මේ ජීවන ගමනේදී ඔබේ ක්‍රියාකාරකම් පැහැදිලිව කොටස්‌ දෙකකට බෙදාගන්න. එකක්‌ ඔබගේ සැපය උදෙසා කරන ක්‍රියාවන්. අනෙක අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට. මෙතැනදී අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට ගැනෙන්නේ රැකියා, ව්‍යාපාර, ගොවිතැන්, පවුල් ජීවිතය සහ සමාජීය ජීවිතය සමග බැඳුණු සියලුම වගකීම්. මේ සියල්ල අනුන් උදෙසායි ඔබ කරන්නේ කියලා දකින්න.

ඔබ උදෙසා ඔබ සිදුකරගන්නා දේවල් මොනවාද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයෙන් ඔබ සිදුකරගන්නා සියලුම කුසල් ධර්මයන් ඔබ උදෙසා සිදුකර ගන්නා දේවල් හැටියට දකින්න. මේ වගකීම් දෙක නිරතුරුවම පිංවතුන්ලා පටලවාගන්නවා. මේ පටලවාගැනීම නිසාම ජීවිත කාලයම අනුන්ට සේවය කරලා තමා හිස්‌ අතින් මියයනවා.

තමා තමාටවත් අයිති නැතිකොට අනුන් කෙසේ තමාට අයිතිවෙන්නද කියන ධර්මතාවය අවබෝධ කර ගැනීමට ඇති ඔබට, මෙලොව පරලොව සැබෑම සැපය උදාවනුයේ තම වගකීම පටලවා නොගැනීමෙන් පමණක්‌මය. සත්වයා අප්‍රමාණ දුක්‌ විඳින සතර අපායන් අභිබවා, මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ පෙර ජීවිතයේ කරන ලද ව්‍යාපාර, ගොවිතැන්, රැකිරක්‍ෂා නිසා නොවේ. පෙර ජීවිතයේ සිදුකරගත් කුසල් සංස්‌කාරයන් නිසාමය. එහෙයින් එවන් මහඟු අවස්‌ථාවක්‌ සලසාදීම පිළිබඳව පිංවත් ඔබ කෘතගුණ සැලකිය යුත්තේ කුසල් ධර්මයන්ටමය.

‘වෙලාව තිබුණොත් පංසල් යනවා’ ‘නිවාඩු තිබුණොත් සිල් සමාදන් වෙනවා’ ‘වැඩ ඉවර වුණොත් පිංකමට යනවා’…. වර්තමාන සමාජයේ මෙවැනි වචන භාවිතය ඉතාමත් වැඩි නේද? එහෙම ප්‍රකාශ කරන පිංවතාගේ කාර්යබහුල ජීවිතයට වර්තමනා සමාජයේ ලොකු වටිනාකමක්‌ ලැබෙනවා. අපිට ඇහෙනවා සමාජයේදී කියනවා ‘අහවලාට දැන් වගකීම් කටයුතු වැඩියි. ඒ නිසා පිංකමට එන්නේ නැහැ. සිල්ගන්න යන්නේ නැහැ. පංසලට එන්න වේලාවක්‌ නැහැ’ වැනි අදහස්‌ ප්‍රකාශවෙනවා. මෙවැනි නොවටිනා වටිනාකම් ඔබ ඔබේ කරගත්තොත් වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබෙන් ගිලිහී යන බව ඔබ සිහි තබාගන්න ඕනේ. මෙවැනි අයට මැරෙන මොහොතේ මතකයට එන්නේ රැකියාව, ව්‍යාපාරය, ගොවිබිම උපාදානයයි. ඊට පස්‌සේ ප්‍රේත ලෝකයේ ඉපදිලා උපාදානය කරගත් තැනම දිගින් දිගට ඉන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යයෙක්‌ හැටියට නම් නෙමෙයි. ප්‍රේතයෙක්‌ හැටියටයි.

පිංවත් ඔබට මේ කාරණය හොඳින් පැහැදිලිවෙන්න, භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දර්ශනය වූ ප්‍රේත මහත්මයකුගේ කථා පුවතක්‌ මෙහි සටහන් කරනවා.

මේ මහත්මයා හිටපු දේශපාලනඥයෙක්‌. සහජයෙන්ම උරුම බලකාමී ගති ලක්‍ෂණ මේ මහත්මයාට මනුෂ්‍ය ජීවිතයේදී තිබුණා. මේ මහත්මයා හදිස්‌සියේ මැරුණාට පස්‌සේ උපත සකස්‌වෙන්නේ ප්‍රේත ලෝකයේයි. ඒ පරදත්ත රූප ජීවී ප්‍රේත ස්‌වභාවයක්‌. හොඳ ශක්‌තිමත් කළු පැහැති ශරීරයක්‌, සුදුපාට සරමක්‌ කැහිපොට ගසා ඇඳලා, අත් සහිත සුදු මේස්‌ බැනියමක්‌ සරමට යටකර ඇඳලා…. බොහොම කඩිසර ප්‍රේතයෙක්‌. මොහු දැන් ප්‍රේත ලෝකයේ සැරිසරනවා. ඔහු හැසිරෙන ප්‍රදේශය ගැන කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. සමහර විට ඔහුගේම මැතිවරණ ආසනයේ වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රේත දේශපාලනඥයා දුකකින් නෙමෙයි ප්‍රේත ජීවිතය තුළ සිටින්නේ. මනුෂ්‍ය ජීවිතයේදී දේශපාලකයෙක්‌ වශයෙන් ජනතා සේවයක්‌ ලෙසින් කළාවූ ‘දන්දීම’ නිසා.

එම යහපත් ක්‍රියාවන් හේතුවෙන් මොහුට ආයුෂ, සැප, බලය වැඩි ප්‍රේත ජීවිතයක්‌ ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේදී තම දේශපාලන භූමිකාව යම් සේ සටන්කාමීව ගත කළද, එවැනි සටන්කාමීත්වයකින් ‘මමයි චණ්‌ඩියා’ කියන්න වාගේ ස්‌වභාවයකින් තමයි මොහුව භික්‍ෂුවට දර්ශනය වී ඇත්තේ.

මේ කථා පුවතින් පැහැදිලිවෙනවා ඇති පිංකම් කිරීමට, කුසල් දහම් වැඩීමට, ශීලයක්‌ සමාදන්වීමට විවේකයක්‌, වෙලාවක්‌ නොතිබුණ කාර්යබහුල, අවිවේකී මහත්වරුන් ප්‍රේත ලෝකයේත් ගතකරන කාර්යබහුල ජීවිතයේ ස්‌වභාවය. මොහු ප්‍රේත ලෝකයේත් චණ්‌ඩියා වගේ දේශපාලනය කරන්නේ මනුෂ්‍යයන් සමග නෙවෙයි. ප්‍රේත ලෝකයේම සිටින දේශපාලන ප්‍රේතයින් සමගයි. මනුෂ්‍ය ලෝකයේ වගේම ප්‍රේත ලෝකයේද සිටිනවා, දේශපාලනය උපාදානය කරගෙන මැරිලා නිල් පාට, කොලපාට, රතුපාට කමිස ඇඳගත් ප්‍රේතයින්. රැවුල කොණ්‌ඩය වවාගත් ප්‍රේතයින්.

ඔබ අහලා ඇති ‘මම මැරුණත් නිල්, කොල, රතු,…..’ ‘මාව කැපුවත් මගේ ලේ නිල්පාටයි, කොළ, රතු… පාටයි’ වැනි දේශපාලනය උපාදානය කරගත් දේශපාලන සාමාජිකයින්. මෙවැනි අය තමයි මරණින් මතු, දේශපාලන ප්‍රේතයින් වශයෙන් උපත ලබන්නේ. මේ අය සමග තමයි දැන් ඉහත ප්‍රේත දේශපාලනඥයා දේශපාලනය කරන්නේ. මොහු දැන් තමාට විරුද්ධ අනික්‌ පාටවල ප්‍රේතයින්ව තමන්ගේ මැතිවරණ බලසීමාවෙන් පන්නනවා ඇති. පහරදෙනවා, බියගන්වනවා ඇති. දැන් මොහු ගතකරන ප්‍රේත ජීවිතය තුළ අකුසල්මයි රැස්‌වෙන්නේ. ධර්මයක්‌, හොඳක්‌, නරකක්‌, ශීලයක්‌ මොහු දන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකටම ඇදීයාම පමණයි සිද්ධවෙන්නේ. මේ කථාව කියවලා පිංවත් ඔබට සිතුණොත් රතු ඉර වැදුණත් කමක්‌ නැහැ, වැටුප් කැපුණත් කමක්‌ නැහැ, නිවාඩු වැටුණත් කමක්‌ නැහැ, ලොක්‌කා බැන්නත් කමක්‌ නැහැ, ලබන පාර පැරදුනත් කමක්‌ නැහැ මම මුල්තැන දෙන්නේ මගේ ධර්ම මාර්ගයටයි’ කියලා. පිංකම් කිරීම කුසල් දහම් කිරීම යොදාගන්නේ අංක එකටයි කියලා. කැපෙන වැටුප මිල කරන්න පුළුවන් වුණත් ව්‍යාපාරයේ පාඩුව මිල කරන්න පුළුවන් වුණත් මේවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා සතර අපායට වැටුණොත් එම දුක ප්‍රමාණය කරන්න බැහැයි කියලා, එය ඔබ ලැබූ භාග්‍යයක්‌මයි.

තෙරුවන් කෙරෙහිම, ශීලය දානය කෙරෙහිම විශ්වාසය තබන්න. ඔබව සැබෑම සැපයට ඔසවා තබන රැකියාව, ව්‍යාපාරය, ගොවිතැන, දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න.

සමාජයේ ජීවත්වන කාර්යබහුල පිංවතුන්ලාට පසළොස්‌වක පොහොය දිනයට පංසලකට යන්න විවේකයක්‌ නැහැ. නමුත් ඒ පිංවතාට කිව්වොත් රාජකාරි මට්‌ටමෙන් මාසයක්‌ ඇමරිකාවට එන්නය කියලා, ඔහු සිය පවුලත් සමගම එහි යන්න හදන්නේ. ඒ නිසා මෙහි තිබෙන්නේ කාර්යබහුල බව නොවෙයි, කාමච්ජන්දයන් කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාවයි. ඔය තෘෂ්ණාව තමයි ඊළඟ භවයේ උපතට අදාළ උපාදානය සකස්‌ කර දෙන්නේ. මෙතැනදී දුප්පත්, පොහොසත් කියලා උපාදානයේ වෙනසක්‌ නැහැ.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙනවිට අරමුණුවෙනවා භික්‍ෂුව වැඩසිටින කුටියට ආසන්නව තිබෙන කුඹුරු යායක්‌. එම කුඹුරුයාය තුළ අමුඩයක්‌ හැඳගත් උස, සිහින්, වර්ණ සැප බලයෙන් හීන ප්‍රේතයින් දෙදෙනෙක්‌ උදළු දෙකක්‌ කරතබාගෙන සිටිනවා. අමුඩය ගසාගෙන සිටින නිසා මේ ගොවි ප්‍රේතයින් දෙදෙනා මීට පෙර පරම්පරාවේ සිට මියගිය දෙදෙනෙක්‌ විය යුතුයි. සමහරවිට ඇඳුම් පැළඳුම් දන් නොදීම නිසා එහි අකුසල් විපාකය වීමටද පුළුවන්. මෙයත් තෘෂ්ණාව නිසා සකස්‌ කරගත් ප්‍රේත ජීවිත දෙකක්‌. පෙරදී සඳහන් කළ කෝටිපති දේශපාලකයා වගේ නෙමෙයි, දුප්පත් ගොවි මහත්වරු දෙදෙනෙක්‌.

අපිට පෙනෙනවා ගම්මාන වල ජීවත්වන විට මිනිසුන් කාලසටහන් සකස්‌කරගෙනයි පිංකම් කරන්නේ. හේන කොටන කාලයට, අස්‌වැන්න නෙළන කාලයට ඒ පිංවතුන් පිංකම්, පන්සල, දානය, ස්‌වාමීන්වහන්සේ අමතක කරනවා. නොදන්නකම නිසාම දෙවැනි තැනටයි දමන්නේ. මුල් තැන අදාළ ගොවිතැන් කටයුත්තටයි දෙන්නේ. කිසිම තර්කයක්‌ නැහැ, එම පිංවතුන් ගොවිතැන, එහි අස්‌වැන්න නිසයි ජීවත්වන්නේ කියන එකට. එයට මුල්තැන දෙන්න ඕනේ. නැතිනම් ඔවුනුත් අපිත් බඩගින්නේ. එහෙත් මෙතැනදී භික්‍ෂුව සඳහන් කරන්නේ ගොවිතැනට නෙමෙයි දිව්‍ය ලෝකයට යන්න ලැබුණත්, පිංකම් උදෙසා දිනකට, නැතිනම් මාසයකට වැයකරන කාලය අහිමි කරගන්න එපා. මොකද ඒ කෙටි කාලයයි ඔබ ඔබ වෙනුවෙන් යමක්‌ කරගන්නාවූ කාලය බවට පත්වෙන්නේ. සැබෑම සැපය උදෙසා කරගන්නාවූ ආයෝජනය වෙන්නේ. එම නිසා කටයුතු සැලසුම් කරනකොට කුසල් දහම්වලට මුල්තැන දෙන්න. අනිත් කටයුතු වීර්යයෙන් යුතුව කුසලයට බාධාවක්‌, අඩුවක්‌ නොවන සේ සිදුකරන්න.

දුකට හේතුවන වී බුසල් සියයක්‌ වෙනුවෙන් ඔබට ලැබිය හැකි උතුම් දිව්‍ය සැපයක්‌ අහිමි කරගන්න එපා. වී බුසල් සියයක්‌ ඔබේ පරලොව සුගතියත් කියන කාරණා දෙකම සාර්ථක කරගන්න උත්සහ ගන්න. එසේ නොවී ඔබත් අංක එක ගොවිතැනට දුන්නොත් අදාළ ගොවි ප්‍රේතයින් දෙදෙනා මෙන් (වර්තමානයේ අමුඩ නැති නිසා) කොට කලිසම් ඇඳගත් ප්‍රේතයින් ලෙස ඉපදීමට අවශ්‍ය උපාදානය, ඔබගේ තෘෂ්ණාව විසින් ඔබට සකස්‌කර දෙනු ඇත.

මේ භවයේ ඇති බියකරු බව නිසාමය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිණිගත්තෙක්‌ ඒ ගින්න නිවන්න වෙහෙසගන්නේ යම්සේද, මේ භව ගින්න නිවාදැමීමට එවැනි වෙහෙසක්‌ ගන්න’ කියලා. එම ගිනි නිවෙන මාර්ගයට අවතීර්ණ වෙන්න කියලා. එසේ නොවුනොත් වැස්‌සෙන්, නියඟයෙන්, සුළඟින් විනාශවෙන අස්‌වැන්න දෙස බලමින් පසුතැවෙමින්ද, අවසානයේ ප්‍රේත ලෝකයේදී ඔබගේ ගොවිබිමේ හිමිකරුවා වීමට ඔබට පුළුවන්. එමනිසා පිංවත් ඔබ ව්‍යපාරයට, ගොවිතැනට, රැකියාවට, ඉඩකඩම්, දූ දරුවාට ඇති තෘෂ්ණාවට වඩා වැඩි කැමැත්තක්‌ පිංකම් කෙරෙහි, කුසල් දහම් කෙරෙහි ඇතිකරගන්න. මොකද තෘෂ්ණාව හේතුවෙනුයි උපාදානය සකස්‌කර දෙන්නේ. උපාදානයයි ඊළඟ භවය සකස්‌කර දෙන්නේ.

තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ඇතිවෙනවා. පටිච්ජ සමුප්පන්නව උපාදානයයි ඊළඟ භවය සකස්‌ කර දෙන්නේ. ඉහත කාරණය මැනවින් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක්‌ පහත සඳහන් කරනවා. අපි නිරතුරුවම පටිච්ජසමුපාද ධර්මයේ අර්ථයන්ට පිටින් ගොස්‌ අපේ ජීවිතය දකිනවා. ඔබ සිතා සිටිනවා ඒ දැක්‌ම ධර්මය එකඟයි කියලා.

භික්‍ෂුව ධර්ම සාකච්ඡාවක්‌ කරන අවස්‌ථාවක මැදිවියේ කාන්තාවක්‌ බොහොම සතුටින් උදම්ඇනුවා ඇය මැරෙන්න බය නැහැ කියලා. ‘හාමුදුරුවනේ, මම දැන් වුනත් මැරෙන්න බය නැහැ. මම ඕනෑ තරම් පිංකම් කරලා තිබෙන්නේ’ කියලා. නමුත් භික්‍ෂුව ඇයගේ අදහස්‌ තුළින් දැක්‌කා ඇය මොනතරම් පිංකම් කළා කීවත්, පංචඋපදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වඩලා නැහැ කියලා. මෙය සමාජයේ හුඟදෙනෙක්‌ තුළ තිබෙන දුර්වලකමක්‌. තමන් කරන පිංකම් නිසාම පංචඋපාදනස්‌කන්ධයේ නිත්‍යභාවය වැඩිකර ගන්නවා. තමා මැරෙන්න බය නැහැ කියලා කියපු මැදිවියේ පිංවත් කාන්තාවද, තමා කරන පිංකම් ගැන කියමින් තමයි භික්‍ෂුව ඉදිරියේ උදම් ඇනුවේ. ඇය කීවා ‘මම නිතරම දන්දෙනවා, සිල් ආරක්‍ෂා කරනවා, සමාජ සේවය කරනවා’ කියලා. ශීලය ගැන, දානය ගැන තෙරුවන් ගැන ඇය දැනගෙන සිටියත් දැනගත යුතුම දෙය, එනම් දුක සකස්‌ කරන තෘෂ්ණාව ගැන ඇය දැනගෙන හිටියේ නැහැ.

තමා මැරෙන්න බය නැහැ, පිංකම් කරලා තිබෙනවා කියපු එම කාන්තාවගෙන් භික්‍ෂුව ඇසුවා ‘ඔබට දරුවන් කී දෙනෙක්‌ සිටිනවාද?’ කියලා. ඇය කීවා තරුණ දුවෙක්‌ සහ පුතෙක්‌ සිටිනවාය කියලා. පුතා තවම පාසල් යනවා. ඇයගේ ස්‌වාමිපුරුෂයා මියගිහින්. ඇය ව්‍යාපාරයක්‌ කරමින් හොඳ ආර්ථික තත්ත්වයකින් ජීවත්වෙනවා. තම ව්‍යාපාරය වගේම දරුවන් උදෙසාද ඇය බොහොම වෙහෙස මහන්සි වෙනවා. දරුවන් දෙදෙනාට ඇය තමාගේ ජීවිතයටත් වඩා ආදරෙයි. මැරෙන්න බය නැහැ කියපු ඇයගෙන් භික්‍ෂුව මෙහෙම දෙයක්‌ විමසුවා.

‘මෙතැනට දැන් මහත්මයෙක්‌ එනවා කියලා හිතන්න. ඒ මහත්මයා සත්‍යවාදී වචන කථා කරන මහත්තයෙක්‌. ඒ මහත්මයා ඔබට කියනවා මම ඔබව හෙට උදේම ඔබව ඇමරිකාවට එක්‌කරගෙන යනවා. එහිදී මනුෂ්‍යයකුට ලැබෙන උපරිම සැපසම්පත් දී මැරෙන තුරාවටම ඔබව රැකබලාගන්නවා. හැබැයි මට එහි රැගෙන යන්න හැකියාව තිබෙන්නේ ඔබව විතරයි. දරු දෙදෙනා රැගෙන යැමට මට අවස්‌ථාවක්‌ නැහැ. ඒ අයව තියලයි යන්න වෙන්නේ. මොහු අවංකවමයි මේ ප්‍රකාශය කරන්නේ’

භික්‍ෂුව ඇයගෙන් විමසුවා ඔබ ඔහු සමග හෙට උදේම ඇමරිකාවට යන්න කැමති වෙනවද? කියලා. ඇය ගත් කටටම කීවේ ‘මගේ දරුවො දෙන්නා දාලා මම කොහේවත් යන්නේ නැහැ’ කියලා. මෙන්න මෙතැන තමයි උපාදානය කියන්නේ. ඇය මුළින්ම උදම් ඇනුවා මම පිංකරනවා, දන්දෙනවා, සමාජ සේවය කරනවා, සිල් ආරක්‍ෂා කරනවා. මම ඕනෑ වෙලාවක මැරෙන්න බය නැහැ’ කියලා. නමුත් ඒවා සියල්ල යටපත්වී තෘෂ්ණාවේ බලවත්භාවය නිසා දරුවන් ගැන උපාදානය ඉස්‌මතු වුණා. ඉහත සත්‍යවාදී මහත්මයා ඇයට අඬගසන්නේ ඇමරිකාවේ සුපිරි සැපසම්පත් සහිත ජීවිතයක්‌ ලබාදෙන්න. ඇය එම සැපය අතහැර තමා සැපයක්‌ කරගත්ත දරුවන් උපාදානය කරගත්තා. පිංවත් ඔබ සිතන්න ඇය මේ මොහොතේ අසනීපයකින්, අනතුරකින් ක්‍ෂණික මරණයකට පත්වුනොත් ඇය දක්‍ෂවෙයිද අවසන් මොහොතේ තමා කළ පිංකම් සිහියට නගාගෙන සුගතියක උපතකට යන්න. එය එසේනම් පිංකම් අමතකවී දරුවන් ගැන උපාදානය සකස්‌වෙයිද?

පිංවත් ඔබ මේ කාරණය ගැන හොඳින් සිහියට ගන්න. මහ පොළොවේ පස්‌ වලට සාපේක්‍ෂව අතට ගත් පස්‌ පිඩක ප්‍රමාණයයි නැවතත් සුගතිගාමී ජීවිත ලබන්නේ කියලා බුදුරජාණන්වහන්සේ උපමාවක්‌ සහිතව පෙන්නලා දෙනවා. මෙන්න මේ ප්‍රකාශය තුළ සැඟවුණු සත්‍යය ඔබ නුවණින් මෙනෙහි කළයුතු වෙනවා.

වර්තමාන සමාජයේ බහුතරයක්‌ අප්‍රමාණ පිංකම් කළත්, එම පිංවතුන් තම දූ දරුවන්, දේපල, යානවාහන, නිලතල කෙරෙහි බැඳිලයි ජීවත්වෙන්නේ. දෘෂ්ඨ මතවාද වල කිමිදෙමින් ජීවත්වෙන්නේ. ඔබ සතර අපායෙන් මිදී නොමැතිනම්, අවම වශයෙන් ශීලයෙන්වත් පරිපූර්ණ නැතිනම් ඔබ මොනතරම් පිංකම් කර තිබුණත් ඔබ මියයන මොහොත හරිම භයානකයි. තීරණාත්මකයි. සැබැවින්ම මරණයේ භයානක කම ඇත්තේ සුනාමි, භූමිකම්පා, මිසයිල ප්‍රහාරයක නොවේ ඉහත සඳහන් ආකාරයේ අනවබෝධයයි භයානක. ඒ සඳහන් කළ කාන්තාව තමා මරණයට බය නැහැ කියලා උදම් ඇනුවත් ඊළඟ ජීවිතයේ දෙවියෙක්‌ මනුෂ්‍යයෙක්‌ වෙනවාය කියලා කීවත් එය කෙසේ නම් සිදුවෙන්නද? ඇය එසේ සිතාගෙන ඉන්න පුළුවන් නමුත් ක්‍ෂණික මරණයක්‌ සිදුවුවහොත්, ඇයට තමන් කළ පිංකම් අමතකවී තෘෂ්ණාව වැඩි අරමුණ වන දරුවන් දෙපල මතකයට ඇවිත් පරදත්තරූපජීවී ප්‍රේතියක්‌ වීමටයි සිදුවන්නේ. නමුත් ඇය සුගතියකට සිත පිහිටුවා ගැනීමට අවශ්‍ය තරම් පිං ජීවිතයෙන් රැස්‌කර තිබෙනවා. නමුත් වැඩි තෘෂ්ණාව සකස්‌වෙන්නේ සුගතිය කියන රූපයට නොවේ. දරුවන් දෙපල කියන රූපයටයි. මැරෙන මොහොතේ දිව්‍ය සංඥාවක්‌ මතුවී දෙවියෙක්‌ ඇවිත් ඇයට දිව්‍ය ලෝකයට එන්නයෑයි අඬගැසුවද (ඇමරිකාවට ගොස්‌ උපරිම සැසම්පත් පිරිනැමීමට කරන ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්නාක්‌ මෙන්) ඇය අල්ලාගන්නේ දෙවියන් නොව දරු දෙදෙනායි. බලන්න නොදන්නාකම නිසා වන විනාශයක මහත. අපි ‘දන්නවාය’ කියා සිටීමෙන් වන අත්වැරැද්ද, අපව කල්ප ගණනාවක්‌ ඇද දමනවා. පිංවත් ඔබ ගැන ඔබ අතිශෝක්‌තියෙන් සිතා සිටින්නේ නම් මොහොතක්‌ නිහතමානී වෙන්න. මොකද අතිශෝක්‌තිය කියන්නේ සක්‌කාය දිට්‌ඨියේ ළඟම ඥාතියෙක්‌.

ඔබට පුළුවන් ඔබ සැබැවින්ම අවංක නම් ස්‌වයං පරික්‍ෂණයක යෙදෙන්න. ඔබ භාවනාවක්‌ කරන වේලාවක, රාත්‍රී නින්දට යන වේලාවක මොහොතකින් මනසින් මියයන්න. ඒ කියන්නේ මැරෙන්න. ඔබ සිතන්නේ මැරෙනවාය කියන කාරණය බෙහොම ලෙහෙසි කටයුත්තක්‌ කියලා. මරණය පහසු කටයුත්තක්‌ වෙන්නේ ශීලයෙන් පරිපූර්ණ කෙනෙකුට විතරයි. ඉන් මෙහා මරණය අතිදුෂ්කර කාරණයක්‌. එය සිනහවෙනවා, අඬනවා වගේ සරල, ලෙහෙසි දෙයක්‌ නොවෙයි. නමුත් ඔබ මෙතැනදී මියයන්නේ මනසින්. ඔබ සැබැවින්ම මියයැමට පෙර මරණයේ ස්‌වභාවය අත්දැකිය යුතුයි. එම ස්‌වභාවය දිනපතා සිදුකිරීමෙන් එය ඔබට මරණානුස්‌සති භාවනාවක්‌ බවටද පත්වේ. මනුෂ්‍යයා සෑම දෙයක්‌ම දන්නවා වුවද තමා මැරෙනා බව නොදන්නාකම නිසා, මැරි නැවත ඉපදෙන බව නොසිතනවාය කියන දෙයයි සමාජය දෙස බැලූ විට අපට පෙනෙන්නේ. එනිසා වරක්‌ දෙවරක්‌ ඔබ මනසින් මියයන්න. ඔබ අවංකවම සිතන්න තව මොහොතකින් ඔබ මියයාවී කියලා. එවිට ඔබට දැනෙනවා, මතකයට එනවා කුමන රූපයක්‌ කෙරෙහිද ඔබේ තෘෂ්ණාව බලවත් කියලා. එය අඹුදරුවන්, යානවාහන, දේපල, මතවාද, දෘෂ්ඨියක්‌ වේවා එය නිවැරදිව හඳුනාගෙන ඒවායේ අනිත්‍යය නිරතුරුවම විදර්ශනාවට ලක්‌කරන්න.