වෙලාව පෙරවරු 8.00යි. භික්‍ෂුව පිණ්‌ඩපාතය වැඩම කරලා පෙරලා කුටියට පැමිණි මොහොත. අහස හොඳටෝම කළුකරලා තිබුණේ. දැන් වහිනවා. එක දිගටම මාස 2ක්‌ මෙම ප්‍රදේශයේ දැඩි පෑවිල්ල තිබුණේ. ඒත් වැව් ජලයෙන් ගම්වාසීන් කුඹුරු අස්‌වද්දලා දැන් අස්‌වැන්න නෙළන කාලය. කුටියේ කැපකරු මහත්මයාත් මතක්‌ කළා ඉදිරියේ අස්‌වැන්න නෙළන නිසා දින 10 ක්‌ පමණ කුටියට නොපැමිණෙන බව. ඒත් මේ උදෑසන වහිනකොට භික්‍ෂුවට සිහිපත් වුණා ඒ අය මොනතරම් මානසික පීඩා විඳිනවා ඇතිද කියලා. පසුගිය දිනවල වැසි නැතිව තිබිලා අස්‌වැන්න නෙළන අවස්‌ථාවේ වහිනකොට මීට පෙරත් ගොවි මහත්වරුන් බොහොම වේදනාවෙන් භික්‍ෂුවට ප්‍රකාශ කර තිබෙනවා ‘හාමුදුරුවනේ අපි බොහොම පිංකම් කළත්, මහන්සිවෙලා, ණය වෙලා ගොවිතැන් කළත් අවසන් මොහොතේදී මෙවැනි බාධක සිද්ධවෙනවා’ කියලා. ඉහත ප්‍රශ්නය භික්‍ෂුවට යොමු කරපු වෙලාවේ භික්‍ෂුව එම ගොවියාහට දුන් පිළිතුර මෙහි සටහන් කරනවා. මක්‌නිසාද, එවැනි ස්‌වාභාවික විපත්වලින් වේදනාවට පත්වෙන පිංවත් ඔබට මෙම කරුණු නුවනින් මෙනෙහි කිරීමට ශක්‌තියක්‌ ලැබීම පිණිස…

අපි ගොඩාක්‌ කැපවීම් කරලා, බලාපොරොත්තු ඇතිකරගෙන යමක්‌ සිද්ධකරලා, ඒවායේ ප්‍රතිඵල වලින් ලබන සිහින මාලිගා මනසින් ගොඩනගලා, ස්‌වභාවධර්මය නිසා ඒවා විනාශ වී යනකොට, දුර්වල වෙනකොට අප්‍රමාණ වේදනාවට පත්වෙනවා. මානසික රෝගීන් බවට, සියදිවි නසාගන්නන් බවට පත්වෙනවා. ස්‌වභාවධර්මයේ සැබෑ මුහුණුවර ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වන විට ඔබ ඊට ඇලීම, ගැටීම හේතුවෙන් ඔබත් ස්‌වභාවධර්මයේම කොටස්‌කරුවෙක්‌ බවට පත්වෙනවා. ස්‌වභාවධර්මයේ සැබෑම ස්‌වභාවය අනිත්‍යයයි. ඔබ දක්‍ෂවෙන්න ඕනේ අනිත්‍යවන ධර්මතාවයන් සමග ගැටීමට නොයා අනිත්‍ය ස්‌වභාවය අවබෝධ කරගැනීමට. මෙවැනි ධර්මයන් සමග ගැටුණු ගොවි මහත්තයෙක්‌ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ වැඩ සිටි සමයේ ජීවත් වුණා. ඒ අවාසනාවන්ත ගොවි මහතාට බුදුරජාණන්වහන්සේගේ මහා කරුණා ගුණය නිසා වාසනාව උදාවුණා.

මේ ගොවි මහතාට බුදුරජාණන්වහන්සේ මුණ-නොගැසෙන්න, මේ මොහොතේත් ඔහු සතර අපායේ කොතැනක හෝ දුක්‌විඳින අවාසනාවන්තයෙක්‌ වෙන්න ඉඩ තිබුණා. ඒත් භාග්‍යවතුන්වහන්සේ විසින් පිරිනැමූ භාග්‍යය නිසා මේ මොහොතේ මාර්ගඵල ලාභී දෙවියෙක්‌ හැටියට දිව්‍ය සැප විඳිනවා ඇති. සමහර විට දිව්‍යතලයකදීම නිවන් අවබෝධකර පිරිනිවීයන්නත් ඇති.

ලොව්තුරා බුදුසමිඳුන් දිවැස්‌ ඥානයෙන් දකිනවා, මේ බමුණාට සෝවාන් ඵලයට පත්වීමට වාසනාව තිබෙන බව. මේ මිථ්‍ය දෘෂ්ඨික බමුණාට එම ශක්‌තිය මෝදුකරදීමට බුදුරජාණන්වහන්සේ කුඹුර සකස්‌ කිරීමත්, අස්‌වැන්න නෙළීමත් අතර ගතවන කාලයම උපයෝගී කරගන්නවා. නගුල යොදා කුඹුර සාන අවස්‌ථාවේ, සී සාන අවස්‌ථාවේ, අස්‌වැන්න පැසෙන කාලයේ මේ කුඹුර මැදින් බුදුරජාණන්වහන්සේ වඩින ගමන් බමුණාගෙන් විමසනවා ‘බමුණ, කුඹුර හානවා නේද? ‘ කියලා. ‘සී සානවා නේද? ‘ කියලා. ඊට වැඩි යමක්‌ කතා කරන්නේ නැහැ. බමුණත් එහෙමයි කියලා කෙටියෙන් පිළිතුරු දෙනවා. බුදුරජාණන්වහන්සේ මුල ඉඳලාම දන්නවා බමුණාට මේ ගොයමේ අස්‌වැන්න ස්‌වභාවධර්මය නිසාම නෙලාගන්න ලැබෙන්නේ නැහැ කියලා. නමුත් බමුණා මේ ටික දන්නෙ නැහැ. අස්‌වැන්න ගැන බලාපොරොත්තු ගොඩනගාගෙන ඔහු වී අටුව පිරෙන විදිහ ගැන සිහින දකිමිනුයි හිටියේ. අස්‌වැන්න නෙළන දිනයට පෙර දින මහා වැසි කඩාවැටී ගොයම විනාශවී යනවා. එදා බුදුරජාණන්වහන්සේ වෙනදා වගේ කුඹුරට වැඩියේ නැහැ. බමුණාගේ නිවසටමයි වැඩියේ. බමුණා දැඩි මානසික පීඩනයකට පත්වී ගෙදර පැදුරේ ඇලවී හඬමින් සිටියා. වේදනාවෙන් මුසපත්වී සිටි බමුණා බුදුරජාණන්වහන්සේ දැකලා මොහොතින් පියවි සිහිය ලැබුවා. බමුණා මිථ්‍යාදෘෂ්ඨික වුණත් බලාපොරොත්තු කඩවීමේ වේදනාවෙන් බුදු සමිඳුන්ට චෝදනා කළේ නැහැ. ‘ඔබ වහන්සේ වරින්වර මගේ කුඹුර මැදින් වැඩියා. ඔබවහන්සේගේ ඇස්‌වහ කටවහ නිසයා මගේ ගොයම විනාශ වුණේ’ කියලා. මොකද බොහෝ බෞද්ධ පිංවතුන් අතර සිටිනවා, සිල්වත් ස්‌වාමීන්වහන්සේනමක්‌ උදේ පාන්දරින් දැක්‌කහම, එය අසුබ දසුනක්‌ ලෙස සලකන පිංවතුන්. මෙවැනි අය සමග බැලුවහම බමුණා මිථ්‍යාදෘෂ්ඨික වුවත් අතීතයේ පුහුණු කළ යහපත් ගුණයන් තිබුණා.

මේ අවස්‌ථාවේදී අපි ආශාවෙන් බැඳී සිටින සියලුම සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය පැහැදිළි කරදී භාග්‍යවතුන්වහන්සේ විසින් බමුණාව සෝවාන් ඵලයේ පිහිටුවනවා. අධික වර්ෂාව නිසා ගොයමේ අස්‌වැන්න විනාශ වුණා. අපි හිතමු එතැන වී බුසල් දෙසීයක්‌ තිබුණා කියලා. ඒ වී ප්‍රමාණය මිල කරන්න පුළුවන් මෙපමණයි කියලා. නමුත් එම වටිනාකම මගේ කොට නිත්‍යභාවයෙන් අල්ලාගැනීම නිසා බමුණාට අයිති වුණේ දුක ශෝකයයි. සමහරවිට බුදුරජාණන්වහන්සේ බමුණාගේ ගෙදරට නොවැඩියානම්, බමුණාට පපුවේ අමාරුවක්‌ හැදිලා මැරෙන්නත් තිබුණා. ඒ සියල්ල වෙන්න තිබුණේ අනිත්‍ය දේ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. වී බුසල් දෙසීය පිළිබඳ තෘෂ්ණාව සකස්‌ කර ගන්නාතාක්‌ බමුණාට හිමිවුනේ දුකමයි. ඒ කෙරෙහි ඇති තෘෂ්ණාව අතහැරුණු මොහොතේ බමුණාට සක්‌විති රජකමටත් වඩා ශ්‍රේෂ්ඨ සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට හැකි වුණා. නිත්‍යභාවයෙන් යමක්‌ අල්ලාගතහොත් දුකක්‌. එයම අවබෝධයෙන් අතහැරියහොත් ලෝකයේ ශ්‍රේෂ්ඨම සැපයක්‌ උරුමවෙනවා. ඉහත සිද්ධිය අනුසාරයෙන් පිංවත් ඔබ සිතන්න, පිංවත් ඔබ මහන්සිවෙලා, ගොවිතැන් කරලා, අස්‌වැන්න නෙළන අවස්‌ථාව එනකොට එසේත් නැතිනම් වෙනත් ව්‍යාපාර කටයුත්තක්‌, සුබ කටයුත්තක්‌ යෙදෙන අවස්‌ථාවක ඒවාට කාලගුණයෙන්, බාහිර හේතූන්ගෙන් බාධා පැමිණියොත් ඒවා නිසා පිංවත් ඔබ කරපු පිංකම් වලට, මුණගැසෙන ස්‌වාමීන්වහන්සේලාට දෝෂාරෝපනය කරන්න එපා. එම අකුසලයෙන් සංසාරයේ මීට වඩා දරුණු බාධක ඔබ ඉදිරියට එන්න පුළුවන්. අපේ යමක්‌ විනාශ වුණා නම්, අලාභ වුණා නම් ඊට වගකිව යුත්තේ අව්ව, වැස්‌ස, සුළඟ නොවේ. ඒවාට බොහෝ සෙයින් හේතුවෙන්නේ අතීතයේ ඔබ විසින්ම කළා වූ අකුසල් සංස්‌කාරයි. ඒවායේ විපාක ස්‌වභාවධර්මය හරහා ඔබට ලැබෙන විට ඒවා අල්ලාගැනීමට නොගොස්‌, අතහැරදැමීමට උත්සහ ගන්න.

අතීත භවයන්හිදී වැස්‌සවලාහක දෙවියන් ලෙස ඉපදිලා, හිරුකිරණ උපාදානය කරගත් දෙවියන් ලෙස ඉපදිලා පංච කාමයන් විඳීම හේතුවෙන් අකලට වැසි වස්‌සවලා, නියං ඇති කරලා ලෝකය පීඩාවට පත්කරලා ඔබලා විසින්ම කරගත් අකුසල් ඔබලාට විපාක දෙනවා වෙන්න පුළුවන්. එසේත් නැතිනම් අතීත භවයන්හිදී ගංවතුර ආධාර වංචාකරලා, අසරණභාවයට පත්වූ අය පීඩාවට පත්කරලා ඒවයේ විපාකයන් නිසා මේ ජීවිතයේදී මේ විනාශයන් සිදුවෙනවා ඇති. මේවා හේතුඵල ධර්මයන්. වැස්‌සෙන් විනාශයක්‌ වුණොත් අපි දකින්නේ බෙංගාල බොක්‌කේ වායු අවපාතයක්‌ය කියන කාරණය. නියඟයක්‌ ආවොත් කැළෑ විනාශ කළාය කියන කාරණය. හැමදාමත් ඔබ සිතන්නේ ඔය ටිකයි. බෙංගාල බොක්‌කේ වායු අවපාතය ගැන කොච්චර සිතුවත් එය අවසන් වෙන්නේ නැහැ. බෙංගාල බොක්‌ක තිබෙනතාක්‌ වායු අවපාතයන් ඇතිවේවි. මේවා හේතුඵල ධර්මයන්. අපි ඒවා ගැන කථාකරාවී. ගංවතුරට නියඟයට ආධාර දේවි. පිංවත් ඔබ සිතන්න දක්‍ෂවෙන්න ඕනේ, වර්තමානයේදී පිංවත් ඔබ මිනිස්‌ ජීවිතයක්‌ ලැබුවත්, අතීත භවයන්හිදී ඔබ වැස්‌සවලාහක දෙවියන් ලෙස ඉපිද, වැසි වලාකුළු උපාදානය කරගෙන කල්ප ගණන් ජීවත්වූ පිරිසක්‌ බව. අතීතයේ වැසි ඇති කරපු ඔබ, මේ මොහොතේ වැස්‌සට ගංවතුරට හේතු හොයනවා. අතීතයේ අපි වලාකුළු වලට, හිරුකිරණට අධිගෘහිත දෙවියන් ලෙස ඉපදිලා, පංචනීවරන්ගේ ග්‍රහණයට යටවෙලා, පංචකාම සම්පත් විඳීම උදෙසා අකලට වැසි වස්‌සවලා, ඔබලාගේ ආශ්වාදය උදෙසා මනුෂ්‍යයාව පීඩාවට පත්කරලා සිදුකරගෙන ඇති විපාක නොදුන් අකුසල් කන්දරාව සමග සසඳා බලනකොට වර්තමානයේ අපි මේ තරමින්වත් ගංවතුරෙන්, නියඟයෙන් බේරී සිටීම ගැන සතුටුවෙන්න ඕනේ.

බෙංගාල බොක්‌කේ වායු අවපාතයෙන් එහාට හිතන්න පුළුවන් උතුම් ධර්මයක්‌ බුදුරජාණන් වහන්සේ අපට උරුම කරදී තිබෙනවා. බුදුරජානන්වහන්සේ එම බමුණාට හේතුඵල ධර්මයන් ගලපා දීලා බමුණාට හිතන්න සැලැස්‌වුවා. විවේකීව. ගොඩක්‌ දේවල් බමුණාට හිතන්න තිබුණේ නැහැ. රට, ජාතිය, ආගම, හඳහන, ග්‍රහ අපල, කාලගුණ වාර්තා…. මේවා බැහැර කළා. බුදුරජාණන්වහන්සේගේ නික්‌ලේශී රූපකාය දකිනකොටම බමුණාගේ දුක උපදවන සිතුවිලි, චංචල කෙළෙස්‌ සිතිවිලි යටපත් වුණා. විවේකී මනසින් බමුණා සිතන්නට ඇති. ‘ගොයම ඇති වුණේ හේතුවක්‌ නිසයි, වැස්‌ස ඇති වුණෙත් හේතුවක්‌ නිසයි, මේ දුක ඇති වුණෙත් හේතුවක්‌ නිසාමයි’ කියලා. දුකට හේතු වුණේ අස්‌වැන්න කෙරෙහි ඇතිකරගත් තෘෂ්ණාවයි. තෘෂ්ණාව බැහැරකරලා, දුකෙන් මිදෙනවාය කියන කියන කාරණය මෙනෙහි කරන කොටම, බමුණාට වී බුසල් දෙසීය කෙරෙහි වටිනාකම ඇත්හැරෙන කොටම ගිහි පිංවතෙකුට ලබාගත හැකි උතුම්ම වටිනාකමවන සෝවාන් ඵලය ලබාගත්තා. ගංවතුරත්, අස්‌වැන්න විනාශයත් දෙකම මොන තරම් දක්‍ෂ ආකාරයට මෙම බමුණා තම ජයග්‍රහණය සඳහා උපයෝගීකරගත්තාද. අවසානයේ බලනවිට ගංවතුර ගැලූවෙත්, අස්‌වැන්න විනාශ වුණෙත් බමුණාගේ පිනටමයි.

ඕනෑම අභියෝගයක්‌ උතුම්ව ධර්මයේ ජයග්‍රහණයක්‌ කරා මෙහෙයවීමේ මාර්ගය අපට ඉගැන්වූවේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේයි. එමනිසා පිංවත් ඔබත් ඕනෑම විනාශයක්‌ හේතුඵල ධර්මයන් අනුව ගලපා බලන්න. ඔබට මේවායින් පීඩවාක්‌ වුණොත්, ඔබේ පෙර පිනකටයි එය සිද්ධ වුණේ කියලා දකින්න දක්‍ෂවෙන්න. විනාශය කෙරෙහි ඇතිවන ගැටීමෙන් දුක ඇතිකරගන්නවා වෙනුවට අවබෝධයෙන්ම දුකෙන් මිදෙන දිශාවටම යන්න. මොකද අව්ව, වැස්‌ස, සුළඟ, අවපාත, වායුපීඩන, භූමිකම්පා, සුනාමි…. මේවා සියල්ල ස්‌වභාවධර්මයේ ස්‌වභාවයන්මයි. මේ සියල්ලම සකස්‌වී ඇත්තේ නිරතුරුවම වෙනස්‌ වන සතරමහා ධාතූන්ගෙන්මය. වෙනස්‌වන දෙයක්‌ අල්ලාගැනීම දුකකි. දුක ඔබට සින්නක්‌කරව අයිති දෙයක්‌ නොවේ. රූපය කෙරෙහි ඔබ ඇති කරගත්තාවූ තෘෂ්ණාවේ අඩුවැඩිභාවය මත දුක ඔබ තුළ ඇති වෙන ධර්මතාවයකි. ඉහත බමුණාට දුක සකස්‌ කළේද, දුකෙන් මිදෙන්නට උපකාරී වූයේද වී බුසල් දෙසීය කෙරෙහි ඇතිකරගත් තෘෂ්ණාව සහ තෘෂ්ණාවෙන් බැහැරවීමයි. මෙතැනදී පිංවත් ඔබ අවධාරණය කරගත යුත්තේ දුක ඇති වූයේ බමුණා තුළය, දුකට හේතුව තෘෂ්ණාව ඇති වූයේ ද බමුණා තුළය, තෘෂ්ණාව නැති වූයේ ද බමුණා තුළය. ඒ සඳහා නෙක්‌ඛම්ම සංකල්පය ඇති වූයේ ද බමුණා තුළය යන්නයි.

චතුරාර්ය සත්‍ය ධර්මය නිරතුරුවම, ඔබේම ජීවිතය තුළින් ගලපා බලමින් අවබෝධයට පැමිණෙන්න උත්සහගන්න.