වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම අසරණයි. සරණක්‌ ඇති ජීවිතයක්‌ ඉදිරියේ මේවා කුමක්‌ නම් පීඩාවක්‌ කරන්නද…

ලන්තෑරුම් එළියෙන් ලෑලි ඇඳ මත වාඩිවී මේ සටහන තබනකොට භික්‍ෂුවගේ සිත පුදුමාකාර සැනසීමකින් පිරිලා. මේ ටික සටහන් වුණේ වැස්‌ස නිසා. ඒ නිසාම භික්‍ෂුව වැස්‌සට ආශිර්වාද කරනවා. භික්‍ෂුවට මතකය තේර තේරී ගාථාවල එක්‌ රහතන් වහන්සේ නමක්‌ උදාන වාක්‍යයක්‌ ප්‍රකාශ කරනවා ‘වැස්‌ස ඔබ ඇති තරම් වහින්න. ගොරවා ගොරවා වහින්න. වැස්‌සට බැහැ මාව අපහසුවට පත්කරන්න. මම කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ’ කියලා. වැස්‌සට ගුලිවෙලා, වකුටුවෙලා වැස්‌සට බැණ බැණ ඉන්නවා වෙනුවට උන්වහන්සේ වැස්‌සට ආශිර්වාද කළා. අපි වැස්‌සට කොච්චර කිව්වත් වහින්න එපා කියලා වැස්‌ස එය අහන්නේ නැහැ. වැස්‌සට ඇතිවන තුරාවට එය වහිනවා. වැස්‌ස වහිනතාක්‌ පරිසරය, කුටිය හිරිකිඩෙන්, මීදුමෙන්, දියසීරාවෙන් ආක්‍රමණය කරනවා.

මේ වැස්‌සට තෙමුණොත් වැඩිම වුණොත් උණක්‌, සෙම්ප්‍රතිශ්‍යාවක්‌ හැදෙයි. ඊට වඩා හැදෙන ලෙඩක්‌ නැහැ. කොත්තමල්ලි ටිකක්‌ තම්බලා වළඳලා, බටහිර බෙහෙත් පෙත්තක්‌, කරලක්‌ වළඳලා එය සනීප වෙලා යාවී. නමුත් ඇස නිසා ඇති වන කෙළෙස්‌ වැස්‌සට, කණ නිසා ඇති වෙන කෙළෙස්‌ වැස්‌සට නාසය, දිව, මනස, කය නිසා ඇතිවන කෙළෙස්‌ වැස්‌සට පිංවත් ඔබ තෙමුණොත් මෙලොව, පරලොව දෙකේදීම අපි දුකට වැටෙනවා. අර අතීත රහතන් වහන්සේ සිංහනාද කරන්නේ ‘මගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ. වැස්‌ස ඇති තරම් වහින්න’ කියලා.

ආධ්‍යාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥානයත් මේ කාරණා තුන එකතුවන ඵස්‌සය ළඟදීම උන්වහන්සේ අනිත්‍යය දකිනවා. ඵස්‌සය අනිත්‍යයයි කියලා අවබෝධයෙන් දකින තැනදී විඳීමක්‌ සකස්‌වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සැවොම ඵස්‌සය නිත්‍ය වශයෙන් ගෙන පංච උපාදානස්‌කන්ධය සකස්‌කරගන්නවා. ඒ කෙළෙස්‌ වැස්‌සට තෙමෙනවා. විඳීම කියන සෙවිලි නොකළ වහලය අපිව බරපතළ ආකාරයට කෙළෙස්‌වලින් තෙමෙනවා. මෙහි ඵලය තමයි සංස්‌කාරයන්ගේ බලවත් රෝගාතුරභාවය. සංස්‌කාර හේතුවෙන් හටගන්නා රෝගාබාධ බෙහෙත්පෙති, කරල්, සිරප් වළඳලා නම් සනීපකරගන්න බැහැ. කල්ප ගණන් මිථ්‍යදෘෂ්ඨිකභාවය, දුප්පත් බව, කුසගින්න, විරූපි බව, ගින්දර, ගිනි අඟුරු, ලෝදිය මත මදි නැතිව දුක්‌ අනුභව කරලයි අවසන් වෙන්නේ. දුකත් සැපත් දෙකම සංස්‌කාරයන්ගේ ඵලයක්‌ මයි. එම නිසා දුක, සැප දෙකම අපි සම සිතින් පිළිගත යුතුයි. අපි සූදානම් සැප සතුටින් පිළිගෙන, දුක අසතුටින් ප්‍රතික්‍ෂේප කිරීමට නම් අපට කවදාකවත් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙන්නට බැහැ. අනිත්‍ය සංඥාවන්ගෙන් සෙවිලි නොකරන ලද ඇස නිසාමයි, කණ නිසාමයි, නාසය නිසාමයි, දිව නිසාමයි, කය නිසාමයි, මනස නිසාමයි දුකත් සැපත් දෙකම අපට උරුමකර දෙන්නේ. අතීතයේ වැඩ සිටිය රහතන්වහන්සේ ‘වැස්‌ස ඇතිතාක්‌ වහින්න. මාගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ’ කියලා සිංහනාද කරන්නේ, උන්වහන්සේගේ කුටියට වැසිදිය නොවැටෙන නිසා නොව මීදුම, සීතල නොඑන නිසාම නොව උන්වහන්සේ ‘දැක්‌කාය’ කියන තැනදීම, ‘ඇසුනාය’ කියන තැනදීම ‘දැනුනාය’ කියන තැනදීම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම පිණිස අවබෝධයෙන් සම්පූර්ණ උත්තමයකු නිසාය. ‘මම’ කියන පුද්ගලයා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වූ ඵලයක්‌ ලෙස අවබෝධ කරගනිද්දී, හේතූන් නිසා සකස්‌ වූ ඵලයක්‌ තුළ සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ වශයෙන් අර්ථයක්‌ නොපෙනෙද්දී කුමක්‌ නිසා, කව්රුන් උදෙසා තෘෂ්ණාවක්‌ සකස්‌වෙන්නද?

පිංවත් ඔබ දෑස්‌ හොඳින් විවර කර බලන්න. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන නිසා සකස්‌ වූ කෙළෙස්‌ වැස්‌සට තෙමුණු සත්වයන්ගේ ලෝකයයි ඔබ ඉදිරියේ දර්ශනය වන්නේ. ධාරානිපාත වර්ෂාවක්‌ ගහකොළ පෙරළා, ඇල දොළ ගංගා දෙගොඩ තලා, පස්‌කඳු නායගොස්‌ මහා විනාශක්‌ කරන්නා සේ ඇස නිසා සකස්‌ වූ කෙළෙස්‌වල බරපතළභාවය නිසාම මොනතරම් දුක්‌ ගොඩක්‌ සත්වයා විඳිනවාද. අපි එක මොහොතක්‌වත් ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා වන දුක්‌ ගැන මෙනෙහි කරනවාද, කථාකරනවාද. ඇස, කණ, නාසය, දිව, කය, මනස නිසා කෙළෙස්‌ වැස්‌සට හසුවුණ අයමයි ඔය සිරගෙවල්වල, රෝහල්වල, යුධ භූමිවල, ගිහිගෙවල්වල, මගතොටේ අපට මුණගැසෙන්නේ. ස්‌වභාවධර්මයේ වැස්‌සෙන් නොතෙමෙන්න අපි උපක්‍රම යෙදුවාට, තෘෂ්ණාවේ කෙලෙස්‌ වැස්‌සෙන් අප නිරතුරුවම තෙමෙනවා. අපි ලෙඩවෙනවා. නොදැනුවත්කම නිසාම අසාධ්‍ය රෝගීන් බවට පත්වෙනවා. එහෙම රෝගීන්ට බෙහෙත් කියන්නෙත් තවත් අසාධ්‍ය රෝගියෙක්‌මයි. ඒ නිසා රෝගියා සහ වෛද්‍යවරයා දෙදෙනාම හුඟක්‌ වෙලාවට විනාශය කරාම පියවර තබනවා.

එක තාත්තා කෙනෙක්‌ සිටියා, ඒ තාත්තා දරුවන්ට බොහොම ආදරෙයි. ඔහු රජයේ සේවකයෙක්‌. මොහු ශීලය ගැන එතරම් තැකුව කෙනෙක්‌ නෙවෙයි. මාරයා විසින් සමාජය තුළ එලා ඇති තරගකාරීත්වය නැමැති දැළට හසුවෙලා සිටි අයෙක්‌ මොහු. යමක්‌ අයිති කර ගැනීමට යන ගමනේදී මොහු බොහෝම වේගවත්. කොටින්ම මොහුට දවසේ පැය 24ම වුණත් කටයුතු සඳහා ප්‍රමාණවත් මදි. මොහු තමන්ගේ දරුවෙක්‌ වෙනුවෙන් බොහොම මහන්සියෙන් නිවසක්‌ හැදුවා. නිවසේ වැඩකටයුතු අඩක්‌ නිමාකර තිබියදී මොහු මියයනවා. අපි දන්න ස්‌වාමීන් වහන්සේ නමක්‌ සමාධිය තුළින් අරමුණු කර බලනවා මොහු මරණින් මතු කොතැනක ඉපදිලා සිටිනවාද කියලා. එවිට එම ස්‌වාමීන්වහන්සේට අරමුණුවෙනවා මුල් ගලක්‌ දෑතින් අල්ලාගෙන සිටි බහිරව ස්‌වභාවයේ ප්‍රේතයෙක්‌. ඔහු එරමිනියාගොතාගෙන, මුල්ගල බදාගෙන ඉන්නවා වගෙයි දර්ශනය වෙලා තිබෙන්නේ. අපි භහිරවයා යනුවෙන් හඳුන්වන සත්වයෙක්‌.

මේ කාරණයේදී භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ, වැඩ අවසන් නොවූ නිවසේ උපාදානය නිසා ඉහත උපත සකස්‌කරගත් බවයි. දැන් ඉතින් මුල්ගල මගේ කොටගෙන බහිරව ලෝකයේ ජීවත්වෙනවා. මේ මුල්ගල නිශ්චිත වශයෙන් එම නිවසේම මුල්ගල ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. බලන්න, නිවස නැමැති රූපය නිසා සකස්‌ වූ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවූ කෙළෙස්‌ වැස්‌සට හසුව ඔහුව ගසාගෙන ගොස්‌ ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය සකස්‌කර දුන්තැන. ‘උපාදාන පච්ජයාරි භවෝ’….. ඔබ ඉදිරියේ ඇති භයානකම අනතුරු නුවණින් හඳුනා නොගත්තොත් ඔබට දුකම උරුමකර දෙන ධර්මතාවය. මේ මහත්මයා මනසේ සකස්‌වූ කෙළෙස්‌ වැස්‌සට හසුවීම නිසා සකස්‌කරගත් දුක කල්ප ගණනාවක්‌ විය හැකියි නේද?

වර්තමාන සමාජයේ ජීවත්වෙන හුඟ දෙනකුට තමන්ගේ කටයුතුවලට දවසේ පැය 24 ත් මදි. ඒ මදිබව නිසාම සමහරු රාත්‍රියේ නින්දෙන් ගණන් හදනවා. දරුවන්ට, බිරිඳට ආදරය කරනවා. මාරයා විසින් එලන ලද තරගකාරීත්වයේ දැලට හසුවී දුවන්නන් වාලේ දුවන චර්යාවෙන් මිදෙන්න. විවේකීව කෙලෙස්‌ වැස්‌ස ගැන සිතන්න. සමාජය වේගයෙන් ලෞකික වශයෙන් සංවර්ධනය වෙනවා. විසිතුරුභාවයෙන්, ගෘහනිර්මාණ ශිල්පයෙන් එකිනෙක අභිබවා දැකුම්කළු නිවාස ඉදිවෙනවා. ඔබගේ සුන්දර නිවස යම් සේ දැකුම්කලුද, විසිතුරුද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබගේ සිත ඊටත් වඩා විසිතුරුයි කියලා. මොකද ඔබ තුළ ඇති තෘෂ්ණාවේ දිග පළල නිසාමයි ඔය වැනි විසිතුරු නිවසක්‌ නිර්මාණය වුණේ කියලා. ඉහත වැකිය සටහන් කරනකොටම භික්‍ෂුවට හිනාවක්‌ ඇති වුණා. භික්‍ෂුව මේ වෙලාවේ වැඩ සිටින කුටිය කැලයේ ඇති මැටිගැසූ කුඩා පැළක්‌. රජගෙදර ඉන්න රජතුමාට වඩා නික්‌ලේෂී සැනසිල්ලක්‌ භික්‍ෂුව මේ මොහොතේ අත්විඳිනවා. තෘෂ්ණාව ක්‍ෂය වුණ තැන නිස්‌සරණය, සැහැල්ලුව මිස දුක සැප එහි කොයින්ද?

වැස්‌ස, සුළඟ, සීතල මීදුම එනවා. යනවා. ඒත් ඒ කිසිවකින් පීඩා විඳින්න පුද්ගලයෙක්‌ මෙතැන නැහැ. ඵස්‌ස පච්ජයා වේදනා….. ඵස්‌සය නිසා සකස්‌ වූ විඳීමත්, ඵස්‌සයත්, විඳීමත් අනිත්‍යධර්මයන්මයි. මොන තරම් සරළ සමීකරණයක්‌ද. විසිතුරුභාවය වැඩිවන්න වැඩිවන්න, තෘෂ්ණාව වැඩිවන බව ඔබ තේරුම්ගන්න ඕනා. තෘෂ්ණාව වැඩිවන්න වැඩිවන්න දුකයි වැඩිවන්නේ. දුක කියන්නේ අවිද්‍යාව නිසා අපිට රැස්‌වෙන්නාවූ සංස්‌කාරයි. සංස්‌කාරයන් නිදහසේ භුක්‌තිවිඳීමට අභය භූමියක්‌ වෙමිනුයි ලෝකය පවතින්නේ. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ට බාධාකරන්න කෙනෙක්‌ ලෝකයේ නැහැ.