවෙනවා කියලා. යම් දවසක සද්ධර්මය වේශයෙන් අසද්ධර්මය පහළවුනොත් එදාට ශාසනය අතුරුදහන් වෙනවාය කියලා. ඒ නිසාමයි ධර්මදායාද සූත‍්‍රයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයට දායාද වෙන්න, අධර්මයට දායාද වෙන්න එපාය කියලා. විනයට දායාද වෙන්න අවිනයට දායාද වෙන්න එපාය කියලා. ඔබලා ධර්මයට දායාද නොවී අසද්ධර්මයට ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා වලට දායාද වුනොත් ඔබලාට පමණක් නොවේ ශාස්තෘන්වහන්සේ වන මටත් මිනිසුන් අගෞරව කරාවි, චෝදනා කරාවි කියලා. එම නිසා අපි ගෞරවයෙන් ආරක්ෂාකර ගත්තා වූ විනය ශික්ෂාවන් සිහිකරමින් ආවර්ජනය කරමින් රාත‍්‍රී නින්දට ගියොත් එම රාත‍්‍රිය යහපත් රාත‍්‍රියක් වේවි.