භික්ෂුවගෙන් පිංවත් මහත්මයෙක් ප‍්‍රශ්නයක් විමසුවා. මෛත‍්‍රිය කොහොමද මාර ධර්මයක් වෙන්නේ කියලා. ඉහත කාරණ සිහිනුවණින් පිංවතුන්ලා තේරුම් ගන්න අවශ්‍යයි. එසේ නොවුනහොත් වැරදි අන්තයකුයි පිංවතුන්ලා අල්ලා ගන්නේ. බුදුරජාණන් වහන්සේ මෛත‍්‍රී භාවනාව වැඩිම නිසා ලැබෙන ආනිශංස එකොළහක් ගැන දේශනා කරනවා. එම ආනිශංස නම්, සුවසේ නින්ද යනවා, සුවසේ පිඹීදෙනවා, සිහිනෙන් බිය නොවෙනවා, මනුෂ්‍යයින්ට, අමනුෂ්‍යයින්, දෙවියන්ට ප‍්‍රිය වෙනවා. ශරීරය ප‍්‍රසන්න වෙනවා, වස විසෙන් හානි නොවෙනවා, සිහිමුලා නොවී මැරෙනවා, සුගතියේ උපදිනවා. ඉහත ආනිශංස ධර්ම වලින් සිහිමුලා නොවී මිය යාමත්, සුගතියේ ඉපදීමත් හැර අන් සියළුම ආනිශංස භික්ෂුව අත් දැකීමෙන් අත්විදලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මතුවට සැප ලබා දෙන පුණ්‍ය ක‍්‍රියාවන් තිබෙනවානම්, ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේ මෛත‍්‍රී භාවනාවයි කියලා. සඳ සියළු තාරකා පරදවා දිලිසෙනවා වගේ අනෙක් සියළුම පුණ්‍ය ක‍්‍රියා පරදවා මෛත‍්‍රී භාවනාව ආනිශංසදායක වෙනවාය කියලා. පිංවත් ඔබ හොඳින් මෛත‍්‍රී භාවනා පුහුණු කලොත් ඉහත ආනිශංස සියල්ලම ලැබෙනවා. නමුත් එම ආනිශංස සියල්ලම අනිත්‍යයි. වෙනස් වෙනවා. මෛත‍්‍රීයේ, ශක්තිමත් ආශ්වාදයක් තිබෙනවා. ආශ්වාදයේ තීව‍්‍රරභාවය නිසාම ආදීනවය ප‍්‍රකට නොවී සැඟවී තිබෙනවා. භික්ෂුවට මතකයි එක්තරා ගොවි ගම්මානයක භික්ෂුව පිණ්ඩපාතයේ වඞ්න කොට එක්තරා අතුරු කුඩා පාරක පිණ්ඩපාතයේ වැඩිය, තවම පාත්තරයට ආහාර කිසිවක් ලැබිලා නැහැ. මීට පෙර එම අතුරු පාරේ භික්ෂුව වැඩම කරලත් නැහැ. එම ගුරු පාර දිගේ භික්ෂුව පළමු ගෙදරට වැඩම කළා. ගෙදර ඉදිරිපිට ටික වේලාවක් වැඩ සිටින විට, ගෙදර මහත්මයෙක් එළියට පැමිණ හාමුදුරුවනේ, අද උදේට ආහාරයක් හැදුවේ නැති බව ප‍්‍රකාශ කලා. භික්ෂුව එම මහත්මයාට පින් අනුමෝදන් කොට ඉදිරියට වැඩම කලා. දෙවැනි නිවසට ටික දුරක් තිබුනා. දෙවැනි නිවසේ වැට කඩුල්ල ඇතුල්වෙනකොටම භික්ෂුව දුටුවා නිවැසි කාන්තාවක් නිවස ඇතුලට වේගයෙන් ගියා. ඇය නැවත එළියට පැමිණියේ නැහැ. භික්ෂුව නිවස ඉදිරිපිට ටික වේලාවක් වැඩ සිට තුන්වැනි නිවසට වැඩම කළා. එම නිවසේ දොර ජනෙල් වසා තිබුණා. ඊට පසු භික්ෂුව හතරවැනි නිවසට වැඩම කලා. එම නිවසේ දොර ජනෙල් විවෘතව තිබුණා. කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැහැ. මේ ගෙවල් හතරට කිලෝමීටරයකට කිට්ටුවෙන්න භික්ෂුව වැඩම කරලා. ඒත් පාත‍්‍රයට කිසිදු ආහාරයක් ලැබුණේ නැහැ. භික්ෂුව නැවත ප‍්‍රධාන මාර්ගයට පැමිණීමට ආපසු හැරුණා. භික්ෂුව පිණ්ඩපාතයේ වැඞ්යේ මෛත‍්‍රී සංඥාවෙනි. මේ දුප්පත් ගම්මානයේ නිවැසියන් උදේට ආහාර නැතුවයි ගත කරන්නේ එය සංසාර අකුසල් විපාකයක්. එම පිංවතුන් කෙරෙහි මෛත‍්‍රීයක්මයි භික්ෂුව තුල වැඩුනේ. මේ ගම් වැසියන්ගේ දුප්පත් බව එම ගම් වැසියන්ව දැකලා දන් පූජා කිරිමේ නොහැකියාව දැකලා භික්ෂුව තව තවත් මෛත‍්‍රී සංඥාවමයි වැඩුවේ. භික්ෂුවගේ මුළු ශරීරයම මෛත‍්‍රීයේ ආශ්වාදයෙන් කුල්මත් වෙලයි තිබුණේ. සෑම රෝම කුපයක්ම සිසිල් වෙලයි තිබුණේ. භික්ෂුවට එම අතුරු පාරේ කිසිදු ආහාරයක් නොලැබ නැවත ආපසු හැරී වැඩම කළේ මහ පොළොවට ඉහළින් වගෙයි භික්ෂුවට දැනුනේ. දෙපා පොළවෙන් ඉහළයි තිබෙන්නේ කියලා. නමුත් දෙපා මහපොළව මතයි තිබුණේ. මෛත‍්‍රී භාවනාවට පුළුවන් මේ ශරීරය සියුම් කොට, සැහැල්ලූ කොට ඉහළට ඔසවන්න. එවැනි ආශ්වාදයක් මෛත‍්‍රීය තුල තිබෙනවා. නමුත් මේ ආශ්වාදය අනිත්‍යයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොඳින් සිහිය පිහිටලා, මෛත‍්‍රී භාවනාව වඩනවානම් සිත කෙළෙසුන්ගේ නැසීම දකිනවා කියලා. ඒ කියන්නේ විදර්ශනා නුවණින් මෛත‍්‍රී භාවනාවේ ආනිශංස දැක්කොත් තමයි කෙලෙසුන්ගේ නිදහස් වීම සඳහා මෛත‍්‍රී භාවනාව ප‍්‍රයෝජනයට ගත්තා වෙන්නේ. එසේ නොමැතිව පිංවතුන් මෛත‍්‍රී භාවනාවේ ආශ්වාද පක්ෂයට වහල් වෙලා මෛත‍්‍රී වැඩුවොත් එය මාර ධර්මයක් වෙනවාමයි.

මෛත‍්‍රී භාවනවා හොඳින් පුහුණු කරලා එහි ආනිශංස වශයෙන් ශරීරය ප‍්‍රසන්න භාවයට, නිරෝගි භාවයට පත්වෙන කොට එම ආශ්වාදයේ අනිත්‍ය භාවය දැකලා මෛත‍්‍රී භාවනාවට සැබෑම වටිනාකම ලබාදෙන්න. මෛත‍්‍රී භාවනාව වඩලා අනාගතයේ නැවත දෙවියෙක්, බ‍්‍රහ්මයෙක් වේවා කියලා ප‍්‍රාර්ථනා කරන්න එපා. ඔබ එහෙම ප‍්‍රාර්ථනා කළොත් අනාගත පංචඋපාදානස්කන්ධයකුයි ප‍්‍රාර්ථනා කරන්නේ. මෛත‍්‍රීය කියන කාරණය ඔබ තුල වැඩෙන්නේ පංචඋපාදානස්කන්ධයක් හැටියටයි. රූපය අනිත්‍ය නම්, මෛත‍්‍රී භාවනාවේ විඳිමත් අනිත්‍යයි. මෛත‍්‍රී භාවනාව වැඞ්ම තුලින් දීර්ඝායුෂ, නිරෝගිභාවය ලබමින් එම දීර්ඝායුෂ විදර්ශනා නුවණ ඇති කර ගැනීම උදෙසාම යොමුකරගන්න. දිනය පුරාවට මෛත‍්‍රී භාවනාව පුහුණු කරලා රාත‍්‍රී නින්දට යනකොට මෛත‍්‍රී වැඩුවා වූ ඔබේත්, ඔබේ මෛත‍්‍රීයට අරමුණු වුනා වූ අන්‍යයන්ගේත් අනිත්‍යභාවය දකිමින් නින්දට යන්න. එවිට එම රාත‍්‍රිය යහපත් රාත‍්‍රියක් වේවි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ සුනේත්ත කියලා ශාස්තෘවරයෙක් සිටියා කියලා. මොහුට ශ‍්‍රාවකයින් දසදහස් ගණනින් ඉඳලා තිබෙනවා. සුනේත්ත ශාස්තෘවරයාගෙන් ශාස්ත‍්‍ර උගත් ශිෂ්‍යයින් සියළු දෙනාම මරණින් පසු බ‍්‍රහ්මතල, දිව්‍යතල වලමයි උපත ලැබුවේ. මනුෂ්‍ය ලෝකයේ උපත ලැබුවොත් රජකුලයේ, සිටු කුලයේ, බ‍්‍රහ්ම කුලයේ, ගම්පති කුලවල තමයි උපත ලබන්නේ. පින නිසාම කිසිම ශිෂ්‍යයෙක් ඊට පහල උපතක් ලබලා නැහැ. සුනේත්ත ශාස්තෘවරයා තම ශිෂ්‍යයින්ට මෛත‍්‍රීය වැඩිම ගැනමයි කියලා දෙන්නේ. මේ සුනේත්ත ශාස්තෘන්වරයාද මරණින් මතු බ‍්‍රහ්මඵලයේ උපත ලබනවා. බ‍්‍රහ්ම ලෝකයේදී මේ සුනේත්ත ශාස්තෘවරයා තමන්ගේ අතීත ශිෂ්‍යයින් සමඟ සමතත්ත්වයේ බ‍්‍රහ්මයෙක් වශයෙන් තමයි උපත ලබන්නේ. සුනේත්ත බ‍්‍රහ්මයා කල්පනා කරනවා පරලොවදී ශිෂ්‍යයින්ට සම වීම සුදුසු නැහැ. එම නිසා බ‍්‍රහ්ම සංඥාවන්ගෙන් මිදි නැවත මනුෂ්‍යලෝකයේ උපතක් සකස් කොටගෙන සත්වසක් මෛත‍්‍රීය වැඩුවා. මෛත‍්‍රී ධ්‍යාන පුරුදු කලා. මෙම පුණ්‍ය මහිමයෙන් කල්ප සියයක් නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණියේ නැහැ. සියළු ශිෂ්‍ය බ‍්‍රහ්මණයින්ට අධිපති මහා බ‍්‍රහ්මයා වුණා. තිස් වතාවක් ශක‍්‍ර දෙවියා බවට පත්වුනා. තිස් වතාවක් සක්විති රජ බවට පත් වුණා. රන් රුවන් මතු වෙන මහා තේජස සහිත දහසකට වැඩි සතුරු සේනා පරදන දරුවන් ලැබිලා තියෙනවා. මෛත‍්‍රී ආනිශංස නිසාම මෙසේ සුනේත්ත ශාස්තෘවරයා මහා යස ඉසුරු ලැබුවද ඔහු තවමත් කාමයන් පසුපස හඹායන්නේ ආර්්‍ය ශීලය, ආර්්‍ය මෛත‍්‍රීය, ආර්්‍ය සමාධිය නොදන්නා නිසාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසාම සුනේත්ත ශාස්තෘවරයා ආර්්‍යය ප‍්‍රඥාව කියන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. විදර්ශනා නුවණ ඇතිකොට ගන්නාතාක් කල් සත්වයා කාමයේ ආශ්වාදයෙන් මිදීමක් නොලබනවාය කියන කාරණය ඔබට පැහැදිලියි. සුනේත්ත ශාස්තෘවරයා කල්ප සියයක් මහා බ‍්‍රහ්ම සම්පත, ශක‍්‍ර සම්පත් සක්විති රජ සම්පත් යන භවගමනේ අග‍්‍රම යසඉසුරු ලැබුවත් මොහු තවම සතර අපායෙන් මිදී නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමයේ ආශ්වාදය, වේදනාවේ ආශ්වාදය, රූපයේ ආශ්වාදයෙන් මොහු මත් වෙලයි සිටින්නේ. කහවුණු වැස්සක් වැස්සත් සත්රුවන් වැස්සක් වැස්සත් වස්තුකාම, ක්ලේෂකාමයන්ගෙන් සත්වයා තෘප්තිමත් නොවේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුනේත්ත ශාස්තෘවරයා විසින් දේවභාෂීතයක් ලෙසින් ජිවිතයට එකතු කොට ගත් අනාර්‍යය ශීලය, අනාර්‍යය සමාධිය, අනාර්‍යය ප‍්‍රඥාව නිසාමයි,මොහු නුවණින් අන්ධභාවයට පත්වී සිටින්නේ. නුවණින් අන්ධසත්වයාගෙන් ස්වල්පදෙනෙක් පමණයි, ලිහිණි වැද්දෙක් එලූ දැලට හසුවී එයින් මිදි පලායන වටුවෙක් මෙන් නිවන් මඟට අවතීර්ණ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දක්ෂභාවය ඔබට ලබා දෙන්නේ ආර්්‍යය ශීලයයි. ආර්්‍යය සමාධියයි, ආර්ය්‍ය ප‍්‍රඥාව විසින්මයි. නමුත් සුනේත්ත ශාස්තෘවරයා විමුක්තිය වශයෙන් දැක්කේ වෙනස් වන දෙයක්. නෙක්ඛම්මය උදෙසායි අපි සිල්පද ආරඏා කරගන්න ඕනේ. සමාධිය පුහුණු කරන්න ඕනේ. තෘෂ්ණාව හීන කරගැනීම උදෙසායි ශීලය, සමාධිය, ජිවිතයට එකතුකොට ගත යුත්තේ. කුමක් කෙරෙහි තෘෂ්ණාවද පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඇතිකරගත් තෘෂ්ණාව, රූප කොපමණ දැක්කත්, විඳීම් කොපමණ ලැබුවත්, ඒවායේ ඇති වීමක් අපට නැහැ. සංස්කාරයන්ගේ විවිධත්වය මත, අපට ලැබුණු දෙයට බැඳෙනවා. ලාටු ගුලියකට බැඳී යන වඳුරු පැටවෙකු වගේ අප තුළ ශීලය රැුකෙන්නෙත්, සමාධිය වැඩෙන්නෙත්, පංචඋපාදානස්කන්ධයන් වශයෙන්මයි. මේ උපාදානයන්ට බැඳෙන සත්වයා නුවණින් අන්ධභාවයට පත්වෙලා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

භික්ෂුව මේ කටු සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ දුප්පත් ගොවි ගම්මානයක. ප‍්‍රධාන පාරේ සිට කිලෝමීටර හයක් පමණ ඈතින් මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ. ගම්මානයට පැමිණෙන බොරළු පාරේ දිනකට දෙවතාවක් පමණක් ගමට පැමිණෙන බස් රථයක් තිබෙනවා. සමහර දාට බස්රථය කැඩිලා, වැස්ස කාලයට පාර එරෙන නිසා බස් රථය ගමට එන්නේ නැහැ. එදාට පාසල් දරුවන් පවා හිමිදිරි උදේම පයින් තමයි පාසලට යන්නේ. වගා කරන බෝගත් කර තබා ගෙන මහ පාරට පොළට යනවා. මේ දවස් වල ගමේ හැමෝම කුඹුරු වැඩ. සමහරුන්ගේ කුඹුරු තිබෙන්නේ ගමෙන්, කිලෝමීටරයක් පමණ ඈතින් කැලය මැද. උදෙන්ම හීල් බත් අනුභව කරලා තවත් බත් මුලක් බැඳගෙන කන්දක් නැඟලා කුඹුරු වලට යනවා. එක එළවළුවකුයි බතුයි තමයි ප‍්‍රධාන ආහාරය. මේ අය දුකක් විඳින්නේ. නමුත් මේ අයට දුකක් පිළිබඳව තේරුමක් නැහැ. බුලත් විටක් හපලා සතුටීන් සිටින්නේ. තමන්ට තිබෙන දෙය ගෞරවයෙන් හොඳින් දන් දෙනවා.

දවසක් දානය පූජා කරපු මහත්මයෙක්ගෙන් භික්ෂුව විමසුවා ‘ මහත්තයෝ දානේ පූජා කරලා මහත්තයා කුමක්ද බලාපොරොත්තු වෙන්නේ ’ කියලා, ප‍්‍රාර්ථනා කරන්නේ කියලා මේ මහත්මයා බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කලා ලබන ජිවිතයේදී මේ ගමේම ඉපදෙන්නයි කියලා. ඒ වේලාවේ භික්ෂුව ඔහුට ප‍්‍රකාශ කලා මේසා දුෂ්කර ගම්මානයක රාත‍්‍රී කාලයට අලින් සමඟ ඔට්ටුවෙලා, පැල් රැුකලා, වැස්ස දවසට බස් එන්නේ නැති මෙහෙම දුකක් විඳලත්, ආයිත් මේ ගමේ මොකට උපදින්න ප‍්‍රාර්ථනා කරනවාද කියලා. ඒ වේලාවේ තමයි ඒ මහත්මයා හිතන්න ගන්නේ තමන් විඳින්නේ දුකක්ය කියලා. පංචඋපාදානස්කන්ධයට බැඳිලා, දුක කියන කාරණට තෘෂ්නාවේ, කුණු රෝඩු වලින් මැකීගොස් තිබෙන්නේ. කල්‍යාණමිත‍්‍ර ඇසුර නැති නිසාම නුවණින් මෙනෙහි කිරිම කියන කාරණය දන්නේ නැහැ. සැපය ගැන කියන සද්ධර්ම ශ‍්‍රවණය ඇසෙන්නේ නැහැ, නුවණින් මෙනෙහි කරන්න. තමන්ට සංස්කාරයන් නිසාම ලැබුණු ජිවිතයට බැඳිලයි සිටින්නේ. සුනේත්ත ශාස්තෘවරයා යම් සේද, කාමයේ, වේදනාවේ, ආශ්වාදයට තෘෂ්ණාවෙන් බැඳි සිටින්නේ, මේ ගමේ පිංවතාත් තමන්ට ලැබුණු දෙය කෙරෙහි ඒ ආකාරයෙන්මයි බැඳි සිටින්නේ. ඉහත අනතුර පිංවත් ඔබ නුවණින් දකිමින් රාත‍්‍රියට නින්දට යන්න. පිංවත් ඔබ ආරක්ෂාකොට ගත් ශීලය ආර්්‍යය ශිලයක් බවට මේ රාත‍්‍රීයේ පත් කර ගන්න.

ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසාම පිංවත් ඔබට ලැබෙන ආනිශංස ධර්මයන් වන තමාගේ කීර්තිය පැතිරෙනවා. ඕනෑම සභාවකට චකිතයකින් තොරව යනවා. අප‍්‍රමාදී බව ඇතිවෙනවා. සිහිනුවණින් මිය යනවා. සුගතියේ උපදිනවා. කියන කරුණු කාරණාවල අනිත්‍යභාවය දකිමින් නින්දට යන්න. සුනේත්ත ශාස්තෘන්වරයාත් දිවිහිමියෙන් සිල්පද ආරක්ෂා කරගත්තා. ඒ තුලිනුයි මෛත‍්‍රී සමාධිය අර්ථවත් වුනේ. නමුත් ශීලය නිසා, මෛත‍්‍රීය නිසා ලැබෙන ආනිශංස ධර්ම වලට තෘෂ්නාවෙන් බැඳුණා. ඒ නිසාම ඔහු තුළ ආර්්‍යය සමාධියක් සකස් වුනේ නැහැ. ඔහු විමුක්තිය කොට අල්ලා ගත්තේ ආශ්වාදයේම අන්තයක්. උතුම් අවස්ථාවක් අපට මුණ ගැසෙන්නේ බොහෝම කලාතුරකින්, සුනේත්ත ශාස්තෘවරයාට නම් කල්ප සියයකින් වත් එවැනි උතුම් අවස්ථාවක් මුණගැසිලා තිබෙනවා. ශීලයත් ආර්්‍යය ශීලයත් අතර වෙනස හඳුනා ගන්න. සමාධියත් ආර්්‍යය සමාධියත් අතර වෙනස හඳුනා ගන්න. ඒ උතුම් අවස්ථාවට ආශ්වාදයේ කෙටි සැපයට බැඳිලා අතපසු කොට ගන්න එපා. අතීතයේ මෙවැනි අවස්ථාවන් අහිමි කොටගත් හුඟදෙනෙක් සිටියා. ඉන් එක්කෙනෙක් තමයි සුනක්ඛත්ත හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වශයෙන් කෙටි කලක් සිටියත් ඒ උතුම් අවස්ථාව අහිමිකොට ගත්ත. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා විමුක්තියක් සොයන මනුෂ්‍යයෝ අවසානයේ අයිති කොට ගන්නේ මිත්‍යා විමුක්තියයි. එම නිසා ගොඩාක් දේවල් පිංවතුන්ලාට සමාජය තුලින් ඇසෙන්න පුළුවන්. නමුත් වඩාත්ම නිවැරදි තැන නැවතීමට පිංවතුන්ලා දක්ෂ විය යුතුයි. වඩාත් නිවැරදිම තැන උතුම් ශ‍්‍රී සද්ධර්මයයි.