අද පසලොස්‌වක පොහොය දවසක්‌. පිණ්‌ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක්‌ පැමිණියා වන්දනා කරන්න. මින් එක්‌ අම්මා කෙනෙක්‌ අපි දන්න බොහොම සත්පුරුෂ ස්‌වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්‌. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්‌’ ය කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ ‘මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්‌ය කියලා, මා කියනවා ඔබලා වැනි මෑණිවරු දැකීමත් පිනක්‌ය කියලා. මොකද අපිව ලෝකයට බිහිකළේ, හොඳ නරක කියලා දුන්නේ අම්මලා, තාත්තලා නිසා. ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියලා බුදුරජාණන්වහන්සේගේ සරණ මුළින්ම පිහිටෙව්වේ මව්වරු, පියවරු. ඒ නිසා මෑණිවරුනි අනුන්ගේ පින ගැන සිතනවා වගේම වඩාත් වටිනවා තමා කවුද කියන කාරණය සිහිපත් කරගැනීම. අපි හැමෝම අතින් ගිළිහෙන කාරණයක්‌ මේක. ඔබේ වටිනාකම ඔබ සිතන්නේ නැහැ. අනුන් මත්තෙමයි යෑපෙන්න හදන්නේ. මේ හැම අම්මා කෙනෙක්‌ම, මේ හැම තාත්තා කෙනෙක්‌ම අතීත බුද්ධ ශාසන වලදී තම මව්කුසවල් වලින් බිහිකරපු දරුවෝ රහතන් වහන්සේලා, අරහත් භික්‍ෂුණීන් වහන්සේලා වෙලා තිබෙනවා. එවැනි ආශ්චර්යමත් පිනැති දරුවෝ බිහිකරපු අම්මලා වුණු අවස්‌ථාවලදීත් ඔබලා සිතුවේ දරුවාගේ ආශ්චර්යය පමණයි.

ඒ රහතන්වහන්සේලා සෘර්ධියෙන් වඩිනකොට ‘අනේ මගේ පුතා, දුව’ කියලාමයි සාධුකාර දුන්නේ. ඔබට එදාත් සිතුනේ නැහැ එවන් උතුම් දරුවන් බිහිකරපු ඔබ මොනතරම් වාසනාවන්තද, පිංවන්තද කියලා. දරුවන්ව කර මත තබාගෙන බර ඇද්දා මිසක්‌, බර දරාගත් ඔබගේ ශක්‌තිය ගැන හැම මොහොතකම ඔබට අමතක වුණා.

මේ මොහොතේත් ඔබ කරන්නේ එයමයි.

එමනිසා එවැනි උතුම් දූවරු, පුතනුවන් ලබන්නනට පිංකළ මෑණිවරුනි, ඔබේ පුතාගේ, දුවගේ ආශ්චර්යයන් දකිනවා වගේම, ඔබට අමතකව ඇති ඔබේ පිංවත් බවත් දකින්න. එහෙම නොවුනොත් දරුවන් ලෝකයෙන් එතෙරට යාවී. ඔබලා මෙවරත් අසරණ වේවි.

තම ඥාතිවර්ගයා තුළ අර්ථවත්ව චීවරයක්‌ දරාගැනීමට පිනැති දරුවෙක්‌ උපදින්නේ හේතුඵල ධර්මයක්‌ නිසාමයි. එම ඵලය අර්ථවත්ව නෙළාගන්න ඥාති සමූහයාම දක්‍ෂවෙන්න ඕනා. දරුවා කෙරෙහි ඇති ඡන්දරාගය වැඩිවෙනකොට, දරුවා වෙනුවෙන් මැරෙන්න, නිරයට යන්න සූදානම් තාත්තලා අම්මලා ඉන්නවා. දුරදිග නොබලා,ඉක්‌මනට ගන්න තීරණ ඉක්‌මනින්ම අපව දුකට කැඳවාගෙන යනවා. දරුවා තරම් කාම වස්‌තුවක්‌ තවත් මේ ලෝකය තුළ නැහැ. සිදුහත් කුමාරයා එදින උපන් හුරුබුහුටි, පිනැති රාහුල කුමාරයාගේ ශරීරයවත් ස්‌පර්ශ නොකර ගිහිගෙදරින් නික්‌ම ගියේ දරුවා කියන කාම වස්‌තුවේ අනතුරුදායක බව දන්නා නිසාමයි. බැඳුනොත් ගැලවෙන්න බැරි බව දන්නා නිසාමයි. එම නිසා දරුවා කියන කාම වස්‌තුව අපි බොහොම පරෙස්‌සමින් පරිහරණය කරන්න ඕනේ. මොකද එය ගින්දරටත් වඩා අනතුරුදායක නිසා.

දරුවන් කෙරෙහි අපි ඇතිකරගත් ඡන්ද රාගය නිසා සසර මොනතරම් අපි සතර අපායන්හී දුක්‌විඳින්න ඇතිද? මනුෂ්‍ය අම්මාත්, තිරිසන් සත්ව අම්මාත් කියන කාරණයේදී ආදරයේ වෙනසක්‌ නැහැ. බලවත් අකුසල් හේතුවෙන් තම දරුවන් මරාදමන මනුෂ්‍ය අම්මලා වගේම, තිරිසන් සත්ව අම්මලාත් ඉන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක්‌ තම දරුවන් වෙනුවෙන් සංසාරයේ හෙළපු කඳුළු මහා සාගරයේ ජලයටත් වඩා වැඩිය කියලා. මේ සා කඳුළු සාගරයක්‌ දරුවන් වෙනුවෙන් හෙළලා මේ උතුම් ජීවිතයේදී එම කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දි හත අටක්‌ එකතු කරලා ඔබ මියගියහොත් එය අවාසනාවක්‌මයි.

පිංවත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ කඳුළු සාගරයම මේ ජීවිතයේදීම සින්දන්න. එය කළ හැක්‌කේ දරුවන් කෙරෙහි තව තව ඡන්දරාගය සකස්‌ කරගැනීමෙන් නොවේ. දරුවා කියන කාම වස්‌තුවේ අනිත්‍ය බව, දුක්‌ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීමෙන්.

පිංවත් මෑණියනි, මේ මොහොතේ මා භික්‍ෂුවක්‌, ඔබ දායිකාවක්‌. මේ මොහොතේ අපේ හමුවීම එසේ වුවත් අතීත සංසාරයේ කොතෙක්‌ නම් මේ සටහන් ලියන භික්‍ෂුව ඔබට පුතෙක්‌ වෙලා ඇතිද? ඔබේ සහෝදරයෙක්‌, ඔබේ ස්‌වාමිපුරුෂයා වෙලා ඉන්න ඇතිද? ඔබේ මුණුපුරෙක්‌, ගුරුවරයෙක්‌ වෙලා ඉන්න ඇතිද? ඔබ වැඳිරියක්‌ වෙලා, ඒ වැඳිරියගේ පැටවා මම වෙලා, මොනතරම් ඔබේ ශරීරයේ මා එල්ලාගෙන අත්තෙන් අත්තට පනින්නට ඇතිද? ඔබ බැළලියක්‌ වෙලා මම එම බැළලියගේ පැටවා වෙලා මොන තරම් ඔබ මාව කටින් එල්ලාගෙන තැන් තැන්වල ආරක්‍ෂාවට සඟවන්න ඇතිද? ඔබ කිකිළියක්‌ වෙලා මම ඔබේ පැටවා වෙලා ඔබ මොන තරම් නම් පණුවන් ඇහිඳ ඇහිඳා මට කවන්නට ඇතිද? ඔබ එළදෙනෙක්‌ වෙලා මම ඔබගේ වසුපැටවා වෙලා ඔබ මට තනබුරුලු වලින් මොනතරම් කිරි පොවන්නට ඇතිද? ඔබ කිඹුලියක්‌ වෙලා, මම ඔබේ කිඹුල් පැටවා වෙලා පුංචි කාලයේදීම ඔබ මාව කී වතාවක්‌ නම් මරාගෙන කන්න ඇතිද? ඔබ ප්‍රේතියක්‌ වෙලා, එම ප්‍රේතියගේ දරුවා මම වෙලා ඔබ මට මොනතරම් සෙම් සොටු කවන්න ඇතිද? සෑම අම්මා කෙනෙක්‌ම තාත්තා කෙනෙක්‌ම මෙය තම ජීවිතයට ගලපා දකින්න.

යථාර්ථය මෙයනම් ඔබට සිතෙන්නේ නැතිද දරුවා කියන කාම වස්‌තුවේ ඇති අනතුරුදායකබව.

අපි දෙගොල්ලෝ ගණුදෙනුවක්‌ කරන්නේ. දරුවන් නිසා මව්පියන් දුකට වැටෙනවා. ඊළඟට දරුවන් දෙමාපියන් වෙලා තම දරුවන් උදෙසා දුකට වැටෙනවා. නිමාවක්‌, සීමාවක්‌, විරාමයක්‌ නැවතීමක්‌ නැහැ.

ඔබේත් මගේත් ඇස්‌ වහලා දුක ගලාගෙන යනවා.

අපි සූදානම් අපේම දෑසින් ගලාගෙන ගිය කඳුළු සාගරය මත කිමිදි කිමිදී අනතුරු අමතක කර ආශ්වාදයම සොයන්න.

හිතන්න මව්කුසක ඇති අපුලභාවය. තවත් ගර්භාෂ කුටියකට රිංගා නොගන්න බවට ඔබ ඔබට සපථ වෙන්න. ජීවත්ව සිටින දෙමාපියන්ට, දරුවන්ට යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් නැවත මව්කුසක්‌ එපාය කියන දිශාවටම ගමන් කරන්න.

දරුවන්ට දෙමාපියන් කියන්නේත් හොඳ කමටහනක්‌. දරුවන්ට පුළුවන් මනසින් අනාගතයට යන්න. තමනුත් අනාගතයේදී විවාහ වෙනවා, දරුමුණුපුරන් හදනවා, වයසට යනවා… මේ දුක මටත් උරුමයි කියලා. දෙමාපියන්ට පුළුවන් අතීතයට මනසින් යන්න. අපිත් මේ දරුවන්ගේ වයසේ සිටියා දැන් සියල්ල අනිත්‍යවෙලා අපේ දුක, අපේ කඳුළු, අපේ ශ්‍රමයෙන්මයි දරුවන් ලොකුමහත් වුණේ. අපේ ශක්‌තිය ක්‍ෂයවෙලා යනකොට දරුවෝ ඒ ශක්‌තියෙන් ලොකුමහත් වෙනවා.

ඔබට පුළුවන්නම් එහෙම දකින්න, සංසාරයක්‌ පුරාවට ඔබට අම්මා, තාත්තා වූ සියල්ලන්ටම යුතුකම් ඉටුකළ දරුවෙක්‌ වෙනවා ඔබ.

දුකට කැමති අය දුක දෙසටම ගියාවේ. දුකට අකමැති ඔබට පුළුවන්, මුළු ලෝකයම එකම දිශාවකට ගියත් ඔබ තනියම ලෝකයේ සැබෑම සැපය ඇති දිශාවට යන්න. මේ යන ගමනේදී මුළු ලෝකයෙන්ම ඔබ කොන්වුවත්, ඔබ බයවෙන්න සැලෙන්න එපා. කව්රු නැති වුණත් ඔබ ළඟ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සිටිනවාය කියන විශ්වාසය ඇතිකරගන්න. මුළු ලෝකයම අත්හැරලා ඔබ බුදුරජාණන්වහන්සේගේ ගොඩට එන්න. මුළු ලෝකයම ඔබේ කරට අතදාගෙන සිටියත් වැඩක්‌ නැහැ, බුදුරජාණන්වහන්සේ ඔබ ළඟ නැතිනම්. ඔබ අනාථයන් අතර තවත් අනාථයෙක්‌ පමණයි. අනාථයින් අතර ඔබ සනාථ පුද්ගලයෙක්‌ වෙන්න. අපි හැම වෙලාවේම ලෝකයට බයයි. සමාජයට බයයි. ඒ අපේ අසරණභාවයට හේතුව බුදුරජාණන් වහන්සේ සරණ නොකරගන්නා නිසයි, ධර්මයේ ශක්‌තිය හඳුනා නොගත් නිසයි.

මේ සටහන් ලියන භික්‍ෂුව යම් දවසක ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සරණ කරගත්තද, එදා පටන් ලෝකය කියන දෙය තඹ දොයිතුවකටවත් තැකුවේ නැහැ. ‘බුදුරජාණන්වහන්සේ’ කියන අයෝමය විශ්වාසය හමුවේ ලෝකය කියන්නේ හුදු මායාවක්‌, රැවටීමක්‌, අසරණභාවයක්‌ කියන කාරණයමයි දැනුනේ. හෙටක්‌ කියන කාරණය දැනුනේ නැහැ. රැයක්‌ දවාලක්‌ කියන කාරණය දැනුනේ නැහැ. මේ ඉහළට ගන්නා හුස්‌ම ගන්නා හුස්‌ම පොද පහළට ගන්නා මොහොතේ මැරෙයි කියන කාරණයයි දැක්‌කේ.

මේවා හේතුඵල ධර්මයන්. උතුම් ධර්මයේ ආශ්චර්යයෙන් ගොඩනැගෙන ඵලයක්‌. මේ සහ ශක්‌තිමත් ධර්ම මාර්ගයක්‌ තිබෙනකොට ඇයි අපි අසරණවෙන්නේ, ලෝකය බදාගෙන.

උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්‌කු බොනවා. අරක්‌කු බීවේ ඇයි කියලා ඇහුවහම ‘යාළුවෝ තරහ වෙයි කියලා බීවා’ කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි…

ඔබට වටින්නේ ඔබව දුකින් මුදවාගැනීම උදෙසා ඒ සා කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේද, නැතිනම් මිතුරන්ද?

හිතවතාටත්, ඥාතියාටත් වඩා පහළ තැනක ඔබ බුදුරජාණන්වහන්සේව තැබුවහොත්, ඒ මොහොතේම ඔබේ සිත පිහිටන්නේ සතර අපායේයි. මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ වෙන්න එපා. ඔබ සැබෑ ලෙසින්ම තෙරුවන් සරණගිය පිංවතෙක්‌ නම්, ඔබ තුළ ආත්ම ශක්‌තියක්‌ සකස්‌වෙන්න ඕනේ සමාජය තුළ දුස්‌ශීලභාවය ඉදිරියේ සිල්වත්ව නැගී සිටින්න.

සෑම මොහොතකම සිතන්න බුදුරජාණන්වහන්සේ ඔබ දෙස බලා සිටිනවාය කියලා. එවිට පිංවත් ඔබට පුළුවන් මිතුරන් සියයක්‌ ඉදිරියේ වුවත් ඔබේ ශීලයට අනතුරක්‌ වෙනවා නම් එම තැනින් ඉවත්ව යන්න. එවිට යාළුවෝ ඔබට බැන්නත්, පිංවත් දෙවියන් ඔබට සාධුකාරදේවි. ධර්ම මාර්ගය තුළ ඔබ තව තවත් ශක්‌තිමත් වේවි. අසරණයන්ගෙන් මිදී සරණක්‌ ලැබූ අය අතරට යන කෙනෙක්‌ වේවි.

සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක්‌ ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක්‌ වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක්‌ අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, ‘ලෝකය දුකය’ කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි නැහැ. ඒ නිසා ඒවා ලෝකයේ ස්‌වභාවයේම තිබුණාවේ. ඒවා වෙනස්‌ කරන්න අපි කාටවත් බැහැ. ඒවා දුකට අයිති ලෝකයේ ස්‌වභාවයයි. එම නිසා අනාගතයේදී තව ඕනෑතරම් ට-මහල් ඉදිවේවි. එක්‌ටැම්ගෙවල් ඉදිවේවි. ජීවිත පූජාවන් සිදුවේවි. සිහිමුළාවන්ට පත්වේවි. මුසාබස්‌ වලට තරුණ තරුණියන් විකිණේවි. කාමයේ ආදීනවය, නිස්‌සරණය නොහඳුනන්ගේ ලෝකයේ ආශ්වාදයේ කෙටිවූ දුක්‌ කඳුළු සහ සතුටු කඳුළු මහා සාගරයේ දිය පරයා යන තරමට දෑස්‌ වලින් වැගිරේවි. දුකටත් සැපයටත් එකම කඳුළ හෙළන මුලාවේ ලෝකය, තව තව සුන්දර අර්ථකථනයන් ආදරය ගැන සමාජයට සපයාවි. ඒ අය ආදරවන්තයන්ගේ වීරයන්, වීරවරියන් වේවි. එම වීරයන්, වීරවරියන්ම තම ජීවිතයේ අවසන් කාලයේ, අසරණභාවයෙන්, අනුනගේ ආදරය ඉල්ලා ජීවත්වෙයි. සමාජයේ කොයි තරාතිරමේ සිටියත් ඔතැනට තමයි අපි යන්නේ. ආදරයේ නාමයෙන් අපි බොරුවක්‌මයි කරන්නේ. ඔබට ආදරය නොකරන ඔබ, අනුනට කෙසේ ආදරය කරන්නද? ඔබ ළඟත් නැති දෙයක්‌ ඔබ කෙසේ නම් අනුනට දෙන්නද? නැති බව නොදන්නාකම නිසාම, ඇති බව සිතමින් තමනුත්, අනුනුත් දුකට වැටීමයි අවසානයේ සිදුවන්නේ.

එවන් දුකට ලෝකයකුයි අප ඉදිරියේ තිබෙන්නේ. තමා තමාට ආදරය කරනවා කියන්නේ ආත්මාර්ථකාමීව තමාගේ ගොඩ ලොකු කරගන්නවා කියන කාරණය නොවෙයි. මුළින්ම තමා සුරක්‍ෂිතභාවයට පත්වෙනවා. කුමක්‌ද මේ ලෝකයේ තිබෙන සැබෑම සුරක්‍ෂිතභාවය. තෙරුවන් සරණේ පිහිටලා, ශීලයක්‌ සමාදන්වීම තරම් සුරක්‍ෂිතභාවයක්‌ පිංවත් ඔබට හමුවන්නේ නැහැ. මෙතැනදි ගිහි පිංවතුන්ලා දස කුසල්ම ජීවිතයට එකතුකරගන්න දක්‍ෂ වෙන්න ඕනේ. කයෙන්, වචනයෙන් වන අකුසල් වගේම මනසින් අකුසල් වන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ගැන අවධානයෙන් ඉන්න ඕනේ.

ලොව්තුරා බුදුරාණන්වහන්සේ මහා සිහනාද සූත්‍රයේදී දේශනා කරනවා, දුස්‌ශීලභාවය නිසා අනාගතයේදී මනුෂ්‍යයාගේ ආයුෂ ක්‍රමානුකූලව කෙටි වෙමින් පරමායුෂ වසර 10 ක්‌ වන බව. එදාට මනුෂ්‍යයා තුළ මෘග සංඥාවන් මතුවෙලා, මිනිසෙක්‌ තවත් මිනිහෙක්‌ව දකින්නේ මුවෙක්‌ හැටියට කියලා. මේ මෘග සංඥාවන් නිසා මිනිසා තියුණු අවි ආයුධ වලින් එකිනෙකා මරාගන්නවා කියලා.

ලෝකය යම් දවසක මේ තැනට යා යුතුමයි. ඒ නිසාමයි ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ලෝකයට අයිති ධර්මතාවයන් වෙන්නේ. ඒවා ලෝකය තුළ තිබිය යුතුයි. ඒවා නැති කරන්න ඔබට මට බැහැ. මේ විෂම ධර්මතාවය තේරුම්ගෙන පිංවත් ඔබ ලෝකයාගේ ලෝභය තුළ ඔබගේ ‘අලෝභය’ දකින්න. ලෝකයාගේ ද්වේශය තුළ ඔබගේ මෛත්‍රිය දකින්න. ලෝකයාගේ මෝහය තුළ ඔබගේ අමෝහය දකින්න. වැරදි කරන ලෝකය තුළ ‘ටිකක්‌ නිවැරදි’ කෙනෙක්‌ වෙන්න උත්සහ ගන්න එපා. වඩාත් නිවැරදි කෙනා වෙන්න උත්සහ ගන්න. මෙතැනයි ලොව්තුරා ධර්මය තිබෙන්නේ. දුස්‌ශීලභාවය විසින් යම් දවසක මිනිසාගේ ආයුෂ වසර දහයක්‌ දක්‌වා අල්ප කරනවා වගේම, ශිල්වත්භාවය නිසා නැවත ක්‍රමානුකූලව, ශීලයේ ශක්‌තියෙන් මනුෂ්‍යයා සකස්‌ වෙමින් අවුරුදු 80,000 ක්‌ පරමායුෂ ඇති මිනිසුන්ගේ ලෝකයක්‌ ක්‍රමානුකූලව බිහිවෙනවා කියලා ඉහත සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. බලන්න දුස්‌ශීලභාවයත්, ශීලයත් අතර අතර තිබෙන පරතරය. පිංවත් ඔබ, ආදරයත්, අනාදරයත් අතර තිබෙන පරතරය වශයෙන්ද මෙය දකින්න පුළුවන්. පරතරය මේ සා විශාල වුවද, මේ යථාර්ථය අවබෝධයක්‌ කරගැනීම සඳහා ගොඩාක්‌ දේවල් කිරීමට අවශ්‍ය නැහැ. එක සිතිවිල්ලයි වෙනස්‌ කරගත යුත්තේ. රූපය සැපය කියලා ගන්නාවූ මිථ්‍යා සිතුවිල්ල. වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය සැපය, නිත්‍යය, ආත්මීයය කියලා ගන්නා වූ මිථ්‍යා සිතුවිල්ල වෙනස්‌ කරගැනීම පමණයි ඔබ කළ යුත්තේ. පිංවත් ඔබ මේ කාරණා පහට බැඳෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ‘තෘෂ්ණාව’ කියන එකම කාරණය ගැන නුවණින් සිතුවත් ඔබට පුළුවන් මාර්ගයක්‌ පාදාගන්න. මෙන්න මේ මාර්ගය පාදාගන්න ශීලය මහෝපකාරී වෙනවා.

ඔබ සමාදන්ව ආරක්‍ෂා කරන සෑම ශිල්පදයක්‌ පාසාම ඔබ කැමති දෙයක්‌ ඔබට අතහැරෙනවා. ඔබ දක්‍ෂවෙන්න ඕන ශීලය විසින් ලබාදුන් දක්‍ෂභාවය වඩාත් අර්ථවත් කරලා අලෝභ, අදේෂ, අමෝහ කියන යථාර්ථයන් තුළින් ඔබ රැස්‌කරගත් කුසල් සංස්‌කාර ආරක්‍ෂා කරගන්න. ඒ අවස්‌ථාව පිංවත් ඔබට ලබාදෙන්නේ අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් දැකීමෙන්. මෙතැනදී පිංවත් ඔබට සැබෑම සාමයත්, සැබෑම ආදරයත් ලෝකයාට දැක්‌වීමට හැකිවේවි. තමන් ආදරය නාමයෙන් කරන්නේ ලෝභ, ද්වේෂ,මෝහය තිව්ර කරගැනීමනම් පිංවත් ඔබ කාට ආදරය කළත් එතැන සකස්‌ වෙන්නේ තෘෂ්ණාවමයි.

තෘෂ්ණාවෙන් බැඳුන දෙය ඔබෙන් ඈත්වෙනවිට එතැන සකස්‌ වෙන්නේ ද්වේෂයයි. තමන්ට අයිති නැති දෙයක්‌ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මෝහය නිසාමයි. අවසානයේදී ආදරයේ නාමයෙන් ඔබ කරන්නේ අනාදරයයි. එම නිසා පිංවත් ඔබ ලෝකයාට ආදරය කිරීමට පෙර දසකුසල් ධර්මයන් පිංවත් ඔබේ ජීවිතයේ සහකරු, සහකාරිය කරගන්න. පිංවත් ඔබට දැනේවි සශ්‍රීක දිව්‍යතලයක දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ ඔබ ළඟ සිටිනවා වගේ. විසිතුරුභාවයත්, පිවිතුරු භාවයත්, විශ්වාසයත් ඔබට ඇතිවේවි. ඔබට තනිකමක්‌ දැනෙන්නේ නැහැ. බියක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ‘මා අසරණයි’ කියන හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. ශීලයේ ශක්‌තිය නිසාම සමාධිමත් සිතුවිලි ඇතිවේවි. ඒ සමාධිමත් සිතුවිලි ආදරයේත් අනාදරයේත් අතර වෙනස ඔබට අත්දැකීමෙන් පසක්‌කරදේවි. දස කුසල් ඔබේ ජීවිතයේ සහකරු සහකාරිය කරගැනීමට ඔබ දක්‍ෂ වුවහොත් ඔහු ඇය ඔබට පාවඩ එලනුයේ සුගතිය දෙසටමයි. පිංවත් ඔබ මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශණාකරවදාළ ධර්මයම මාර්ගය කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශණාකරවදාළ සබ්භාශ්‍රව සූත්‍රය, අනාපාන සති සූත්‍රය, සතර සතිපට්‌ඨාන සූත්‍රය තුළ භව නිරෝධයට අවශ්‍ය කරුණු කාරණා අන්තර්ගතව තිබෙනවා. මහාසිහනාද සූත්‍රය, සප්තසූර්යගමන සූත්‍රය ජීවිතයට එකතුකර ගැනීමෙන් අනාගත සංසාර බිය හොඳින් ඔබට ඇතිකරගන්න පුළුවන්. ඉහත සූත්‍ර පහ කියවන්න කියල විශේෂයෙන් සදහන් කළේ අනෙක්‌ සූත්‍ර වැඳගත් නැහැය කියල නොවේ. සෑම සම්බුදු වදනක්‌ම එක හා සමානව වැදගත්. නමුත් කාර්යබහුල ලෝකයේ ඔබට සියලුම සම්බුදුවදන් මේ සූත්‍ර පහ තුළ කැටිවී තිබෙනවාය කියල භික්‍ෂුවට හිතෙනවා. එය වැරැදිනම් සමාවෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වැරදුන තැන් බුදුරජාණන් වහනසේ නිවැරැදි කළා. සාරිපුත්ත මහරහතුන් වහන්සේට වැරදුනානම් අපි කවුරුන්ද? එම නිසා අපි අපි ගැන අධිතක්‌සේරුවකට එන්න හොඳ නැහැ. සෑම විටම නොදන්නා භාවය දැන ගැනීමෙන්මයි අපිට දන්නා භාවයට පැමිණිය හැක්‌කේ. එහෙම වුණොත් පමණයි දන්නාභාවයට පැමිණ නොදන්නාභාවයෙන් ලෝකය තුළ ජීවත් වෙන්න හැකි වෙන්නේ. මෙන්න මෙතනටයි අපි හැමෝම එන්න උත්සහ ගන්න ඕනේ.