පිංවත් ඔබේ දෑස්‌ ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස්‌ කරුවන්. සතර අපායෙන් එකක්‌ තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්‌දෙන ස්‌ථානයක්‌. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි. පෙර මනුෂ්‍යයින්ව ඉපිද අනුනට දුන් මරණ භිය, ජීවිත භිය, අනුනගේ ආයුෂ, වර්ණය, සැපය, බලය උදුරාගැනීම වැලක්‌වීම මගහැරීම හේතුවෙන් අත්වූ කර්ම විපාකයන්ය. ශීලයක්‌ ආරක්‍ෂා නොකිරීමේ, දන් නොදීමේ, මෛත්‍රී බුදුගුණ භාවනාවක්‌ නොවැඩීමේ විපාකයේ ස්‌වභාවය තිරිසන් ලෝකයේ ඉපිද අනුනට අහිමි කළ දෙයම තමන්ටද ඒ ආකාරයෙන්ම අහිමිව එකම දුක සිත්සේ විඳීමට සිදුවීමය. තිරිසන් ජීවිතයේaදී මේ සතුන් යම් තාවකාලික සැපයක්‌, ආශ්වාදයක්‌, ආහාරය නිසා කාමය නිසා ලැබුවද මොවුන් එය බුක්‌ති විඳීමේදීම එම සැපය නිසා සකස්‌ වෙන්නේද බරපතල අකුසලයකි. සංසාරික වශයෙන් දුකේ සංවර්ධනයකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර අපායේ දුක දීර්ඝ බව දේශනා කර වදාළේ ඉහත හේතුව නිසායි.

භික්‍ෂුව මෙහි සටහන් කරන්නේ ඉහත තිරිසන් ලෝකයේ කථාවක්‌ නොවේ. ඊට හාත් පසින්ම වෙනස්‌ සතර අපායටම අයිති ප්‍රේත තිරිසන් ලෝකයේ කථාවකි. ප්‍රේත තිරිසන් ලෝකයද සත්වයා අනන්ත දුක්‌ විඳින ස්‌ථානයකි. තිරිසන් සතුන් ලෙස ජීවත් වන සතුන් මරණින් මතු ප්‍රේත සතුන් ලෙස ඉපදීමට හේතු කිහිපයක්‌ භික්‍ෂුව අනුමාන කරයි.

විශේෂයෙන් එයට බලපාන්නේ තම කණ්‌ඩායම, රැල කෙරෙහි ඇති ඡනද රාගයයි තෘෂ්ණාවයි. ඒ නිසා සකස්‌වූ උපාධානයයි. දෙවැනි හේතුව තමාට අහාර, කරුණාව, ආරක්‍ෂාව දක්‌වන තම ස්‌වාමියා කෙරෙහි ඇති ඡන්ද රාගයයි, තෘෂ්ණාවයි. ස්‌වාමියා යනු සතුන් ඇති දැඩි කරන මනුෂ්‍යයාය. කැලයේ ජීවත්වන සතුන් මුල් හේතුව නිසා මරණින් මතු ප්‍රේත සතුන් ලෙස ප්‍රේත ලෝකයේ උපත ලබන අතර මිනිසුන් ඇසුරේ වැඩෙන සතුන් දෙවැනි හේතුව නිසා ප්‍රේත සතුන් ලෙස එම ලෝකයේ උපත ලබනු ඇත.

භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටියදී එම ආරණ්‍යයේ බළලුන් නව දෙනෙක්‌ දාන ශාලාව ආශ්‍රිතව ඇති දැඩිවෙමින් සිටියහ. දෑස්‌ අන්ධ සතුන් කිහිපදෙනෙක්‌ ද මේ අතර විය. මේ සෑම සතේක්‌ම සිටියේ නායක ස්‌වාමීන් වහන්සේගේ කරුණාව, මෛත්‍රී විඳිමින්ය. බළලුන් ප්‍රියකරන ආහාර සුලභව තිබිණි. හැබයි සමහර දිනවල බළලුන්ගේ මුත්‍රා සහිත පාපිසි, ඇතිරිලි සේදීමට මෙහිදී සිදුවිය. මෙම බළලුන්ගේ හොඳ ගතිගුණ වැඩිපුර තිබිණි. ස්‌වාමීන් වහන්සේලා හැර මේ සතුනට වෙනත් රැකවරණයක්‌ නොතිබිණි. ගෞරවණීය උපසම්පදා ස්‌වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධ ගැටලුද මෙහිදී ඇති නොවුණා නොවේ.

දිනක්‌ හිමිදිරි උදෑසන පහට පමණ භික්‍ෂුව තම කුටියේ සිට දාන ශාලාවේ ”වත” කිරීමට දාන ශාලාවට පැමිණෙනවිට දාන ශාලාවේ පිටත ආලින්දයේ සවිකර තිබූ වතුරකරාමය සහිත බේසමේ තැටිය මත අඩියක්‌ පමණ උසැති අළු පැහැති බළලෙක්‌ සිටගෙන සිටියේය. භික්‍ෂුව මුලින් හිතුවේ මේ ආරණ්‍යයේ සිටින බළලෙක්‌ කියලාය. භික්‍ෂුව ජල බේසමට කිට්‌ටුවන විට බළලා අතුරුදන් විය. අතුරුදන් වීමත් සමග මොහු ප්‍රේත බළලෙක්‌ ලෙස භික්‍ෂුව හඳුනාගත්තාය. මේ ප්‍රේත බළලා කවරෙක්‌ද යන්න භික්‍ෂුවට අනුමාන කළ හැකි තොරතුරක්‌ පසුව ලැබිණි.

මෙම ආරණ්‍යයේ ඇති දැඩිවෙන බළලූන් නව දෙනාගේ රැලේ මීට පෙර බොහෝම සුරතල් බළලෙක්‌ සිට ඇත. එම බළලා ගෞරවණීය ලොකු ස්‌වාමීන් වහන්සේගේ පසුපස නිතරම පැමිණෙන උන්වහන්සේගෙන් නොමදව කරුණාව ලද සතෙකි. මේ බළලා මීට පෙර මියගොස්‌ තිබිණි. මේ බළලා මියගිය අවස්‌ථාවේ නායක ස්‌වාමීන් වහන්සේගේ සත්ව කරුණාව නිසාම උන්වහන්සේගේ නෙතට කදුළු මතු කිරීමට සමත්වී ඇත. පසුව බළලා ගෞරවණීය ආකාරයට වළදමා තිබිණි. භික්‍ෂුව අනුමාන කරන්නේ එම මිය ගිය බළලා තම ස්‌වාමියා, රැළ, ස්‌ථානය කෙරෙහි ඇතිකරගත් ඡන්ද රාගය තෘෂ්ණාව නිසා එම ස්‌ථානයම උපාදානය කර ගෙන ප්‍රේත බළලෙක්‌ ලෙස උපත ලබන්නට ඇතිබවයි. මේ ප්‍රේත බළලා කවුරුවත් ඇසින් නොදැක්‌කාට මේ මොහොතේද එම ආරණ්‍යයේ මේසය මත තිබෙන ආහාර ඉව කරමින් ජීවත්වන අනෙක්‌ බළලූන් සමග ගැවෙසෙමින් අතීතයේදී වගේම නායක ස්‌වාමීන් වහන්සේ ළඟ දැවටෙමින් සිටිනු ඇත. එහෙත් එය දකින කෙනෙක්‌ නැත. යම් දිනයක ගෞරවණීය ස්‌වාමීන් වහන්සේ සමාධිය වඩා නොපෙනෙන ලෝකය ප්‍රඥා ඇසෙන් දුටුවොත් ජීවිතයේ කිසිම දිනයක තිරිසන් සතෙකුට ලෙන්ගතු නොවනු ඇත. මන්ද එම ලෙන්ගතු බව මතුභවයක එම තිරිසන් සතුනට ප්‍රේත ලෝකයට වැටීමට පාර පෙන්වන නිසාය. එම අසරණ සතුන් තම ස්‌වාමීයා කෙරෙහි තිබෙන ඡන්දරාගය නිසා තම ස්‌වාමියා සහ ස්‌ථානයේ වසගයේම ප්‍රේත සතෙකුව ඉපදෙනු ඇත.

ඉහත බළලා සේම වනවාසීව වැඩ සිටින විට ප්‍රේත බල්ලන්, මීහරකුන්, මුවන්, වළිකුකුළන්, ගම් කුකුළන් භික්‍ෂුවට දර්ශනයවී ඇත. ඉහත සතුන් අතරින් අනුවේදනීය ප්‍රේත සතෙකු ගැන සටහනක්‌ පිංවත් ඔබට ඉහත කරුණු සනාථ කරගැනීම සදහා තබමි. මේ ප්‍රේතසතා භික්‍ෂුවට දර්ශනය වූ අතිශය දුක්‌ත ජීවිතයක්‌ ගතකරන ප්‍රේත අලියෙකි. භික්‍ෂුව රුහුණු පුරවරයේ කැලෑබද ආරණ්‍යයක වැඩසිටින විට රාත්‍රී සමාධියන් පසුවෙද්දී මෙම ආරණ්‍යයේ විශාල ගල් පර්වතය යට පිහිටි බුදුමැදුර ඉදිරියෙන් මෙම ප්‍රේත අලියා බොහෝම සෙමින් ගුප්ත, අලස ස්‌වභාවයෙන් ගමන් කරනවා භික්‍ෂුවට දර්ශනය විය. මෙම ප්‍රේත අලියා කලූ පැහැති සමාන්‍ය අලින්ට වඩා උසින් අඩු පළල් ස්‌වභාවයක්‌ ගන්නා අලියෙකුගේ ස්‌වරූපයට සමාන රූපයකි. මෙසේ ප්‍රේත අලියා විනාඩි දෙකක්‌ පමණ ඉදිරියට ගමන් කරමින් නොපෙනී ගියේය. මේ සිද්ධිය මෙතනින් නිමාවිය. නැවත සතියකට පමණ පසුව රාත්‍රීයේ භික්‍ෂුව සමාධියෙන් පසුවන විට භික්‍ෂුවට මෙවැනි දර්ශනයක්‌ දක්‌නට ලැබිණි. මෙම ආරණ්‍යයේ ජලය පිරී තිබෙන නිතර වල්අලින් ස්‌නානය කරන වැවක්‌ තිබේ. මෙම වැවේ වල් අලි දෙදෙනෙක්‌ හොඳ හැටියට සතුටුවෙමින් වතුර විදිමින් ස්‌නානය කරමින් සිටියහ. ඉහත ජීවමාන අලි දෙදෙනා ජලයේ සතුටුවෙමින් සිටින මොහොතේ පෙර සදහන් කල ප්‍රේත අලියාද විහාරය පැත්තෙන් සෙමින් සෙමින් පැමිණ ජීවමාන අලි දෙදෙනා ජල ක්‍රීඩා කරන වැවට බැස්‌සේය. ගුප්ත ස්‌වභාවයෙන් පැමිණි ප්‍රේත අලියා හැඩරුවෙන් භික්‍ෂුව පැහැදිලිව ප්‍රේත අලියා හඳුනා ගත්තේය. ප්‍රේත අලියා වැවට බැස්‌සේ ජීවමාන අලින් දෙදෙනාසේ සතුටුවෙමින් ජලයේ ස්‌නානය කිරීමටය. එහෙත් අභාග්‍යයකි කර්මයේ විපාකදීම ඒ මොහොතේ ඇරඹිණි. ප්‍රේත අලියා වැවට බැස ජලයේ පෙරළීමට නිදාගැනීමට, උත්සහ කරන විටම එය වැලකිණි. ප්‍රේත අලියා ජලයේ සිටගෙනය. ප්‍රේත අලියා මහත් වේදනාවකින් වමනය කිරීමට පටන් ගත්තේය. මොහු වමනය කරන්නේ දැඩි වේදනාවකින්, අපහසු තාවයකින්ය. කුස හකුලවමින් මහත් වේදනාවකින් වමනය කරයි. වමනය කලූ පැහැතිය, හරියට වතුර පීල්ලකින් ජලය වැක්‌කෙරෙනව වගේ දැඩි ලෙස වමනය කරයි. කලූ පැහැති වමනය භික්‍ෂුව හඳුනාගත්තේ ලේ වමනය ලෙසයි. දැඩි අපහසුවකින් ලේ වමනය කළ ප්‍රේත අලියා දිය නෑමට වාසනාව නොමැතිව වැවෙන් ගොඩට සෙමින් සෙමින් වේදනාවෙන් පැමිණ නොපෙනී ගියේය. මේ සිද්ධිදාමය ප්‍රේත අලියාගේ දින චර්යාව විය යුතුය. පෙර කරන ලද කර්මයක්‌ නිසා මෙම ප්‍රේත අලියාට සමහරවිට කල්ප ගණනාවක්‌ මොලෙසින් තමා කැමති දෙයක්‌ ස්‌පර්ෂ කිරීමට යැමේදී මේ ආකාරයෙන් ලේ වමනය ගොස්‌ ශරීරය වේදනාවට පත්ව එම ආස්‌වාදය ලැබීමේ හැකියාව අකුසල් කර්ම බලය නිසා අහිමිවීයෑයි භික්‍ෂුව අනුමාන කරයි. ඉහත අවස්‌ථාවේදීද ප්‍රේත අලියා බොහෝම කැමත්තෙන් වැවට බැස්‌සේ ජීවමාන වල් අලි දෙදෙනා වැව් ජලයේ සතුටුවන සතුට තමන්ද විදීමටය. එහෙත් එය ඛේදවාචකයක්‌ විය.

අපි බලමු අනුමාන වශයෙන් මොන වගේ අකුසලයක්‌ මේ සතා අතින් වෙන්න ඇතිද කියලා. ඊට පෙර මේ ප්‍රේත අලියා කවුරුන්ද කියල හොයල බලමු. මේ ආරණ්‍යය නිරතර වල් අලින් ගැවසෙන ස්‌ථානයක්‌. මෙහි එක අලියෙක්‌ ඉදල තිබෙනවා බොහෝම කාලයක්‌ නායක හාමුදුරුවන්ට බොහෝම කීකරුව ගෙදරක හුරතලයට හදන බල්ලෙක්‌ යම්සේ තම ස්‌වාමියාට කීකරුද ස්‌වාමියාගේ අණ පිළිපදීද එයට සමාන ආකාරයෙන් මෙම වල් අලියා නායක ස්‌වාමීන් වහන්සේට කීකරුව සිට ඇත. මෙම කීකරු භාවය ඇතිකරගෙන ඇත්තේ වල් අලියා ප්‍රියකරන රසවත් ආහාර දීම නිසාය. මෙසේ සිටින අතර තුර භික්‍ෂුව අසා තිබු පරිදි අසල වන ලැහැබකදී එම වල් අලියා අත්වැරදීමකින් සිදුවූ වෙඩි ප්‍රහාරයකින් මියගොස්‌ ඇත. අලියා මියයන මොහොතේ රැලෙන් සහ තම වර්ගයාගෙන් මිදී සිටි මෙම වල් අලියාට නායක ස්‌වාමීන් වහන්සේත් මෙම ආරණ්‍යයත් හැර වෙන කුමක්‌ සිහිවෙයිද තම රැලෙනුත් කැලෑවෙනුත් මිදිලා තමාත් ආරණ්‍යයේ සාමාජිකයෙක්‌ ලෙස ජීවත් වූ මෙම අලියාට මැරෙන මොහොතේ ස්‌ථානය සහ නායක ස්‌වාමීන් වහන්සේ ගැන ඇතිවූ ඡන්ද රාගය තෘෂ්ණාව නිසා එහිම ප්‍රේත අලියෙක්‌ ලෙස උපත ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. දැන් මේ ප්‍රේත අලියා මියයාමට පෙර වල් අලියෙකු ලෙස හැසුරුණ ආකාරයෙන්ම ප්‍රේත අලියෙකු ලෙස ආරණ්‍යය භූමියේ නිරතුරුවම ගැවෙසෙමින් තම ප්‍රේත ජීවිතය ගතකරනු ඇත.

පෙර වල් අලියෙක්‌ ලෙස ජීවත්වීමේදී භික්‍ෂුන්ගේ පරිහරණය සදහා වැව් ජලය බොරකිරීම, අපවිත්‍ර කිරීම, උපාසක උපාසිකාවන්ට ජලය පරිහරණය වැලක්‌වීම, බිය ගැන්වීම වැනි හේතූන් නිසා මෙම කර්ම විපාකය විදීමට සිදුවූවා විය හැකිය. මන්ද මේ වල් අලියා නිසා බියට පත්වූ පිංවත් වන්දනාකරුවන් බොහෝ විය හැකිය.

දෙවැනිව බලමු ප්‍රේත අලියා විඳින දැඩිම කර්ම විපාකය ලේ වමන දැමීම ගැන. මෙය සාමාන්‍ය ලේ වමනයක්‌ නොවේ. ගොජ ගොජ ගාමින් දමන ලේ වමනයකි. මෙවැනි කර්ම විපාකයක්‌ විඳීමට හේතුවූ කාරණය වශයෙන් භික්‍ෂුව අනුමාන කරන්නේ සාංඝික දේවල් මේ වල් අලියා කෑමය. භික්‍ෂුව මෙයින් අදහස්‌ කරනුයේ ආරණ්‍යය භූමියේ ඇති ගහ කොළ නොවෙයි. පාලි වාක්‍ය ප්‍රකාශ කර දායකයින් මහත් සද්ධාවෙන් මහා සංඝරත්නයට පුජා කරන ලද දානයයි. මේ වල් අලියා කාලයක්‌ නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළු පිංවත් ගිහි කැපකරුවන්ගේ සුරතලා වෙමින් ආරණ්‍යයේ වැඩ සිටින සංඝයා උදෙසා පූජාකළ ආහාරයන්ගෙන් දිනපතා නිරතුරුවම සංග්‍රහ ලැබූ සතෙකි. ඉහත කාලය තුළ සංඝරත්නය උදෙසා දායකයින් පූජාකළ ආහාරපාන කොතෙක්‌ මෙම සතාට දෙන්නට ඇතිද? ස්‌වාමීන් වහන්සේලාගේ දානයට තිබෙන පළතුරු, කැවිලි, මේ සතාට ආහාරයට දීම නිසා සංඝරත්නයට ඒවා වැළදීමේ අවස්‌ථාව අහිමිවෙන්නට ඇතිද?

සංඝරත්නය යනු මෙලොව උතුම්ම පිරිසයි. එක්‌තරා අවස්‌ථාවක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ බුදුරජාණන් වහන්සේ අරමුණුකර කරන පුජාවට වඩා මහා සංඝරත්නය අරමුණුකර ගෙන කරන පුජාව මහත්ඵල මහානිශංශ අත්වන බවයි. ඒ නිසා ගෝතමිය මේ චීවරය මහා සංඝරත්නය අරමුණු කරගෙනම පුජා කරගන්නය කියලා මහා ප්‍රජාපතී කිරි මෑණියන්ට මහා සංඝරත්නයේ බල කදම්බය ගැන සිංහනාද කරනවා. මහා සංඝරත්නය යනු මේ ජාති, ජරා, ව්‍යධි, මරණ වලින් ගහන මේ ලෝකයෙන් එතෙරවූ පිරිසක්‌මය. නොඑසේනම් එම මාර්ගයේ ජයග්‍රහණය කරා ගමන් කරන පිරිසක්‌මය. උන්වහන්සේලා ලෝකධාතුවම අනිත්‍යයේ වේගයෙන් සියුම්කර ප්‍රඥාවෙන් තම දෝතට ගත් පිරිසක්‌මය. මේ පඨවි ධාතුව අනිත්‍යයේ වේගයෙන් සියුම් කර අයෝමය පඨවි ධාතුවට අභියෝග කළ පිරිසක්‌මය. එවන් මහා බලාපොරොත්තුවකින් පරිපූර්ණ සංඝරත්නය අරමුණු කොට ඉමහත් සද්ධාවෙන් යුතුව පාලි වාක්‍ය ප්‍රකාශ කරමින් සාංඝික වශයෙන් පුජා කරන ආහාරපාන මහා සංඝරත්නයේ අවශ්‍යතා සපුරාගැනීමට පෙරාතුව තිරිසන් සතුනට ආහාරයට දීම එම අහිංසක සතුනට කරන අසාධාරණයක්‌ වනවා නිසැකය.

මෙහිදී ඔබට මෙවැනි ප්‍රශ්නයක්‌ මතුවීමට ඉඩ ඇත. තමා කන්නේ සාංඝික දෙයක්‌ බව වල් අලියාට චේතනාවක්‌ නොමැති නිසා අකුසලයක්‌ වන්නේ කෙසේද කියල. එය මෙසේ අප තේරුම් ගත යුතුය. අලියා දාන ශාලාව ඉදිරියට එන්නේ දානයට සංඥාව දෙන ගෙඩියේ හඬට. එම සතා එන්නේ “හාමුදුරුවෝ වළදන දේවල් මටත් දෙන්න” කියන චේතනාව එම සතා තුළ ඇති නිසාය. මෙහිදී කර්මය කර්මඵලය වැටහීමක්‌ නොමැති තිරිසන් සතා අසරණයෙකි. එම අහිංසක සතුන් එම අසරණභාවයෙන් මුදවාලීමට අප දක්‍ෂ විය යුතුය. අපි අදක්‍ෂ වුවහොත් අසරණ සතුන් සසර අනන්ත දුක්‌වලට මුහුණ දෙනු ඇත. එසේ නම් අප ඔවුනට දක්‌වා ඇත්තේ කරුණාවේ නාමයෙන් අකාරුණික බවකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරිෙල්‍යයිය වනයේදී පාරිල්‍යෙයිය ඇතාගෙන් උපස්‌ථානයක්‌ ලබා එම ඇතාට සුගතියකට යැමට අවස්‌ථාව සලසා සැබෑම සත්ව කරුණාව දැක්‌වූවා මිස ඇතාට ආහාරපාන ලබාදී උපස්‌ථානය කිරීමට ගොස්‌ එම සතාට දුගතියට යැමට කරුණු කාරණා සකස්‌කර දුන්නේ නැත. සැබෑම සත්ව කරුණාව කුමක්‌ද යන්න බොහෝම නිරවුල්ව ලෝකයාට ආදර්ශයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලහ. මෙම ආදර්ශය වඩාත්ම වටින්නේ නිවන් මඟ වඩනා පිංවතුන්ටමය. එසේ නොවුණහොත් සසර කල අකුසල් නිසා දන් නොදීම, ශීලයක්‌ ආරක්‍ෂා නොකිරීම, මෛත්‍රිය නොවැඩීම වැනි එම අකුසල් නිසා සතර අපායට වැටුණු සතුන් නිසා ඔබ ඔබේ සතර අපායෙන් මිදීමට ඇති අවස්‌ථාව අහිමිකර ගන්නවා ඇත.

මෙහිදී විශේෂයෙන් ගිහි පිංවතුන්ට අවධාරණය කරන්නේ පිංවත් ඔබ අසරණ සතුනට දක්‌වන කරුණාව මෛත්‍රිය දක්‌වන්න එපාය කියල නොවේ. අසරණ සතුනට ආහාරපාන රුකවරණය සැලසීම පිං වැඩෙන තමා තුළ මෛත්‍රිය වැඩෙන ක්‍රියාවක්‌. එහෙත් මෙම සතුන් ඔබ ඔබේ කරනොගන්න. ඔබේ දුව පුතා කරනොගන්න. ඔබේ නිදන කාමරයේ, සාලයේ, ඔඩොක්‌කුවේ සුරතලා කරනොගන්න. මෙවැනි බැදීම් හේතුවෙන් එම සතුන් මියයාමට පසුව ප්‍රේත සතුන් ලෙස ඔබේ නිදන කාමරය, නිවස, ඔඩොක්‌කුව උපාදානයකරගෙන නැවත ඉපදෙනු ඇත. මේ වන විටත් ඔබ සීමාව ඉක්‌මවා සුරතලයට සැදුව සතුන් මිය ගොස්‌ ප්‍රේත සතුන් ලෙස ඔබගේ නිවසේ හැසිරෙනවා ඇත. සයනයේ නිදනවා ඇත. ඔඩොක්‌කුවේ නිදනවා ඇත. ඔබේ කෑම මේසයේ ආහාර දිව ගානවා ඇත. එහෙත් ඔබ මේ කිසිවක්‌ නොදනී නොදකී. මන්ද ඔබ දකින්නේ දෑසින් පෙනෙන ලෝකය පමණක්‌ නිසාය. ඉහත ප්‍රේත අලියා විඳින දුක තවත් සතෙකුට නොදීමට අපි වගබලාගතයුතු වෙමු. ඔබ මෙහෙම සිතන්න ලෝකයේ ආගම් තිබෙනවා ඒවා අදහන පිරිස්‌ යාඥාකරමින් සතුටු සිතින් අහිංසක සතුන් ආගමික පුජා උදෙසා මස්‌ සදහා, සුබ කටයුතු සදහා මරණවා. ඒ අය යාඥාකරමින්, සතුටුසිතින් එම සතුන් මැරුවාය කියලා ඔවුනට පුළුවන්ද එම ප්‍රණඝාත අකුසලයෙන් මිදෙන්න. එහි කර්ම විපාකයන්ගෙන් මිදෙන්න. නොදන්නා කම කර්ම විපාකයන්ගෙන් මිදීමට හේතුවක්‌ නොවේ. නොදන්නා කම යනු අවිද්‍යාවයි. අවිද්‍යාවේ අවසාන ඵලය ශෝක, පරිදේව, දුඛ්‍ය, දෝමනස්‌සයන්මය. කවුරුන් වුවද දුගතියක උපත ලැබූ විට තමා කරා ඇදී එන්නේ කරන ලද අකුසල් විපාකයන්ටම බව අප සිහිතබාගත යුතුය. ඉහත ප්‍රේත අලියා ද එහි ජීවමාන සංකේතයකි.