භික්‍ෂුව ඉදිරියට පැමිණි එක්‌ පිංවත් මහත්මයෙක්‌, තමා තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මා තුළ ඇති ශ්‍රද්ධාව නිසා අලියෙක්‌ ඉදිරියට වුණත් යන්න මට පුළුවන්’ කියලා. තමා තුළ වඩවාගත් ශ්‍රද්ධාව මමත්වය, මාන්නය තුළින් මොනතරම් අපවිත්‍රභාවයට පත්කරගෙන තිබෙනවාද?

මෙය මෝහ මූලික ශ්‍රද්ධාවකි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නේ අලි ඉදිරියට යැමට නොවේ. අලියා ඉදිරියට යන්නය කියලා අපව මෙහෙයවන සිත අනිත්‍ය වශයෙන් දැකීමට පුරුදුවීමටය. අලි ඉදිරියට යැමට නම් ඔබ කළ යුත්තේ සත්වෝද්‍යානයට ගොස්‌ ඇත්ගොව්වකු වීමට අදාළ පාඨමාලාවක්‌ හැදෑරීමය. තෙරුවන් සරණ යන්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට යැමටය. වීරයන් වීමට නොවේ. ඔබව වීරයෙක්‌ කිරීමට හදන්නේ මාරයාමය. වීරත්වය ඔබට ආරෝපනය කර සක්‌කාය දිට්‌ඨිය පෝෂණය කිරීම මාරධර්මයයි. භික්‍ෂුව එම පිංවත් මහත්මයාට කියා සිටියේ ‘මහත්තයෝ, සිත නැවත ඔවැනි ප්‍රකාශයක්‌ ප්‍රකාශ කරන්න හදනකොට, තමා තමාටම ටොක්‌කක්‌ ඇනගන්න’ කියායි. මෙය ‘හරක්‌ සිතක්‌’ යෑයි සිතන ලෙසයි. යම් හෙයකින් එම මහතා, ඔබ මෝහ මූලික ශ්‍රද්ධාව දරාගෙන වල් අලියෙක්‌ ඉදිරියට ගියානම් එය ඔහුගේ විනාශය වීමටද ඉඩ තිබිණි. දැඩි වීර්යයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියටම යැමට උත්සහ කරන පිංවතුන්ව, මාරයා එම ගමනින් ආපස්‌සට හරවන්නේ තන්හාව, මාන්නය, දිට්ඨිය කියන ධර්මතාවයන් හරහාමය.

ඔබ මේ භව ගමනින් නිදහස්‌ වෙනවාට මාරයා අකමැතිය. මේ බව ඔබ හොඳින් තේරුම්ගෙන තන්හාව, මාන්නය, දිට්ඨිය කියන අසත්පුරුෂ ධර්මයන් පරාජයට පත්කළහොත්, ලෝකය නැමැති මාරයාගේ හිර ගෙදරින් නිදහස්‌ වීමට ඔබට හැකිය. ඔබ ලබන එම නිදහස, ජීවිතාන්තය දක්‌වා ලැබූ සිර දඬුවමකින් නිදහස්‌ වීමට වඩා ලක්‍ෂ වාරයක නිදහස්‌වීමකි. කල්ප සියක්‌ කෝටි, ප්‍රකෝටි ගණනක සිට අතීතයේදී ගෙවන ලද, අනාගතයේදී ගෙවාදැමීමට නියමිත අති බිහිසුනු සිර දඬුවමකින් නිදහස්‌වීමක්‌ය.

විත්තිකරුවාත්, පැමිණිලිකරුවාත්, වැරදිකරුවාත්, විනිසුරුවරයාත්, විනිසුරුකරුවාත්, අළුගෝසුවාත්, ඔබම වූ ලොවක, නිදහස්‌වීම පසෙක තබා, බන්ධනාගාරගතව සිටීම සැපයක්‌කොට දකින, සිරකරුවකුගේ මනෝභාවයෙන් මිදීමට කාලයයි මේ. සම්මා සම්බුද්ධ මාර්ගයයි මේ. සිරකාර මනෝභාවය ඔබ තුළ ඇතිකරන්නේ තන්හාව, මාන්නය, දිට්ඨිය විසින්මය. මමත්වයේ දැඩිභාවය නිසාමය. ඔබට රිදුම්දෙන මේ භව තුවාලය, සුවපත් කරගැනීම සඳහා වෙහෙසෙන සෑම මොහොතකම, සුවපත්වෙමින් යන තුවාලය මත මාරයා විසින් තන්හාව, මාන්නය, දිට්‌ඨිය නැමැති ඉහත විෂබීජ තබයි. තුවාලයේ වේදනාව මතට , මාර දූවරුන්ගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් ලැබෙන පහස, සැපය නිසාම ඔබ ඒ විෂබීජයන්ට කැමතිය. ප්‍රියය. මේ පහස, සැපය අනිත්‍ය වශයෙන් දැකීමට අප ප්‍රමාදවෙන්නේ විඳීමට ඇති ජන්දරාගය නිසාමය. තුවලයත්, වේදනාවත් ඔබගේමය. ප්‍රශ්නය වන්නේ එය ඔඩුදුවවා ගන්නේ ඔබ විසින්ම වීමය. ඔඩුදිවීම යනු කුණුවීමයි. මේ කුණුවූ අධ්‍යාත්මය අයිති සතර අපායටය.

භික්‍ෂුව ඉහත සටහන සටහන් කළේ අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුණු මනුෂ්‍යයෙක්‌ පිළිබඳ කරුණු සඳහන් කරන්නටය. එක්‌තරා මහත්මයෙක්‌ සිටියා, ඔහු පදිංචිව සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙයි. ඔහු දක්‍ෂ පිහිනුම්කරුවෙක්‌. නිරතුරුවම ගැඹුරු දියේ පිහිනන්න දක්‍ෂයි. ඔහු ගැන දන්න කිසිවෙක්‌ සිතන්න නැතුව ඇති මොහු කවදාකවත් දියේ ගිලී මිය යයි කියලා. අපි නොසිතන දේවල්, හේතුඵල ධර්මයන් නිසාම සිදුවන ලෝකයේ මේ මහත්මයා මුහුදේ පිහිනීමට ගොස්‌ ජලයේ ගිලී මියයනවා. බලන්න ස්‌ථêර ශක්‌තිමත්භාවයෙන් ගන්නා වූ ලෝකය, ‘මම’ මොහොතින් බිඳී විසිර ගිය ස්‌වභාවය.

පිහිනුම් දක්‍ෂයෙක්‌ය කියන නොබිඳෙන විශ්වාසය, මොහොතකින් බිඳී ගියා. මොහුගේ කකුලේ කෙන්ඩ පෙරළීම හේතුවෙන්. මොහු ගොඩාක්‌ පිං දහම් කරගත්ත අයෙක්‌ නොවෙයි. විනෝදශීලීව ජීවත්වූ අයෙක්‌. මේ මරණය සිදුවෙලා මාස 4කට විතර පස්‌සේ මේ මියගිය මහත්මයා අරමුණුකොට සිටියදී භික්‍ෂුව ඉදිරියට පාවෙන ස්‌වභාවයේ මිනිස්‌ රුවක්‌ පැමිණියා. මේ සත්වයාට තිබුණේ බොහෝම සියුම් කයක්‌. පොළොවෙන් මීටර 3ක්‌ පමණ උසිනුයි භික්‍ෂුව ඔහුව දැක්‌කේ. පාවෙන ස්‌වභාවයේ සත්ත්වයෙක්‌. මිනිස්‌ රුවක්‌. හරියට භූත ස්‌වභාවයක්‌ වගේ. මේ මිනිස්‌ කයක්‌ සහිත සියුම් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය ඔබට විස්‌තර කරනවා. ඔබ මෙහෙම සිතන්න. ඔබ යමෙකුගේ බෙල්ල මිරිකනවා. එතකොට ඔහුගේ මූනේ ස්‌වභාවය ඔබට මතකද? ඇස්‌ ලොකුවෙලා, උඩගිහිල්ලා, නළල රැළිවෙලා…. මරණබිය රැඳුණ මුහුණක්‌ නේද ඔබ දකින්නේ. මෙන්න මේ ස්‌වභාවයේ මරණභිය රැඳුණු, ඇස්‌ ලොකුවී ගිය, නළල රැළිවැටුණු ස්‌වභාවයක්‌ තමයි මේ භූත සත්වයාට තිබුණේ . මොහු තුෂ්නිම්භූතව සිටියේ හරියට භිරාන්ත වෙලා වගේ. ඔබ එය මෙහෙම සිතන්නකෝ. මනුෂ්‍යයෙකුගේ හිසට පොල්ලකින් ගැසුවහොත් ඔහුට මොහොතක්‌ යනතුරු සිතාගන්න බැහැ නේද මොකක්‌ද වුණේ කියලා. මෙවැනි ස්‌වභාවයකුයි මේ භූත සත්ත්වයා තුළ දිස්‌වුණේ. විනාඩි 2කින් පමණ එම භූත සත්ත්වයා දර්ශනයෙන් නොපෙනී ගියා.

භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට දුටුව එම භූත සත්ත්වයා ගැන තැබෙන පහත සටහන අනුමාන වශයෙනුයි ගලපා සටහන් කරන්නේ.

තමා තුළ තිබු පිහිනීමේ හැකියාව නිසා දියේ ගිලී මියයන මොහොතේ මොහුට හිතාගන්නවත් බැරිවෙලා තිබෙනවා තමාට මොකද වුණේ කියලා. තමාගේ හැකියාවන් ගැන නිත්‍යභාවයෙන්, ස්‌ථිරභාවයෙන් මමත්වයේ දැඩිභාවයෙන් ගන්න අයට එම හැකියාවන් වරදිනවිට පරදිනවිට විශාල තැතිගැනීමක්‌ හටගන්නවා. ජලය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක්‌ කරන විට ශක්‌තිමත් කුසල් හෝ අකුසල් සිතක්‌ පහල වන අවස්‌ථා අඩුයි. මොකද චේතනාව සකස්‌ වෙන්නේ ජීවිතය බේරාගැනීමට අදාළව. මේ හේතුවෙන් මරණබිය තැතිගැන්ම සමගම අවසාන සිත සකස්‌ වෙලා ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලාගන්නවා. මෙහිදී ශක්‌තිමත් කුසල් අකුසල් සිතක්‌ සකස්‌ නොවුන නිසා සිදුවන්නේ බොහොම සියුම් ස්‌වභාවයේ උපතක්‌. මැරෙන වේලාවේ සකස්‌වූ තැතිගැන්මේ ස්‌වභාවයෙන්ම රුව ගුණ සහිත සිත් පරම්පරාවක්‌ තමයි ඉදිරියට සකස්‌ වෙන්නේ. මේ භූත සත්වයා හරියට හරියට තද නින්දේ සිට පිබිඳුණු කෙනෙක්‌ වගේ. තවම මොකුත් සිතාගන්න, අල්ලගන්න බෑ ශක්‌තිමත්ව. මනුෂ්‍ය ජීවිතයේදී ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම මෙයට එකම හේතුව වෙනවා.

ජලයේ ගිලී මියගිය මහත්මයාගේ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවා කුමක්‌ද මේ සත්වයා ඉහත ස්‌වභාවයෙන් මුදවාගැනීමට කළයුත්තේ කියලා. අනුමාන වශයෙන් භික්‍ෂුව ප්‍රකාශ කළා මහා සංඝරත්නය උදෙසා දානයක්‌ දෙන්න, මරණයට කැපවු සතුන් නිදහස්‌ කරන්නය කියළා. දානය දෙන්න කීවේ ඒ සත්වයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබාදීමට. මරණයට කැපවු සතෙක්‌ නිදහස්‌ කරන්න කීවේ එම සත්වයා මරණබියෙන් තැතිගැනීමෙන් තවම ජීවත්වන නිසාය. සියක්‌ නමකට අධික මහාසංඝරත්නයට සාංඝික දානයක්‌ පුජාකරලා, මස්‌කඩයෙන් කුකුලෙක්‌ නිදහස්‌කරලා අරමුණ වශයෙන් ඒ අය මතක තබාගත්තේ තම ඥාතියා ඉහත භූත ස්‌වභාවයෙන් මිදී සුගතියක්‌ ලබාගනිත්වා කියලයි. මේ ආකාරයෙන් පිං අනුමෝදන් කළාට පසුව දිනක්‌ භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට භික්‍ෂුවට දර්ශණය වූයේ හොඳින් අතුවලින් පිරුණු ගසකි. එම ගසේ අතු අතරින් භික්‍ෂුවට දර්ශණය නොවු අයෙක්‌ ප්‍රකාශ කළේ ‘මම දැන් සිටින්නේ වෙරළු ගසේ’ කියාය. දර්ශනය මෙතැනින් නිමාවිය. අදාළ ඥාතීන්ගෙන් භික්‍ෂුව විමසුවා තම මියගිය ඥාතියාගේ නිවසේ වෙරළු ගසක්‌ තිබෙනවාද කියලා. එවිට ඒ අය ‘නැහැ’ කියලා කිව්වා. එහෙමනම් ඔබලාගේ නිවසේ වෙරළු ගසක්‌ තිබෙනවාද ඇහුවා. ඒ අය කීවා ගෙදර දොරකඩම වෙරළු ගසක්‌ තිබෙනවාය කියලා.

බලන්න මේ සත්වයා උපාදානය කරපු හැටි. ඉහත සඳහන් කළ භූත සත්වයා වෙනුවෙන් සියක්‌ නමක්‌ වූ මහාසංඝරත්නයට දානයක්‌ පිලිගන්වලා, සතුන් නිදහස්‌ කරලා සියලුම පිංකම් සිදු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා. මේ මියගිය මහත්මයාගේ දරුවාත් දැන් සිටින්නේ මේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ. මේ සහෝදරයින් දෙදෙනා බොහෝම ලෙන්ගතුව ජීවත්වුණ දෙදෙනෙක්‌. වැඩිමහල් සහෝදරයා බොහෝම සද්ධාවන්ත බෞද්ධයෙක්‌.

දියේ ගිලී මිය ගිය තම බාලසහෝදරයා මියගිය පසු මුලින්ම ලැබූ තැති ගත් ස්‌වභාවයේ සියුම් භූත ස්‌වභාවයක සිටියත්, තම වැඩිමහල් සහෝදරයා සහ ඥාතීන් කරපු ශක්‌තිමත් පින නිසා එම භූත ස්‌වභාවයෙන් මිදුනා. තැති ගැනීමෙන් මිදුනා. මරණ භිය පහව ගියා. එය හරියට තද නින්දෙන් අවදිවුන මනුෂ්‍යයෙක්‌ මුහුණට වතුර ඉසගන්න වගේ. ඔහුට දැනෙන්න, දකින්න ලැබුන තමාව අරමුණු කර අනුමෝදන් කළ පින. එහෙත් මේ අවාසනාවන්ත සත්වයා ක්‍ෂණිකව ඔහුගේ කැමත්ත ඡන්ද රාගයෙන් අල්ලා ගත්තා. ඒ කැමැත්ත තමයි තමාට පිං අනුමෝදන් කිරීම සිදුකළ කුඩාකාලයේ සිට සහෝදරත්වයෙන් බැදුණු මෙන්ම මියගිය ඔහුගේ දරුවාද ඒ මොහොතේ ජීවත්වූ තම වැඩිහිටි සහෝදරයාගේ නිවසේ ඉදිරිපිට දොරටුව යාබද වෙරළු ගස. අර ශක්‌තිමත් පින දැනෙද්දීම තෘෂ්නිම්භූත භූත ස්‌වභාවයෙන් මිදුනත්, ඔහු නැවත ප්‍රතිසන්ධියක්‌ ලැබුවේ වෙරළු ගසේ. වෙරළු ගසේ අතු අතරින් මේ සත්වයා කටහඬ පමණයි ඉදිරිපත් කළේ. ඔහුගේ කයේ ස්‌වභාවය භික්‍ෂුවට අරමුණු වුයේ නැහැ. ඔහු රුක්‌දෙවියෙක්‌ද එසේත් නොමැතිනම් පරදත්ත රූප ජීවී වැනි ප්‍රේත කොට්‌ඨාශයකට අයත් කෙනෙක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ.

මෙතැනදී සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි, මොහු පිං අනුමෝදන්ව සිටියදීත් ශක්‌තිමත් නොවු තැනක්‌ උපාදනයකර ගැනීම. ඊට එකම හේතුව ජීවත්ව සිටිය කාලය තුළදී දානය, ශීලය, තෙරුවන් කෙරෙහි සද්ධාව ජීවිතය තුළින් පුරුදු පුහුණු නොකිරීම. ඥාතීන් දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය. මේ ඡන්ද රාගයද ඇතිවෙන්නේ දන් “මෙන් ජීවිතය තුළින් අතහැරීමේ ශක්‌තිය ඇති කරනොගැනීම නිසාය. මොහු මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු ශක්‌තිමත් ධර්මශක්‌තියක්‌ තිබුණා නම් භූත ස්‌වභාවයෙන් මිදෙන මොහොතේ එම අතීත ධර්ම ශක්‌තිය මතුවී ශක්‌තිමත් මනුෂ්‍ය දිව්‍ය ස්‌වභාවයක්‌ ලැබීමට ඉඩ තිබිණි යෑයි භික්‍ෂුව අනුමාන කරයි.

මේ මොහොතේ මොහු කොහේ සිටිනවා දැයි භික්‍ෂුව නොදනී. නමුත් අදාළ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවේ දැන් කුමක්‌ කළයුතු දැයි කියලාය. ‘දැන් මොනවා කරන්නද? මොහු වෙරළු ගසේ රැදිලා සිටින්නේ යමක්‌ දැඩි ලෙස ඡන්ද රාගයෙන් අල්ලාගෙන. එම ඡන්ද රාගය තිබෙන තාක්‌කල් මොහු මෙතනින් ගලවා ගන්න බැහැ. මෙයා ගෙදර දොරටුව ඉදිරියෙම ගසට වෙලා තම සහෝදරයා, දරුවා, ඥාතීන් බලමින්, දකිමින්, සතුටුවෙමින් ඇති. ඔබ කළ යුත්තේ මේ වෙරළු ගස මුල ආසනයක්‌ හදලා, දිනපතා එම ආසනයමත ඉදගෙන මේ ඇස, කන, නාසය, දිව, මනස, කය අනිත්‍යයයි කියලා සඡ්ඡායනය කරන්න. නැවත නැවත මෙය ඇසෙන විට ඔහු සිතන්න ගනී මේ කියන්නේ මොකක්‌ද කියලා. අර්ථය, ශබ්දය, රසය ටික ටික දැනේවි. කුසල් සිතුවිලි මතුවේවී වෙනසක්‌ සිදුවෙන්න පුළුවන් ඔතනින් පමණයි. ‘හැබැයි මොනම හේතුවක්‌ නිසාවත් තම ඥාතියා මෙවැනි ජීවිතයක්‌ ලබා වෙරළු ගසේ සිටිනවා යෑයි ගෙදර අනෙක්‌ අයට කියන්න එපා’ යෑයි භික්‍ෂුව කිව්වා. එයට හේතුව ජීවත්ව සිටින අයට අමනුෂ්‍ය සංඥා වැඩෙන නිසාය. තම වැඩිහිටි සහෝදරයා තමාගේ අධ්‍යත්මික වර්ධනය උදෙසා වෙරළු ගස මුල දැනටත් අනිත්‍ය සඡ්ඡායනාව කරනවා ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එය මියගිය අයට සේම ජීවත්ව සිටින අයටද ආශිර්වාදයක්‌ මිස දුක පිණිස හේතුවන දෙයක්‌ නොවේ. ජීවත්ව සිටින තැනැත්තාටද එය සතර අපායෙන් මිදීම සඳහා හොඳ කමටහනකි. ඔබද මේ සටහන කියවා යම් කුසල් සිතක්‌ ඇතිවුනා නම් එම පින එම ඥාතියාට අනුමෝදන් වේවායි සිතන්න. ඔහුට එය සුගතියක ඉපදීමට මහෝපකාරිවනු ඇත. මෙය කියවන නොකියවන පිංවත් ඔබද ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම නිසා මරණින් පසු අත්වන විපාක දැක නිරතුරුවම සතර අපායෙන් මිදීම අරමුණුකර තෙරුවන් කෙරෙහි අචල සද්ධාව, ශීලය, දානය ජීවිත තුළින් වඩන්න.

මගේ කර රැස්‌කරන්නාවු සෑම දෙයකම අනිත්‍යය බව දකින්න. ඔබ මෙසේ සතියෙන් සිහියෙන් යුතුව ජීවත්වන්නේ නම් එසේ ජීවත්වන මොහොතක්‌ පාසා විභවේ ආලෝකය ඔබ අත්විදිනු ඇත.