බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌, දේපලක්‌ උදෙසා මගහරිනවානම් එම අනුවණකමේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්‍ෂ ගණනාවක්‌ ගෙවන්නට සිදුවේවි.

පිංවත් ඔබට අයිති නැති දරුවෙක්‌, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌ උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අතිදීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන්වහන්සේ සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමීධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි. ඇස්‌ ගලව ගලවා දන්දුන්නේ, මහා සාගරයේ ජලය පරදවා යන තරමට රුධිරය දන්දුන්නේ, මහ පොළොවේ පස්‌ පරදවන තරමට ශරීර මාංශ දන්දුන්නේ පිංවත් ඔබ උදෙසාමයි. හය අවුරුද්දක්‌ දුෂ්කරක්‍රියා කෙරුවේ ඔබ උදෙසාමයි. නමුත් පිංවත් ඔබට ඇස්‌, මස්‌, ලේ දන්දෙන්න අවශ්‍යම නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්‌වෙන ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් පමණක්‌ ඔබ දන්දෙන්න. එවිට අප බෝධිසත්වයාණෝ ඔබ වෙනුවෙන් දන් දුන් ඇස්‌, මස්‌, රුධිරය වෙනුවෙන් ඔබ කෘතගුණ දැක්‌වූවා වෙනවා. ඔබට ලැබුණ මේ උතුම් අවස්‌ථාවේදී එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේනමකට ණයකාරයෙක්‌ නම් වෙන්න එපා.

මාරයා සැඟවී බලා සිටිනවා, ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා, බිරිඳගේ, සැමියාගේ ආදරය පෙන්වලා, මෙවරත් ඔබව බුදුරජාණන් වහන්සේගේ ණයකාරයෙක්‌ කරවන්නට.

බැංකුවට ඔබ ණය වුණොත් දේපල රාජසන්තක කරාවී, බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත් භවයේ සැපයම මාරසන්තක වෙනවා. දුකින් බැහැරට මගපෙන්වූ ඒ උතුම් ශාස්‌තෘන්වරයාණන් වහන්සේට පිංවත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ, අද්වේශ, අමෝහ සුවඳ කුසුම් පූජාකරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල් සුවඳ නිරතුරුවම වර්ණනා කළා. ‘මේ ලෝකයේ කිසිම මනුෂ්‍යයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට විඳින්නට තබා සිතන්නවත් බැරි අප්‍රමාණ වූ දුක්‌ කන්දරාවක්‌ සය අවුරුද්දක්‌ පුරා මම දුෂ්කරක්‍රියා කළ කාලයේදී වින්දා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මේ හැම දුක්‌ගැහැටක්‌ම උන්වහන්සේ කැමැත්තෙන්ම දරාගත්තේ පිංවත් ඔබ මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ඔබට ලබාදීමටයි. එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක්‌ වෙනුවෙන් නිරතුරුවම පිංවත් ඔබ තුළ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිතෙන් මවාගෙන ඒ පවිත්‍ර සිත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන්, ඥානයන්ට නිරතුරුවම ඔබ මනසින් සමීපවෙන්න. එවිට පිංවත් ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක්‌ සකස්‌ වේවී.

භික්‍ෂුවට මතකයි අතීතයේ එක්‌තරා දවසක උදෑසන සුදු සරමක්‌ සුදු කමිසයක්‌ බෑගයක දමාගෙන උදෑසන 5ට බසයේ නැගලා, කිසිම ඥාතියෙක්‌ හිතවතෙක්‌ ගෙන් තොරව භික්‍ෂුව පැවිදිවීම සඳහා උපන් නිවසින් පිටව ගිය ආකාරය. එදා පටන් මේ මොහොත දක්‌වා භික්‍ෂුවට අයෝමය ශක්‌තිය වුණේ බුදුරජාණන් වහන්සේමයි. ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොමැතිව තැන්තැන්වල ආරණ්‍යවල හුදෙකලා කුටිවලට ගිය ගමනේදී සමහර පිංවතුන්ලා භික්‍ෂුව හැඳින්වූවේ ‘අහිගුන්ඨක භික්‍ෂුව’ කියලා. මගේම කණට ඇසිලා තියෙනවා පිංවතුන්ලා එහෙම කියනවා. මා හඳුනාගත්තා ඒ කථාකරන්නේ මාරයාය කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ඒ වෙලාවේ භික්‍ෂුව මාරයාව හඳුනාගෙනයි තිබුණේ. මාරයාට අවශ්‍ය වුණේ ‘අහිගුන්ඨක හාමුදුරුවෝ’ කියන නම පටබැඳලා මා තුළ ලැජ්ජාව සකස්‌ කරලා ආරණ්‍යයක, පන්සලක ස්‌ථිර නිත්‍ය පදිංචිකරුවෙක්‌ කරන්න. උතුම් පැවිද්ද ලැබීමට පෙරාතුවම මාරයාගේ එම අවකාශය මම බලාපොරොත්තුවුණා. භික්‍ෂුවට, ස්‌ථිර නිත්‍ය තැනක්‌ නැති ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියනකොට මට සතුටක්‌ ඇතිවුණා. භික්‍ෂුව කල්පනා කළේ, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේටත් ස්‌ථිර, නිත්‍ය තැනක්‌ තිබුණේ නැහැ නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාත් ‘අහිගුණ්‌ඨක’ ජීවිත ගතකළේ. ඒ උතුම් ජීවිතය මටත් ලැබීම භාග්‍යයක්‌කොටයි භික්‍ෂුව සැලකුවේ. ඒ ‘අහිගුණ්‌ඨක භික්‍ෂුව’ කියන නාමය භික්‍ෂුවට ලැබුණු ගෞරව නාමයක්‌ ලෙසයි භික්‍ෂුව මේ මොහොතේත් දකින්නේ. ඒ ගතකළ අහිගුණ්‌ඨකභාවයමයි මේ සටහන් ලියන්න අවශ්‍ය අවබෝධය ලබාදුන්නේ. මොකද භික්‍ෂුවට පැවිදිවෙන්න පෙරාතුව කවදාකවත් බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර පොතක්‌ කියවා තිබුණේ නැහැ. කවදාවත් භාවනා පංතියකට ගිහින් තිබුණේ නැහැ. ජීවිතේ කවදාවත් දහම් පාසලකට ගිහින් තිබුණේ නැහැ. භික්‍ෂුව ගිහිකාලයේ අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්‌තියානි පාසලක. එහි බුදුදහම ඉගැන්වුවේ 7 වැනි ශ්‍රේණියෙන් පසුවයි. මෙවැනි පසුබිමක්‌ තුළ ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියන අර්ථයේම ඵලයයි මේ භික්‍ෂුව. අහිගුණ්‌ඨක කියන වචනයේ අර්ථය මෙතැනදී භික්‍ෂුව දකින්නේ ‘අතහැරීම’ කියන අර්ථයෙන්. ඔබ අතහැරිය යුත්තේ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව පමණක්‌මයි. එතැනදී ඔබට මුළු සද්ධර්මයේම රැකවරණය ලැබෙනවා. සද්ධර්මයේ රැකවරණය ලබාගත් තැනැත්තාට මිනිස්‌, දෙව්, බඹුන් තුන් ලෝකයේම ගරු බුහුමන් ලැබෙනවා. ‘ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබෙයි’ කියන අර්ථය භික්‍ෂුව නිරතුරුවම කියන්නේ ඉහත අත්දැකීම නිසාමයි.

භික්‍ෂුවට ඉහත ශක්‌තිය ලබාදුන්නේ, සසර පිළිබඳ ඇතිකරගත් බිය විසින්මයි. මේ බිය සකස්‌ කර දුන්නේ තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාවයි.

සමාජය තුළ පිංවතුන්ලා විනෝදවෙනකොට, සෙල්ලම් කරන විට භික්‍ෂුවට හරි බයක්‌ දැනෙනවා, ඔබලා පිළිබඳව. විනෝදවෙන්න සෙල්ලම් කරන්න පුළුවන් ලෝකයක්‌ නොවෙයි මේක. ලෝකය නිරතුරුවම ගිනිගන්නවා තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවේ ගින්දරයි ඔබ විනෝදය, සෙල්ලම හැටියට දකින්නේ. නොදන්නාකම නිසාම ගින්දරත්, විනෝදයත් සෙල්ලමක්‌ කොටගනිද්දී පිච්චීමට අදාළ සංස්‌කාරයන් අනාගත විපාකයන් පිණිස සකස්‌වෙනවා. පරිස්‌සමෙන් විනෝදවෙන්න. තෘෂ්ණාව කියන්නේ ගින්දරක්‌. අනුනගේ විනෝදය, සෙල්ලම ඔබ ගින්දරක්‌ ලෙස දකිමින් ඒ ගිනි නිවන දිශාවට යොමුවෙන්න.