භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක්‌ දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් යුක්‌තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්‌, අත් දිග සුදු හැට්‌ටයක්‌. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක්‌ වගේ පුටුවක්‌ ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා වගේයි පෙනෙන්නේ. එම භික්‍ෂුව උතුම් සමාධියෙන් අරමුණු කරල බලනවා ඇය පෙර ජීවිතයේ කවරෙක්‌ද කියලා. ඇය කාලයකට පෙර මේ ගමේම ජීවත්වුණ වයෝවෘද්ධ ශීලවත් උපාසිකාවක්‌. ඇය ගිහිඋපාසිකාවක්‌ හැටියට බොහෝම දක්‍ෂයි ස්‌වාමීන් වහන්සේලාට ආසන පනවන්නට. ඇයගේ නිවසට යම් ස්‌වාමීන් වහනසේ නමක්‌ වැඩියත්, ඇය ආරණ්‍යයට ගියත් බොහෝම සුවපහසුව ස්‌වාමීන් වහන්සේලාට වැඩසිටින්න ගෞරවණීය ලෙස ආසන පනවල තිබෙනවා. නමුත් කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලභාවයන් නිසාම ඇයට ධර්මයේ නියම හරයක්‌ ජීවිතයට ලැබිල නැහැ. ඒ නිසාම ඇය මැරෙන වෙලාවේ ඇය තමා සිදුකළ භික්‍ෂුවකට ආසන පැනවීමේ පිංකමක්‌ තමයි සිහිවෙලා තිබෙන්නේ. එම උපාදානයට අදාළව එම පිනට විපාක හැටියට සිංහාසනයක්‌ වැනි පුටුවක වාඩිවුණ සෘද්ධිමත් භාවය ඇති සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයක්‌ ලැබිල තිබෙනවා. ඉහත කාරණයෙනුත් පිංවත් ඔබට පැහැදිලි වෙනවා කෙනෙකුගේ ඊළඟ ජීවිතය තීරණය වන්නේ තමා තුළින්මය කියලා.

එක පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. ඊළඟ ජීවිතයේ අපි කවුරුන් වෙනවාද කියල. කවුරුන් විසින්ද තීරණය කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌, මනුෂ්‍යයෙක්‌ එසේත් නැතිනම් වෙනත් අදෘෂ්‍යමාණ බලවේගයක්‌ නොවෙයි ඊළඟ ප්‍රතිසන්ධිය තීරණය කරන්නේ කියලා. උපාදානයයි මීළඟ උපත තීරණය කරන්නේ කියලා. උපාදානය සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නිසා. එහෙම නම් තමා තුළයි තීරකයා සිටින්නේ. එම තීරකයා අවසාන පංච උපාදානස්‌කන්ධය වන චුති සිතයි. තමාම තීරකයා වන ලොවක තෘෂ්ණාවේ ඇති භයානක භාවය නිසාම සතර අපායන්ට වැටී ඔබම විඳි දුක්‌ කන්දරාව නුවණින් දකිමින් සංසාර බිය ඇතිකරගන්න. මේ සංසාර බිය අපිට ඇති වූයේ ධර්මය අධර්මය ගැන නොදත් නිසාමයි. කළයුත්ත නොකළයුත්ත ගැන නොදත් නිසාමයි. එහෙමනම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබීම, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන්මයි අපි මේ විනාශයට වැටිල තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ශාසනයම රඳා පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මතය කියලා. එහෙම නම් භව නිරෝධයේ දුක නැති කිරීමේ ගමන රඳා පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මතමයි. එම නිසාම අඹු දරුවන් වස්‌තුව දේපළ වලට තබන විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක්‌ කළ්‍යාණ මිත්‍රයා මතම තබන්න. කළ්‍යාණ මිත්‍ර ඇසුරින් තොර ජීවිතය ගැන බිය ඇති කරගන්න.

භික්‍ෂුව මුණගැසීමට එක්‌තරා ප්‍රභූ මහත්මයෙක්‌ පැමිණියා. එතුමා සමග තවත් තුන් දෙනෙක්‌ පැමිණ සිටියා. ඉන් එක මහත්මයෙක්‌ අවුරුදු 65 ක විතර මහත්මයෙක්‌. මේ මහත්මයා ධර්මයේ ගැඹුරු ප්‍රශ්න කිහිපයක්‌ම විමසුවා. ඇත්තටම භික්‍ෂුව හිතුවේ නෑ එවැනි ගැඹුරු ප්‍රශ්න මෙම කණ්‌ඩායම අසාවි කියලා. භික්‍ෂුවටත් හරි සතුටක්‌ ඇතිවුණා. ඒ වෙලාවේ භික්‍ෂුව එම ප්‍රභූ මහත්මයගෙන් විමසුවා මේ වයෝවෘද්ධ මහත්මයා කවුද කියලා. ඔහු සුදු සරමක්‌ කමිසයක්‌ ඇඳගෙන සිටියේ. ප්‍රභූ මහත්මයා කියනවා මේ වයෝවෘද්ධ මහත්මයා මගේ කළ්‍යාණ මිත්‍රය කියලා. මට ටිකක්‌ කේන්ති යන වැඩක්‌ වුණාම මම උපදෙස්‌ ගන්නේ මේ මහත්මයාගෙන් කියලා. සැබෑම කළ්‍යාණ මිත්‍රයා කියන්නේ අඩුම තරමින් සෝවාන් ඵලයට පත්වූ පිංවතායි. ඉන් පහළකෙනෙකුට සැබෑ කළ්‍යාණ මිත්‍රයෙක්‌ වෙන්නට තිබෙන ඉඩකඩ අඩුයි. නමුත් ඔහුටත් පුළුවන් හොඳ නරක කියලා දෙන්න. ධර්මය අධර්මය කියල දෙන්න, වැරුද්දෙන් මුදව ගන්න. එම නිසා තමා දක්‍ෂවෙන්න අවශ්‍යයි තමා කෙරෙහිම අනුකම්පාවෙන් සැබෑම කළ්‍යාණ මිත්‍රයෙක්‌ සොයා ගැනීමට අපහසුනම් සැබෑම කළ්‍යාණ මිත්‍රයෙකුගේ උපදෙස්‌ පිළිපැදීම ප්‍රශ්නයක්‌ නම්, තමාට වඩා ධර්මය ගරු කරන පිංවතුන්ගේ අවවාද අනුශාසනා ලබන්න. තමන්ට වඩා ගුණධර්මවලින් උසස්‌ කෙනෙක්‌වමයි තමන් නිතරම ආශ්‍රයට තෝරා ගත යුත්තේ. එහෙම කෙනෙක්‌ නැතිනම් තමාට සමාන ගුණධර්ම තිබෙන කෙනෙක්‌ ආශ්‍රයට තෝරාගන්න. එහෙම කෙනෙකු නැතිනම් හුදකලාව තනිව ජීවත් වෙන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.