තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ’ කියලා.

රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ ලාලිත්‍යය, හැඩය, ප්‍රභාෂ්වරබව. මෙතන ආශ්වාදයක්‌ තිබෙනවා. ඒ නිසාමයි සත්වයා මේ තාරුණ්‍යයෙන් යුත් රූපයට බැඳීයන්නේ. ඒ රූපය තුළ බැසගන්නේ. මෙන්න මේ රූපයේ ආශ්වාදයට මත්වෙන අපි රූපයේ ආශ්වාදය වගේම රූපයේ ආදීනවයකුත් තිබෙන බව අමතක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා රූපයේ ආදීනවය තමයි ඔය ප්‍රභාෂ්වර කාන්තිමත් රූපය ක්‍රමාණුකූලව වයෝවෘද්ධභාවයට පත්වීම කියලා.

වයස හැට පිරිණු විට රූපය වැහැරී මහල්ලෙක්‌ මැහැල්ලක්‌ බවට පත්වෙනවා. රූපයේ ආශ්වාදය කියන්නේ බොහෝම කෙටිකාලයක්‌ පවතින දෙයක්‌. නමුත් එහි ආදීනව බොහෝම දිගයි. තාරුණ්‍යය නිසා අපි ඇතිකරගන්නා රාග, ද්වේෂ, මෝහ සිතුවිලි නිසා ආදීනවය කියන කාරණය කල්ප ගණනාවක්‌ දිග වෙන්න පුළුවන්.

තාරුණ්‍යය සමග අත්වැල්බැඳගන්න ධර්මතාවයක්‌ තමයි ආදරය. තාරුණ්‍යයත් ආදරයත් එකතුවෙච්ච තැනදී ආශ්වාදයෙන් මත්වීම නිසාම ආදීනවය දැකීමේ හැකියාව අන්ධවෙනවා. මේ අන්ධභාවය නිසා ඇතිකරගන්නා අනතුරු හේතුවෙන් අහිමිකරගත් ජීවිත, විනාශකරගත් ජීවිත කොපමණද?

තම ජීවිත තුළ රාග, ද්වේශ, මෝහ අකුසල මූලයන් ශක්‌තිමත් කරගන්න සමාජයක්‌ අපි ඉදිරියේ තිබෙනවා. මෙය ධර්මයේ කැඩපතක්‌. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ක්‍රමාණුකූලව මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහීමට පත්වෙනවා කියලා. ඒ කියන්නේ අනාගතයේදී මනුෂ්‍යයගේ පරමායුෂ අවුරුදු 10 ක්‌ බවට පත්වෙනවාය කියල. එම කාලයේදී වයස අවුරුදු 05 වනවිට මනුෂ්‍යයෙක්‌ විවාහ වෙනවා. වයස අවුරුදු 07 වන විට දරු මුණුපුරන් ලබල මැරිල යනවා. මොකද පරමායුෂ වසර 10 යි. මෙන්න මේ තැනට ලෝකය දැන් යමින් පවතිනවා. අපි මේ රටේ ලෝකෙ සිද්ධවෙන සිදුවීම් දෙස කම්මුලට අත තබාගෙන බලා සිටින්නේ අදහාගන්න බැරුව වගේ. ඒත් මේ අරුමයක්‌ නෙවෙයි. සම්මා සම්බුද්ධ මුවින් දේශණා කළ ලෝකයේ ගමන් මාර්ගයම තමයි.

මනුෂ්‍යයාගේ ආයුෂ කෙටිවෙන්න, කෙටිවෙන්න වර්තමානයේ මනුෂ්‍ය චර්යාවන්ද කෙටි වෙනවා. අද කාලයේ දරුවෙක්‌ වයස අවුරුදු 7, 8 වනවිට වැඩිවියට පත්වෙනවා. ඒ කියන්නේ ලාබාල වයසේදීම දරුවන් වැඩිහිටියන් බවට පත්වෙනවා. ලාබාල වයසේදීම වැඩිහිටිභාවයට අදාල මානුෂික අවශ්‍යතාවයන්ට ඒ අය බැඳී යනවා. ළමා වයසේදීම විරුද්ධ ලිංගිකයන් සමග ආදරයට හා ඒ හා සමාන බැඳීම්වලට ඇදීයනවා. දරුවෙක්‌ තුළින් වැඩිහිටියෙක්‌ මෙන්ම, එහි අනෙක්‌ පැත්ත හැටියට වැඩිහිටියෙක්‌ තුළින් තරුණයෙක්‌ දැකීමට ඔබට සිද්ධවෙයි. මේවා ආයුෂ පිරීහීමත් සමග ඇතිවෙන හේතුඵල ධර්මයන්. මෙය වැඩිහිටි පරපුරට එක්‌තරා අභියෝගයක්‌ වෙන්න පුළුවන්. නමුත් සම්බුදු ධර්මයට අනුව ගලපා බලනවිට මෙතන කිසිම අභියෝගයක්‌ නැහැ. ලෝකය යායුතු ගමන හැඩවැඩ වෙමින් යනවා. නමුත් මේ ගමන දැකලා සතුටුවෙන්ට ඔබට බැහැ. ඔබ කුමන වෙහෙසක්‌ ගත්තද මේ ගමන නවත්වන්නත් ඔබට බැහැ. මේවා හේතුඵල ධර්මයන්ය.

මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර අවුරුදු 160 ක්‌ ආයු වැළඳූ බක්‌කුල මහරහතන් වහන්සේ වැඩසිටියා. ඒත් ඒවා දුර්ලභ පාරමී ශක්‌තීන් නිසා සකස්‌වූ ඵලයන්. එදා මනුෂ්‍යයාගේ පරමායුෂ පැවතියේ අවුරුදු 120 යි. නමුත් මේ මොහොතේ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගෙවුන තැනදි මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 65ක්‌ දක්‌වා පමණ අඩුවෙලා. ඒ කියන්නේ මනුෂ්‍යයෙකුගේ ආයුෂ අඩකට සමාන ප්‍රමාණයකින් අඩුවෙලා. ඒ සා ආයුෂයක්‌ අඩුවන්නට ගතවූ කාලය ලෝකය අස්‌වාභාවිකත්වය කාර්මීකරණය දෝරගලා ගිය යුගයක්‌ නොවෙයි. සරල ස්‌වභාවිකත්වය තුළ ලෝකය පැවති කාලයක්‌. නමුත් ඔබ වර්තමානය අනාගතය තුළ දකින්නේ අතිශය අස්‌වාභාවික කාර්මීකරණය දෝරගාලා ගිය ලෝකයක්‌. රසකාරක, කෘමිනාශක, වල්නාශක…. මත රැඳුණු ලෝකයක්‌. ඒ හේතුව නිසාම මනුෂ්‍යයාගේ ආයුෂ අතීතයට වඩා මහාවේගයකින් හීනවෙනවා. වර්තමාන ලෝකය ගමන් කරන දැඩි කාර්මීකරණය, කෘතිම ආහාරකරණය දෙස බලනවිට තව වසර එක්‌දහස්‌ පන්සියයක්‌ ගිය තැනදි මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට පත්වීමේ හැකියාව කාටවත්ම බැහැර කරන්න බැහැ. මොකද ගෙවීගිය වසර දෙදහස්‌ පන්සියයට වඩා අතිශය ව්‍යාකූල එක්‌දහස්‌ පන්සියයක්‌ ඉදිරියේ එළඹෙන්නේ.

අපි තරුණ කාලයේදී ආදරය කියන හැඟීමක්‌ අප තුළ සකස්‌ වුනේ අවුරුදු 20 පසුවුණාට පසුව. ඒත් අපි ආදරය ගැන කතාකරන්න බය වුණා ලැ-ජා වුණා. නමුත් වර්තමානයේ අවුරුදු 15 වනවිට ආදරය කරල ආදරයෙන් පරාජයවෙලා මුහුදට, ගඟට පැනල, වසබීල ජීවිත නැති කරගන්න කොතෙක්‌ තරුණ ජීවිත මේ සමාජයේ ඇතිද? තමාට වූ ආසාධාරණය වසාගෙන ජීවත්වන චරිත සමාජයේ කොතෙක්‌ ඇතිද? මේවායේ ගණන් හිලව් වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ සිතීම විහිළුවකි.

ලෝකය යමක්‌ සුන්දරයි කියල දැක්‌කහම අපි ඒ සුන්දරත්වයට රැවැටෙනවා. ඔබ සිතන්නේ ඒ සුන්දරත්වය ලෝකයට අයිති දෙයක්‌ කියලා. ඒ සුන්දරත්වය ලෝකයට අයිති දෙයක්‌ නොව ඔබ තුළින්ම එම රූපය කෙරෙහි ඔබ සකස්‌ කරගන්නාවූ ඡන්ද රාගය නිසාම ඔබ තුළ සකස්‌කරගත් සිතුවිලි සමුදායකි. මෙන්න මෙතනදී ඔබ රැවටීමට ලක්‌වෙනවා. මොකද අනුන් නිසා ඔබ තුළින්ම සකස්‌කරගත් හොඳයි කියන මිම්මක්‌, සීමාවක්‌ තුළ සිට ලෝකයාට පුද්ගලයාට බැඳීයනවා. රූපය නිසා තෘෂ්ණාවෙන් බැඳුණ සිතට පුදුමාකාර හැකියාවක්‌ තිබෙනවා ඇඳුමකින් වසා තිබෙන කසළ ගොඩක්‌ රත්‍රං ගොඩක්‌ කරලා දකින්න. මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න මනුෂ්‍යයා සූදානම් නැහැ තමාගේ ආයුෂ අඩුවෙනවාය යන්න පිළිගන්න. එය සද්ධර්මය කෙරෙහි ඇති දුරස්‌ථභාවය නිසාම සිදුවන්නක්‌. එවැනි අය යමෙක්‌ අවුරුදු 50 – 60 ක්‌ ජීවත්වෙලා මැරුනොත් එම මරණයට කියන්නේ අකල් මරණයක්‌, හදිසි මරණයක්‌ කියලා. ධර්මයේ යථාර්ථය, සංස්‌කාරධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිගන්න සූදානම් නැහැ. තවත් පැත්තකින් මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහෙනවාය කියන කාරණය පිළිගන්න සූදානම් නැති නිසා අවුරුදු 50 – 60 දී ආදරය සොයන කාමය සොයන වැඩිහිටියන්ගේ සමාජයක්‌ බිහිවෙනවා. මොකද මේ අය දකින්නේ තවම පරමායුෂ අවුරුදු 120 ක්‌ පමණය කියලා. මේ අය අවුරුදු 65 න් මියයාමේ බලාපොරොත්තුවෙන් නොවේ සැලසුම් සකස්‌ කරන්නේ. මරණය ජීවිතයෙන් ගොඩාක්‌ ඈතට දමනවා. ඒ කියන්නේ ධර්මයෙන් ඈතට යනවා. පුළුවන් තරම් මරණය ජීවිතය කිට්‌ටුවට ගන්න. එවිට ඔබ ධර්මයට සමීප වෙනවා. කෙනෙක්‌ ධර්මයෙන් හොඳටම දුරස්‌ වුණොත් ඔහු හිතන්නේ නැහැ තමන් මැරෙනවාය කියල. මරණය ගැන හිතන්න බය කෙනා ඉබේම ධර්මයෙන් ඈතට යනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය තුළ සිට ලෝකය දකින්න.