ලෝකය නොනවතින ගමනක යනවා. ලෝකයාගේ මේ ගමන දැනුමෙන්, හැකියාවෙන්ගෙන්, නවතම සොයාගැනීම් වලින් පරිපූර්ණ එකක්‌. පසුකරන සෑම කඩ ඉමක්‌ම අලුත් දෙයක්‌ ලෝකයට ඉදිරිපත් කරනවා. ලෝකයාට ඉදිරිපත් කරන තාක්‍ෂණයේ ප්‍රගතිය තුළින් ජනතාවට ප්‍රයෝජනයක්‌, පහසුවක්‌ තාවකාලිකව උදාකරනවා. නමුත් ඒ පහසුව තුළින් ඉතිරිවෙන විවේකය මනුෂ්‍යයා යොමුකරගන්නේ තව තවත් අවිවේකී දිශාවන්ටමයි. තාක්‍ෂණය මාරයා වශයෙන් හඳුනාගෙන තාක්‍ෂණය නිසාම ඔබට ලැබෙන කාලයේ ඉතිරිය මාරයාට එරෙහිව තම ධර්ම මාර්ගය ශක්‌තිමත් කිරීමට යොමුකර ගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. එක පර්යේෂණාගාරයක මනුෂ්‍යයාගේ ආයුකාලය වැඩිකරගැනීමට ඇත. හැකියාව ඖෂධවලින් සොයනවිට තවත් විද්‍යාගාරයක මස්‌ පිණිස ඇති කරන සතුන් ඉක්‌මනින් තර කොට මැරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සොයනවා. මේ කිසිවෙක්‌ මනුෂ්‍යයා මරණින් පසු ඌරෙක්‌, හරකෙක්‌, එළුවෙක්‌, බැටළුවෙක්‌, කුකුලෙක්‌ වෙන්නේ ඇයිද? කියලා සොයන්නේ නැහැ. මීට වඩා රෝගයක්‌, මීට වඩා වෛරයක්‌ ලෝකය තුළ තිබෙනවාද. වර්තමාන ලෝකයට දැනුමේ කීර්තිය නිසා ප්‍රඥාව මෝදුවෙන්නේ නැහැ. අලුත් සොයාගැනීම් ඉදිරිපත් කරන මහත්වරුන් ලෝකයාගේ සම්මානයට, ගෞවරයට පාත්‍රවෙනවා. යම් මහත්මයෙක්‌ යම් දෙයක්‌ තම පර්යේෂණ තුළින් සොයාගෙන ඔහුට ඒ සඳහා සම්මාන ගෞරව දක්‌වන විට තව මහත්මයෙක්‌ එම සොයාගැනීම ඊටත් වඩා ගුණාත්මක තත්වයට උසස්‌කර ඔහුද සම්මානයට පාත්‍රවෙනවා. සොයාගැනීම් වලින්ද නිමාවක්‌ නොමැති, සොයාගන්නන්ගෙන්ද නිමාවක්‌ නොමැති ලෝකයක්‌ තුළ අපිත් අදට වඩා හොඳ හෙටක්‌ බලාපොරොත්තුවෙන් මොකක්‌ හෝ දෙයක්‌ සොයනවා. ලෝකයේ කලබලකාරී ස්‌වභාවය ගැන බැලීමේදී මේ සොයන කිසිවෙකුට තමා සොයන දෙය හමුවී නොමැති බවයි පෙනෙන්නේ. ඒකයි මේ පෙරල පෙරලා තවත් සොයන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකය පෙරල පෙරලා සෙවීම වෙනුවට තමාගේ ජීවිතය තුළින්ම ලෝකය දකින හැටි ඉදිරිපත් කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වීමට පෙරාතුව දඹදිව විමුක්‌තිය සොයන කණ්‌ඩායම් 62 ක්‌ සිටියා. මේ අය එසේ මෙසේ අය නොවේ. විශාල ශ්‍රාවක පිරිස්‌ සිව්පසයෙන් සශ්‍රික, රජසිටුවරු ඇසුරු කරපු කණ්‌ඩායම්. මේ හැම දෙයකින්ම ලෝකයට ප්‍රකාශ කළේ තම ශ්‍රාවකයින්ට ප්‍රකාශකලේ කරන්න බැරිදෙයක්‌මයි. සමහරු තම ශ්‍රාවකයින් හරකුන් බල්ලන් මෙන් හැසිරීමට උගන්නවා එය ඔවුන් විමුක්‌ති මාර්ගය ලෙස හැඳින්වූවා. තවත් සමහරු නිර්වස්‌ත්‍රව ජීවත් වෙමින් ජලයේ බැස ජීවත් වෙමින් අව්වේ වේලෙමින් සිටිමින් තම විමුක්‌ති මාර්ගය ලැබෙනා බව විශ්වාස කළා.

තවත් සමහරු දිව්‍යතලයක, බ්‍රහ්ම තලයක සිත පිහිටෙව්වා. එය විමුක්‌තිය හැටියට දැක්‌කා. මේ කිසිම කණ්‌ඩායමක්‌ සැබෑ අවසානයක්‌ දකින්න පුළුවන් දෙයක්‌ නොවේ ලෝකයට ඉදිරිපත් කළේ. කරල ඉවරයක්‌ කරන්න බැරි දෙයක්‌මයි. මේවා තුළින් විමුක්‌තියක්‌ නොවේ දේශනා වුණේ. සිරගතවීමක්‌. නැවතීමක්‌ නම් නොවේ, ලෝකයාගේ ගමන තවත් විකෘතියක්‌ වීමයි සිද්ධවුණේ.

ආලෝකය නොදැක්‌ක මිනිස්‌සු අඳුර වර්ණනා කරන්නේ ගොඩක්‌ ලස්‌සනට, හැඟීම්බරවයි. මෙවැනි මිනිස්‌සුන්ගෙන් පිරුණු ලෝකයකම බිහිවූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කරන්න බැරි දේවල්, කරලා ඉවරයක්‌ කරන්න බැරි දේවල්, කරලා වැඩක්‌ නැති දේවල් කරන්නය කියලා කිසිදාක දේශනා කළේ නැහැ. බුදුරජාණන්වහන්සේ පැහැදිළිව දේශනා කරනවා, “මේ ලෝක ධාතුව බොහොම සංකීර්ණයි. ලෝකය සොයන්න යන්න, එය වෙනස්‌ කරන්න යන්න එපා” කියලා. එය නිශ්ඵල ක්‍රියාවක්‌. ලෝකය කියන්නේ ස්‌වභාවයෙන්ම වෙනස්‌වෙන තැනක්‌. එහි අපට වෙනස්‌ කරන්න දෙයක්‌ නැහැ. මොකද අපිත් වෙනස්‌ වෙනවා. අපි වෙනස්‌වෙනකොට අපි ගැන සොයන්න කෙනෙක්‌ නැහැ. අපි වෙනස්‌ වෙනවා කියන්නේ අපිත් ජරා, ව්‍යාධි මරණ වලට ලක්‌වෙනවා. ලෝකය වෙනස්‌ කරන්න යන ගමනේ කොතැනකදී හෝ අපිවත් මරණයට පත්වෙනවා. එහෙම මියගිහින් අපි අභ්‍යවකාශ ප්‍රේතයින්, විද්‍යාගාර ප්‍රේතයින් වෙලා උපත ලබයි. ඔබෙන් පස්‌සේ තව මහත්තයෙක්‌ ඔබේ තනතුරට පත්වේවී. ඒත් ප්‍රේතයෙක්‌ වුණ ඔබ අසරණ වෙනවා. ලෝකයත් අපිත් සෑම නිමේෂයක වෙනස්‌ වෙනවා. ලෝක ධාතුව නැමති විෂය ලොව්තුරා බදුරජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුද්ධ ඥාණයට පමණක්‌ විෂයවෙන දෙයක්‌. ඒ නිසා මුළු ලෝකධාතුවම අමතක කරලා මේ නාම රූප දෙකට ලෝකය ගෙනත් පෙන්නුවා. බැරි දෙයින් වලක්‌වලා පුළුවන් දෙය දේශණා කළා. ලෝකය කවදාත් තෘෂ්ණාව පස්‌සේ ලෝකය තුළ දුවනවා. ලෝකයේ අවසානය සොයන්න දිව ගොස්‌ අවසානය තබා ආරම්භයවත් නොදැක සංවේගයට, මරණයට පත්වු දෙවියන් අතීතයේ සිටියා. මේ කවුරුත් අවසානයේ සැනසුනේ බුදුරජාණන් වහන්සේ සෙවනේමයි. මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. ඒ ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර පර්යේෂණාගාර තුළදී නොවු පංචනීවරණයන් යටපත් නොවූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය.