භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය.

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල අකුසලයක්‌ මතකයට පැමිණීමේ ප්‍රවණතාව වැඩි නිසා. භික්‍ෂුව එම වයෝවෘද්ධ දෙපළට ප්‍රකාශ කළේ, ඔබ දෙපළ වර්තමානයේ හොඳින් තෙරුවන් සරණ පිහිටා ශිල්පද ආරක්‍ෂාකරගෙන ජීවත්වන නිසා, එම ශක්‌තිය උපයෝගී කරගෙන අතීත අකුසලය යටපත්කොට දමන ලෙසයි.

එහෙත් එම යුවල ප්‍රකාශ කරනවා, කොතෙක්‌ අමතක කරන්න උත්සාහ කළත් එය මතකයට එනවා කියලා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එසේනම් ඔබලා එම අකුසලය යටපත් කිරීම සඳහා ඊට වඩා ශක්‌තිමත් කුසලයක්‌ සිදුකරගන්නා ලෙසයි. ඔබ දෙදෙනා ළමා රෝහලට ගොස්‌ එහි නේවාසිකව ප්‍රතිකාරගන්නා මරණාසන්න තත්ත්වයේ දරුවන් කිහිපදෙනෙක්‌ වරින් වර තෝරාගෙන, එම දරුවන් මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බෙහෙත්, ප්‍රතිකාර, සියලු වියහියදම් දරන්න කියලා. ඔබේ උත්සාහයෙන් එම දරුවන් මරණයෙන් බේරාගත්තාට පසුව, තමන් මරණයට පත්වීමට ගිය දරුවෙක්‌ බේරාගත්තාය කියලා ඔබ තුළ ඇතිවන ශක්‌තිමත් කුසල් සිත ප්‍රයෝජනයට ගෙන, දරුවෙක්‌ ගබ්සා කළාය කියලා ඔබේ මතකයට නැගෙන අතීතයේ සිදුවූ කර්මය යටපත් කර අමතක කර දමන්නය කියලා.

චේතනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා චේතනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එවැනි මරණාසන්න දරුවන් මරණයෙන් බේරාගෙන ඔබ අදාළ පිංකම කළාට පස්‌සෙත්, ඔබලා අතින් සිදුවූ එම අකුසලය නැවත, නැවත මතකයට ගන්නවා නම් ඒ ඔබේ අදක්‍ෂභාවයයි. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම චේතනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ.

සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි ගැන පසුතැවෙන අය. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක්‌ කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. මෙතැනදී ආනන්තරීය පාපකර්ම ඇතුළුව යටපත් කිරීමට නොහැකි අකුසල් තිබෙනවා. ඔබ අතින් සිදුවූ කුමන අකුසල් කර්ම තිබුණද, දැනුවත්ව හෝ අනවබෝධය නිසා ඇති වූ වරදවල් තිබුණද, වෙච්ච දේ ගැන, අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නිවැරදිව ජීවත්වෙන්න දක්‍ෂවෙන්න.

භාවනා කිරීමට යොමුවන පිංවතුන් අතීතයේ සිදුවූ සිදුවීම්, ක්‍රියාකාරකම් නිරතුරුවම මතකයට ගලාඒමෙන් සිත විසිරෙනවා. පිංවත් ඔබ ශීලයෙන් ශක්‌තිමත් නම්, ඒ කියන්නේ ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය තිබෙනවා. හිරි ඔතප් දෙක තිබෙනවා. මෙතැනදි ‘හිරි ඔතප්’ කියන්නේ ඔබ සතර අපායට වැටෙන්නට තිබෙන ලැඡ්ජා බය දෙක. භාවනාවක්‌ සාර්ථක කරගැනීමට ඉහත කාරණය අත්‍යවශ්‍ය වෙනවා. මෙතැනින් තමයි සංසාර බය සකස්‌කර දෙන්නේ, භවයෙන් ගැලවිලා යන්නට. සතර අපායේ නැවත උපතක්‌ ලැබුවොත්, එය මොනතරම් දුකක්‌ද, ලැ-ජාවක්‌ද, කුමන ගැලවීමක්‌ද?

මේ දුක ගැන නුවණින් මෙනෙහි කරමින් අසංවර ඔබේ සිත භාවනාවට පෙර නිශ්චල කරගන්න. අතීතයේ ඔබ හරකෙක්‌, ඌරෙක්‌ ලෙස ඉපදිලා, අනුන් ඔබව මරාගෙන කෑ හැටි, ප්‍රේතයින් හැටියට උපත ලබලා, නිර්වස්‌ත්‍රව, කුසට අහරක්‌ නැතිව, ශරීරය කුණුවෙලා, වනවෙලා…. , ඉඩකඩම්වලට තෘෂ්ණාවෙන් බැඳිලා, මරණින් මතු එම ඉඩමේම ගල් ප්‍රේතයින්, බහිරවයින්, භූත ගෙම්බන් ලෙස ඔබත් මමත් ගත කළ ජීවිත ගැන මෙනෙහි කරන්න. නිරයට වැටී, ගින්දර, ලෝදිය, ගිනි අඟුරු මතින් ඔබව දැවුණු පිච්චුණු හැටි මෙනෙහි කරන්න. මේවා ගැන ඔබ ලැඡ්ජාවෙන්න එපා. එහෙම ලැජ්ජාවක්‌ ඔබට සකස්‌වුණහොත් එයට කියන වචනය, ලැජ්ජාව නොව ‘සක්‌කාය දිට්‌ටිය ‘ බව හොඳින් නුවණින් දකින්න. යමෙක්‌ තුළ සක්‌කාය දිට්‌ටිය සකස්‌වෙනවා නම් ඔහු හෝ ඇය, තවම මාරයාගේ අත්සන් සහිත සතර අපායේ බදු ගිවිසුම අහවර නොකළ කෙනෙක්‌ බව සිතන්න. සතර අපායේ අයිතිය පිළිබඳ බදු ගිවිසුම පස්‌ අවුරුදු හෝ අනූනව අවුරුදු බදු ගිවිසුම් නොව, කල්ප ගණන් දීර්ඝ කාලයක්‌ සඳහා ලියන බදු ගිවිසුම්ය. එහි ‘බදුදෙන්නා’ වශයෙන් මාරයාත්, ‘බදුගන්නා’ වශයෙන් ඔබත් අත්සන් කොට ඇත. මෙය තවත් නිරවුල් වශයෙන් කියනවා නම්, මාරයා වශයෙන් ඔබ තුළ ඇති ජන්ද රාගයත්, එම ජන්ද රාගය නිසා ඔබ තුළ ඇතිවන සක්‌කාය දිට්‌ටිය බදුකරු වශයෙනුත් දැක්‌විය හැකිය.

සතර අපායේ සත්ත්වයා විඳින දුක ගැන අවබෝධයකින් තොරව, සතර අපායෙන් මිදීම යනු ප්‍රශ්නාර්ථයකි. තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ලෝකයේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම, පෙර ජීවිතයකදී ඔබත් මමත් වැනි මනුෂ්‍යයෙක්‌ම බව සිහිපත් කරගන්න. ඔබ තිරිසන් සතෙක්‌ දුටුවහොත් එම තිරිසන් සතාගේ රූපය තුළින් දුසිල්වත් මනුෂ්‍යයෙකුගේ රූපයක්‌ සිතින් මවාගන්න දක්‍ෂවෙන්න. ඔබ ප්‍රේතයකුගේ රූපයක්‌ දුටුවහොත්, මසුරුබවින් යුත් මිනිසකුගේ රූපයක්‌ එම රූපය තුළින් මතුකරගැනීමට දක්‍ෂවෙන්න.

මේවා භාවනාව ක්‍රමවත්ව වඩවා ගැනීමට අවශ්‍ය උපක්‍රමය. මේ උපක්‍රම මාරයාට එරෙහිවමය. සමාජයෙන් ආශ්වාදය නැමැති සුදු පිරුවටයෙන්, මාරයා, සතර අපාය ඔබෙන් වසන්කොට, සතර අපායේ ජීවත්වන ප්‍රේත රූප, අමනුෂ්‍ය රූප පෙන්වා ඔබව නොමග යවනකොට, එම සුදුපිරුවටය විනිවිද සතර අපායේ අනතුර දැකීමට ඔබ දක්‍ෂ විය යුතුය. සමාධි භාවනාවේදී ඔබට හමුවෙන අමනුෂ්‍ය රූප, රූපයේ අනිත්‍ය දකිමින්, ඇති වූ ස්‌වභාවයෙන්ම අනිත්‍යභාවයට පත්වීමට ඉඩහරින්න. එම අමනුෂ්‍ය රූපයන් කෙරෙහි ආශ්වාදයක්‌ සකස්‌කොටගන්න එපා. සමහර පිංවතුන් එම අමනුෂ්‍ය රූප දැකගැනීමට හැකිවීම ආශ්වාදයක්‌ ලෙසින් ගෙන එම ආශ්වාදයේ බැඳී,සතර අපායේ ජීවත්වෙන සත්වයෙක්‌ නිසා භාවනාවේ සැබෑ අර්ථය අහිමිකරගන්නවා.

භාවනා කරන විට ඔබට දර්ශනය වන අමනුෂ්‍ය රූප, බොහෝ අවස්‌ථාවල ඔබ නොදන්නා වූ අතීත ජීවිතවල ඥාති ප්‍රේතයින්. ඔබ එම ප්‍රේතයින් කවුරුන්දැයි කියා නොදන්නවා වුණත් එම ප්‍රේතයින් ඔබව දන්නවා. ඒ අය සතර අපායේ ජීවත්වන පිං මඳ පිනට අකමැති පිරිසක්‌. ඒ පිනට අකමැති ප්‍රේතයින් කැමති නැහැ ඔබ භාවනා කරනවට. ඔබ සතර අපායෙන් මිදෙනවට. එම ප්‍රේත පිරිස්‌ උත්සාහගන්නේ තම ඥාති පිරිසත් තමන්ගේ ගොඩටම ඈඳාගන්නයි. ඔබ ඒ අයගෙන් මිදී සුගතියට යනවට ඒ අය කැමති නැහැ. එම නිසා මෙවැනි අමනුෂ්‍ය රූප මාරයා වශයෙන් හඳුනාගෙන, අනිත්‍ය දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුන හොත් එම අමනුෂ්‍ය පිරිස්‌ නැවත නැවත විවිධ ප්‍රේතයන් ඔබ ඉදිරියට පමුණුවනු ඇත. මෙම ක්‍රියාවන් ධර්මය නොදන්නා අමනුෂ්‍යයන්ගේ අසත්පුරුෂභාවයන්ය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණ නම් අමනුෂ්‍යයෙකුට ඔබට කළහැකි දෙයක්‌ නොමැති බවට ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ තිබිය යුතුය. හැබැයි එම ශීලය තණ්‌හා, මාන්න, දිට්‌ට්‌වලින් අපිරිසිදු නොවිය යුතුය. මෙවැනි කරුණු නිරාකරණය කරගැනීමට අදාළ පිංවතා තුළ නිහතමානීකම අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුය.