භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා දුන්නා. මේ නිසාම මොහුට ධර්මයට සම්බන්ධ යහළුවන් මුණ ගැසුනා. දැන් නරක යහළුවන්ගෙන් මිදිලා මොහු ධර්මයට කැමති යාළුවන්ගේ ඇසුරට පත් වුණා. මෙහිදි ඇතිවන අවදානම දැකලා භික්ෂුව මොහුට අවවාද කලා, හුදකලාව සිටිමයි වඩාත් වැදගත් වන්නේ කියලා. ඒ පිංවත් මහත්මයා එම වැදගත් අවවාදය ගත්තේ නුහුරට. ඒ නිසාම එම අවවාදයෙන් බැහැරව ධර්මයට කැමති යහළුවන් ආශ‍්‍රය කලා. මේ මහත්මයා තමන් සමඟ යමෙක් කතාකලොත් ධර්මය තමයි කතා කලේ. ඒ නිසාම මොහු ඇසුරු කල ධර්මයට කැමති, නමුත් ප‍්‍රඥාව නොවැඩුනු යහළුවෝ සැම විටම මොහුව ඔසවා තැබුවා, අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ප‍්‍රකාශ කරනවා මුරුංගා අත්තේ තබනවා කියලා. අනුන් තමාය මුරුංගා අත්තේ තැබුවත් තමන් ගහෙන් බිමට බහින්න ඕනේ කියන අවබෝධය ඔහුට තිබුණේ නැහැ. අනුන් දෙන ලකුණු නිසා ඇතිවන ආශ්වාදය ඔහු දැක්කේ අවබෝධයක් හැටියට. දවසක් මේ මහත්මයා ධර්ම සාකච්ඡුාවක් අවස්ථාවේදී භික්ෂුවට කියනවා නිවන් අවබෝධය කියන එක කොච්චර ලෙහෙසි දෙයක්ද කියලා. ඒ වචන පෙල ඔහුගේ මුවින් ඇසෙන කොට එම පිංවත් මහතා මොන තරම් මුලාවක වැටිලාද කියන කාරණය පැහැදිලි වුණා. ඒ අවස්ථාවේ භික්ෂුව ඔහුට අවවාද කලා නිවන් අවබෝධය කියන කාරණය ඉතා ලෙහෙසි කාරණයක්ය කියලා නැවත කියන්න එපා කියලා. එය තමා තමාටම කරගන්නා ද්‍රෝහී කමක්ය කියලා. මෙවැනි මුලාවකට ඔහුව පත් කළේ ඔහුගේ ධර්මයට කැමැති යහළුවන්මයි. මේ අවධානම දැකලයි භික්ෂුව ඔහුට අතීතයේදී අවවාද කළේ හුදෙකලාවේම සිටිමයි වැදගත් වන්නේ කියලා. කල්‍යාණ මිත‍්‍ර ඇසුර තූලින් අපි ධර්මයේ අර්ථවත් කොනක් අල්ලාගන්නා කොටම මාරයා කුමන හෝ තොන්ඩුවක් බෙල්ලේ එල්ලනවා ඇති කොටගත් අර්ථය මෝහයෙන් විකෘත කරන්න. ධර්මයේ වේශයෙන්මයි මෙතැනදි මාරයා හැසිරෙන්නේ. එම නිසාම බහුතරය මෙතැනදී රැුවටීමට හසුවෙනවා. ඉහත පිංවත් මහත්මයා නරක යහළුවන්ගෙන් මිදිලා ධර්මයට කැමැති යාළුවන් ඇසුරු කළාය කියලා අවසානයේදී වෙනසක් වෙලා නැහැ. මුලදී අකුසල් පක්ෂයේ ආශ්වාදයට බැඳුණා, දෙවනුව කුසල් පක්ෂයේ ආශ්වාදය බැඳුණා. දෙතැනදීම වැඩෙන්නේ මෝහයයි. අප‍්‍රමාදී භාවය කියන වචනයට ඔබේ ජිවිතය තුලින් සැබෑම වටිනාකම ලබාදීමට ඔබ යන මේ ගමනේදී ධර්මයේ වේශයෙන්මයි මාරයා හැසිරෙන්නේ කියන කාරණය හොඳින් සිහිතබාගත යුතු වෙනවා.

ධර්ම සාකච්ඡුාවකට පැමිණි මහත්මයෙක් තමන්ගෙ භාවනා කරන හිතවතෙකුට වෙච්ච සිද්ධියක් සඳහන් කළා. තම හිතවතා භාවනා ගුරුවරයෙක් යටතේ භාවනවා පුහුණු වන අයෙක්. මොහු ආනාපානාසති භාවනාව පුහුණු වෙන කොට මෑතක සිට මොහුට බඩ පුරවා දැමීමක් සමඟ ඔක්කාරය ඇතිවීමේ ලක්ෂණ ඇතිවෙනවාලූ. භාවනා කරන විට නිතර නිතර මේ ලක්ෂණය ඇතිවෙන නිසා මොහු තම භාවනා ගුරුවරයාට උදරයේ ඇතිවන අපහසුතාව ප‍්‍රකාශ කරලා. ඒ වේලාවේ භාවනා ගුරුවරයා කියනවාලූ කලබල වෙන්න බිය වෙන්න එපා. ඔබට ඉක්මනට ඵලයක් ලැබීමේ ලක්ෂණයි ඔය පහළ වෙලා තිබෙන්නේ කියලා. රෝගී භාවයක ලක්ෂණ අවබෝධයක ලක්ෂණ හැටියටයි ගුරුවරයා ප‍්‍රකාශ කරලා තිබෙන්නේ. මේ වැරදි උපදේශය නිසාම මෙම යෝගාවචර මහත්මයා භාවනාවට වාඩිවී මොහොතකින් තමා තුලින්ම උදරයේ ඔක්කාරයට ඒමේ ලක්ෂණ ඇතිකරගන්නවා. මොකද වැරදි ගුරු උපදේශයක් නිසා ඔහු රැුවටිලා මෙම රෝගී තත්ත්වය අවබෝධයක පෙර නිමිති හැටියටයි සිතාගෙන සිටින්නේ. මෙවැනි විහිළු තහළු වලින් පිරුණු සමාජයක හොඳ සිහිනුවණින්මයි පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ ගමන යා යුත්තේ.

උදාවෙන සෑම රාත‍්‍රියක්ම පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනා යහපත් රාත‍්‍රියක් කර ගැනීමට පිංවත් ඔබ දක්ෂ වුනොත් සමාජය ඔබට අතවනනා වැරදි මාර්ගවලට නොඇලී සිටිමට ඔබට හැකිවනු ඇත. යහපත් රාත‍්‍රීයක්මයි යහපත් හෙට දවසක් ඔබට උදාකර දෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකින්න, වේදනාවේ අනිත්‍යභාවය දකින්න, ආශ්වාදයේ මත්වීමට මුලාවෙන්නේ නැහැ. හොඳ නරක දෙකටම ඔහු බැඳෙන්නේ නැහැ. ඔහු දක්ෂයි. නිවැරදි තැන නවතින්න. නැවතුන කෙනාතුලමයි අපි අවබෝධයක පෙර නිමිති දකින්නේ. එතෙක් දුවන්නන් වාලේ දුවන්නන් බවටයි අප පත්වන්නේ. දැන් දිව්වා ඇතිද, තවත් දුවනවාද, කියන කාරණය නුවණින් සිහිකරමින් රාත‍්‍රී නින්දට යන්න. එවිට එම රාත‍්‍රිය ඔබට යහපත් රාත‍්‍රියක් වේවි. එම යහපත් රාත‍්‍රියම පිංවත් ඔබට අළුත් ගමනක ආරම්භයක් ඇතිකොට දේවි. ඒ ගමනේදී පිංවත් ඔබ උඩුගම් බලායන කෙනෙක්. ලෝකය දෙසට නොවේ, ඔබ ගමන් කරන්නේ ලෝකයෙන් මිදීම දෙසට. ඒ කියන්නේ ඔබ සම්මා සම්බුද්ධ ශාසනයකදී හමුවන දුර්ලභ පුද්ගලයෙක්. ඔහු තුල විශ්වාසයක් සකස් වෙනවා. කවුරුන් තමා ළඟ සිටියත් මුළු ලෝකයාම තමාගේ කරට අත්වැල් දමාගෙන සිටියත්, බුදුරජාණන් වහන්සේ තමා ළඟ නැතිනම් තමා අසරණයෙක්ය කියලා. බුදුරජාණන් වහන්සේ තමා ළඟ සිටිනවා නම්, මුළු ලෝකයම අහිමි වුනත්, ඔහුට බියක් සකස් වෙන්නේ නැහැ අපි බුදුරජාණන් වහන්සේගේ සරණ ජිවිතයට එකතුකර නොගැනීම නිසාමයි දුවන්නන් වාලේ දුවන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ සරණ අහිමිකරගන්න පිංවතා හමුවෙන හමුවෙන ඇසෙන දකින හැමෝගේම මුහුණ බලමින් මට මොහුගෙන් යහපත් දියුණුවක් ලැබේවි කියමින්, මට මොහුගෙන් මගේ රැකියාවට ව්‍යාපාරය, විවාහය සාර්ථක වේවියැයි සිතමින් කටයුතු කරන බව. මේ මනුෂ්‍ය ලෝකයේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, සක්විති රජුයි. මේ සක්විති රජුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. සියළුම දිව්‍යතලයන්ට අධිපති වන්නේ ශක‍්‍ර දෙවියායි. එම ශක‍්‍ර දෙවියාත්, බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මුළු බ‍්‍රහ්මථල වලට අධිපති වන්නේ මහා බ‍්‍රහ්මයායි. එම මහා බ‍්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා. එහෙම නම් තුන්ලෝකයටම ශ්‍රේෂ්ඨ වන්නේ ශක්තිය වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ උතුම් ශක්තිය ළඟ පිංවත් ඔබ නවතින්න.

භික්ෂුව දන්න පිංවත් මහත්මයෙක් සිටිනවා. ඒ මහත්මයා වත්පෝසත්කම් වලින් පරිපූර්ණ මහත්මයෙක්. ඒ මහත්මයාත් කල්පනා කරනවා තමාගේ ධනයට කුමක්ද කරන්නේ කියලා. මේ ධනය කුමකට ආයෝජනය කලොත්ද, වැඩිම පොලියක්, වැඩිම ප‍්‍රතිලාභයක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ මහත්මයා දීර්ඝ කාලයක පටන් කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය සද්ධර්ම ශ‍්‍රවණය කරන අයෙක්. ශ‍්‍රවණය කලා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරිම නිසාම ඒ මහත්මයා තම මුදල් ආයෝජනය කිරිමට වැඩි පොළියක් ගෙවන බැංකු ගැන සොයා බලනවා. ඒ මහත්මයා දකිනවා වාර්ෂිකව 10% පොළියක් ගෙවන බැංකු තිබෙනවා. වාර්ෂිකව 13% ක පොළියක් ගෙවන බැංකු තිබෙනවා. මේ මහත්මයාට ඇත්තටම මේ පොළිය සොච්චම් පොළියක්. සද්ධර්ම ශ‍්‍රවණය කිරිම නිසාම එම ධර්මය නුවණින් මෙනෙහි කිරිම නිසාම මේ පිංවත් මහත්මයා දකිනවා සම්මා සම්බුද්ධ ශාසනය නැමැති බැංකුවේ ගෙවන පොලී අනුපාතිකය බොහොම ඉහළයි කියලා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක දුප්පත් මහත්මයෙක් සිටියා. ඈත ග‍්‍රාමීය ප‍්‍රදේශයක දිරාගිය පැල්පතක් උරුම කරගෙන බිරිඳ සමගිනුයි ජීවත් වුණේ. ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසාම මේ දුගී මහත්මයා රැුකියාවක් සොයාගෙන නගරයට යන්න පිටත් වුණා. බිරිඳ මඟදී අනුභව කරන්න බත් මුලක් බැඳ දුන්නා. එම බත්මුලේ තිබුණේ බතුයි කරකොල මැල්ලූමක් පමණයි. මැල්ලූමට පොල් දමලා තිබුණේ නැහැ. මේ දුගී පිංවත් මහත්මයා බත් මුලත් අරගෙන කැලේ මැදින් නගරයට ගමන් කරන කොට බඩගිනි දැනීම නිසා ගසක් මුල වාඩි වී බත්මුල අනුභව කරන්න පටන් ගත්තා. මේ වේලාවේ මෙතන පසු කොට අනුරුද්ධ මහ රහතන් වහන්සේ වැඩම කලා. දුගී මහත්මයා දන්නේ නැහැ මේ වඩින්නේ රහතන් වහන්සේ නමක් කියලා. අඩක් අනුභව කොට තිබු බත් පාර්සලය මේ දුගී මහත්මයා ස්වාමීන් වහන්සේට පුජා කලා. දුගී මහත්මයාට පිංඅනුමෝදන් කොට ස්වාමින් වහන්සේ වැඩියා. මේ දුගී මහත්මයා වෙහෙස නිසාම ගසමුල නිදා සිටියදී සර්පයෙක් දෂ්ඨ කිරිම නිසා මිය යනවා. මිට ටන මොහොතේ දුගී මහත්මයාට කල්පනා වෙනවා තමා පූජා කලා වූ දානය. මේ හේතුවෙන්ම සශ‍්‍රීක දිව්‍යතලයක සියළු යස ඉසුරු ඇති දෙවියෙක්ව උපත ලබනවා. තමන් අනුභව කරමින් සිටි බත් මුලෙන් ඉඳුල් බත් කොට සම්මා සම්බුද්ධ ශාසනය නැමැති බැංකුවේ තැන්පත් කොට සශ‍්‍රීක අසිරිමත් මිල කල නොහැකි දිව්‍ය සැපයක් කියන ප‍්‍රතිලාභය, පොළිය මේ දුගී මහත්මයා ලබනවා. නොවටිනා ඉඳුල් බත්මුලකට ලැබුණු පොළිය, ප‍්‍රතිලාභය දැක්කම මුලින් සඳහන් කල පිංවත් මහත්මයා තීරණය කරනවා තමාගේ ධනයත් වැඩිම ප‍්‍රතිලාභයක් ලැබෙන සම්මා සම්බුද්ධ ශාසනය නැමැති බැංකුවේ තැන්පත් කරනවාය කියලා. එම පිංවත් මහත්මයාගේ සිතේ ඇතිවුන සත්පුරුෂ සිතුවිල්ලේ ප‍්‍රතිඵලයන් නිසා මහා සංඝරත්නය අරමුණු කොට ගෙන ශාසනික සේවාවන් හුඟාක් සිද්ධකලා නිරතුරුවම දන්දීම් සිදුකලා. ඉහත ආදර්ශයට අනූව පිංවත් ඔබත් නූතන බැංකුකරණයේ නොවටිනා පොළියට මුලානොවී, අඩුම තැන්පත් මුදලට වැඩිම ප‍්‍රතිලාභයක් ලබාදෙන සම්මාසම්බුදු ශාසනය තුලම ඔබේ ධනය තැන්පත් කරන්න දක්ෂවෙන්න.

යහපත් රාත‍්‍රියක් ගැන සටහන අවසන් කරන කොට නැවතත් කොසොල් රජතුමාව මතකයට පැමිණියා. කොසොල් රජතුමා ස්වභාවයෙන්ම බොහෝම පුෂ්ඨිමත් ශරීරයක් ඇති රජකෙනෙක්. මොහු පමණ දැන ආහාර ගැනීම සිදුකළේ නැහැ. සිතත් බඩත් හොඳින් පිරෙන්න ආහාර ගත්ත රජකෙනෙක් දිනක් දහවල් ආහාරයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ ආහාරයෙන් මත්වීම නිසාම බොහෝම අපහසුවෙන් තමයි බුදුරජාණන් ඉදිරියේ වාඩිවී සිටියේ. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම කල්හිම සිහිය ඇතිව ආහාරයේ පමණ දැන ආහාර අනුභව කරන්න, තමාගේ වේදනාවන් තුනී කර ගන්නවා කියලා. මේ අවවාදයෙන් පස්සේ රජතුමා ආහාර ගන්නා විට බත්කට බැගින් අඩු කොට දිනපතා අනුභව කරන ආහාර ප‍්‍රමාණය අඩුකර ගෙන කායිකව මානසිකව විධි පීඩාව තුනී කොට ගත්තා. නිරෝගී ජිවිතයක් සුවදායි නින්දත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉහත කාරණා දෙකම අර්ථවත් වීමට, සිහියෙන් යුතුව පමණ දැන ආහාර ගැනීම වැදගත් වෙනවා. යම් දවසක නිරෝගී භාවයෙන් අනිත්‍යභාවය දැකීමට නම් නිරෝගී ජිවිතයක් තිබිය යුතුයි. නිරෝගි ජිවිතයක් යහපත් රාත‍්‍රීයක් උදෙසා හොඳ ප‍්‍රවේශයක් සිහියක් ඇතිව පමණ දැන ආහාර ගැනීමට පුහුණු වීම තුළ තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

එම ප‍්‍රවේශය තව තවත් ශක්තිමත් කරගැනීමට, සක්මන් භාවනාව හුඟාක් උපකාර වෙනවා. රාත‍්‍රී නිදියහනේදී, ගිනිගත් සිතුවිලි, වේගවත් සිතුවිලි ඔබව පීඩාවට පත්කරනවා නම්, රාත‍්‍රී නින්දට පෙර අවම වශයෙන්, විනාඞ් පහළොවක්වත්, සක්මන් භාවනාවේ යෙදෙන්න, උත්සහගන්න. තබන සෑම පියවරකම ඇතිවීම, නැතිවීම, දකිමින් සක්මන් කරන්න. සිතුවිලි දෙස නොව පියවර දෙසට අවධානය යොමුකරන්න. එවිට සිතේ ඇතිවෙන සංහිදිමත්, කායිකව ඇතිවන වෙහෙසත්, යහපත් රාත‍්‍රියකට අවශ්‍ය පරිසරය ඔබට සකස්කොට දෙනු ඇත. ජිවිතය නැමැති නැවේ පිරිලා තිබෙන කාමච්ඡන්ද, දෘෂ්ඨි, මතවාද නැමැති වතුර ඉවත්කොට දමන්න. වතුර හිස්කරපු නැව හරිම සැහැල්ලූයි, කුසලය දෙසටම පිංවත් ඔබව යොමුකරනවා. එම කුසල් සිතමයි සතර අපායෙන් මිදිමට ඔබට උපකාරිවෙන්නේ.