තරුණියක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස දිව්‍ය ලෝකයට ගිහිල්ලා පින් සිදුකරගන්න පුළුවන්ද කියලා. මේ ප‍්‍රශ්නයට සරලම පිළිතුර නම් පුළුවන් කියලයි. නමුත් භික්ෂුව ඇයට ප‍්‍රකාශ කළේ දිව්‍යලෝකයට ගිහිල්ලා පින්සිදු කරගැනීම ඉතාමත් අසීරු කරුණක් බවයි. පින කියන කාරණයේ ඵලය තමයි දෙවියා කියන කාරණය. දිව්‍යතලවල ජීවත් වන, මාර්ගඵල ලාභී නොවන දෙවිවරු දිව්‍යලෝකයේ ඇති කාම සම්පත් නිසාම කාමයේ ආශ්වාදය තුළමයි ජීවත් වෙන්නේ. පිනේ බලවත් භාවය නිසා ආදීනවය මතුකොට පෙන්වන්නේ නැහැ. දෙවියා කියන්නේ මනුෂ්‍යයා වගේ රැකීරක්ෂා කරගෙන උයාපිහාගෙන කන කෙනෙක් නොවේ. පින නිසාම සිතු සිතු සම්පත් පහළ කොට ගත් කෙනෙක්. කාමයන්ගේ අනිත්‍ය භාවය දැකීමට දෙවියාට පංචඋපාදාස්කන්ධයේ අනිත්‍යභාවය වැඞ්ලා නැහැ. එම නිසා දෙවියන් කාමයේ ආශ්වාද තුලමයි ජීවත් වෙන්නේ. පින නිසාම කාම පුරයක ජිවත් වන දෙවියා කෙසේ නම් ධර්මයන් ගැන සිතන්නද?

ලෝකය සෑම දාම එකම විදිහට තිබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අනූව කරුණු කාරණා ගලපා ගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයක නම් ඉහත තත්ත්වය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ සහ එර්දිමත් රහතන් වහන්සේලා දිව්‍යතලයට වැඩම කොට දෙවියන්ට සද්ධර්මයේ දේශනාකොට දස දහස් ගණන් දෙවියන් ධර්මය අවබෝධකොට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂලක්ෂණයන් දැකලා අයෝමය ප‍්‍රාතිහාර්්‍යය ශක්තිය දැකලා සද්ධර්මය ශ‍්‍රවණය කරලා ධර්මය අවබෝධ කර ගන්නවා. නමුත් ඒ දෙය වර්තමානයට ගැළපෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අනූවයි ප‍්‍රශ්නය දෙස බැලිය යුතු වන්නේ, අතීතයේ චෙච්ච දෙය වර්තමානයේත් වෙනවාය කියලා සිතුවොත් අපි මුලාවට පත්වෙනවා. උදාහරණයක් ගන්නකෝ, මේ මනුෂ්‍යලෝකයේ පිංවත් මනුෂ්‍යයින්ට ගෞරවනීය ස්වාමීන්වහන්සේලා මොන තරම් නම් ධර්මය දේශනා කරනවාද, මොන තරම් පන්සල් ආරණ්‍යය තිබෙනවාද කොතෙක් මහා සංඝරත්නය වැඩ සිටිනවාද මොනතරම් ශීලමය, දානමය, පිංකම් සිදුවෙනවාද, එහෙත් අර්ථවත්ව ධර්මාවබෝධය ලබන අය මොනතරම් සීමිතද, රැුකිරක්ෂා කරලා වෙහෙස මහන්සි වෙලා ගෙවල් දොරවල් හදලා, දරුමුණුපුරන් හදලා කාමයේ ආදීනවයන් මෙතරම් හොඳින් ප‍්‍රකටව පෙනිලත් මනුෂ්‍යයා ධර්මයෙන් බැහැරව යන කොට, පින නිසාම ඉබේම සිතු සිතු සම්පත් ලබන දෙවියා කාම පුරයක ජීවත් වෙන දෙවියා කෙසේ නම් කුසල් දහම් දියුණු කොට ගන්නද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට දිව්‍ය ලෝකයන්ට අධිපති ශක‍්‍ර දෙවියා පැමිණි සෑම මොහොතකම බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරන්නේ, භාග්‍යවතුන් වහන්ස, දෙවියන් වන අපිට ගොඩාක් රාජකාරි තියෙනවා. ඒ නිසා ඉක්මන් කොට යන්න ඕනේ කියලා. ලෝහ, ද්වේශ, මෝහය නිසාම දෙවියන් අතරත් ගැටුම් ප‍්‍රශ්න තිබෙනවා. සමහර දෙවියන් සන්ඩු වෙනවා. සමහර දෙවියෝ අනුන්ගේ දිව්‍යාංගනාවන් අරගෙන යනවා. පිනේ විවිධත්වය නිසා දෙවියන් අතර පන්ති භේදය තිබෙනවා. දෙවියා කියන්නේ පෙර ජිවිත වල මනුෂ්‍යයින්නේ. ඒ නිසා මනුෂ්‍යගති දෙවියන් තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියෙක්ගේ දිව්‍ය ආයුෂ ඉවර වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න කිට්ටු වෙන කොට දිව්‍ය ලෝකය දාලා යන්න බැරිව දෙවියන් හඩා වැටෙනවා. සිහි මුලාවට පත්වෙනවා කියලා. එතකොට අනෙක් දෙවිවරු වටවෙලා ඔබ සුගතියේ උපතක් ලබලා, නැවත පිං කරගෙන දිව්‍ය ලෝකයට පැමිණෙන්න කියලා එම දෙවියාව අස්වසනවාලූ. මේ දෙවියන් සුගතිය කියන්නේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ලෝකය. බුද්ධෝත්පාද කාල වලදී මනුෂ්‍ය ලෝකයේදී පින් කරලා එම පිනේ අසිරිය විඳින තැන තමයි දිව්‍ය ලෝකය. දිව්‍යතල වල දෙවියන්ට අවශ්‍ය නම් දිව්‍යශ්‍රෝත වලින් මනුෂ්‍යලෝකයේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන සද්ධර්මය ඇසීම සහ එම ධර්මය නුවණින් මෙනෙහි කිරිම තුළින් ධර්මාවබෝධය ලැබීමට හැකියාව ලැබෙනවා. නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ පිනේ අසිරිමත්භාවය නිසාම දෙවියන් කාමච්ඡන්දයන්ගෙන් ප‍්‍රමාදභාවයට පත්වෙලයි දිව්‍යතලවල ජීවත් වෙන්නේ. සද්ධර්මය ඉතා අර්ථවත්ව දේශනා කරන ස්වාමින්වහන්සේලා කොපමණ මේ රටේ වැඩ සිටිනවාද? නමුත් උන්වහන්සේලා දේශනා කරන ධර්මය ශ‍්‍රවණය කරලා සාදුකාර දීලා මනුෂ්‍යයා නැවතත් කාමයන් තුලමටයි බැසගන්නේ.

භික්ෂුවක් සමාධියෙන් පසුවෙන කොට දිව්‍ය අප්සරාවන් පිරිසක් දර්ශනය වෙනවා. මේ දිව්‍ය අප්සරාවන් මලින් හැදිලා තිබෙන්නේ. මනුෂ්‍යයා හැදිලා තිබෙන්නේ මසෙන් වගේ. මේ දිව්‍ය අප්සරාවන් මලින් හැදිලා තියෙන්නේ. අපේ ශරීරයේ රෝම කූප වගේ එම අප්සරාවන්ගේ ශරීරයම මලින් ගැවසිලා තිබෙන්නේ. ලස්සන තද පැහැති, ලා පැහැති රෝස පැහැයෙන්, ඒවා ඕකිඞ් මල්වගේ. ඔබ සිතන්නකෝ හොඳින් විනිවිද පෙනෙන දීප්තිමත් පොලිතීන් උරයකට රෝස පැහැති ඕකිඞ් මල් කලාවකට ඇසුරුවා කියලා. අන්න ඒ වගේ දිව්‍යාංගනාවන් පෙර මනුෂ්‍ය ජිවිතවල කාන්තාවන් ලෙස උපත ලබලා සිල් ආරක්ෂා කරලා පින් දහම් කරලා තමන්ගේ ශරීර මස අනුන්ගේ කාමච්ඡුන්දයන් ඇති නොවන ආකාරයට ජීවත් වෙලා, ශරීර අඟපසඟ හොඳින් ආවරණය වන ආකාරයට ඇඳුම් පැළඳුම් ඇඳලා. එහි විපාකයන් හැටියට දිව්‍ය ජිවිතයේදී දිව්‍ය ශරීර හැදිලා තිබෙන්නේ සුවඳවත් ලස්සන මලින්, හැමෝටම ශරීරය පෙන්වන ‘තරු’ ඇටසැකිලි පායාස නිරයට වැටෙන කොට ශරීරය හොඳින් වසාගත් පින්වන්තියෝ මරණින් පසු මලින් උපන් දිව්‍යාංගනාවෝ වෙනවා. ඉහත කාරණය තුළ වර්තමානයේ නොගැළපෙන ඇඳුම් අඳින කාටත් අවශ්‍ය නම් නිවැරදි වෙන්න හොඳ පාඩමක් තිබෙනවා. මෙතනදී පිංවත් ඔබලාට හොඳින් සිතා ගන්න පුළුවන් කුසලය සහ අකුසලය අතර ඇති පරතරය. ඒවායේ විපාකයන් නිසාම සකස් වෙන දුක සහ සැප අතර තිබෙන පරතරය අකුසලය, ඇටසැකිලි නිරිසතෙක් සම ගහපු නිරිසතෙක් බවට පත් කරන කොට කුසලය මලින් උපන් දිව්‍යාංගනාවක් බවට පත් කරනවා. අතීතයේ කල පිංකම් නිසාම මෙවැනි අසිරියක් ලබන දිව්‍යාංගනාවන් මැද්දේ දෙවියන් කෙසේ නම් ධර්මය දකින්නද.

නමුත් මාර්ගඵලලාභි දෙවිවරුන්ගේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. එම දෙවිවරු පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා තිබෙන නිසා ශීලයේ සීමාවන් තුල සිටිමිනුයි, කාමයන් පරිහරණය කරන්නේ. එවැනි මාර්ගඵලලාභි දෙවිවරුන්ට දිව්‍යාංගනාවන්ට මේ මොහොතේදීත් දිව්‍යතලවලදී ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. එම නිසා පිංවත් ඔබ ලැබු මනුෂ්‍ය ජිවිතය මාර්ගඵලලාභී දෙවියෙක්, දිව්‍යාංගනාවක් බවට පත්කර ගැනීමටයි ඔබ දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුනොත් ඔබ දිව්‍යතල වලදී නැවත අතරමං වෙන්නේ නැහැ. ඉහත කාරණා වලින් පිංවත් ඔබ නුවණින් දකින්න උත්සහ ගන්න ඕනේ, සාමාන්‍ය දෙවියන්ට දිව්‍යතලවලදී වර්තමානයේදි හෝ අනාගතයේදී ධර්මාවබෝධය ලැබීම දුෂ්කර කටයුත්තක් වෙන්නේ ඇයිද කියන කාරණය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වෙච්ච බොහෝම වැදගත් උපාසක යුවළක් සිටියා. ඒ තමයි නකුල පියා සහ නකුල මාතා. මේ පිංවතුන් දෙදෙනාම තරුණ කාලයේදීමයි සෝවාන් ඵලයට පත්වෙන්නේ. මේ දෙදෙනා බොහෝම ආදර්ශවත් පවුල් ජිවිතයක් ගතකරපු දෙදෙනෙක්. නකුල පියා අසූවයස් වියට පත්වී බොහෝම වයෝවෘද්ධ නකුල මාතාව සමඟ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න පැමිණිලා, බුදුරජාණන් වහන්සේගෙන් බොහොම ආදරණීය ප‍්‍රශ්නයක් විමසනවා. භාග්‍යවතුන් වහන්ස, මම මේ නකුල මාතාව කුල ගෙදරට කැන්දගෙන පැමිණියේ ඇයට වයස අවුරුදු පහළොවේදී. එදා පටන් අද දක්වා ඇය කයෙන් හෝ සිතෙන් මාව ඉක්මවා කටයුතු කළේ නැහැ. මමත් ඒ වගේමයි. ඇය ඉක්මවා කටයුතු කලේ නැහැ. මට දැන් අවශ්‍යයි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගෙන් දැනගන්න ලබන ජිවිතයේදීත් මේ නකුල මාතාව මගේ බිරිඳ කරගන්නේ කොහොමද කියලා. නකුල පියා මේ අහන්නේ ලබන ජිවිතයේදීත් නකුල මාතාව බිරිඳ කරගන්නේ කොහොමද කියලා. නකුල පියාගේ මේ අදහසට බුදුරජාණන් වහන්සේ කිසිම බාධාවක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකුල ඔබ දෙදෙනා සමසද්ධා, සමශීල, සමත්‍යාග, සමප‍්‍රඥා වඩන්න කියලා. ඒ කියන්නේ කෙනෙක් අනෙක් කෙනාව ඉක්මවා යන්නේ නැතිව සමව ඉහත ධර්මයන් වඩන්න කියලා.

මෙතනදී පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ නකුල අඹුසැමියන් සෝවාන් ඵලයට පත්වෙච්ච දෙපලක්. නමුත් ඒ අය තුල කාම, රාග, පටිඝ තිබෙනවා. ඒ නිසාම පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දැක්ම තුල සිටිමින්ම, ශිල්පද ආරක්ෂා කරමින්ම කාමයන් අත්විඳීමේ කැමැත්ත තිබෙනවා. කාමයන් අත් විඳිමට නකුල පියාට තිබු කැමැත්ත නිසාම නකුල පියා මැරෙන වේලාවේ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වැඩිමට අසමත් වුණා. භික්ෂුවක් උතුම් සමාධියෙන් අරමුණු කොට බලන කොට නකුල පියාට ප‍්‍රභාශ්වර තැඹ්ලි පාට සළුවක් පැළඳගත් උඩුකය නිරාවරණය වුන රන්වන් පැහැති සෝවාන් දෙවියෙක් වෙලා දිව්‍යතලයක උපත ලබා සිටිනවා. සෝවන් ඵලයෙන් ඔබ්බට යන්න නකුල දෙවියාට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මැරෙන වේලාවේ තව දුරටත් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොවැඩුන නිසා. නමුත් නකුල පියා මැරුනාට පසුව නකුල මාතාගේ තත්ත්වය මීට වෙනස් වුණා. නකුල පියාගේ අභාවය දැකලා දරුවන් සමඟ තමා තනිවුණ බව දැකලා නකුල මාතාවට අනිත්‍ය සංඥාවන් වැඩුනා. මොකද ඇයත් සෝවාන් ඵලය ලැබූ උපාසිකාවක්. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ශීලයන් ආරක්‍ෂා කරන උපාසිකාවන් අතර අග‍්‍රස්ථානය ලැබූ උපාසිකාව නකුල මාතාව තම ස්වාමිපුරුෂයාගේ වියෝව නිසාම අනිත්‍ය සංඥාවන් වැඩුනා. ඇය මරණයට පත්වෙන මොහොතේ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තව දුරටත් වැඩිමට දක්ෂ වුණා. ඒ නිසාම ඇය සකෘදගාමි දිව්‍යාංගනාක් වශයෙන් දිව්‍යතලයේ උපත ලබන්නේ. භික්ෂුවක් උතුම් සමාධියෙන් අරමුණු කොට බලනවා මේ මොහොතේ නකුල මාතාව කුමන ජිවිතයක් ලැබුවාද කියලා. එවිට එම භික්ෂුව දර්ශනය වෙනවාලූ ප‍්‍රභාශ්වරභාවයක් නැති නොදිලිසෙන කපු සුදු සාරියක්, සුදු හැටිටයකින් සැරසුන දිව්‍යාංගනාවක්. ඇය නිවුන ගතිගුණ ඇති තැන්පත් දිව්‍යාංගනාවකි. ඉහත ලක්ෂන වලින් ප‍්‍රකට වෙන්නේ ඇය කාම, රාග, පටිඝ ධර්මයන් තුනී කොට ගත් දිව්‍යාංගනාවක් බවයි. එහි අදහස ඇය සකෘදාගාමි දිව්‍යාංගනාවක් බවයි.

ඉහත කථාව තුල නකුල පියා කරගත් දුර්වල ක‍්‍රියාව ඔබට හඳුනාගන්න පුළුවන්. නමුත් අවසානයේ දෙදෙනා එකට එකතු වුනේ නැහැ. නකුල මාතාව පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩමින් පියවරක් ඉදිරියට ගියා. සෝවාන් ඵලයට පත්වුණු නකුල පියාගේ ඉහත ක‍්‍රියාවෙන්ම දිව්‍යතලවල ජීවත් වන මාර්ගඵල ලාභී නොවන දිව්‍යාංගනාවන්ගේ කාම, රාග, පටිඝයන්ගේ ස්වභාවය හොඳින් හඳුනාගන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයා ශීලයෙන් පිරිහෙන කොට ඊට සමගාමීව දෙවියන් ද ශීලයෙන් පිරිහෙන බව. දෙවියන්ද දුෂ්ශීල වන බව. දුෂ්ශීල භාවයට පත්වෙන දෙවියන් මනුෂ්‍යලෝකයේ දුසිල්වත් මනුෂ්‍යයින්ට උපකාර කරමින් තව තව ලැජ්ජාභය දෙක මනුෂ්‍යයා තුලින් නැතිකොට දමන බව. දුෂ්ශීල භාවයට පත්වෙන දෙවියන් රජවරුන්, පාලකයින් අධර්මිෂ්ඨ කරනවා, පාලකයින් රාජ්‍ය සේවකයින්, රාජ්‍ය සේනාව, සුරා බොනවා, මිනිසා විකෘති වෙනවා. අධර්මිෂ්ඨ වූ දෙවිවරුන්ට භාරහාරවී මිනිසුන් මරවනවා. අධර්මිෂ්ඨ වූ දෙවියන් වියරු වී වැස්ස වලක්වනවා, දින ගණන් දෝරේ ගලා යන වැසි ඇතිකරනවා. තැන් තැන් වලට පමණක් වසිනවා. එක ප‍්‍රදේශයකට වැස්ස තව ප‍්‍රදේශයකට ඉඩෝරය ඇති කරනවා. දීර්ඝ නියං සායවල් ඇතිකරනවා. මේවා හේතුවෙන්ම මනුෂ්‍යා තුල ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන් තව තව වැඩිවෙනවා. සද්ධර්මය ක‍්‍රමානුකූලව අතුරුදහන්ව යන ලෝකය තුල මාර්ගඵල ලාභී නොවන දෙවියන් දුෂ්ශීලභාවයට පත්වෙනවා. විශේෂයෙන්ම මිථ්‍යාදෘෂ්ඨික දෙවියන් නපුරු පාලකයින්ට උපකාර කරනවා. තව තව අසද්ධර්මය ලෝකයේ පතුරුවන්න සද්ධර්මය ක‍්‍රමානුකූලව අතුරුදහන්ව යන ලෝකය තුල දිව්‍යතල වල දෙවියන් පත්වෙන අවදානම ඔබ නුවණින් තේරුම් ගත යුතු වෙනවා. මෙවැනි අවදානමක් ඔබ ඉදිරියේ තිබෙන කොට ඔබ උත්සහ ගත යුත්තේ මේ මොහොතේ සාමාන්‍ය දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා දිව්‍යලෝකයේදී පින් කිරිමට බලාපොරොත්තු වීම නොව මේ ලැබුවා වූ උතුම් මනුෂ්‍ය ජීවිතයේදීම සද්ධර්මයේ උතුම් අර්ථයන් ප‍්‍රයෝජනයට ගෙන ධර්මාවබෝධය දෙසට ගමන් කිරිමට වීර්්‍ය සකස්කොට ගැනීමයි. එසේ නොවුනහොත් අනාගතයේදී ඔබත් දුසිල්වත්භාවයෙන් වියරු වැටුන දෙවියන් අතර තවත් එක් දෙවියෙක් වනු ඇත.

එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, දිව්‍යතලවල, දීර්ඝ ආයුෂ විඳින අරහත් භාවයට පත්වුණ දෙවියන් සිටිනවාද කියලා. දිව්‍යඵලවලදී යම් දෙවිකෙනෙක් දිව්‍යාංගනාවක්, චතුරාය්‍යසත්‍ය ධර්මයන් අවබෝධකොට රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබීමට දිව්‍යතල වලදී හැකියාවක් නොමැති නිසා අරහත්භාවය අවබෝධකොට දින හතක් ඇතුලත දිව්‍යතලයකදීම පිරිනිවීමට පත්විය යුතු යැයි භික්ෂුව විශ්වාස කරයි. ඉහත කරුණ සම්බන්ධව සමාජය තුල විවිධ මතයන් ඇත. සමාජය යනු කවදත් මතවාද වලින් පිරුණ තැනකි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන විට දඹදිව දෘෂ්ඨි මතවාද හැට දෙකක් තිබුණු බව දේශනා වල සඳහන් වෙනවා. එහෙත් ධර්මය යනු දෘෂ්ඨියක් මතවාදයක් නොවේ. ලෝකයේ යථාර්ථයයි. සමාජය තුල කුමන මතයක් තිබුණද පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට ගලපා ප‍්‍රශ්නය නුවණින් තේරුම්ගැනීමට දක්ෂ විය යුතුය.

පිංවත් ඔබ මෙහෙම සිතන්න. අංගොඩ මානසික රෝහලේ දැඞ් ලෙස මානසික රෝගීභාවයට පත් වූ රෝගීන් සිටින වාට්ටුවක් තිබෙනවා. මෙම වාට්ටුවේ සිටින එක රෝගියෙක් ලෝභකම නිසා පිස්සු හැදුනු රෝගියෙක්. තව කෙනෙක් රාගය නිසා, ආදරය නිසා, අධ්‍යාපනය නිසා, ද්වේෂය නිසා පිස්සු හැදුනු රෝගීන්. මේ මානසික රෝගීන් පිස්සු නටමින් වාට්ටුව තුළ සිටින්නේ. කෙනෙක් තනිවම බනිනවා. තව රෝගියෙන් තනිව ආදරය කරනවා, තව කෙනෙක් දේශනයක් පවත්වනවා, කිසිම රෝගියෙකුට වාට්ටුවෙන් පැනලා යන්න බැහැ. දැන් පිංවත් ඔබ නුවණින් මේ මානසික රෝගී වාට්ටුවේ ස්වභාවය, පරිසරය හොඳින් දකින්න. භික්ෂුව මේ කටුසටහන සටහන් තබන වනපෙතේ ගොදුරු ගමට කිලෝමීටර් හතරක් පමණ ඈත කුටියක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් සිටිනවා. උන්වහන්සේ තුල බොහොම උත්කෘෂ්ඨ ශීලයත්, සමාධියත් තිබෙනවා. එහෙම නැති නම් මෙවැනි ඝන කැලෑවක දීර්ඝකාලීනව වැඩ සිටින්න බැහැ. උන්වහන්සේ මේ ධර්මද්වීපය තුල වනවාසීව වැඩ සිටින ශ්‍රේෂ්ඨ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. භික්ෂුව ඉහතින් සඳහන් කල ගෞරවනීය ස්වාමින් වහන්සේව වඩම්මවාගෙන ඇවිල්ලා අර මුලින් සදහන් කළ මානසික රෝහලේ මානසික රෝගීන් සිටින වාට්ටුවට දමා දොර අඟුළු දැම්මොත් කුමක් වේවිද. දැන් පිංවත් ඔබ ඉහත උදාහරණය අනූව නුවණින් මෙනෙහි කරන්න. වාට්ටුවේ සිටින මානසික රෝගීන් සමඟ එම ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙසේ වැඩසිටින්නද, එක්කෝ උන්වහන්සේ අවබෝධයෙන්ම සියදිවි තොරකර ගනීවි, එසේත් නැතිනම් ආහාර ජලය නොගෙන ස්වභාවිකව අපවත් වේවි. එම ගෞරවනීය ස්වාමීන් වහන්සේට එම පිස්සු සමාජය තුළ ජීවත් වෙන්න බැහැ. අනිවාර්යෙන්ම එම ගිහි ජිවිතය නැමැති මානසික වාට්ටුවෙන් බැහැර වෙලා පැවිදි උපසම්පදාව ලබන්න ඕනේ. එම පිංවත් ස්වාමීන් වහන්සේ නැවත මානසික රෝගියෙක් කියන තැනට පත්වෙන්නේ නැහැ.

දැන් පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට අනූව නුවණින් දකින්න ඕනේ, යමෙක් ගිහි ජිවිතය තුල සිටිමින් අරහත් භාවයට පත් වුවහොත් එසේත් නැතිනම් දෙවියෙක් බ‍්‍රහ්මයෙක් චතුරාර්්‍ය සත්‍ය අවබෝධය ලැබුවහොත්, ඔහු අනිවාර්යෙන්ම පැවිදි උපසම්පදාව දින කිහිපයක් ඇතුලත ලබාගත යුතුයි. එසේ නොවුනොත් එම රහතන් වහන්සේ පිරිණිවන්පාන්න ඕනේ. මොකද රහතන් වහන්සේ ලෝකය දකින්නේ ඉහතින් දැක්වූ මානසික රෝගී වාට්ටුව වගේ. ලෝහ, ද්වේශ, මෝහ බඩු මල්ල කරේ එල්ලා ගත් ලෝකය උන්වහන්සේට ගැලපෙන්නේ නැහැ. මනුෂ්‍යයාට වර්තමානයේදී පැවිදි උපසම්පදාව ලැබිය හැකි වුවද. දෙවියන්ට බ‍්‍රහ්මයන්ට එම අවස්ථාව නොමැති නිසා දෙවියන් බ‍්‍රහ්මයින් අරහත් භාවය අවබෝධකොට දින කිහිපයකින් පිරිණිවීමට පත් විය යුතු යැයි කියලා භික්ෂුව විශ්වාස කරනවා.