මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක්‌ සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්‍ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්‍ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස්‌ කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන් රාත්‍රී 8 පමණ වෙලා. පැය දෙකක පමණ කාලයක සිට මෙහෙට හොඳටම වහිනවා. තද සුළඟත් සමග විදුලි කොටනවා. අහස වේගයෙන් ගොරවනවා. මේ සියලු සිදුවීම් සිදුවුවත්, ගසේ වඳුරන් සිටින බවක්‌වත් ඇසෙන්නට නැහැ. ඒ තරමටම මේ සිදුවීම් හමුවේ වඳුරන් නිහඬයි. පුංචි පැටව් බඩේ එල්ලාගත් වඳුරු අම්මලා මේ රංචුවේ සිටියා. සීතල නිසා, ගෙරවිල්ල නිසා පුංචි පැටවෙක්‌වත් කෑගසන්නේ නැහැ. මේ සතුන් සතුටින් මේ දුක විඳිනවා වගෙයි. මනුෂ්‍ය දරුවෙක්‌, වැඩිහිටියෙක්‌ මේ වහින වැස්‌සට, සීතලට, විදුලි කෙටිල්ලට හසුවුනොත් මොනතරම් එයට එරෙහිව ප්‍රතික්‍රියා දක්‌වයිද? ඒත් ඒ සතුනට ඒ දුක ගැන කිසිම හැඟීමක්‌ නැහැ. ප්‍රතිචාරයක්‌ නැහැ. ඒ තරමටම මේ තිරිසන් සතුන්ට දුක පත්තියන් වෙලා. දීර්ඝ කාලයක්‌ සතර අපායේ ඉඳලා, ඒ සතුන්ට දුක හුරුයි. දුක සැපෙන් භාරගන්නවා. මේ තරම් ගොරවමින්, විදුලි කොටමින්, සුළඟ හමමින් වැසි වසිනවිටත් දුකක්‌ නොදැනෙන මේ සතුනට සංසාරය කොතෙක්‌ දුර වෙයිද?

ඒ සතුන් දුක කියන වචනයේ සැබෑ අර්ථය දන්නේ නැහැ. ඒ නිසාම කල්ප ගණනාවක්‌ ගියද මේ සතුනට සුගතියේ සැප ඇති දිව්‍ය මනුෂ්‍ය උපතක්‌ සිදුවන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය දරුවෙක්‌ට මේ ස්‌වභාවය නැහැ. වැස්‌සකදී, ශීතලකදී ක්‍ෂණිකව ප්‍රතිචාර දක්‌වනවා. ඒ අයට දුක දැනෙනවා. එහෙම දැනෙන්නේ දුක පිළිබඳව හැඟීමක්‌ ඇති නිසා. මේ තිරිසන් සත්ත්ව ජීවිතත්, ඔබගේ උතුම් මනුෂ්‍ය ජීවිතයත් සංසන්දනය කරලා බලන්න. මනුෂ්‍යයා දුක හඳුනාගැනීමේ, අවබෝධකරගැනීමේ හැකියාව අතින් මොනතරම් ඉදිරියෙන්ද සිටින්නේ කියලා. සසර දුක ගැන වැටහීමක්‌ ඇතිකරගත් නිසාමයි ඔබට මේ පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිත ලැබිලා තිබෙන්නේ. නමුත් හැම මනුෂ්‍යයාටමත් මේ හැකියාව ලැබී නොමැති බව අපි අත්දැකීම් තුළින්ම තේරුම්ගන්න ඕනේ. දිනක්‌ භික්‍ෂුව හමුවට බොහොම සැපට හැදුණු, සුරතල් ලොකු තරුණ ඇල්සේෂන් බල්ලෙක්‌ සමග පැමිණි නෝනා කෙනෙක්‌ මෙහෙම ප්‍රශ්නයක්‌ ඇසුවා. ‘හාමුදුරුවනේ මට ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඔබ වහන්සේගෙන් පිළිතුරක්‌ බලාපොරොත්තුවෙනවා’ කියලා. භික්‍ෂුව සිතුවා ධර්මය ගැන ප්‍රශ්නයක්‌ වෙන්නඇතිය කියලා. ‘හාමුදුරුවනේ මේ මගේ සුරතල් බල්ලා ඊළඟ ආත්මයේදී මගේ දරුවෙක්‌ කරගන්න මට ඕනේ. ඒක කරගන්නේ කොහොමද?’ ප්‍රශ්නය ඇය ඇසුවේ කිසිම චකිතයකින් තොරවයි. ඇයට දියයුතු එකම පිළිතුර නම් ‘ලබන ආත්මයේ මේ බල්ලා ඔබේ දරුවෙක්‌ කරගන්න ඉඩක්‌ නැහැ. හැබැයි ඊළඟ උපතේදී ඔබ සුනඛයකුගේ කුසේ බැල්ලි පැටවෙක්‌ව ඉපදෙන්න හොඳටම ඉඩ තිබෙනවා. මේ සුනඛ සංඥාව ඔබ සිතින් ඉවත් කර නොගත්තොත්…..’ කියලා.

බලන්න මේ බුද්ධෝත්පාද කාලයකදී ලැබූ මනුෂ්‍ය ජීවිතයත්, තිරිසන් යෝනියේ උපත ලද සතෙකුත් අතර තිබෙන පරතරය දකින්න දක්‍ෂ නැහැ. ඇය සමාජයේ ඉහළ තලයේ වන සමාජ තත්ත්වයක්‌ හිමි කාන්තාවක්‌. තමා සසර කළ මහා පුණ්‍ය ශක්‌තියකින් ලබාගත් මේ මිනිසත්බව දක්‍ෂභාවයෙන් කළමනාකරණය කිරීමට ඇති නොහැකියාව නිසාමයි සත්ත්වයා සතර අපායට වැටෙන්නේ. මේ දක්‍ෂභාවය මතුකර දෙන්නේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රය මගින්මයි. වර්තමාන සමාජයේ අලුත්ම විලාසිතාව තමයි සමහර පිංවතුන් කළ්‍යාණමිත්‍රයින් ලෙස ඇසුරු කරන්නේ තිරිසන් සතුන් වීම. මනුෂ්‍යයන්ට වඩා තිරිසන් සතුන් හොඳ යෑයි කියා තිරිසන් යෝනියේ සතුන් කළ්‍යාණ මිත්‍රයන් ලෙස ඇසුරු කරයි.

කළ්‍යාණ මිත්‍ර සතුන් ගැන කථා කිරීමේදී ගෙවල්වල ඇති කරන සුරතල් විසිතුරු මාළු ගැනද මතකය අවදි විය. ඔක්‌සිජන් නල ක්‍රියාත්මක වන මාළු ටැංකි නිවාස වලට විලාසිතාවක්‌ සේ එකතුවී තිබේ. සමහරවිට ගෙදර පිහිටි කෘත්‍රිම මැද මිදුලේ ඇති පොකුණේ මාළු ඇති කරයි. ගෙදර පිංවත් නෝනා මහත්මයා මාළු ටැංකිය ඉදිරිපිට හාන්සි පුටුව තබාගෙන විවේකය ගතකරන්නේ මාළුන්ගේ හැසිරීම්රටා දෙස බලමිනුයි. පිංවත් නෝනා මහත්වරු දවසේ වැඩි වේලාවක්‌ මාළු ටැංකියේ චමත්කාරය නරඹයි. මෙය සමාජයේ පැතීරීගෙන යන අලුත් ‘භාවනාවකි’. මේ භාවනාවට අපි ‘මාළු ටැංකි භාවනාව’ යෑයි කියමු. මේ භාවනා කිරීම් නිසා අධික රුධිර පීඩනය, මානසික ව්‍යාධීන් අඩුවන බව වෛද්‍ය මතයක්‌ ලෙස ඔවුන් දක්‌වයි. එය ඔවුන් තරයේ විශ්වාස කරයි. ඒ නිසාම විවේක කාලයේ ‘මාළු ටැංකි භාවනාව’ කරයි. සැබැවින්ම මෙය භාවනාවකි. ඒ කියන්නේ වැඩීමකි. නමුත් වැඩෙන්නේ තිරිසන් සත්ත්ව සංඥාවයි. මාළුන් පිළිබඳ කැමැත්තයි. ඡන්ද රාගයයි. ඒ කියන්නේ ඔබ නොදැනුවත්භාවයෙන් වඩන්නේ සතර අපායයි. එහි මාළු බිත්තරයක ප්‍රතිසන්ධියයි. දහස්‌ ගණනින් වියදම් කරලා, විසිතුරු මාළු සුරතලයට හදලා, රුධිර පීඩනය, මානසික ව්‍යාධීන් අඩු කරගන්න ගිහිල්ලා ඔබ වැටෙන්නාවූ අගාධයක ගැඹුර කොපමණක්‌ද? මේ පිංවත් නෝනා මහත්වරුන්, තමන්ට නිරෝගීභාවයට පාර පෙන්වන, කළ්‍යාණමිත්‍රයින් වශයෙන් සලකන්නේ තිරිසන් යෝනියේ මාළුන්ය. එම කළ්‍යාණමිත්‍රයා තිරිසන් යෝනියට යැමට ඔබට පාර කියාදෙනු නියතය. ‘කළ්‍යාණ මිත්‍රයා’ යන්නෙහි අරුථ පවා අප නිවැරදිව හඳුනාගත යුතුව ඇත. කළ්‍යාණමිත්‍රයා යනු කල්ප සියගණනක්‌ ඔබට දුක්‌දෙන, සතර අපායෙන් ඔබව මුදාගැනීමට මාර්ගය පහදා දෙන උත්තමයාය. ඔහු අවිද්‍යාවේ අඳුරෙන් ඔබව දුරස්‌කොට, ප්‍රඥාවේ ආලෝකය දෙසට යොමුකරයි. මෙවැනි කළ්‍යාණමිත්‍රයෙක්‌ ඔබ සොයාගැනීමට නම්, මුළින්ම ඔබ ඔබට කළ්‍යාණමිත්‍රයෙක්‌ විය යුතුය. ඔබ ඔබට කළ්‍යාණමිත්‍රයෙකු වන්නේ බාහිර කළ්‍යාණමිත්‍රයකු ආශ්‍රය කිරීමට, සොයාගැනීමට පෙරාතුව එවැනි සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයෙකු ඇසුරු කිරීම වලක්‌වන ඔබ තුළ ඇති මාන්නය පරාජය කර නිහතමානීකම ඇතිකරගැනීම තුළින්ය. ඔබ තුළ ඇති අහංකාරකම, මාන්නය පරාජය නොකොට, ඔබ නිහතමානී නොවුනහොත් සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයින් සිය ගණනක්‌ ඔබට මුණගැසුනද, ඔබ ඔබගේ මතවාද, දෘෂ්ඨිවල පැටලී තව තව අකුසල් රැස්‌කර ගන්නවා විනා, යහපත කරා ධර්ම මාර්ගයේ ගමන් නොකරයි.

සැබෑ කළ්‍යාණමිත්‍රයා මතවාදයක, දෘෂ්ඨියක එල්ලීගත් අයකු නොවේ. ඔහු සම්මා සම්බුද්ධ ඥාණයෙන් අවබෝධකර වදාළ ශ්‍රී සද්ධර්මය, එකම මාර්ගය කරගත්තෙකි. එය දෘෂ්ඨි මතවාද නැති විවෘත ධර්මයකි. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය තුළදී, මේ අහංකාරභාවය නිසා මොන තරම් ගිහි පැවිදි පිරිසක්‌ අකුසල් කරගන්නවා දැකලා තිබෙනවාද. වචනයෙන් කියන්නට අකමැති අකුසල් කරගෙන සිටිනවාද. භික්‍ෂුව මේ මොහොතේ යම් අවබෝධාත්මක ස්‌වභාවයක සිටිනවා නම් එහි මුල්ම ගෞරවය හිමිවන්නේ භික්‍ෂුව තුළ ගොඩනගාගත් නිහතමානීකමටමයි. එම නිහතමානීකම භික්‍ෂුව ඇතිකරගත්තේ සද්ධර්ම ශ්‍රවණය නිසාමයි. ඒ තුළින් වැඩුනු තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසාමයි. සංසාරිකව වැඩූ පුරුදු නිසාමයි. ඒ නිහතමානීකම භික්‍ෂුවට නොතිබුණානම් භික්‍ෂුව තවම සතරඅපායෙන්වත් මිදී නොමැති අසරණම ගිහියෙක්‌.

මුළින්ම භික්‍ෂුව, භික්‍ෂුවට සත්පුරුෂයෙක්‌ වුණා. දෙවැනුව සත්පුරුෂ ආශ්‍රය සොයාගෙන ගියා. සාධු! සාධු! ඒ නිහතමානීභාවයට මාගේ නමස්‌කාරය වේවා!

තෙරුවන් නමස්‌කාරය කළාට අනතුරුව මා නමස්‌කාරය කරන්නේ ඒ නිහතමානීභාවයටමය. නමුත් ඔබ අදක්‍ෂනම් සංසාරික පුරුදු හිඟ නම් මේ ප්‍රතිපදාව තුළ වැඩෙන්නේ අහංකාරකමමය. මේ අවාසනාවන්තභාවයෙන් ඔබ වහ වහා මිදිය යුතුය.