භික්‍ෂුව හමුවීමට පැමිණි තරුණ තාත්තා කෙනෙක්‌ භික්‍ෂුවගෙන් බොහෝම සංවේදී ප්‍රශ්නයක්‌ ඇහුවා. ‘හාමුදුරුවනේ මම කුඩා දරුවෙක්‌ ඉන්න තාත්ත කෙනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 4යි. මේ පුංචි දරුවා හරිම දඟකාරයි. එයා එක වෙලාවකට සන්ඩුකරනවා. තව වෙලාවක සෙල්ලම් කරනවා. තවත් සමහර වෙලාවට අම්මා සමග ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. මේ දරුවා සෙල්ලම් කරන වෙලාවට නිතරම මම හාවා, මම මුවා, මම අලියා ආදී වශයෙන් සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කරනවා, හැසිරෙනවා’ මේ මහත්මයා අහනවා මගේ දරුවා සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කිරීමට ප්‍රියවීම හේතුවෙන් මගේ දරුවාට යම් ප්‍රශ්නයක්‌ වේවිද කියලා. මේ මහත්මයාට තිබෙන ප්‍රශ්නය තමයි යම් හෙයකින් දරුවා මියගියහොත් එම දරුවා හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපත ලබයිද කියන කාරණය. මේ හේතුව නිසා දරුවාගේ අම්මා දරුවා මම හාවෙක්‌ , මම මුවෙක්‌ කියලා සෙල්ලම් කරනවිට ‘නැහැ මගේ පුතා දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌’ කියලා දරුවාගේ මනෝභාවය වෙනත් දිශාවකට යොමු කරනවලු. තම දෑතේ නැළවෙන කුඩා බිළිදා තුළින් අනාගත වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවරයෙක්‌, පරම්පරාවේ ගැලවුම් කරුවෙක්‌ බලාපොරොත්තුවන අම්මලා තාත්තලා අතර ඉහත අම්මා තාත්තා සුවිශේෂී වෙනවා.

පිංවත් ඔබ හාවෙක්‌ කියන තැනින් මුදවලා දෙවියෙක්‌ කියන තැනයි සිත පිහිටුවන්න උත්සහ කරන්නේ. ඒ කියන්නේ අනතුරකින් මුදවලා තවත් තවත් අනතුරකටයි ඔසවා තබන්නේ. භික්‍ෂුව දන්නා තරමින් මෙවැනි දෙමාපියන්ට දාව උපදින දඟකාර හුරුබුහුටි ළදරුවෙක්‌ තමන් ප්‍රියකරන සත්ව සංඥාවක්‌ සකස්‌වෙලා මියගියත් එම දරුවා කවදාකවත් තිරිසන් ලෝකයේ හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපත සකස්‌ වෙන්නෙ නැහැ. දිව්‍ය ලෝකයේ උපත දිව්‍ය හාවෙක්‌, මුවෙක්‌, අශ්වයෙක්‌ ලෙස උපතක්‌ සකස්‌වීමට තමයි ඉඩකඩ වැඩිපුර තිබෙන්නේ. දිව්‍යලෝකයේ වැඩසිටින්නේ දෙවියන් පමණක්‌ නොවෙයි. ඒ ආකාරයේ දිව්‍යමය සතුන්ද සිටිනවා.

ඉහත ප්‍රශ්නයේ වඩා වැදගත් දේ වනුයේ දරුවාට පෙර මව්පියන් මියගිය හොත් මව්පියන්ගේ අවසාන සිත තෘෂ්ණාව නිසා කුමක්‌ උපාදානයකොටගෙන සකස්‌වෙයිද කියන එකයි. මොකද පිංවත් මව්පිය දෙපල දරුවා අනිත්‍යයයි කියලා දකිනවා වගේම දරුවාගේ අනාගත සුරක්‍ෂිතභාවයක්‌ ගැනත් සිතනවා. එතනදී බාහිරට ප්‍රකට නොවන උපාදනයක්‌ ඇතුළතින් පෙනෙනවා. මෙන්න මේ ප්‍රකට නොවී සැඟවී තිබෙන උපාදානය මතුකරගන්න දක්‍ෂවෙන්න අවශ්‍යයි. මෙවැනි පිංවත් දෙමාපියන් ‘දරුවා මගේ’ය කියන තැන ඉඳගෙනයි දරුවා සුගතියට ඔසවා තබන්න උත්සහ ගන්නේ.

මෙතැනදී ඔබ දරුවා පටිච්චසමුපන්නව ගන්න. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණා, විඤ්ඤාණ පච්චයා නාමරූපා…

සුරතල් දරුවා තුලින් හේතුඵල ධර්මයන් දකින්න. මෙතැනදී ඔබ නියත වශයෙන් දකිනවා හේතුන් නිසා සකස්‌වුන, ඔබට අයිති නැති දරුවාව. බිරිඳ ස්‌වාමිපුරුෂයා මතක්‌ වෙන විටත් එම රූප පටිච්ච සමුප්පාදය තුළම විසුරුවා දකින්න. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැති හේතුඵල ධර්මයක්‌ දකිනවිට ‘මමය මගේය’ යන දෘෂ්ටියෙන් ඔබ බැහැරට යනවා. එසේ නොවන තාක්‌කල් ඔබ එම අනතුර තුළ සිටිමින්මයි අනතුරෙන් මිදෙන්න උත්සහ ගන්නේ. ඒ නිසා එම පිංවත් දෙපල මේ මොහොතේ තම දරුවාට දිව්‍ය සංඥාවක්‌ සකස්‌කොට දීම අනතුර තුළ සිටිමින්ම අනතුරෙන් මිදීමේ මාර්ගය සෙවීමක්‌ වෙනවා. ඒ නිසා පටිච්ච සමුප්පන්නව දරුවාගේ ජීවිතය දකින්න. දරුවා මට අයිති නැති බව දකිමින් දරුවාට අවශ්‍ය යහපත් මාර්ගය කියලා දෙන්න. නිතිපතා මල්කඩන්න, බුදුපහන පත්තුකරන්න, බුදුසමිදුන් වන්දනා කරන්න, වැඩිහිටියන්ට ගරුකරන්න නිරතුරුවම දරුවාව හවුල් කරගන්න. දෙමාපියන් ධර්ම මාර්ගය තුළ දරුවන්ට ආදර්ශමත් වෙන්න. ළමාවියේ දඟකාරකම් උපේක්‍ෂාවෙන් දකිමින් අනතුරුදායක භාවයන් නුවනින් මෙනෙහිකරමින්, ලැබුණු දරුවා මේ භව ගමනේ අවසාන දරුවා කරගන්න.මේ ස්‌වාමි පුරුෂයා මේ භව ගමනේ අවසාන ස්‌වාමිපුරුෂයා කරගන්න. බිරිඳ මේ භව ගමනේ අවසාන බිරිඳ කරගන්න. දරුවාව කමටහනක්‌ කරගෙන දරුවන්ගෙන් මිදෙන්න. දැඩි චිත්තයක්‌ ඇතිකරගන්න ‘භව ගමනේ අවසාන දරුවායි මා මේ දරන්නේ’ කියලා.

දෙමාපියන්ට අප්‍රමාණ සසර දුක සකස්‌ කරදෙන ලොකුම කාම වස්‌තුව වන දරුවා කෙරෙහි තෘෂ්ණාව හීනව ගිය කල ඔබ සමීපවනුයේ ලෝකයෙන් මිදීයන දිශාවටයි. දරුවා සමාජයට යහපත් දරුවෙක්‌ වශයෙන් හදන ගමන් ධර්මාවබෝධය සඳහා දරුවාද උපකාරයක්‌ කරගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දරුවාට කියන්නේ දේවදූතයෙක්‌ කියලා. ඒ කියන්නේ ඔබට භවයෙන් මිදීයන්න පාර කියන දේවදූතයෙක්‌. භවයෙන් මිදීයන්න පාර කියන්න ආපු දේවදූතයෙක්‌ව ඔබ ඔබව භවයට බැඳ තබන වරපටක්‌ බවට පත්කරගන්නවා.

භික්‍ෂුවට කුඩා දරුවෙක්‌ දැක්‌කාම එම දරුවා තුළින් දුක්‌ කන්දක්‌ පෙනෙනවා. භවයේ ගොඩාක්‌ ඈතදුරක්‌ පෙනෙනවා. දරුවාගේ කෙළිලොල්භාවය තුළ සැඟවී ඇති අනතුරමයි පෙනෙන්නේ. තමන්ගේ දඟකාර දරුවා සත්ව සංඥාවන් සකස්‌ කරගෙන සෙල්ලම් කරනවිට එම දරුවා මියගියහොත්, හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපදියිද කියන කාරණය හිතන්න පුළුවන් දක්‍ෂ දෙමාපියන්ට ඉහත කාරණා ජීවිතයට එකතුකර ගන්න අපහසුවක්‌ නැහැ. මොකද ඔබ ධර්මය තුළ සිටින නිසාමයි තම දරුවාවත් ධර්මය තුළින් දකින්නේ. පිංවත් ඔබ දරුවා කෙරෙහි ධර්මානුකූලව දකිනවිට ඉන් සකස්‌ වෙන කුසල් ශක්‌තිය ඔබව ධර්මාවබෝධය දෙසටත් එම කුසල්ශක්‌තිය හේතුවෙන් දරුවාට දීර්ඝායුෂත් අනිවාර්යයෙන්ම හිමිවෙනවා. සැබවින්ම ඔබලා දක්‍ෂ දෙමාපියන්. මෙවැනි සමහර දෙමාපියන් හැමවිටම උත්සහකරන්නේ දරුවා පැවිදි කරලා දෙමාපියන් සැනසෙන්නයි. සැනසෙනවාය කියන කාරණයේදී අපි වඩවා ගන්නේ තෘෂ්ණාවමයි. හැමවිටම ආශ්වාදය නොව, ජීවිතයක යථාර්ථයම ධර්මානුකූලව දකින්න. එතැනදී තමයි ශාසනයක අර්ථය ජීවිතයට එකතු කර ගත්තා වෙන්නේ. මගේ පුතා මේ උතුම් ශාසනයේ පැවිදි උතුමන් වහන්සේ නමක්‌ හැටියට දකිනවාට වඩා එම පුතාවම පටිච්චසමුප්පාද ධර්මය තුළ විසුරුවා දකින්න දක්‍ෂ වුණොත් ඔබගේ පුතා තුළින්ම ධර්මය දැකීමේ ශක්‌තිය ඔබට තිබෙනවා.

භික්‍ෂුවක්‌ සමාධියෙන් වැඩසිටින විට දිව්‍යතලයක වැඩසිටින අජානීය අශ්ව පැටියෙක්‌ දර්ශනය වෙනවා. අඩි තුනක්‌ පමණ උසැති මෙම දිව්‍ය අශ්ව පැටියා කොළ සහ නිල් පැහැයෙන් යුත් වර්ණයෙන් යුක්‌තයි. හරියටම මොනරෙක්‌ගේ වර්ණය. කොඳුනාරටිය දෙපසට නෙරාගිය දිගැති රෝම, රෝමවලින් පිරීගිය වලිගය… බොහෝම දර්ශනීය දිව්‍ය අශ්ව පැටියෙක්‌. මේ සටහන ලියනවිට මේ දිව්‍ය අශ්ව පැටියා පෙර ජීවිතයේ ‘අශ්වයා ගෝන් ටික්‌ ටික්‌ ටික්‌’ කියන ළමා උපාදානය දරාගෙන මියගිය දරුවෙක්‌ වෙන්න පුළුවන්. භික්‍ෂුව ස්‌ථිරව ඒබව කියන්න දන්නෙ නැහැ. නමුත් ‘උපාදාන පච්චයා භවෝ’ කියන ධර්මතාවය විසින් සත්වයා මෙවැනි උපත්වල සිරකරනවා. මේ කිසිවක්‌ අපිට හිතල ඉවර කරන්න බැහැ. අවබෝධයෙන්මයි අවසන් කර ගතයුත්තේ. තමන්ගේ දරුවා තමන්ට අයිති නැහැය කියලා දකින තැනදි තමා තමාට අයිතිය කියන තැනක්‌ සකස්‌ වෙනවා. පටිච්චසමුප්පාද ධර්මයමයි මේ අවුල අපිට නිරවුල් කර දෙන්නේ.