භික්ෂුව හොඳින් හඳුනන රජයේ රෝහලක වසර තිහකට වැඩි කාලයක් සේවය කල හෙදි පාලිකාවක් සිටියා. ඇය තම රෝහලේ සේවය අකුරටම සිදුකල හෙදි සොයුරියක්. ඇය නිරතුරුව ප‍්‍රකාශ කලේ තමාට සිල් සමාදන්වීමට දන් දීමට, භාවනා කිරිමට, අවශ්‍ය නොවන බවත්, තමා රෝගීන් වෙනුවෙන් කරන සේවය, රෝගී උපස්ථානය, තමාට හොඳටම ප‍්‍රමාණවත් බවයි. ඇය රෝහල් සේවය තුළින්, රෝගීන්ට කරන උපස්ථානය, ලොකුම පිංකම හැටියටයි විශ්වාස කලේ, මේ හේතුව නිසාම ඇය පන්සල් යාම සිල්සමාදන් වීම, දන්දීම, සිදුකලේ බොහෝම අඩුවෙන්, මේ සටහන ලියන වේලාවේ, විශ‍්‍රාමික ඇය දැඩිලෙස රෝගීව, සිහිමද ගතියෙන් පසුවෙන්නේ, ඇය මෙලෙස රෝගීව මාස හයකට වැඩියි. ඇයගේ ඥාතීන් කියන්නේ ඇය හුඟාක් දුක් විඳින බවයි.

පිංවත් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ඔබ නුවණින් දකින්න. උතුම් තෙරුවන් සරණ පැත්තෙකින් තබලා, රෝගීන් සරණකරගත් හෙදි සොහොයුරියක්, උතුම් ශීලය සිල්වතුන් උදෙසාම පූජාකරන දානය පැත්තකින් තබලා, රෝගීන්ට පමණක් සලකපු, උපස්ථාන කරපු ගෞරවනීය හෙදි සොහොයුරියගේ, ජිවිතය තුල මෙවැනි මොහොතක, ශක්තිමත්ව මතුකොට ගැනීමට කුසලයක් තිබිය හැකිද, සමහරක් පිංවතුන් සිතනවා. තමන් රාජකාරිය හැටියට රෝගීන්ට කරන්නා වූ ප‍්‍රතිකාර, උපස්ථාන නිසා තමන්ට දාන, ශීල භාවනා කටයුතු කිරිමට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා, පිංවත් ඔබ මේ මුලාවෙන් බැහැර වෙන්නට ඕනේ. පිංවත් ඔබ රෝගීන් උදෙසා කරන සේවය, ඔබේ මරණය නැමැති අභියෝගාත්මක අවස්ථාවේදී, ශක්තිමත් කුසලයක් බවට මතුකොට ගැනීමට, ඇති ඉඩකඩ ඉතාමත් සීමිතයි. මොකද පිංවත් ඔබ, රැකියාවක් වශයෙන්, වැටුපක් උදෙසායි මේ උපස්ථානයන් සිදු කරන්නේ. උසස්වීම්, අතිකාල, දිරිදීමනා, සේවා සුරක්ෂිතභාවය, වෘත්තිය අයිතිවාසිකම්, මේවා ලබාගනිමිනුයි ඔබ රෝගියාට උපස්ථානය කරන්නේ.

දෙවනි කාරණය තමයි, පිංවත් ඔබේ උපස්ථානයට ලක්වෙන රෝගියා, සමහර විට පංචශීලයවත් රකින්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම්, තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර කෙනෙක් වෙන්නත් පුළුවන්, එහෙම වෙනකොට කුසල් මූලයන් ශක්තිමත්ව මතුකොට ගැනීමට හැකියාව නැතිවෙනවා. රෝගීන්ට උපස්ථානය කිරිම සම්බන්ධව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බොහෝම පැහැදිලි දේශනාවක් කොට තිබෙනවා. මේ දේශනාවට වැරදි අර්ථයන් දක්වමින් පිංවතුන් සිතනවා. රෝගීන්ට උපස්ථානය කිරිම, බුදුරජාණන් වහන්සේට උපස්ථානය කිරිමක්ය කියලා. මේ මතය නිසාම රැුකියාවක් වශයෙන් රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම, උපස්ථාන කිරිම තුළින් ප‍්‍රාතිහාර්්‍යයක් බලාපොරොත්තු වෙනවා.

ඉහත මතය සම්පූර්ණ වැරදි මතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ, යමෙක් රෝගීන්ට උපස්ථානය කරන්නේ නම්, ඔහු හෝ ඇය, බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙය කරන කෙනෙක් වෙනවාය කියලයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට, කරන උපස්ථානය, ප‍්‍රතිකාරය, ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨම පිංකමක් වෙනවා. එය ශ්‍රේෂ්ඨම පිංකමක් වන්නේ, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, ඥාණයන් නිසාමයි. දෙවැනි ශ්‍රේෂ්ඨ පිංකම වන්නේ, මහා සංඝරත්නය උදෙසා කරන උපස්ථානයයි. තෙවනුව ශ්‍රේෂ්ඨ වන්නේ ශීලයන් ආරක්‍ෂාකර ගනිමින් ජීවත්වන පිංවතුන්ට කරන උපස්ථානයයි. අනෙකුත් සියළුම උපස්ථානයන් මේ සීමාවෙන් පහළටයි ගැනෙන්නේ. ඉහත උපස්ථාන ඔබ කළ යුත්තේ ලාභසත්කාර, කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තුව නොවෙයි. එසේ බලාපොරොත්තු ඇතිකරගතහොත්, ආනිශංස පක්ෂය හීන වෙනවා. මොනම හේතුවක් නිසාවත් රෝගීන්ට උපස්ථානය කිරිම බුදුරජාණන්වහන්සේට කරන උපස්ථානයක් වශයෙන් දකින්න එපා. එහෙම වුනොත් පිංවත් ඔබට බුදුරජාණන්වහන්සේගේ උතුම් ඥානයන් ගුණයන් කෙරෙහි සද්ධාව සකස්කොට ගැනීමට නොහැකිවෙනවා.

මෙම කාරණය සඳහන් කිරිමට භික්ෂුව අදහස් කලේ, වෛද්‍ය ක්ෂේත‍්‍රයේ සමහරක් පිංවතුන්, තමන් රෝගීන්ට කරන උපස්ථාන තුලින් පමණක් සෑහීමට පත්වෙන ප‍්‍රවණතාවයක් දැකීමට තිබෙන නිසා. පිංවත් ඔබ රෝගීය උපස්ථානය, තෙරුවන් කෙරෙහි සද්ධාවත්, ශීලයත්, දානයත් තුලින් අයෝමය ශක්තියක් බවට පත්කොට ගැනීමට දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝගියා යනු දේවදුතයෙක්ය කියලා. රෝගියා තුලින් දේවදුතයා මතුකොට ගන්නේ පිංවත් ඔබත් ලෙඩවෙන මැරෙන ස්වභාවයෙන් යුක්ත බව තේරුම් ගැනීමෙන් රෝහල කියන්නේ රෝගියා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, සතර සතිපට්ඨාන ධර්මයන්ම හොඳින් වැඩෙන මරණානුස්සතිය අසුභය කමටහන් හොඳින් වැඩෙන තෝතැන්නක්.

මෙතනදි පිංවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මෛත‍්‍රිය නැමැති, විපාකදී අවසන් වන සංස්කාරයන්ගෙන් ඔබ්බට ගොස්, ධර්මයේ සැබෑම අරටුව වන අනිත්‍ය, දුක්‍ය, අනාත්ම, ධර්මතාවයෙන්ම, රෝගියා තුලින් මතුකොට ගන්න. රෝගියා තුලින් තමාව දකින්න. අතීත සංස්කාරයන්ගේ බියකරුබව නුවණින් මෙනෙහි කරන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, නොදන්න, බටහිර සමාජය, රෝගී උපස්ථානය තුළින් ආශ්චර්ය්‍යක් බලාපොරොත්තු වෙනවා. පේ‍්‍රත ලෝකයේත්, තිරිසන් ලෝකයේත්, නිරෝගි පේ‍්‍රතයින්, නිරෝගි තිරිසන් සතුටින් සිටිනවා. මේ අය, පෙර මනුෂ්‍ය ජිවිත වල ඉපිද රෝගීන්ට හොඳින් උපස්ථානය කළ උදවිය, නමුත් සද්ධාව, ශීලය කියන කාරණාවන්, කර්මය කර්මඵල විශ්වාසය ජිවිතයට එකතුකොට ගන්නේ නැහැ. අපි මරණින් මතු නිරෝගී පේ‍්‍රතයෙක්, නිරෝගි තිරිසන් සතෙක් වෙලා වැඩක් නැහැ. උතුම් සම්මා දිට්ථියට පත් වූ මනුෂ්‍යයත්වයයි, දේවත්වයයි වටින්නේ. ඒ වටිනාකම ලබාගන්න නම්, තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දානයට ජිවිතය තුලින් වටිනාකම ලබාදෙන ගමන්ම, රෝගී උපස්ථානයද, කරුණාවෙන් ගෞරවයෙන් යුතුව සිදුකරමින් රෝගි උපස්ථානය අර්ථවත්කොට ගන්න දක්ෂ වෙන්න.

පිංවත් දොස්තර මහත්මයෙක් ධර්ම සාකච්ඡාවකදී ප‍්‍රශ්නයක් ඇසුවා, ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණුවෙනකොට මනුෂ්‍යයාගේ ආයුෂ වැඩිවෙන්න, රෝගි භාවයන් අඩුවෙන්න ඕනේ නේද කියලා, වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද, වෛද්‍ය විද්‍යාවට හැකියාවක් නැහැ ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥාණයට අභියෝගකිරිමට. බුදුරජාණන්වහන්සේ ලෝකය විවරණය කරන්නේ සංස්කාරයන්ට අනූව, හේතුඵල ධර්මයන්ට අනූව, වෛද්‍ය විද්‍යාව යනු දැනුම් සම්භාරයක් පමණයි. සංස්කාරයනුයි ලෝකය තීරණය කරන්නේ. වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණු ඖෂධ සොයාගත්තත්, මනුෂ්‍යයාගේ ආයුෂ දීර්ඝ කිරිමට, මනුෂ්‍යයා නිරෝගි කිරිමට බැහැ. ඊටත් වඩා ශක්තිමත්, විෂබීජයක්, වෛරසයක් මනුෂ්‍යයා තුළින් සකස්වෙනවා. මනුෂ්‍යයා තුල මේ විශබීජ, වෛරස සකස්කරන්නේ දුෂ්ශීලභාවය විසින්. ඒඞ්ස් කියන වෛරසය නිර්මාණය කළේ, දුෂ්ශීල භාවය විසින්, පිළිකාව කියන රෝගය නිර්මාණය කලේ අතීතයේ සිදුකළ අකුසල් හේතුවෙන්, අකුසල් කියන්නේ ශීලයෙන් දුර්වල වීම. අනාගතයේදී මීට වඩා දරුණු රෝගාබාධ මනුෂ්‍යයා තුලින් මතුවී එන්නේ දුශ්ශීල භාවය නිසාමයි.

එසේ නම් පිංවත් ඔබට, ලෝකයා නිරෝගි භාවයට පත්කිරිමට අවශ්‍ය නම්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව මනුෂ්‍යප‍්‍රජාව උදෙසා සැබෑ ලෙසටම ප‍්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය නම්, මනුෂ්‍යයා සිල්වත් භාවයට පත් කිරිමෙන් පමණයි එය කළ හැක්කේ. දුෂ්ශීල භාවයමයි ආයුෂ අඩුවීමත් රෝගාබාධයන්ටත් හේතු සාධක වන්නේ. පිංවත් රෝගීන් දිනකට බෙහෙත් වේල් තුනක් ගන්නවා වගේම, අවම වශයෙන් දිනකට එකවතාවක් වත්, ජාති ආගම් භේදයකින් තොරව පංචශීලය සමාදන්ව, ආරක්‍ෂාකොට ගන්නවා නම්, එය රෝගියා ලබාගන්නා වටිනාම ප‍්‍රතිකාරය වෙනවා. උතුම් සිල්වත්භාවය තුල සිටිමින්ම, එක මොහොතක් හරි මෛත‍්‍රී චිත්තයක් සකස්කොට ගන්නවා නම් එය උතුම් ප‍්‍රතිකාරයක්මයි වෙන්නේ. පිංවත් වෛද්‍ය මහත්මයෙක් රෝගියාට ප‍්‍රතිකාර කරනවා යනු සංස්කාරයන්ට ප‍්‍රතිකාර කිරිමක්. සංස්කාරයන්ට ප‍්‍රතිකාර කොට නිමාවක් අවසානයක් දැකිය නොහැකි බව, පිංවත් ඔබලාගේ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් තුලින්ම අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පිංවත් ඔබෙන් ප‍්‍රතිකාර ලබන රෝගියා සංස්කාරයන්ගේම ඵලයන් වගේම පිංවත් ඔබගේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ දැනුම, හැකියාව, විශේෂඥ හැකියාවද සංස්කාරයන්ගේම ප‍්‍රතිඵලයක් බව නුවණින් දැකීමට දක්ෂවුවහොත්, පිංවත් ඔබට යම් ප‍්‍රමාණයකට සංස්කාර නැමැති පැටළුන නූල් පන්දුව පැටළුම දිගහැරගන්නා ප‍්‍රමාණයටයි, ඔබතුල වෘත්තීය හැකියාවන් පිලිබඳව, මමත්වයේ දැඞ්භාවය තුති වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් උසස් අධ්‍යාපනයට යොමු වන්නේ උසස් අධ්‍යාපනය තුලින් සමාජයේ පැසසුම් ලබන වෘත්තිකයෙක් බවට පත්වෙන්නේ, පෙර ජිවිතයේදී අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකල නිසා, ගරු කල යුත්තන්ට ගරු කල නිසා. අනුන්ට දැනුම ලබාදීමට සත්පුරුෂභාවයෙන් උපකාර කල නිසා, මහණ බමුණන්ගෙන් කුසලය කුමක්ද, අකුසලය කුමක්ද කලයුතු දෙය කුමක්ද නොකල යුතු දෙය කුමක්ද කියලා ඇසීමට දක්ෂ වූ නිසාය කියලා. මේ අතීත කුසල් සංස්කාරයන්ගේ ශක්තියයි, ඔබ ලබා ඇති උසස් වෘත්තියේ හැකියාව.

දැන් ඔබට පුළුවන්, තරාදියේ දෙපැත්ත හොඳින් දකින්න. රෝගයක් යනු අකුසල් සංස්කාරයන්ගේ ඵලයයි. රෝගයට ප‍්‍රතිකාර කරන ඔබේ විශේෂඥ දැනුම කුසල් සංස්කාරයන්ගේ ඵලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ෂයා, අදක්ෂයා, නූගත්බව, පණ්ඞ්ත බව යනු කර්මයන්ම මූලිකකොට ඇතිවන්නක්ය කියලා. මෙතන ඇත්තේ ධනය, කීර්තිය, මමත්වය රැුස්කළයුතු ක‍්‍රියාවක් නොව අවබෝධයෙන් හඳුනාගත යුතු ක‍්‍රියාවලියකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ප‍්‍රතිකාර උපස්ථාන කල ජීවක වෛද්‍යවරයා පවා නිවන් අවබෝධ කර ගත්තාය, කියන කාරණය, භික්ෂුව අසා නැත. එය එසේ වූයේ බුදුරජාණන් වහන්සේට ප‍්‍රතිකාර කලද තමන්ගේ උපස්ථානයට ලක්වූ රෝගියාද තම විශේෂඥ වෛද්‍ය හැකියාවද, සංස්කාරයන්ගේම ඵලයක් හැටියට දැකීමට දක්ෂභාවය, ඔහු තුල නොතිබුන නිසාමය.

සංස්කාරයන්ට අනූව ජිවිතය දකිනකොට ඔබ තුල ධර්මරත්නය කෙරෙහි අචල සද්ධාවයි මෝදුවෙන්නේ. අචල සද්ධාව මෝදුවෙන ප‍්‍රමාණයට ඔබතුලින්ම විච්කිච්චාව තුනී වෙනවා. උතුම් ධර්මරත්නය ආරක්ෂා කරගන්නා සංඝරත්නය කෙරෙහි ගෞරවය සකස් වෙනවා. මෙන්න මේ හේතූ ධර්මයන්, ඔබ තුලින් වෘත්තියේ මමත්වයේ දැඞ්භාවය තුනීකොට දමන්නේ. වෘත්තීය කෙරෙහි ඇති කරගන්නා මමත්වයේ දැඞ්භාවය නිරතුරුවම ඔබව අකුසලයට යොමු කරනවා. මෙවැනි අවස්ථාවන්හීදි ගිහි පැවිදි දෙපාර්ශවයේ වෙනස හඳුනාගැනීමට පිංවත් ඔබට නොහැකි වෙනවා, සිල්වත් භාවය දුසිල්වත්භාවය හඳුනාගැනීමට නොහැකි වෙනවා.

මෙයසටහන් තබන භික්ෂුව හොඳින් හඳුනන එක් ස්වාමීන්වහන්සේ නමක් දැඩි හිසේ කැක්කුමක් සෑදීම නිසා කැපකරු මහත්තයෙක් ප‍්‍රධාන පෞද්ගලික රෝහලක පිංවත් විශේෂඥ වෛද්‍යවරියක් ලඟට යොමු කලා. නියමිත කාමරයේදී වෛද්‍යවරිය අසල වාඞ් වී ඇය රෝග විස්තර සටහන් කරගෙන රෝග පරීක්‍ෂාවට යොමු වෙලා, ඇය මොහොතකින් තමා ඉදිරිපිට සිටි රෝගි භික්ෂුවගේ ගෙල වටා තමාගේ අත දමා භික්ෂුවගේ හිස තමාගේ හිසට සමාන්තරව කිට්ටුවට අරගෙන, බොහෝම තියුණුව භික්ෂුවගේ ඇස් හා දත් පරීක්ෂාවට ලක්කොට තිබෙනවා. පිංවත් වෛද්‍යතුමිය රෝගියා පරීක්ෂාකල යුතු උපරිම මට්ටමින් රෝග පරීක්ෂාව සිදුකොට තිබෙනවා. එය පැසසිය යුත්තකි. නමුත් මේ පිංවත් වෛද්‍යතුමියට මොහොතක්වත් කල්පනා වුනේ නැහැ තමා ඉදිරියේ සිටින රෝගියා ස්වාමීන්වහන්සේ නමක් බව. ඉහත ස්වාමීන් වහන්සේ කවදාවත් හිතලා නැහැ තමා පැවිදි වූවාට පසුව කාන්තාවක් තමාගේ කරට අත දමාවි කියලා. නමුත් පිංවත් එම දොස්තර මහත්මිය එය එසේ කලා. මෙවැනි නොදැනුවත් භාවයන් සිද්ධවෙන්නේ, සද්ධාවේ දුර්වලතාවයන් නිසා. තෙරුවන් කෙරෙහි ඇතිකරගන්නා සද්ධාව තුලින්මයි අපි කරන වෘත්තිය වගකීම් කුසලයන් බවට පත්කොට දෙන්නේ.

උතුම් අනාගාමීඵලයට පත්වූ කාම, රාග, පටිඝ ධර්මථාවයන් නැසූ, අනාගාමී උපාසක මහත්මයාත්, අද පැවිදිවෙච්ච සාමනේරායන් වහන්සේට වන්දනා කළ යුතුයි. පැවිදිභාවයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ එසේයි දේශනා කොට තිබෙන්නේ. අද පැවිදිවෙච්ච සාමනේරයන් වහන්සේටත් අනාගාමී ඵලය සාක්ෂාත්කොට ගත් උපාසක මහත්මයා වන්දනා කළ යුතු යැයි, බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබේ නම්, ගිහි පිංවතුන්ලා දරණ උසස් වෘත්තීන් උතුම් අනාගාමීඵලයටත් වඩා ඉහල බව සිතන්න හොඳ නැහැ. එය පිංවත් ඔබට අනතුරක්මයි. දැනුමේ භාවිතයෙන් අපිට කවදාවත් සිත පිරිසිද දැනගන්න බැහැ. ප‍්‍රඥාව භාවිතයෙන්මයි, සකස්වෙන සිතුවිලි යහපත් කරගත හැකිවෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ළඳරු යැයි සිතා සාමනේර ස්වාමීන්වහන්සේට නොසලකා හරින්න එපා කියලා. මොකද කුඩා සාමනේරයන් තුලත් ලොකු ගුණයක් සැඟවී තිබෙන්න පුළුවන්. නිග්‍රෝධ කියන පුංචි සාමනේර හාමුදුරුවෝ තුල, චන්ඩාශෝක මහ රජතුමා ධර්මාශෝක මහ රජතුමා බවට පත් කිරිමට අවශ්‍ය මහා ශක්තියක්, ගුණයක්, ඥානයක් සැඟවී තිබුණා.