පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා “ස්‌වාමීන්වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි” යෑයි ප්‍රකාශ කළා.

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන්වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි හේතුවෙන්නේ.

නමුත් ඔබ මෙසේ මෙනෙහි කරනගමන් දක්‍ෂ වෙන්නේ ඕනේ, මෙතැනින් ඉදිරියට යන්න. මොකද එම බුදුගුණය සිහිපත් කරන වාර ගණන වැඩි කරගැනීම කියන තෘෂ්ණාව තුළ අවදානමක්‌ තිබෙනවා. ඔබ මෙතැනදි හිතන්න ඕනේ බුදුගුණයේ අර්ථය ගැන. ඇයි බුදුරජාණන් වහන්සේ ඉහත ගුණයන්ගෙන් පරිපූර්ණ වූයේ? උන්වහන්සේ ලෝභ ද්වේෂ මෝහ අවබෝධයෙන් ප්‍රහීන කළ නිසා.

එහෙම නම් වඩාත් අර්ථවත් වෙන්නේ බුදුගුණ මෙනෙහි කරන ගමන්ම, සෑම උදෑසනකම ඔබට පුළුවන් නම් “අද දවසේ මට ලෝභ සිතක්‌ ඇති නොවේවා! ද්වේෂ, මෝහ සිතක්‌ ඇති නොවේවා කියලා වීර්යයෙන් යුතුව ඒ සඳහා උත්සහගන්න, ඒ තමයි සෑම බුදුගුණයක්‌ කෙරෙහිම ඔබ කරන උතුම්ම පූජාව වෙන්නේ. එවිටයි ඔබ සිහිකරන බුදු ගුණය අර්ථවත් වෙන්නේ. එවැනි පූජාවක්‌ තුළින් වාර ලක්‍ෂ ගණනක්‌ බුදු ගුණ සිහිකරනවාය කියන ලෝභ සිතිවිල්ල පරාජය කොට, අලෝභය නමැති කුසල් සිතිවිල්ල ඇතිකරගන්න පුළුවන් වෙනවා. මොකද බුදුගුණ ලක්‍ෂ ගණනින් සඡ්ජායනය කළත් අර්ථවත් ප්‍රතිඵලයක්‌ නැහැ. අපි දවසේ නිතරම ලෝභ, ද්වේශ, මෝහ සිතිවිලි සකස්‌කරගන්නවා නම්, අවසානයේදී අපි මුලා වුණා පමණයි. එනිසා ධර්ම මාර්ගයේ අර්ථවත් දිශාවටම ගමන් කරන්න. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්, සැපයේ සතුරන් බව, භාවනාවට බාධාවක්‌ බව, භාවනා කිරීමට පෙර හඳුනාගන්න.

මේ මොහොතේ තවත් එක්‌ කාරණාවක්‌ මතකයට එනවා. එක්‌තරා වයෝවෘද්ධ කැපකරු මහත්තයෙක්‌ භික්‍ෂුවට ප්‍රශ්නයක්‌ යොමුකළා. “මම නිතරම භික්‍ෂූන් වහන්සේලාව බස්‌ වලට නග්ගවන්න, බෙහෙත් අරන්දෙන්න යනවා. මම මේ කටයුතු කරන්නේ බොහොම ගෞරවයෙන්. මේ කටයුතුවලට මම පාරට ඇවිත් ස්‌වාමීන්වහන්සේලාව වඩම්වගෙන යන්න වාහනවලට අත දික්‌කළාට වාහන නවත්වන්නේ නැති වෙලාවල් තිබෙනවා. සමහර බස්‌රථ නතර කරන්නේ නැහැ. මේ වෙලාවට මට හුඟක්‌ කේන්ති යනවා. සමහර දායක පිරිස්‌ තම නියමිත දිනයේදී දානය අරගෙන එන්නේ නැහැ. මේ වෙලාවටත් මට කේන්ති යවනා. මම ඒ මිනිස්‌සුන්ට බණිනවා. මම මේ කේන්ති යනවා, ද්වේශය සකස්‌කරගන්නේ ස්‌වාමීන්වහන්සේලා වෙනුවෙන් නිසා එම කේන්ති ගැනීම අකුසලයක්‌ වෙන්නේ නැහැ නේද?” කියලා.

මේ කැපකරු මහත්තයා අවංකවම සිතාගෙන සිටින්නේ ස්‌වාමීන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් වලදී, අන්‍යයන් සමග කේන්ති ගැනීම, අන්‍යයන්ට ද්වේශ කිරීම අකුසලයක්‌ සිදුවන කාරණයක්‌ නොවෙයි කියලා. ඒ විදිහට හෝ ස්‌වාමීන්වහන්සේලා වෙනුවෙන් පෙනී සිටීම කුසලයක්‌ කියලා. බලන්න මෝහය කියන කාරණයේ බරපතලකම.

ඒ මොහොතේ ඒ කැපකරු මහත්තයාට භික්‍ෂුව කෙටියෙන් ප්‍රකාශ කළේ “මහත්තයෝ, භික්‍ෂුවක්‌ උදෙසා නෙමෙයි, බුදුරජාණන්වහන්සේ උදෙසා හෝ ඔබ අන්‍යයන් සමග ද්වේශයක්‌ ඇතිකරගත්තොත් එය ද්වේශයක්‌මයි” කියලා. එය අකුසලයක්‌මය කියලා.

මේ කැපකරු මහත්තයා ස්‌වාමීන්වහන්සේලාට බොහොම ගෞරව කරන, නිතර බුදුගුණ භාවනාව කරන පිංවතෙක්‌ නිසයි උදාහරණයක්‌ වශයෙන් මෙය සටහන් කළේ. ඔබත් බොහොම පරෙස්‌සමින්…

ලෝභ, ද්වේශ, මෝහ සක්‌කාය දිට්‌ඨ§යේ ගජ මිතුරන්මයි. එමනිසා පිංවත් ඔබ පන්සල, ආරණ්‍යය, පිංකම… මේ කිසිවක්‌ හේතුවෙන් ලෝභ ද්වේෂ මෝහ අකුසල් සිතිවිලි සකස්‌ කරගන්න එපා. ඒවාද අකුසල්මයි. ඔබ එසේ ද්වේශය ඇති කරගන්නවා නම්, ඒ ඔබ ද්වේශ කරන්නේ ඔබ තුළම ඇති මෝහයට බව සිතන්න . ද්වේශයත්, මෝහයත් ඔබේම නම් ප්‍රතිඵලද ඔබේම බව සිතන්න.

පිංවත් ඔබ, ඉහතින් සඳහන් කළ කරුණු ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන අයෙක්‌ නම්, ඔබට බාධාවකින් තොරව චිත්ත සමාධිය සකස්‌කොටගෙන අනිත්‍ය ධර්මයන් වැඩීමට හැකියාව ලැබෙතැයි ඔබටම දැනෙනු ඇත. ඉහත කාරණා, සද්ධර්ම ශ්‍රවණයත්, ශීල සමාධි ප්‍රඥා විමුක්‌ති මාර්ගය ගැන සාකච්ජාවත්, කල්‍යාණමිත්‍ර ඇසුරත් තුළින් අර්ථවත් කරගැනීමත් උදෙසා, නිවන් අවබෝධයෙන් සැනසෙන්නට ලැබුණු මේ උතුම් මොහොතේ පිංවත් ඔබ වීර්යය වඩන්න.