සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න.

මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ නිවාසානුස්‌සති ඥානය ඇතිවෙනවා. ඒ කියන්නේ පෙර ආත්මභාවය දැකීමේ ඥානයයි. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් දැකීමේ ඥානය. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් සිහිවීමේ ඥානය. එම ඥානය තුළින් අරමුණු වෙනවා. අතීත භවයන්හිදී තමා තිරිසන් සතුන් වශයෙන් ඉපදී හරකුන්, ඌරන්, එළුවන්, කුකුලන් වශයෙන් ඉපදී මිනිසුන් තමාව මරාගෙන කන හැටි, හිස ගසා දමන හැටි, මනුෂ්‍ය ජීවිතවල ඉපදිලා රාජ දඬුවම් නිසා අත පය හිස කපා දමා ලා අනතුරුවලට ලක්‌වෙලා ශරීරය කුඩුවෙලා, යුද්ධ වලට මැදිවෙලා කපා කොටාගෙන මියගිය හැටි…. භවය කියන්නේ ලේ සාගරයක්‌ය, කඳුළු සාගරයක්‌ය කියන කාරණය මේ ඥාන දර්ශනය තුළින් දකිනවා. මෙන්න මේ අතීත බිහිසුණු කථාව පූර්වේ නිවාසානුස්‌සති ඥානය තුළින් අරමුණුවෙද්දී තමයි ඔහු තුළ සප්ත බෝඡ්ජග ධර්ම සකස්‌ වෙන්නේ. සංසාරය පුරාවට අත්විඳි අතිබිහිසුණු ඛේදවාචකය අරමුණු වෙනකොට ඔහු තුළ සංසාර ගමනේ මෙතෙක්‌ තමා තුළ ඇති නොවුණ සති, ධර්මවිජය, වීර්ය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා ධර්මයන් ඇතිවෙනවා. අතීත භවයන් හිදී අත්විඳි අති බිහිසුණු දුක අරමුණු වෙනකොට තමයි භව නිරෝධය සාක්‍ෂාත් කිරීමට අවශ්‍ය වීර්යය සකස්‌කොට දෙන්නේ. නමුත් මේ මොහොතේ තමා තුළ වැඩෙන්නේ පූර්වේ නිවාසානුස්‌සති ඥානය කියලා ඔහුට දැනීමක්‌ නැහැ. එම ඥානය ලැබෙයි කියලා බලාපොරොත්තු වුණෙත් නැහැ. පූර්වේ නිවාසානුස්‌සති ඥානය ගැන ඔහුට පෙර දැනීමක්‌ තිබුණෙත් නැහැ. එකම අරමුණයි ඒ මොහොතේ තිබෙන්නේ. ඒ භව නිරෝධය පමණමයි. ‘ඇලීමකින් ගැටීමකින් තොරව අවසාන හුස්‌ම පිටවේවා ! ‘ කියන කාරණය. ඔහු තුළ ඇලීම් ගැටීම්වලින් තොර උපේක්‍ෂාව කියන මට්‌ටමට සිත සමාධිමත්වයි පවතින්නේ. සතිය සිහිය, අරමුණ කෙරෙහි හොඳින් විවෘතව පවතිනවා.

මේ මොහොත වෙන කොට ඔබ පැහැදිලි තීරණයකට ඇවිත් සිටින්නේ. එක්‌කෝ භව නිරෝධය, නැතිනම් මරණය කියන කාරණයයි. මේ තීරණයේදීම ඔහුට සියයට අනූවකින් භවය අතහැරිලා. නමුත් කුමක්‌දෝ තැනකින් තවමත් බැඳීමක්‌ පවතිනවා කියලා ඔහුට දැනෙනවා. කුමක්‌දෝ කුඩා රැහැනකින් ඔහුගේ ජීවිතය ලෝකයට බැඳී තිබෙනවාය කියලා. මේ මොහොතේදී ඔහුට ශක්‌තිමත් විශ්වාසයක්‌ සකස්‌ වෙනවා. මේ ව්‍යායාමයේදී දානය නැතිවීම හෝ වෙනත් භාහිර අනතුරකින් ජීවිතය නැතිවුණොත් මරණයට තත්ත්පරයකට හෝ පෙරාතුව නියත වශයෙන්ම භව නිරෝධය සාක්‍ෂාත් කරගන්නා බවට. මේ විශ්වාසය ගොඩනගන්නේ ඔහු තුළ සකස්‌වෙන සති ධම්මවිජය බොඡ්ජංගයයි. මෙතැනදී තමයි අයෝමය වීර්යය සකස්‌කොට දෙන්නේ. මේ වීර්යය තුළින් සිද්ධ කරන්නේ භවයට බැඳී ඇති තෘෂ්ණාව සිඳ දැමීමට ඔහුව මෙහෙයවීමයි. ඔහු මනුෂ්‍ය ලෝකය තුළ දිව්‍ය තල, බ්‍රහ්ම තලවල ස්‌ථිර වූ නිත්‍ය සැපයක්‌ නොමැති බව ඉතාමත් සියුම්ව නැවත, නැවත මෙනෙහිකොට බලනවා. මනුෂ්‍ය ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියන් රජවරු සිටුවරු ජනනායක වරු කලාකරුවන් දෙස්‌ විදෙස්‌ වශයෙන් ඥාති නොඥාති වශයෙන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වී අසරණව මියයන හැටි විදර්ශනා නුවණින් විනිවිද දකිමින් ඉතා සියුම් ආකාරයට මෙනෙහි කරනවා. අතීත භවයන්හිදී තමාද මේ සැප අත්විඳ දුකට වැටුණ අන්දම සිහිකරනවා. මෙහෙම දකිමින් මනුෂ්‍ය ලෝකය තුළ ඉඳිකටුතුඩක තරම්වත් උපාදානයක්‌ සකස්‌ නොවන තැනට සතිය සිහිය යොමුකොට බලනවා. මොකද මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ සකස්‌ වුනොත් ඊට අදාළ උපාදානය සකස්‌වෙන නිසා. තමා තුළින්ම මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් උපාදානයක්‌ නැතැයි කයලා අවබෝධයෙන් ප්‍රත්‍යක්‍ෂව දකිනවා.

දෙවැනිව ඔහු දිව්‍ය තලවල සශ්‍රික බව අත්විඳින දෙවියන්, දිව්‍යාංගනාවන් ගැන මෙනෙහි කරනවා. දිව්‍ය සැපයේ අනිත්‍ය බව, සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් කල්ප ගණන් දිව්‍යතලවල ජීවත් වුවද එම පින අහවර වෙනකොට ඔවුන් අත්විඳින දුක වේදනාව, දිව්‍යලෝකවලින් පිං අහවර වී චුතවන දෙවිවරුන් නගන අඳෝනා විලාපයන් නුවණින් සිහිකරනවා. දිව්‍ය සළු කිළිටි වෙලා පැහැපත් ප්‍රභාශ්වර දඹරන් පැහැ දිව්‍ය ශරීර දහඩියෙන් තෙත් වෙලා, අවපැහැගැන්විලා නේකවර්ණ සළුපිළි, නේකවර්ණ මානික්‍යයන් ඔබ්බවපු ඔටුණු දුර්වර්ණව යන හැටි, කාමච්ජන්දයන්ගෙන් ප්‍රමාදභාවයට පත්ව සිටි දෙවියන් දිව්‍යතලවලින් චුත වන මොහොතේ ගැටෙන සිතෙන් නැවත සතර අපායන්ට වැටෙන හැටි නුවනින් මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරමින් දිව්‍යතල කෙරෙහි ඇති උපාදානය නැතිකොට ගන්නවා. අවසානයේදී දිව්‍යතලවල සශ්‍රික දෙවියන්, ශක්‍ර දෙවියන්, සුජම්පතී බිසව අරමුණට ගන්නවා. ඔවුන් විඳින්නා වූ අප්‍රමාණ සශ්‍රිකභාවය නුවනින් දකිමින් ඒවාද අනිත්‍යභාවයට පත්වී එම ශක්‍රදෙවියන්ද, එම පිරිසද නැවත සතර අපායට වැටෙන අයුරු මෙනෙහි කරනවා. නැවත නැවත ඉතා සියුම්ව බලනවා ඉඳිකටු තුඩක තරම්වත් ඉඩක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ තමා තුළ දිව්‍ය තල කෙරෙහි බැඳීමක්‌ සකස්‌වෙනවාද කියලා. මොකද දිව්‍ය සැපයේ අග්‍රම සැපය වන ශක්‍රයා කියන සැපය කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ තිබුණොත් ඒ කෙරෙහි උපාදානය සකස්‌වීමට පුළුවන් නිසා.

මේ දේවල් ඔහුට පෙළඹවීමකින් තොරව තමා තුළ වැඩෙන සතිය සිහිය විසිනුයි සිදුකරන්නේ . වීර්යය සතියට උපකාර කරනවා. මේ සිද්ධිය මෙනෙහි කරනකොට ධර්මවිජය බෝඡ්ජංගයමයි. වැඩෙන්නේ. පස්‌සධිය, සමාධිය සියල්ල විනිවිද දැකීමට උපකාරී වෙනවා. ඊට භාහිර දෙයක්‌ ඔහුට මේ මොහොතේ නැහැ. මොකද නිවීම කියන අරමුණ කෙරෙහි සතිය බලවත්.

ඔහු මනුෂ්‍ය ලෝකය දිව්‍යතල කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් උපාදානයක්‌ තමා තුළ නොමැති බව අවබෝධකරගත් පසු මනුෂ්‍ය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඔහුගෙන් ක්‍ෂය වෙලා සප්ත බොඡ්ජංග ධර්ම හරහා වැඩෙන ප්‍රඥාව විසින් තමාට ඒ බව තහවුරුකොට දෙනවා. මේවා සියල්ල හේතුඵල ධර්මතාවයන්.

ඊළඟට ඔහු බ්‍රහ්ම තල පීර පීරා බලනවා. රූපී අරූපී මාර්ගඵලලාභී බ්‍රහ්මයින් වැඩ සිටින මේ කොයියම් බ්‍රහ්ම ලෝකයක හෝ ස්‌ථිර, නිත්‍ය වූ සැපයක්‌ තිබෙනවාද කියලා. එකලාව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන මාර්ගඵල ලාභී බ්‍රහ්මයින් ගැන මෙනෙහි කරනවා. ඉතා සියුම් මීදුමක්‌ සේ ශරීරයක්‌ සහිතව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන අරුපී බ්‍රහ්මයින් මෙනෙහි කරනවා. අරූපී බ්‍රහ්මයන්ගේ කය, ඝනභාවයෙන් තොර සියුම් මීදුමකින් වගෙයි හැදිලා තිබෙන්නේ. රූපයක්‌ නැහැ කීවාට රූපය තිබෙනවා සැඟවිලා. සමාධි සැපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සමාධිය නිත්‍ය, ස්‌ථිරභාවයෙන් දකින බ්‍රහ්මයින්ගේ අවිද්‍යා සහගත සිත ඔහු නුවණින් මෙනෙහි කරනවා. බ්‍රහ්මයා මේ සා සමාධියෙන් පරිපූර්ණ වුවත්, තෘෂ්ණාව සත්වයාට අත්කරදෙන ප්‍රමාදීභාවය දකිමින් ආර්ය ආෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වූ සත්ත්වයාගේ ප්‍රමාදය දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙනවා. සතර අපායෙන් නොමිදුණු රූපී, අරූපී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින් බ්‍රහ්ම සැප අනිත්‍ය වී නැවැත සතර අපායට වැටෙන අයුරු ඔහු නුවණින් දකිනවා.

අවසානයේ ඔහු බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි අරමුණු කරනවා. මහා බ්‍රහ්මයා මේ ලෝක ධාතුවේ ලොකුම සැපය ලෙසින් හැඳින්වුවත් ඔහුද අවිද්‍යාව තුළ ජීවත්වන්නෙක්‌ බව මෙනෙහි කරනවා. අවිද්‍යාව යම් තැනකද එතැන දුක බව දකිනවා. මහා බ්‍රහ්මයාද සතර අපායෙන් මිදී නොමැතිනම් බ්‍රහ්ම සැප අවසන්වීමෙන් පසු සතර අපායට වැටීමේ අවදානමෙන් ඔහු මිදී නැති බව නුවණින් දකිනවා. මෙසේ දකිමින් මහා බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන්ද මිදෙනවා. නමුත් නැවත නැවත සියුම්ව අවධානය යොමු කරනවා අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ බ්‍රහ්ම තල කෙරෙහි තිබෙනවාද කියලා. ස්‌ථිර වශයෙන් නිත්‍ය වශයෙන් බ්‍රහ්ම තලවල සැපයක්‌ නොමැති බව අවබෝධයෙන් දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙද්දී භික්‍ෂුවගේ සිත පිහිටන්න වෙන තැනක්‌ මේ ලෝක ධාතුව තුළ නැහැ. මොකද මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මතල කෙරෙහි ඇති ජන්දරාගය අවබෝධයෙන්ම සිඳුන නිසා. ඒ සිත පිහිටන්නේ ලෝකයෙන් මිදුන නිවීම තුළයි. භව නිරෝධය තුළයි. භික්‍ෂුවගේ ඉහත නිවීමේ මෙහෙයුම සිදුවන මුළු රාත්‍රිය පුරාවට එම භික්‍ෂුව පුද්ගලික අරමුණුවලින් මිදිලයි ඉන්නේ. කොටින්ම භික්‍ෂුවට තමා ගැන දැනීමක්‌ නැහැ. අනිත්‍ය කියන ධර්මය හැර වෙන ධර්මතාවයක්‌ මෙනෙහි වෙන්නේ නැහැ. භව නිරෝධය නැතහොත් මරණය කියන කාරණා දෙක අතරයි භික්‍ෂුවගේ සිත දෝලනය වෙන්නේ. මේ ඉහත අර්ථය තමයි, චිත්තය තමයි අරමුණ සාක්‍ෂාත්කොට දෙන්නේ.

ජීවිතය අතහැරලා භව නිරෝධය කියන අරමුණ පසුපස සප්ත බොඡ්ජංග ධර්මයන් වැඩෙද්දී මාරයා බියට පත්වෙනවා. මොකද භික්‍ෂුව භව නිරෝධය නැතිනම් මරණය කියන කාරණය ස්‌ථිර අධිෂ්ඨානයක්‌ හැටියටයි සපථ කරගෙන සිටින්නේ. මන්ද තමා තුළින්ම සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය සමගයි තමා ගනුදෙනු කරන්නේ. ජූරිය, විනිශ්චය තමා තුළමයි තිබෙන්නේ. එම නිසා වංකවෙලා මෙතැනදී මාරධර්මයන් පරාජය කරන්න බැහැ. තමා දන්නවා තමා කරන්නේ බොරුවක්‌ බව. මෙතැන තමයි වර්තමානයේ බොහො දෙනෙක්‌ වරද්දගන්නා තැන. එම නිසා අවංකභාවය ඇත්තවශයෙන්ම තිබිය යුතුයි. මෙය සටහන් කරන භික්‍ෂුවටත් පිංවත් ඔබටත් භව නිරෝධය සාක්‍ෂාත් කර ගැනීමට නම් නිවීමේ මෙහෙයුමේ අවසාන අදියරේදී ‘භව නිරෝධය, නැතිනම් මරණය’ කියන අධිෂ්ඨානයට ස්‌ථිරවම එන්න වෙනවා.

භික්‍ෂුව මේ මොහොත් නොදන්නවාට භික්‍ෂුව තුළින් ඉහත වැඩුණේ නිවීම උදෙසා අත්‍යවශ්‍ය සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන්ය. නිවීම උදෙසා අරමුණ ශක්‌තිමත් නම්, අවංකභාවය තිබේනම් රූපයේ අනිත්‍යභාවය ඉහළ සමාධිතලයකදී ඔබ අවබෝධ කර ඇතිනම් මෙම ධර්මතාවයන් හේතුවෙන් ආයාසයකින් තොරවම හේතුඵල ධර්මතාවයන්ට අනුව සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන් ඔබ තුළ වැඩෙමින් ඔබව මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් එතෙර කරවනු ඇත.