අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ.

අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ.

මේවා මෙනෙහි කරමින් ආත්ම විශ්වාසය, ආත්ම ශක්‌තිය වර්ධනය කරගන්න. ඔබ කවුද කියන කාරණය අතිශෝක්‌තියෙන් තොරව ඔබ දකින්න. ඔබ අතීත භවයන්හිදී නවත්වපු තැන මෙනෙහි කරන්න. ඔබ තුළ සැඟවුණු අයෝමය ශක්‌තිය මෙනෙහි කරමින් මතු කොට ගන්න. පිංවත් ඔබට සුනීතට සෝපාකට, කිසාගෝතමියට පිහිට වූවා සේ ඔබව ආශ්චර්යමත් පෙළහර මතුකොට දී සත්‍ය පසක්‌ කොට දෙන්න. වර්තමානයේ ජීවමාන ලොව්තුරා බුදුරජාණාන් වහන්සේ නමක්‌ නැහැ. ඒ නිසා ඔබ කවුද කියන කාරණය ඔබ තුළින්ම මතු කොට ගන්න.

මාන්නයෙන් තොර වූ අයෝමය ආත්මශක්‌තියත් ඔබ තුළින්ම මතු කොටගෙන, භාවනාවට යොමු වෙන්න. සමාධියේ ආශ්වාදය උදෙසා නොව, වේදනාවේ නිරෝධය සඳහා ඉලක්‌කය යොමු කරන්න. අතීතයේ ඔබ දිග්විජය කළ ධ්‍යාන ඵලයන් ගැන නැවත වර්තමානයේ මොහොතක්‌ හෝ, තෘෂ්ණාව ඇති නොකරගන්න. එවැනි සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතක සතුරා තෘෂ්ණාව නිසා අරමුණු වන, සෑම රූපයක්‌ම අනිත්‍ය සංඥාවෙන්ම මෙනෙහි කරන්න. කොතැනකවත් තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කරන්න එපා. තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කළොත් එහි ඵලය, දුකම බව දකින්න. අතීත භවයන්හිදී රූපී අරූපී බ්‍රහ්මතල ස්‌පර්ශ කිරීමට සමත් ධ්‍යාන ශක්‌තිය ඔබ ලැබූවත් එම සංස්‌කාරයෝ අනිත්‍ය බව මේ මොහොතේ ඔබේ ජීවිතය තුළින් දකින්න.

යමක්‌ අනිත්‍ය නම්, එය දුකයි නේද? එසේනම් එම දුක පසුපස පරණ පුරුද්දට නැවත නොයන්න. මෙය සටහන් කරන භික්‍ෂුව එක තත්පරයකදී හෝ ධ්‍යාන අවස්‌ථාවක්‌ පිළිබඳ තෘෂ්ණාවක්‌ සකස්‌කොට නොගත් බව කියමි. අනිත්‍යභාවයට පත්වන ධ්‍යානයන්, ධ්‍යාන ස්‌වභාවයෙන්ම තිබේවී. නැතිවේවී. ඔබ ඒ දුක කරට ගන්න යන්න එපා. දුක ප්‍රයෝජනයට ගෙන සැබෑම සැපය ලබාදෙන මාර්ගයට අවතීර්ණ වන්න. පිංවත් ඔබ භාවනාවට යොමුවෙන්නේ හුදු කායික මානසික විවේකයක්‌ සකස්‌කොට ගැනීමට නම් ඉහත අදහස්‌ ඔබට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් එවැනි පිංවතුන් සිතන්න ඕනේ, අනිත්‍යභාවයට පත්වෙන විවේකයක්‌ උදෙසා, අනිත්‍යභාවයට පත්වෙන සමාධියක්‌ පසුපස යැම අර්ථයක්‌ නොවන බව.

සමාජය සංකීර්ණභාවයට පත්කර ඇත්තේ තෘෂ්ණාව විසින්මයි. එම සංකීර්ණභාවයෙන් ඔබ තුළ සකස්‌වෙන මානසික පීඩනයෙන් මිදීම සඳහා, ඔබ සමාධි භාවනාවක්‌ කෙරෙහි තෘෂ්ණාව සකස්‌කොටගෙන භාවනාවට යොමුවෙනවා. එය බොහොම හොඳ දෙයක්‌. නමුත් මෙතැනදි ඔබ දක්‍ෂ නම්, ඔබ තුළ ඇතිවන මානසික පීඩනය සකස්‌ කළෙත් තෘෂ්ණාවයි, ඉන් මිදීමට සමාධිභාවනාවන් කෙරෙහි සකස්‌ වුණෙත් තෘෂ්ණාවමයි කියලා හිතන්න, ඒ ඔබ දකින්නේ තෘෂ්ණාවෙන් මිදීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඔබ එක සිතිවිල්ලක්‌ නුවනින් සකස්‌කොටගත් සැනින්, අර්ථවත් ලෙස මාර්ගයට අවතීර්ණ වෙනවා. මොකද ඔබ අතීතයේ රූපී, අරූපී සංඥා ස්‌පර්ශ කර අත්දැකීම් තියෙන නිසා. ඒවා අනිත්‍යයි කියන සංඥාව මතුකරගැනීමට ඔබට අපහසු නැහැ. එසේ නොවුනහොත් ඔබ අතීත භවයන්හිදී පටලවාගත් සේ, මෙවරද පටලවාගනු ඇත. භාවනා කිරීමට කැමැත්ත අත්‍යවශ්‍යය. එහෙත් ඔබගේ සිත සමාධිමත් භාවයට පත්වූ සැනින්, එම කැමැත්ත අනිත්‍ය සංඥාවට යොමුකිරීමට ඔබ දක්‍ෂ විය යුතුය. කැමැත්තෙත්, අකමැත්තෙත් අනිත්‍යභාවය ඔබ විදර්ශනාවට ලක්‌කළ යුතුය. ඒ නිසා අනිත්‍යභාවයට පත්වෙන සමාධිමත් සිත උපයෝගිකරගෙන ප්‍රඥාවේ ඇත්ත සොයායැමයි ඔබ කළ යුත්තේ. ඔබ අතීතයේ නොකළ එකම දෙයත් එයමයි. එම නිසා අතීතයේ නොකළ එකම දෙය වර්තමානයේ කරන්න. තමා තමාව කමටහනක්‌ කරගන්න.

දුර බලන්න අවශ්‍ය නැහැ. ළඟ බලන්න අවශ්‍යත් නැහැ. තමා තමා දෙස බලන්න. මොකද ඔබ ගොඩනගාගත් ලෝකය තිබෙන්නේ තමා තුළ නිසා. තෘෂ්ණාව නිසා තමා තුළ තමා සකස්‌කොටගෙන ඇති ලෝකය දෙස බලන්න. ඒ ලෝකය තුළ ඇස, කන, නාසය, දිව, මනස, කය තිබෙනවා. ඒ ලෝකය තුළ ඉර, හඳ, තරු, අම්මා, තාත්තා, දරුවා සිටිනවා. ඔබ මේ සියල්ල මගේ ලෝකය තුළ බැඳගෙන සිටින්නේ තෘෂ්ණාව නැමැති යදමින්. තෘෂ්ණාව නැමැති සංසාරයක්‌ පුරාවට ශක්‌තිමත්ව වැඩුණු යදම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කර සිඳ දමා ගතහොත් ඔබට ඉහත ලෝකය අතහැරෙනවා.

නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌, කනක්‌, දිවක්‌, නාසයක්‌, මනසක්‌, කයක්‌ තිබෙනවා. අහස, පොළොව, අම්මා, තාත්තා ඉන්නවා. නමුත් මේවා මගේ කරගත් තෘෂ්ණාව ක්‍ෂයවෙලා. ලෝකයට අයිති දුකෙන් නිදහස්‌ වෙලා. ඔබ භාවනා කිරීමට පෙර, දුකත්, දුකට හේතුවත් වෙන්කොට හඳුනාගන්න. මේ දේවල් මෙනෙහි කරන්න පිංවත් ඔබට එරමිනියා ගොතාගෙන ඉන්න අවශ්‍යම නැහැ. විවේක සෑම මොහොතකම මේ කාරණා ගැන මෙනෙහි කරන්න.