ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද?

තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය.

එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌ කරගැනීමට දක්‍ෂ විය යුතුයි. වැසිකිළි කැසිකිළි කිරීමේදී ඔබට පුළුවන් ආහාරයේ අනිත්‍ය බව දකින්න. ඔබ සුවඳවත් කරන පිරිසිදු කරන ශරීරයේ අනිත්‍ය භව දකින්න. ඔබ නින්දට යන වෙලාවට ඔබට පුළුවන් ගෙවුන දිනය පුරාවට ඔබ සිදුකළ ක්‍රියාවන්ගේ අනිත්‍ය ස්‌වභාවය දකින්න. කුමන ඉරියව්වකින් සිටියත් ඔබ ඇස අරමුණුකරගෙන ‘ඇස අනිත්‍යයි, අනිත්‍යයි…’ වශයෙන් දකිමින් සිටින්න. එවිට ඔබට පුළුවන් බාහිර රූපයන්ගෙන් ඇස හුදෙකලා කර ගන්න. එහෙම දිගින් දිගටම දකින්න. එවිට ඔබට වැටහෙනවා ඇසත් බාහිර රූපත් ඔබට අයිති නැති ස්‌වභාවය. කන, නාසය, දිව, මනස, කය යන අනෙක්‌ ආයතන ගැනත් එසේ දකින්න. මෙය කිරීම සඳහා ඔබ එරමිනියා ගොතාගෙන සිටින්නම අවශ්‍ය නැහැ.

බස්‌ රථය තුළ වාඩිවෙලා යන විට ඔබේ ඇස බාහිර රූප කෙරෙහි දුවනවානම්, මනසේ වේගවත්ව සිතුවිලි ඇති වෙනවා නම් ඔබට ඉහත අරමුණු දකින්න පුළුවන්. භාවනා කිරීමෙන් අර්ථයක්‌ ලැබීමට නම් ඔබ ජීවිතයේ ලැබෙන සෑම අවස්‌ථාවකදීම සෑම අත්දැකීමකදීම ඒවා කමටහනක්‌ කර ගැනීමට දක්‍ෂවිය යුතුයි.

පිංවත් ඔබට උදාහරණයක්‌ පැහැදිලි කරන්නම්. භික්‍ෂුව ගිහි කාලයේ ප්‍රධාන නගරයක පයින් ගමන් කළා. මහපාර අයිනේ වයෝවෘද්ධ යාචක කාන්තාවක්‌ හිටියා. ඇය අසල අතින් තල්ලු කරන කරත්තයක්‌ තිබුණා. ඒ අසලම බල්ලෙක්‌ සිටියා. මේ වයෝවෘද්ධ කෘශ කාන්තාව දෙකට නැවිලා බුදු අම්මෝ කියමින් විලාප නගමින් තම ගුද මාර්ගයෙන් එළියට ඇවිත් තිබෙන අඟල් හයක්‌ පමණ දිගැති ආනමාළු ගෙඩියක ප්‍රමාණයේ මස්‌ දඟරයක්‌ ශරීරය ඇතුළට ඔබනවා. මෙය අර්ශස්‌ රෝගයේ දරුණුම අවස්‌ථාවක්‌. ප්‍රසිද්ධියේ පාර අයිනේ මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ වයෝවෘද්ධ යාචක අම්මාට තේරුමක්‌ නැහැ අවට පරිසරය ගැන, මිනිස්‌සු ඉන්නවාය දකිනවාය කියන කාරණය. ඇයගේ වේදනාව විසින් ඇයට ඉහත කාරණය ඇයට අමතක කරලා. මිනිසුන් සිය ගණනින් ඒ අසල පාර දෙපැත්තේ ගමන් කළත් එකම මනුෂ්‍යයෙක්‌වත් ඒ සිද්ධිය දෙස බලන්නේ නැහැ. මොකද එය ඒ තරමටම අපුල අපුල, බියගන්වන දර්ශනයක්‌. නමුත් ගිහියෙක්‌ වශයෙන් එදා මේ භික්‍ෂුව ඒ කාන්තාවගේ සෑම ඉරියව්වක්‌ දෙසම මා හොඳින් බලාගෙන ගියා පමණක්‌ නොව ආපසු හැරී නැවත ඒ දර්ශනය දෙස නුවනින් බැලුවා. ඒ වෙලාවේ ගිහියෙක්‌ වශයෙන් මම ඒ දර්ශනය තුළ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන ධර්මතාවයන් දැක්‌කා. අසුභය මරණානුස්‌සතිය දැක්‌කා. සංස්‌කාර ධර්මයන්ගේ අමිහිරි උමතු ප්‍රතිඵල දැක්‌කා.

මෙවැනි දර්ශනයක්‌ සිදුවීමක්‌ දකින්න අපුලනම් අමිහිරිනම් ඔහු කෙසේනම් භාවනාවෙන් ප්‍රතිඵල ලබන්නද? මේ ඔබ දකින්නේ ඔබේ ශරීරයේ ස්‌වභාවයයි. අතීතයේ ඔබද අත් විඳි ස්‌වභාවයයි. අනාගතයේදී රූපයට උරුම අවස්‌ථාවයි. අනුනගේ දුක ඔබ ඔබේ ජීවිතයට ගලපා බලන්න දක්‍ෂවෙන්න. එම දුගී යාචක මව තුළින් ඔබ ඔබව දකින්න දක්‍ෂවෙන්න. ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන ධර්මය මගහැරයැමෙන් වළකින්න.

පිංවත් ඔබ මේ ආකාරයට දිනය පුරාවට දකින සිදුවන සියලු ක්‍රියාකාරකම් කමටහනක්‌ හැටියට හැකිතාක්‌ දකින්න උත්සහගන්න. එහෙම කළොත් ඔබට පුළුවන් වෙනවා පෙර සඳහන් කළ නිත්‍ය, අනිත්‍ය සංඥා කිරාබැලූ තරාදිය යම් ප්‍රමාණයකට සමබර කර ගන්න. මෙහෙම පුහුණුවක්‌a ලැබුවොත් ඔබ විවේකීව භාවනාවට යොමුවුනාට පස්‌සේ පංචනීවරණ වලින් ඔබේ මාර්ගය අවහිරවීම හුඟක්‌ දුරට අඩුකරගැනීමට හැකියාව තිබෙනවා. මොකද රූපයක්‌ අභියස එය අනිත්‍යයි කියන කාරණය දකින්න දැන් ඔබ පුහුණුවක්‌ ලබා ඇති නිසා. එය අවබෝධයක්‌ නොවේ මාර්ගය වැඩීමට ලැබෙන පිටුවහලක්‌ වේවී.

මීළඟට භාවනා කිරීමට පෙර ඔබ විසින් අවධාරණය කළ යුතු විශේෂ දෙයක්‌ තමා දසකුසල් කියන කාරණයේ අර්ථය. විශේෂයෙන්ම සුදුවත් දරාගත් පිංවතුන්ලා මේ කාරණයේදී දුර්වලතාවයන් දකිනවා. එම පිංවතුන්ලා අවංකවම තම ශීලය ගැන විශ්වාසයකින් පසුවෙන්නේ. එම විශ්වාසය තුළ පංචශීලය එසේත් නැතිනම් ආජීව අට්‌ඨමක ශීලය සමාදන් වෙනවා. ඔබ සමාදන් කළ ඉහත ශීලයන් දෙක තුළම දසකුසල් වලට අදාළ වන කාරණා හතක්‌ම ආවරණයවෙලා තිබෙනවා. කයෙන් සිදුවන්නාවු අකුසල් තුනක්‌ වචනයෙන් සිදුවන්නාවු අකුසල් හතරක්‌ ඔබෙන් වැළකෙනවා. නමුත් පිංවතුනි වඩාත්ම ප්‍රබල මනසින් සිදුවෙන්නාවු අකුසල් තුන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා තුන නිරතුරුවම අපි මගහැරෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ කර්මයන්මයි බලවත් කියලා. පිංවත් ඔබ සතුන් මරන්නෙ නැති වෙන්න පුළුවන්, බොරු නොකියන්න පුළුවන්, ඇතිවන පුංචි ප්‍රශ්නයක්‌ හමුවේ ක්‍ෂණිකව ලෝභ, ද්වේශ, මෝහ අකුසලය චෛතිසිකයන් සකස්‌කර ගන්නවා. මේ කාරණය භාවනාවට බොහෝම අනතුරුදායක තත්ත්වයක්‌. ලෝභ, ද්වේශ, මෝහ නමින් පෙනීසිටින්නේ, මේ කාරණ තුනම සකස්‌ වෙන්නේ රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි. මමත්වයේ දැඩිභාවය නිසා ඉහත ස්‌වභාවය වැඩිවෙනවා. මෙහි වඩාත් භයානක කාරණා තීව්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායකර්ම, වචීකර්ම යටපත්කර මනෝ කර්ම නැගී සිටින බව.

සමාජයේදී අපිට පෙනෙනවා සමහරක්‌ පිංවතුන්ලා පුංචි ප්‍රශ්නයකදී එහෙමත් නැතිනම් ධර්ම අවවාදයකදී ස්‌වාමීන් වාහන්සේලාගෙන් වුණත් පිළිගැනීමට මැලිවන්නේ නැහැ. අවදානම සකස්‌ කර දෙන්නේ දසකුසල් කියන ජීවිතයට එකතු කර නොගැනීම නිසා.