මේ සටහන තබන වේලාවේ භික්‍ෂුවට මතක්‌ වෙනවා භික්‍ෂුව ගිහිකාලයේ ගමේ පුරාණ විහාරයේ වැඩසිටි අපවත්වී වදාළ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේව. උන්වහන්සේ සෑම වසරකට වරක්‌ම තම කුටිය හිස්‌කරනවා. එය සිද්ධකරන්නේ වාර්ෂිකව පැවැත්වෙන දානමය පිංකමට. කුටියේ ඉතිරිව තිබූ සෑම පිරිකරක්‌ම පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලාට පූජා කරනවා. මට මතකයි ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේ පිංකමට පස්‌සේ ලොකු ආශ්වාදයක්‌ ලබනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ විනය කාරණාවලට යටත්ව සිටිමින් තමන්ට ලැබෙන අතිරික්‌ත සිව්පසය ඒවා හිඟපාඩු ස්‌වාමීන්වහන්සේලාට බෙදා දීම විනය කාරණා ආරක්‍ෂා කරගැනීමෙන් අපිට ගොඩාක්‌ උපකාරීවෙනවා. නායක ස්‌වාමීන් වහන්සේ මට කියලා තිබෙනවා රැස්‌කොට තබාගැනීමට වඩා බෙදා දීමෙන් මහා සැපයක්‌, නිදහසක්‌ ජීවිතයට ලැබෙනවා කියලා.

පැවිදිවීමට පෙරාතුව වසර පහක්‌ පමණ මම ගමේ පුරාණ විහාරස්‌ථානයේ දායක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඒ කාලයේ නායක ස්‌වාමීන් වහන්සේ මා කෙරෙහි ලොකු විශ්වාසයක්‌ ඇතිකරගත්තා. ඒ නිසාම පන්සල උපයෝගීකරගෙන මහා පිංකම් රාශියක්‌ සිදුකරගත්තා. ඉන් එක්‌ ගෞරවනීය පිංකමක්‌ තමයි ලොකු පිංකමක්‌ සිදුකරලා කුඩා සාමනේර ස්‌වාමීන් වහන්සේලා එකළොස්‌ නමක්‌ පැවිදි කිරීමේ පිංකම. මේ වෙලාවේ උන්වහන්සේලාගෙන් කී නමක්‌ පැවිදි භාවය තුළ ඉන්නවාද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එම පිංකම තුළින් ලැබුණා වූ කුසලය මට ලැබුණාය කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ලෝකය උපයෝගි කරගෙන ලැබුණු අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන මගේම නිදහස්‌ පාර සොයාගෙන ගියා. මෙතන තමයි ඔබ හඳුනාගත යුතු දක්‍ෂභාව තිබෙන්නේ.

මේ කාලයේදී මට මතකයි වයස අවුරුදු අසූවක්‌ පමණ වූ වයෝවෘද්ධ නායක ස්‌වාමීන් වහන්සේ දැඩිලෙස ගිලන් වූ අවස්‌ථාවක්‌. ගිහියෙක්‌ හැටියට හරියටම අවුරුද්දක කාලයක්‌ දවසක්‌ හැර දවසක්‌ සබන්ගාල ඇඟ අතුල්ලල උන්වහන්සේව නාවල තිබෙනවා. ඒ සෑම දිනකම උන්වහන්සේ සිවුරු අඳන සෝදල තිබෙනවා. උන්වහන්සේට දානය වැළඳීමට දෑත් වෙව්ලන අවස්‌ථාවන්හිදී උන්වහන්සේට මා සියතින් දන් වළඳවල තිබෙනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය මහත්වරුන් ළඟට රැගෙන ගොස්‌ තිබෙනවා. නමුත් මේ මොහොතේ උන්වහන්සේ මොන ලෝකෙක කව්රුන් වශයෙන් ඉන්නවද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් උන්වහන්සේට උපස්‌ථානය කිරීම තුළින් රැස්‌වුණාවූ කුසලය භික්‍ෂුවට ලැබුණාය කියන විශ්වාසය වර්තමානයේ භික්‍ෂුවට තිබෙනවා. වයෝවෘද්ධ නායක ස්‌වාමීන්වහන්සේ පුංචි දරුවෙක්‌ වගේ උන්වහන්සේව නාවන්න එන තුරු තම උස ආසනයේ වාඩිවී ජනේලයේ කවුළුවෙන් බලාසිටින දර්ශනය මට තාම මතකයි. උන්වහන්සේගේ ඒ බැල්ම තුළ ආදරය, රැකවරණය, ආරක්‍ෂාව, කරුණාව ගැබ්වෙලා තිබුණා. එහි දිට්‌ඨදම්මවේදනීය කුසලය නිසාම ඒ හැම දෙයක්‌ම භික්‍ෂුවට මේ මොහොතේ ලෝකයෙන් ලැබෙනවා. ලෝකයේ ශේ්‍රෂ්ඨම ආයෝජනයට ජීවිතය යොදවල එහි ප්‍රතිලාභයන් ලබන කෙනෙක්‌ භික්‍ෂුව. භික්‍ෂුවට මතකය ජීවිතයේ එක්‌තරා රාත්‍රියකදී විහාරස්‌ථානයේ අධිෂ්ඨාන පූජාවක්‌ සංවිධානය කළා. සුප්‍රසිද්ධ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිංකමට වැඩමකළේ. පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලා මේ පිංකමට සහභාගි වුණා. රාත්‍රි 8.00 විහාරස්‌ථානයේ සියලුම විදුලි ආලෝකයන් නිවීයනවිට පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලාගේ දෑතේ පහන් හෝ ඉටිපන්දමක්‌ දැල්වුණා. ඝනාන්ධකාර රාත්‍රියක්‌ පහන් ආලෝක පහන් දහසකින් ආලෝකවත් වෙනවිට එම පිංකම සංවිධානය කරපු මම හිස්‌ දෑතින් පන්දහසක්‌ පහන් ආලෝක දෙස බලාසිටියා පමණක්‌මයි කළේ. මේ පිංකම නිසාම ශිල්වත් පන්දහසක්‌ පමණ පිංවතුන්ලාගේ හදවත් තුළ ඇතිවුණ අධිෂ්ඨාන ශක්‌තිය මා ලෝකයාට හොරෙන් තනිවම අනුමෝදන් වුණා.වෙහෙස මහන්සි වී පිංකම් සංවිධනය කර අනුන් පිංකම් වල යොදවා ඒ අයට සොරා මා මගේ කුසල් පක්‌ෂය ශක්‌තිමත් කරගත්තා. පිංකම් හුදු ආශ්වාදයක්‌ කරගත්තේ නැහැ. අතීතයේ දැල්වූ පහන් ආලෝක පහන් දහසක්‌ මොහොතකින් නිවීගියත් නිවීගිය පහන් ආලෝක දෙස බලමින් මා ඇතිකරගත්තා වූ අනිත්‍යයේ බීජය ප්‍රඥාවේ ආලෝකයක්‌ බවට පත්වී තවමත් නොනිමී භික්‍ෂුව තුළ දැල්වෙනවා. පන්සලේ වේවා ආරණ්‍යයේ වේවා ගිහිගෙදර වේවා ඕනෑතරම් කුසල්නිධි තිබෙනවා සැඟවිලා. මේවා සොයාගෙන ගිහිල්ලා සුවසේ හරාගන්න. ලෙඩෙක්‌, මහල්ලෙක්‌, පිංකමක්‌ දෙස ඔබ නොබලා යනවා කියන්නේ කුසල් නිධියක්‌ මගහැර යනවා කියන කාරණයයි. වසරක්‌ එරමිණිය ගොතාගෙන කායානුපස්‌සනා භාවනාව වැඩුවත් නොලැබෙන අවබෝධයක්‌ දිනක්‌ ලෙඩෙක්‌, මහල්ලෙකුට උපස්‌ථාන කිරීමෙන් ලැබීමට හැකි බව භික්‍ෂුව අත්දැකීමෙන් දන්නවා. නමුත් එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්‌වභාවය අනුව මෙය වෙනස්‌ වෙන්න පුළුවන්. කායානුපස්‌සනාව කියන කාරණය, අසුභය කියන කාරණය භික්‍ෂුව වඩාත්ම අත්දැක්‌කේ ගිහි ජීවිතයේදී රෝගීන්ට උපස්‌ථාන කිරීම තුළින්මයි. අවබෝධයම අරමුණු කරගත් අවංක චේතනාවෙන්වෙන් රෝගීන්ට උපස්‌ථානය කිරීමේදී කවදාකවත් රෝගියාගේ අශූචි, මුත්‍ර වල ගඳක්‌ අපුලක්‌ දැනුනේ නැහැ. කුසලයේ ශක්‌තිය විසින් අශූචි, මුත්‍රා වල දුගත් නිශේධ කරනවා. මේ සටහන අවසන් කරනවිට මේ දෙයත් සඳහන් කරන්න ඕන. තරුණ කාලයේ ආවේගශීලීභාවයන් නිසාම ස්‌වාමීන් වහන්සේ සමග ගැටුමුත් එකක්‌ දෙකක්‌ ඇතිකරගෙන තිබෙනවා. ඒවායේ අකුසල් විපාකත් සමහරවිටදී ඉදිරියේදී විපාක දෙන්න පුළුවන්.

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය අසල නිතර ගැවසුණ, නමුත් හුඟ දවසක්‌ පේන්නේ නැතිව සිටි වළිකිකිළි අම්මලා දෙන්නෙක්‌ ආයෙමත් රංචුව සමග කුටිය සමීපයට එන්න පටන් අරගෙන. වෙනදාට නැති කිචි, බිචි ගාන හඬ ඇසිල බලනවිට එක වළිකිකිළි අම්මා කෙනෙකුට කුඩා පැටව් හතර දෙනයි. අනෙක්‌ වළිකිකිළි අම්මාට පැටව් එක්‌කෙනයි. අලුත් සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ වළිකුකුල් රෑනට එකතුවෙලා. මේ පස්‌දෙනාම ගැහැනු සත්තු. වළිකුකුළන්ගේත් පිරිමි ගහනය අඩුවෙනවා වගේ. ඒ අයගේත් කාමයේ වරදවා හැසිරීමේ ක්‍රියාවන් වැඩිවෙලා ඇති. පුංචි පැටව් හතරදෙනෙක්‌ ඉන්න වළිකිකිළි අම්මලා වෙනදාට වඩා බෝහෝම කඩිසරයි. වේගයෙන් පොළව පහුරුගාමින් ආහාර සොයනවා. වෙනදාට තමාට පමණයි කෑම සොයන්න වෙහෙසුණේ. දැන් පස්‌දෙනකුට කෑම සොයන්න ඕනේ. කෑම සොයන ගමන්ම පැටව්න්ගේ ආරක්‍ෂාවත් බලන්න ඕනි. ඒ නිසා වළිකිකිළි අම්මා තියුණු අවධානයකින් නිතර පසුවෙන්නේ. වෙනදා තරම් භික්‍ෂුව සමීපයට එන්නේත් නැහැ. ඒ තරමට ඇය පැටව්න්ගේ ආරක්‍ෂාව පිළිබද අරමුණු කෙරෙහි අවධානයෙන් පසුවෙන්නේ. ඒ තියුණු අවධානයත් හරියට ශීලයෙන් තොරව සකස්‌වෙන මිථ්‍ය සමාධියක්‌ වගේ. දුක ආරක්‍ෂා කරගැනීම උදෙසායි. ඒ තියුණු අවධානය හේතුවෙන්නේ. වළිකිකිළි අම්මා වගේම පැටවුණුත් බොහෝම උපක්‍රමශීලියි. පුංචි හෝ අනතුරක ඉවක්‌ දැනුන සැණින් මේ වළිකිකිළි පැටවුන් වේගයෙන් සැඟවෙනවා.

කාමච්ඡන්දයන්ට යටවූ මනුෂ්‍ය සිතත් නිරතුරුවම සැඟවිලා තිබෙන්නේ. ඔබට සමහරවිට පෙනෙනවා ඇති සිත කාමයන්ටමයි දුවන්නේ. බොහෝම අකීකරුයි. ධර්ම මනසිකාරයට කැමතිම නැහැ. මේ සැඟවුණා වූ සිත මතුකරගැනීමට ධර්මවිජය බොජ්ජංගය වඩන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සිත ධර්ම මාර්ගය සඳහා උපක්‍රමශීලීව සැඟවුණවිට සද්ධර්මයක්‌ ශ්‍රවණය කරන්න. ධර්ම සාකච්ජාවක යෙදෙන්න. ධර්ම පොතක්‌ කියවන්න. තෙරුවන් වන්දනාවක යෙදෙන්න. එවිට යටපත්ව ගිය සිත ධර්ම මාර්ගය තුළට ධර්මය කෙරෙහි කැමත්ත තුළට යොමුවේවි. ඒ මෝදුවන සිතුවිල්ල තුළින් වීර්ය, ප්‍රීතිය, පස්‌සද්ධිය, සකස්‌කර දේවි. දැන් ඔබට පුළුවන් සමාධි, උපේක්‍ෂා ධර්මයන්ට ක්‍රමාණුකූලව සිත යොමුකරන්න.

සිත අකීකරු වන විට ඔබ උපක්‍රමශීලී වන්න. ධර්ම මනසිකාරයක්‌ම සිත තුළින් මතුකොට ගන්න දක්‍ෂ වෙන්න. ඇසට ප්‍රිය, හුරුබුහුටි දකින ඕනෑම කෙනෙක්‌ ආදරය කරන වළිකිකිළි අම්මාගේ ජීවිතය තුළ සැඟවුණ අනතුරත් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න. වළිකිකිළි අම්මා වේගවත්ය කියන්නේ ඇය වේගයෙන් සංස්‌කාර රැස්‌කර ගන්නවාය කියන කාරණයයි. සෑම නිමේෂයකම ඇය තුළ රැස්‌වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. ඇය සෑම නිමේෂයකම අනාගතභවය සඳහා අප්‍රමාණ අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌කරගන්නවා. ඇය කවදානම් ගැලවෙන්නද? වළිකිකිළි අම්මාගේ පවටම උපන් දරුවො පස්‌දෙනෙක්‌. කාමයන් උදෙසා කාමයම රැස්‌කරමින් භවයේ වේදනාත්මකව නිරයේ දුකට සියතින්ම පාර සකස්‌ කර ගන්නවා. මනුෂ්‍යයන් වන අපත් අනාගතයේදීත් වනවදුලුවල සංචාරය කර වළිකුකුළන්ගේ සුන්දරත්වය දැක සතුටුවේවි. සුන්දර ඡායාරූප සිහිවටන ලෙස ගනීවි. අවසානයේදී අපි දෙගොල්ලන්ම එකම තැනයි ඉන්නේ. පෙනෙන සුන්දරත්වය තුළින් හුදු ආශ්වාදයම නොව අවබෝධය ලබන්න.