පින්වත් භික්‍ෂුන් වහන්සේ විසින් මේ ලිපිය අප අතට පත්කළේ 2011 වසර අගදීය. ඒ වන විට මායාවරුන්ගේ දින දසුන ඈඳා ගනිමින් 2012 වසරේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන සැකයක්, බියක්, මතවාදයක් ලෝකයා තුළ විය. මේ ගැන අහම්බයෙන් දැනගන්නට ලැබුණු උන්වහන්සේ, එය ධර්මයට ගලපමින්, ධර්මය තුළ වන රැකවරණය සඳහන් කරමින් තැබූ මෙම සටහන, එම වකවානුවෙන් වසර කිහිපයක් ගෙවී ඇති අද සිට ආපසු හැරී බැලීමේදී, එම ධර්ම කරුණුවල ගැලපීම පිළිබඳ පින්වත් ඔබට අදහසක් ගතහැකි සාධකයක් යැයි සිතමු.

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටියට පැමිණි ආගන්තුක වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා වසර 2012දී ලෝකයේ සිදුවන යම් අසහනකාරී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් ලෝකයා කතාබහ කරන බව. පිංවත් උන්වහන්සේද ඒ ගැන රටේ ලෝකේ කතාකරන මතවාද කිහිපයක්‌ම ප්‍රකාශ කළා. භික්‍ෂුවට මේ ගැන කිසිදු දැනීමක්‌ නැහැ. ඔය වගේ කිහිපදෙනෙක්‌ කියපු දේවල් අසා තිබෙනවා පමණයි. මේ සිද්ධිය මෙතැනින් අහවර වුණා. එය හුදෙක්‌ පිළිසඳරක්‌ පමණක්‌ වුණා. එක්‌තරා භික්‍ෂුවක්‌ ඉහත සිතිවිල්ල සිතමින් සිට අරමුණු වලින් බැහැරව හුදෙකලා කුටියේ සමාධිමත්ව වැඩසිටින විට භික්‍ෂුවට ඇසෙනවා.

අප ශ්‍රී ලංකා මාතා… නමෝ නමෝ නමෝ නමෝ මාතා… ශ්‍රී ලංකා ජාතික ගීය (සම්පූර්ණයෙන්ම)

මෙය ගැයෙන්නේ පිරිමි සහ කාන්තා කටහඬින්. භික්‍ෂුව අරමුණු නොකරම, මේ ඇසෙන්නේ දිව්‍ය ශ්‍රොaත හඬ. ඒ කියන්නේ දෙවියන්ගේ හඬ.

එම ගීතයේ හඬ සමග සංගීත රාවය එකදිගට භික්‍ෂුවට ඇසෙන්නට පටන්ගත්තා. වේලාව අලුයම 1ට පමණ ඇති. වනගත මුළු ප්‍රදේශයම දැඩි නිහඬතාවක තිබුණා. භික්‍ෂුවට දැනුණේ භික්‍ෂුව මොහොතකට පෙර සිතමින් සිටි සිතිවිල්ල. 2012 වසර කෙරෙහි දෙවියන්ගේ ප්‍රතිචාරය තමයි දිව්‍ය ශ්‍රෝත තුළින් ඇසෙන්නේ. භික්‍ෂුව ලැබූ මේ අත්දැකීම පිංවත් ඔබට මෙහි සටහන් කරන්නේ ලෝකයා සමඟ සසඳා බලනකොට පිංවත් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා ඔබට දැනගන්නයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල වල වැඩසිටින දෙවියන් හැමවිටම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ කියලා. එම දෙවියන් මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ මනුෂ්‍ය ගඳ දෙවියන්ට ඉවසන්නට බැරි නිසා. මෙතැනදී මනුෂ්‍යයාගේ ගඳ කියලා කියන්නේ මනුෂ්‍යයාගේ දහඩිය ගඳ නොවෙයි. මනුෂ්‍යයාගේ දුසිල්වත්භාවයේ ගඳ, අසත්පුරුෂභාවයේ දුගඳ, තෘෂ්ණාවේ අපුල දුගඳ ඉවසන්න, දරන්න දෙවියන්ට බැරි නිසයි දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට වඩා යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින්නේ. නමුත් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරිසිදු පිංවත් මනුෂ්‍යයන් ළඟට දෙවියන් එනවා. දෙවියන් එම පිංවතුන්ට ආශිර්වාද කරනවා. පිංවත් ඔබට, මට මනුෂ්‍ය ලෝකයේ සිට සශ්‍රීක දිව්‍යතල වලට ඇති දුර යොදුන් ලක්‍ෂ ගණනක්‌ වුවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්ම මාර්ගය තුළ එම දිව්‍ය තලවල හඬ ගෙදර තිබෙන ගුවන් විදුලියේ හඬ තරමටම අපට සමීපකොට දී තිබෙනවා. මේ සම්මා සම්බුදු ඥානයේ උතුම් ආශ්චර්යයි. සමාධියේ ආශ්චර්යයෙන් අත්දකින ලෝකය විදර්ශනාවේ අවබෝධයෙන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකිමින් ලෝකයෙන් මිදෙන මාර්ගයක්‌ බෞද්ධ අපට උරුමකර දී තිබෙනවා.

මේ ආශ්චර්යය දකිද්දී, ඇසෙද්දී, කියවද්දී තෙරුවන් කෙරෙහිමයි පිංවත් ඔබ ශ්‍රද්ධාව සකස්‌කොට ගතයුත්තේ. පිංවත් ඔබටත් මේ සම්බුදු උණුසුම උරුමයි. මාර්ගය තුළ නිවැරැදිව ගමන්කළොත් මනුෂ්‍යයින්ට යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින දෙවියන්, දිව්‍යාංගනාවන් කියන්නේ අතීත මනුෂ්‍ය ජීවිත වල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, දානයේ, ශීලයේ ඵලයයි. මනුෂ්‍ය ලෝකයේ කුණුකසළ, අපුල, ගේ දොර ඉඩකඩම්, සැමියා, බිරිඳ, දූ දරුවන්, කීර්ති ප්‍රශංශා, නිලතල වලට ඇති ජන්ද රාගයේ විෂ තාවකාලිකව මරාදැමූ උතුම් ශිල්වතුන්ගේ සුගති භූමියයි සශ්‍රීක දිව්‍ය තල කියන්නේ. මෙවන් සුගති භූමිවල වැඩසිටින දෙවියන් මේ පුණ්‍යදීපයට සෞභාග්‍යයක්‌ වේවා කියලා දිව්‍ය සංගීතයෙන් ආශිර්වාද කරනවා. බලන්න පිංවත් ඔබ නොදකින, පිංවත් ඔබ නොසිතන, කහවණු, ඩොලර්, රියාල් පසුපස්‌සේ හඹායන බැංකු ගිණුමේ ඉලක්‌කම් පේළිය වැඩිකරගැනීම උදෙසාම වෙහෙසෙන පිංවත් ඔබ අමතක කළා වූ මතකයක්‌ දෙවියන්ට තිබෙනවා. දෙවිවරු දන්නවා තමන්ට මෙවන් අසිරිමත් දිව්‍ය සැපයක්‌ ලබාගැනීමට උපකාර වූ සද්ධර්මය අවංකවම, විවෘතවම, තවමත් බබළන්නේ මේ ධර්මද්වීපයේය කියලා. නමුත් මේ ධර්මද්වීපයේ උතුම් මනුෂ්‍යයින් හැටියට ඉපදිලා පිංවත් අපි මුදලට, කීර්තියට, දේපළට වැඳවැටෙමින් ඒවා මත්තේම අපේ උතුම් බෞද්ධකම දුර්වල කරගත්තත් ඒ සශ්‍රික දෙවියන් සද්ධර්මය හේතුවෙන් ලබාගත් ඒ සශ්‍රීක දිව්‍යශ්‍රීය අත්විඳිමින්ම ඒ සද්ධර්මය තවමත් බැබළෙන මේ පිංබිමට, ශ්‍රී ලංකා මාතාවට ‘නමෝ නමෝ මාතා’ කියලා නමස්‌කාර කරනවා ගීතයෙන්. මේ උතුම් රට රැකේවා, චිරාත් කාලයක්‌ දිනේවා කියලා.

දෙවියන් එහෙම මේ උතුම් රටට චිරාත් කාලයක්‌ දිනේවා කියලා ආශිර්වාද කරන්නේ ඔබ අප මෙන් කුණුකසළ ලෞකික සම්පත් බලාපොරොත්තුවෙන් නොව මේ උතුම් සද්ධර්මයේ ආරක්‍ෂාව, මේ උතුම් ධර්මය එක දිනක්‌ හෝ වැඩිපුර ආරක්‍ෂාවී පවතීවා කියන සත්පුරුෂභාවයෙන්මයි. දෙවිවරු හොඳින් දන්නවා තමන් යම් දවසක දිව්‍ය සැප අහවර වී දිව්‍ය තල වලින් චුතවුවහොත් නැවත දෙවියෙක්‌ වීමටනම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවතින්න ඕනේය කියලා. ඒ වගේම පිංවත් දෙවියන් දන්නවා මේ ගෞතම ශාසනය අවසන් මොහොත දක්‌වා රැකෙන්නේ මේ උතුම් පින් බිමේමයි කියලා.

සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන්ගේ අම්මා කියන්නේ සද්ධර්මයට. සද්ධර්මය නැමැති අම්මාගෙන් තමයි, එහි ඵලයෙන් තමයි දිව්‍ය සම්පත් දෙවියන්ට ලැබෙන්නේ. බලන්න සද්ධර්මයට දෙවියන් මොනතරම් කෘතගුණ සලකනවාද කියලා. නමුත් උතුම් සුගතිභූමියක්‌ වන මේ මනුෂ්‍ය ලෝකයේ උරුමය ලැබූ ඔබ දවසකට එක පැයක්‌ සද්ධර්මය වෙනුවෙන් කැපවෙනවාද? ඔබ ලබන ආදායමෙන් අවම වශයෙන් සියයට දහයක්‌ වත් කර්මය, කරමඵල විශ්වාසයෙන්, තෘෂ්ණාවෙන් තොරව දන් දෙනවාද? අවම වශයෙන් පංචශීලය නිතිපතා ආරක්‍ෂා කරගන්න උත්සහ ගන්නවාද? ලෝකයාට නොවේ, අවම වශයෙන් තම සැමියා, බිරිඳට, එසේත් නැතිනම් අසල්වැසියාටවත් මෛත්‍රිය වඩනවාද? පිංවත් ඔබේම හදවතට තට්‌ටුකර ඔබම අසන්න. උත්තරය ‘නැහැ’ නම් පිංවත් ඔබ අසත්පුරුෂයෙක්‌ බව ඔබම දකින්න නිහතමානී වෙන්න. මොකද ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ලබාගන්න උපකාරවූ උතුම් ධර්මයන්ට ඔබ කෘතවේදී නොවන නිසා. පිංවත් ඔබට දෙවියන් නොපෙනුණාට දෙවියන්ට ඔබව පෙනෙන බව සිතන්න. උපක්‍රමශීලීව එහෙම සිතාවත් වහ වහා නිවැරදි වෙන්න. ලෝකයාව රවට්‌ටන්න අපිට පුළුවන් වෙන්න පුළුවන්. එහෙත් ලෝක ධර්මතාවයන් රවට්‌ටන්න අපට බැහැ. ඒ වගේමයි. මනුෂ්‍යයින්ව රවට්‌ටන්න අපට පුළුවන්, නමුත් සශ්‍රික දිව්‍යතල වල දෙවියන් රවට්‌ටන්න අපට බැහැ. අප හොඳින් මතක තබාගන්න ඕනේ, සතුටින් සිනාසෙමින් ලෝකයාට වහන්වෙමින් අපි කොතෙක්‌ වැරදි කළත්, එම දුසිල්වත්භාවයේ විපාකයන් නිසා මරණින් මතු නිරයට වැටුණොත් නිරයේදී ඔබට මුණගැසෙන යම රජුත් සශ්‍රික දිව්‍ය තලයකට සිටින දෙවිකෙනෙක්‌ම බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව මනුෂ්‍ය ලෝකයේදී සියල්ල ඔබ මුදලට ගත්තත් යමරජු ඉදිරියේ ඔබ නිරිසතෙක්‌ බව සිහිතබාගත යුතුය. උපරිම අවුරුදු 80ක ජීවිතයක්‌ උදෙසා, තාවකාලික තනතුරක්‌ උදෙසා ඇයි දෙයියනේ මේ උතුම් සද්ධර්මයෙන් බැහැරට ගොස්‌ නිරයට වැටෙන්නේ. මෙලොව පරලොව දෙකේදීම ඔබ අනාරක්‍ෂිත වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය අර්ථය තුළ මේ ජීවිතය දැකිය යුත්තේ නාසයෙන් ඉහළට ගත් ආශ්වාස පොද නාසයෙන් පිටවන මොහොතේ මේ ජීවිතයේ මරණය සිදුවේය කියන අර්ථයයි. නමුත් ලෝකය පවතිනවා, සංස්‌කාරකයන්ට නිජබිමක්‌ වෙමින්. ඒ නිසා කිසිවක්‌ අපට අවශ්‍ය විදිහට සිදුවන්නේ නැහැ. ලෝකයේ නිරතුරුවම අතුරු විනාශයන් සිදුවෙමින් පවතිනවා. සතර මහා ධාතුවේ කිපීම නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන්, ආත්මීය භාවයෙන් ගැනීම නිසා දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ වියරුභාවය, තෘෂ්ණාධිකභාවය නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. මේ ආකාරයේ විනාශයක්‌ වළක්‌වන්න දෙවියන්ට බැහැ. මොකද විනාශය කියන්නේ ධර්මය. ඒ කියන්නේ අනිත්‍යය. මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මේ ධර්මථාවයන්ට යටයි. නමුත් සුගතිභූමි වල වැඩසිටින මහේශාඛ්‍ය දෙවියන්ට පුළුවන් පිංවතුන්ට උපකාර කරන්න. මොකද ඒ අය සුරක්‍ෂිත නිසා. ඒ සුරක්‍ෂිතභාවය දෙවියන් ලබාගන්නේ ධර්මය තුළින්. ඉරවල් හතක්‌ පායා කල්ප විනාශයක්‌ සිදුවන මොහොතේත් මාර්ගඵල ලැබූ දෙවියන්, දිව්‍යාංගනාවන් සුරක්‍ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් මොහොතේ දිව්‍යතල වල වැඩසිටින දෙවිවරුන් ‘අප ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා’ කියලා මේ බොදු දේශයට ආශිර්වාද කරන්නේ ‘අප සුරක්‍ෂිතයි, පිංවත් මනුෂ්‍ය ඔබත් ශ්‍රී සද්ධර්මය තුළින් සුරක්‍ෂිත වෙන්න’ කියන කාරණය මතක්‌ කරන්නයි. බලන්න ධර්මයේ සුරක්‍ෂිතභාවයෙන් සිංහනාද කරන දෙවිවරු. ඒ දෙවියන් සිංහනාද කරන්නේ කල්ප විනාශයක්‌ පැමිණියත් අප සුරක්‍ෂිතයි කියලා. නමුත් මේ උතුම් සද්ධර්මය ජීවමානව පවතින මේ ධර්මද්වීපයේ මනුෂ්‍ය අපි සුනාමියක්‌ එයි, මිසයිලයක්‌ එයි, භූමිකම්පාවක්‌ එයි කියලා හැංගෙන්න බංකර් හදනවා. ශාන්තිකර්ම කරනවා. දේවාල පස්‌සේ දුවනවා. තවත් සරළව පැහැදිලි කරනවා නම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, දානයෙන් දුර්වලයි කියන කාරණයයි.

පිංවත් ඔබට බියක්‌ සකස්‌ වෙනවා නම් ඔබ කළ යුත්තේ බංකර් තැනීම, යන්ත්‍ර මත්‍ර, ශාන්තිකර්ම කිරීම නොව, සුරක්‍ෂිතභාවය සඳහා අවශ්‍ය ශ්‍රද්ධාව, ශීලය, දානය කියන බංකර තුන ශක්‌තිමත්ව ජීවිතය තුළින් ගොඩනගා ගැනීමය. කල්ප විනාශයකදීවත් එම බංකර බිඳින්න බැරිබවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා.