පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු කුසලය කියලා. ඉහත කාරණා 10 ට තමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කුසලය කියලා කියන්නේ.

කුසල් මූලයන් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අලෝභ, අදෝෂ, අමෝහය කියලා. මේ කාරණා දහය පිංවත් ඔබට මේ ආකාරයට ගන්නත් පුළුවන්. ඒ කයෙන් සිදුවෙන්නා වූ කුසල් 3 යි, වචනයෙන් සිදුවෙන්නා වූ කුසල් හතරයි, මනසින් සිදුවෙන්නා වූ කුසල් තුනයි කියලා. ඉහත කාරණා 10 ට තමයි කුසල් කියලා කියන්නේ.

එතකොට පින කියලා කියන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින යනු යහපත්, සිත්කළු, මන වඩන සැපයට කියන තවත් නමක්‌ය කියලා. එහෙමනම් පින කියන්නේ සැපයට කියන්නා වූ තවත් නමක්‌. දැන් පිංවත් ඔබට කුසලය කියන වචනයේ අර්ථයත්, පින කියන වචනයේ අර්ථයත් හොඳින් පැහැදිලියි. පින කියන කාරණයත්, කුසලය කියන කාරණයත් අර්ථයන් දෙකක්‌. නමුත් මේ කාරණා දෙක හේතුඵල අනුව එකට සම්බන්ධ වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. යමෙක්‌ කුසල් ධර්මයන් ජීවිතය තුළින් වඩනකොට, ඔහු තුළ සැපය, ඒ කියන්නේ පින ඇතිවෙනවා. යම් පිංවතෙක්‌ සැපයෙන් ජීවත්වෙනවානම් ඔහු ජීවත්වෙන්නේ කුසල් ධර්මයන් ජීවිතය තුළින් සිදුකරගන්නා නිසාමයි. පිංවත් ඔබ ධර්මානුකූලව සැපයෙන් ජීවත්වෙනවාය යන්නෙන් කියවෙන්නේ ඔබ තුළ කුසලයත්, පිනත් දෙකම තිබෙනවාය කියන කාරණයයි. පිංවතුන් වචන වල අර්ථයන් පසුපස හඹායැම හැකිතාක්‌ අඩුකර අනිත්‍ය ධර්මය තුළින්ම විතර්ක සකස්‌කොට දෙන සිත දෙස බලන්න දක්‍ෂ වෙන්න. එවිට ඔබට පෙනේවි ඔබ පිළිතුර තුළ සිටිමින්ම පිළිතුරු සොයන බව.

පිංවත් මනුෂ්‍යයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන්වහන්ස, මනුෂ්‍යයන් විසින් පූජෝපහාර පවත්වන ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩින්නේ කොහොමද කියලා. පිංවත් ඔබ ධර්මරත්නය පිළිබඳව අචල ශ්‍රද්ධාවක්‌ ඇතිකර ගැනීමට අවශ්‍යනම් මෙවැනි කාරණාවන් පිළිබඳව ධර්මානුකූල අර්ථය දැනගතයුතු වෙනවා. එසේ නොවුණහොත් මෝහය මුසු, අමූලිකා ශ්‍රද්ධාවයි අප තුළ වැඩෙන්නේ.

ධාතූන්වහන්සේ නමක්‌ කියන්නේ අතීතයේ වැඩසිටි උතුම් ආර්යයන් වහන්සේලාගේ ශරීරයේ කොටසකට. එය දන්ත ධාතූන් වහන්සේ නමක්‌ වෙන්න පුළුවන්, නැතිනම් ශරීරයේ වෙනත් අස්‌ථි කැබැල්ලක්‌ වෙන්නත් පුළුවන්. අස්‌ථි කැබැල්ලක්‌, දතක්‌ කියලා කියන්නේ සතරමහා ධාතුවෙන් සැදුනු දෙයක්‌. මේ උතුම් ආර්යයන් වහන්සේලා කියන්නේ, රූපයේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සතරමහා ධාතුව තම අවබෝධ ඥානයෙන් විනිවිද දැක්‌ක කෙනෙක්‌. සත්වයා ලෝකයට බැඳ තබන පංච උපාදානස්‌කන්ධයේ මුල්ම උපාදානස්‌කන්ධය වන රූප උපාදානස්‌කන්ධය අවබෝධ කරගත් තැනැත්තාමයි රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්නේ. රූපය නැමැති සතරමහා ධාතුව අවබෝධ කර ගත්තාවූ රහතන්වහන්සේ ඒ අවබෝධය ලබාගන්නේ නාමරූප ධර්මයන් උපයෝගී කරගෙනමය. රහතන් වහන්සේ පිරිනිවීයන මොහොතේ විඥ්ඥාන ධාතුව රහතන් වහන්සේ තුළින්ම පිරිනිවී ගියත්, මෙලොව ඉතිරිවූ නොවූ ශරීරය හෙවත් සතරමහා ධාතුව පූජනීයත්වයට පත්වෙනවා. සතරමහා ධාතුව අවබෝධ කරගත් නිසාමයි උන්වහන්සේගේ රූපය පූජනීයත්වයට පත්වෙන්නේ. එම නිසාම ධාතූන් වහන්සේලාට පූජෝපහාර දක්‌වන්න කියන කාරණය බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

මේ කිසිම ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක්‌ ඇතිකරගෙන තැනින් තැනට වැඩම කරන්න පුළුවන්කමක්‌ නැහැ. ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක්‌ ඇතිවීමට නම් ධාතූන්වහන්සේ තුළ පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌වෙන්න අවශ්‍යයි. පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌වෙන්න නම් සංස්‌කාර හේතුවෙන් සකස්‌ වුණ විඥ්ඥානය ධාතූන්වහන්සේලා තුළ බැසගෙන තිබෙන්න ඕනේ. ඒ හේතුවෙන්ම නාමරූප ධර්ම සකස්‌වෙන්න ඕනේ. ආයතන හය පිහිටන්න ඕනේ. මේ කිසිවක්‌ සකස්‌ නොවන ධාතූන්වහන්සේ නමක්‌ කෙසේ නම් සෘද්ධියෙන් වඩින්නද? එය කවදාකවත් ධර්මානුකූලව සිදුවන දෙයක්‌ නොවෙයි. ඒ අපි අමූලිකා ශ්‍රද්ධාව නිසාම ධර්මයේ සැබෑ අර්ථයෙන් දුරස්‌ව ලෝකය දකින නිසාම ඇතිකරගන්න අදහසක්‌.

නමුත් පිංවතුන්ලා අපිට නිතර ප්‍රකාශ කරනවා. තම තමන්ගේ පූජනීය ස්‌ථාන වලට ධාතූන්වහන්සේලා වැඩියා කියලා. ‘ගිය සතියේ ධාතූන්වහන්සේලා දෙනමයි වැඩසිටියේ. අද බලනකොට ධාතුකරඬුවේ ධාතූන්වහන්සේලා හත්නමක්‌ වැඩ සිටියා’ කියලා. ඒ කියන්නේ ධාතූන්වහන්සේලා පස්‌නමක්‌ වැඩිවෙලා. ඒ කියන්නේ මෙතැන” සිද්ධවෙන්නේ ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වැඩීමක්‌ නෙමෙයි. සම්‍යදෘෂ්ඨික දෙවිවරු විසින් සුදුසු පූජනීය ස්‌ථානවලට ධාතූන්වහන්සේලා රැගෙන යනවා. අතීතයේ වැඩසිටියාවූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් ඒ උතුම් ආර්යයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබූ, ශිෂ්‍යභාවය ලැබූ නමුත් නිවන් අවබෝධ කරගැනීමට නොහැකිවූ ලක්‍ෂ ගණනාවක්‌ ගිහි පැවිදි පිංවතුන්ලා මේ මොහොතේ සශ්‍රික දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවිවරු ලෙස වැඩසිටිනවා. ඒ දෙවිවරු තමන් සතු දිව්‍යචක්‌කු තුළින් තමන්ගේ ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලා වැඩසිටින්නේ කොහේද යන්න දන්නවා. තම සත්පුරුෂ ගුරුවරයාට ඇති ගෞරවය නිසාම එම ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලාට අවශ්‍ය පූජෝපහාරයන් නොලැබෙනවා නම්, එම දුසිල්වතුන් සිටින ස්‌ථානවල වැඩසිටිනවා නම් දෙවිවරු තම දිව්‍යචක්‌කුවලින් එය දැකලා සුදුසු පූජනීය ස්‌ථානවලට, සිල්වතුන් අතරට එම ධාතූන්වහන්සේලා රැගෙන ගොස්‌ තබනවා. මහේශාඛ්‍ය දෙවිවරු තම අතීත කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාට දක්‌වන ගෞරවය තමයි පිංවත් ඔබ ‘ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩිනවා’ය යනුවෙන් දකින්නේ. ඉහත කාරණයෙන්ම පිංවත් ඔබ දැනගන්න ඕනා, උතුම් ධාතූන්වහන්සේලාට ජූජෝපහාර දක්‌වන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ කරුණට දෙවිවරු වර්තමානයේත් මොනතරම් ගරුකරනවාද කියන දෙය.

මේ මොහොතේ සම්‍යාදෘෂ්ඨික දෙවිවරු උතුම් ධාතූන්වහන්සේලාට ගරුසත්කාර කරමින් පිංවත් ඔබලාට දෙන පණිවුඩයක්‌ තිබෙනවා. ඒ උතුම් පණිවුඩය ඔබට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ අකාරවතී ශ්‍රද්ධාව කියන තෙරුවන්ගේ ගුණයන්, ඥානයන් අර්ථයෙන් දැක ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාව තුළින්මයි. මෝහය මුසු අමූලිකා ශ්‍රද්ධාවෙන් නම් නොවෙයි. පිංවත් දෙවියන් ඔබට කියන පණිවුඩය තමයි, සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින මේ මොහොතේ මහපොළොවට පස්‌වෙන, ගින්දරට අලුවෙන, පිංවත් ඔබගේ ඔය ශරීරයේ ඇටකටු, ධාතූන්වහන්සේලා බවට පත්කර පූජනීයත්වයට පත්කරගන්න කියන කාරණය. ධාතූන්වහන්සේ තුළින් ඔබ දැකිය යුතු අර්ථය ඔතැනයි තිබෙන්නේ. පිංවත් ඔබටත් පුළුවන් ඔය ශරීරයේ තිබෙන සෑම ඇට කැබැල්ලක්‌ම පූජනීයත්වයට පත්කරගන්න. උතුම් ධාතූන්වහන්සේ නමක්‌ බවට පත්කරගන්න. එය කරගත හැක්‌කේ උතුම් ධාතූන්වහන්සේලා වන්දනාකරන ගමන්ම, ඉන් ඔබ්බට ගොස්‌ ධාතූන්වහන්සේත් අනිත්‍යයේ ඵලයක්‌ය, ධාතූන්වහන්සේත් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතු කොටසක්‌ය කියන කාරණය අවබෝධ කරගැනීමට දක්‍ෂ වීමෙන්ය. එම අවබෝධය ලැබීමට නම් පිංවත් ඔබ පළමුවෙන්ම පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌ නොවෙන, රූපයක්‌ පමණක්‌ වන උතුම් ධාතූන්වහන්සේලාට සෘද්ධියක්‌ ඇති නොවන බව ධර්මානුකූලව තේරුම්ගත යුතුව ඇත. පිංවත් ඔබත් ධර්මාවබෝධයෙන් සැනසෙන්න. එවිට ආයාසයෙන් තොරවම, ඔබේ ධාතූන්වහන්සේලාත් පූජනීයත්වයට පත්වේවි. එතෙක්‌ අපේ භෂ්මාවශේෂයන්ට ලෝකය බියක්‌මයි දක්‌වන්නේ. ඒවාට ගරුකරන්නේ ප්‍රේතයන් යක්‍ෂයන් පමණක්‌මය. පිංවත් ඔබ සතර අපායෙන් මිදීමෙන්මයි, තම භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කර ගැනීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එම නිසා පිංවත් ඔබ බොහෝම සිහිනුවනින් යුතුව අමූලිකා ශ්‍රද්ධාවෙත්, ආකාරවතී ශ්‍රද්ධාවෙත් වෙනස කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින්ම හඳුනාගෙන, ශීලයෙන් පරිපූර්ණවෙමින්, නිරතුරුවම අනිත්‍ය සංඥාවන් තුළින් ජීවිතය දකිමින් නිවැරදි මාර්ගය තුළම අවබෝධය කරායන්න. ඉක්‌මන් කෙටි මිථ්‍යාවන් පසුපස යන්න නම් එපා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා අධිමාන්නය නිසාත්, මෝහය නිසාත්, සිහිමුලාවීම නිසාත්, මාර්ගඵලයන් ප්‍රකාශ කරනවා කියලා. බුදුරජාණන්වහන්සේගේ කාලයේ සුනක්‌ඛත්ත වැනි පැවිදි අය පවා බලුව්‍රත, හරක්‌ ව්‍රත, රකින නිර්වස්‌ත්‍ර මිත්‍ය දෘෂ්ඨිකයන්ව රහතන් වහන්සේලා හැටියට දැක්‌කා. අනාගත සමාජය තුළ ශාසන විකෘතීන් සකස්‌වීම සඳහා මාර්ගඵල උන්මාදය කියන කාරණය බොහොම වේගයෙන් පැතිරයන්න පුළුවන්. මෙය ධර්මතාවක්‌. ඒ ඇසෙන හඬ ශාසනයේ අර්ථයන් අතුරුදන්වීමේ කාලය ළඟාවන බව පිංවත් ඔබට කරන අනතුරු හැඟවීමක්‌. මේ සියලු අභියෝගයන් ධර්මානුකූලව දකිමින් බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්ම මාර්ගය තුළින්ම ගමන්කොට ධර්මය දකින්න. ඔබ අර්ථවත්ව ධර්මමාර්ගය තුළ ගමන් කිරීමේදී පිංවත් ඔබ තුළින් ක්‍රමානුකූලව මමත්වයේ දැඩිභාවය නැතිවීයාවි. මාන්නය දියවෙන ප්‍රමාණයට නිහතමානී බව ඔබගේ ජීවිතය තුළ ඇති වේවි. දැන් ඔබ ලෝකය ඉදිරියේ ප්‍රදර්ශකයෙක්‌ නොවේ, අවබෝධයෙන්ම එම සිත අනිත්‍ය බව දැකීමට හැකි දක්‍ෂ වීර්යවන්තයෙක්‌.