බෞද්ධයෙක්‌ වේවා අබෞද්ධයෙක්‌ වේවා කෙනෙක්‌ මියයැමෙන් අනතුරුව දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්‌ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිෂ්ඨිකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන් බ්‍රහ්මයන් වීමට මාර්ගය විවෘතව ඇත. නමුත් බහුතරයක්‌ අතරමග නවාතැන්පොළවල තාවකාලික සැපයන්ට මුලාවී නවාතැන්ගෙන ඇත. පිංවත් ඔබ කුමන ජාතියක ආගමක වුවද ධර්ම මාර්ගයේ නවාතැන් ගෙන නොගෙන අවංකවම වීර්යයෙන්, සතියෙන්, සිහියෙන් හිරිඔතප් දෙක සහිතව පෙරට යන්න, ඔබට බොහෝ දේ හමුවනු ඇත. බොහෝ දේවල් යෑයි සඳහන් කළේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සියල්ලන්මය. සිත ක්‌ෂණයෙන් අනිත්‍යවී ගියද අනිත්‍යවු සිත තුළ මේ ”ලොකු ගොඩ” ක්‍රියාත්මකව තිබිණි. භවය සඳහා මග වියදම් ඉතිරි කර දෙන්නේ මේ ක්‍රියාත්මක භාවයයි. ඇති වෙමින් නැති වෙන එක සිතකට ඔබට මහාදුකක්‌ හෝ මහාසැපක්‌ උරුමකර දීමේ හැකියාව ඇත. ඔබ කැමැති දෙය ඔබේ කැමැති පරිදි තෝරාගැනීමට ඔබට හැකිය. මේ කැමැත්ත අකැමැත්ත දෙක වගේම ඒ දෙක අඩු තැන ඇති උපේක්‍ෂාව තුළ ද ඇත්තේ අනිත්‍යභාවයට පත්වෙන දුකක්‌ හෝ සැපයක්‌ බව අවබෝධකර ගතහොත් ඔබට ඉහත සියල්ල අවබෝධයෙන් අතහැරෙනු ඇත. මන්ද ඔබ ගොඩම, දුකේ නිර්මාණකරුවන් ලෙස අවබෝධයෙන් හඳුනාගත් නිසාය.

සසර ඔබත් මමත් පැමිණි දුර ඉලක්‌කම්වලින් සටහන් කළ නොහැක්‌කකි. එහෙත් ඔබත් මටත් දැනෙන්නේ අපි මේ ජීවිතයේදීත් පෙර ජීවිතයේදීත් පමණක්‌ පැමිණි ගමනය. භවයේ දුර ගැඹුර වසාදමන මාර අස්‌බැන්ඳුමෙන් අප මිදිය යුතුය. නිවීම ගැන සතර අපායෙන් මිදීම ගැන ධර්මය ඇසෙන, සැබෑම සද්ධර්මය සම්බුද්ධ වචනයම ඇසෙන මේ තීරණාත්මක අවස්‌ථාවේ පිංවත් ඔබ වීර්යය කළ යුත්තේ ලොව්තුරා බුදුසමි`දුන් දැක නිවන් දැකීමට නොවේ. නිවන් අවබෝධකර අවම වශයෙන් සතර අපායෙන් මිදී ලොව්තුරා බුදුසමි`දුන්ව දැකීමටය. මෙවැනි ශාසන පරිහානියක්‌ කරායන යුගයක බුදුන් දැක නිවන් දැකීම යනු මාර ධර්මයකි. පිංවත් ඔබ දුකෙන් දුකට යැමකි. මේ ලැබු ජීවිතයේදී එහි දුක සැප ඔබ විසින්ම නිර්මාණය කරගත් එකකි. නිර්මාණය දුකනම් නිර්මාණය කළු නම් එහි සැබෑ නිර්මාපකයා සොයා පිළියම් කරනවා මිස තවත් පිටස්‌තරයකුට නිරපරාදේ චෝදනා නොකරන්න. ඵලය ගැන දුක්‌වීම පසෙක තබා හේතුව ගැන සොයා බැලීමෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදිය හැකිය. මේ මොහොතේ ඔබ ජීවිතය තුළින් අත්විඳින රූපයේ අවපැහැය, අල්පේශාඛ්‍යභාවය, වත්පොහොසත්කමේ අඩුව මේවා ගැන දුක්‌වීම පසෙක තබා මේවා මේ ජීවිතයේ නොලැබීමට හේතුවත් ඒවා ලැබීමට මාර්ගයත් සොයා බලන්න. ඔබ කැමති සැප ලැබීමේ මාර්ගය ලබන්න නම් නොලැබීමට හේතුවන්නාවූ අකුසලයන් ජීවිතයෙන් අතහරින්න. බොහෝම නිරවුල්ව ඔබට මෙය තෝරාගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්මය තුළ ඔබ ජීවිතයේ වැඩිම වුවහොත් අවුරුදු 100ක්‌ ජීවත්වෙයි. එය තමයි උපරිමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගන්නාවු හුස්‌ම පොද ඉහළට අරගෙන පිටකරන මොහොතේ මරණය සිදුවිය හැකි බව. එය තමයි අවමය. ඒ නිසා ඔබට ජීවත්වීමට ඇති කෙටි කාලයේදී බොහෝම ඉවසීමෙන් ජීවිතය නිවැරදි මගට ගන්න. ඊළඟ සුගතිගාමී ජීවිතය සඳහා මේ කෙටි කාලය කළමනාකරණය කරගන්න. තමා පෙර ජීවිතයේ කරගත් දෙයට තමා වර්තමානයේ වෛර කරන්න යන්න එපා. මේ ජීවිතයේ ඔබට ලැබුණු දුර්වල රූපය, අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය ගැන නැවත නැවත දුක්‌වීම පසෙක තබා දානය, ශීලය, මෛත්‍රීය තෙරුවන්ල ගුණ ගැනම සිතන්න. නොලැබූ දෙය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණවන්න. ඉවත් වීමට ඉතිරිව ඇති ඉතිරි කෙටිකාලය අවුරුදු ලක්‍ෂ ගණනින් ආයුෂ විඳින සශ්‍රික ප්‍රභාෂ්වර ආයුෂ, සැප, වර්ණ, බලයෙන් අනූන දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වීම උදෙසා කැපකරන්න. මේ ජීවිතයේදී ඔබට අර්ථාන්විත ලෙස යෙදිය හැකි සැබෑම ලාභදායි ව්‍යාපාරය එය බව හඳුනාගන්න. පිංකම් සිදුකරමින් දේවානුස්‌සතිය වඩන්න. ඔබම වැටුණු වළෙන් ඔබම ගොඩඑන්න. ද්වේශයේ, මෝහයේ උදැල්ලෙන් එම වළ තව තව ගැඹුරු නොකරගන්න. දානය, ශීලය, මෛත්‍රීයෙන් එම වළ පුරවා ස්‌වඋත්සහයෙන් ඔබම වළෙන් ගොඩවී සුගතියේ සුරපුරයට ගොඩවදින්න. හැබැයි ඔබ සියලු යසඉසුරින් සපිරි දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ ලෙස සශ්‍රි දිව්‍යතලය උපත ලැබුවද එම දිව්‍යතලයේම ජීවත්වෙන මහේශාඛ්‍ය දෙවිවරුන් දිව්‍යංගනාවන්ගේ රූපශ්‍රිය අසිරිය ප්‍රභාෂ්වර භාවය දැක එතැනදී ද ඔබට හීනමානය, ද්වේශය ඇතිවීම ස්‌වභාවයක්‌මය.

අතීතයේ මනුෂ්‍යයන් ලෙස බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට සියතින් සිව්පසය පූජාකර සිල් ආරක්‍ෂා කරලා මෛත්‍රිය වඩල එම පිනෙන් දෙවියෙක්‌ වූ අප්‍රමාණ පිනෙන් පිරි දෙවියෙක්‌ දිව්‍යතල වෙසෙයි. ඔවුනගේ සශ්‍රිකභාවයට ළංවීමට වර්තමානයේ හෝ අනාගතයේදී එම දිව්‍යතල උපත ලබන කිසිවකුට නොහැකිය. මන්ද අතීතයේ කළ අතිදුර්ලභ පිංකම් සිදුකරගැනීමට බුදුරජාණන් වහන්සේ ද, මහරහතන්වහන්සේලාද අපිට හමුනොවන නිසාය. එහෙත් ඔබ දක්‍ෂ නම් සතිය සිහිය තියුණුනම් ඔබට ප්‍රතිහාර්යයන් සිදුකරගත හැකිය. මේ යථාර්ථයන් ඔබ අවබෝධකර නොගතහොත් සුගතියද ඔබට දුක්‌විය හැකිය. මොකද ඔබ මනුෂ්‍යයෙක්‌ ලෙස උපත ලබා තිබෙන්නේ සුගතියට අයත් වාසස්‌ථානයකය. එහෙයින් මෙතැන ඇත්තේ සුගතියේ ඔබ ඉපදෙන තැන ප්‍රශ්නයක්‌ නොවේ. කොතනක ඉපදුනද එතැන දුකය කියන ප්‍රශ්නයය. කුමන අඩුපාඩු ජීවිතය තුළ තිබුණද ඔබ දුකට හඬන්න එපා. හඬන්න හඬන්න දුකමයි තවත් වැඩිවන්නේ දුකේ හිතවතා තමයි කඳුළ. කඳුළ තමයි දුකේ වටිනාකම වැඩි කර දෙන්නේ. ඔබ හඬනවා පසුතැවෙනවා කියන්නේ දුක පිළිගන්නවා කියන එකයි. දුකට වටිනාකමක්‌ දෙනවා කියන එකයි. සතුටත් මේ වගේම තමයි. සතුටේදීත් සැපයේදීත් ඔබ හෙළන්නේ සතුටු කඳුළු ඇලීමත් ගැටීමත් දෙකටම හේතුව තෘෂ්ණාව නිසාම එකම ස්‌වභාවයේ කඳුළු ඔබ දුකටත් සැපටත් දෙකටම හෙළනවා. මෙයින් ඔබ තේරුම් ගන්න දුකත් සැපත් අතර තිබෙන පරතරය සමීප බව කොතරම් කෙටිද කියලා. සිතක්‌ අනිත්‍යභාවයට පත්වෙන වේගය යම්සේ ප්‍රවේගකාරීද දුක සහ සැපය අතර පරතරය එතරම්ම කෙටිය. මේ නිසාමයි පිංවත් ඔබ නිතරම දුක්‌ සහ සැපවේදනාවන් අතර දෝලනය වන්නේ. මේ කෙටි බව ඔබට තාවකාලිකව ඇතිකරගන්න පුළුවන් මාර්ගය ධර්මය තූළ තිබෙනවා. ඔබේ ජීවිතය තුළින් කුසල් දහම් සිදුකරගැනීමෙන් දාන, ශීල, භාවනා පිංකම් සිදුකර ගැනීමෙන් මේ ආකාරයෙන් දුකත් සැපත් අතර තිබෙන පරතරය වැඩිකරගෙන සැප වැඩියෙන් විඳින පිරිසක්‌ තමයි සශ්‍රික දිව්‍යතලවල ජීවත්වන දෙවියන් දිව්‍යංගනාවන්. ඒ අතීතයේ ධර්මානුකූල ජීවිත ගත කරලා එහි ප්‍රතිඵලය වශයෙන් දිව්‍යතලවල ඉපදිලා තාවකාලිකව දුක ඇතිකරගෙන ජීවත්වන පිරිසක්‌. දුකෙන් මිදිල නැහැ. දුක ජීවිතයෙන් ඈත්කරගෙන සැපමයි අත්විඳින්නේ. මේ අවස්‌ථාව තාවකාලිකයි. පිංවත් මනුෂ්‍ය ජීවිත ගතකරන ඔබ දක්‍ෂනම් ඔබට පුළුවන් මේ තාවකාලික සැපය නිවන් අවබෝධ කරගන්නා තෙක්‌ ස්‌ථිර සැපයක්‌ බවට පත්කර ගන්න. ඒ ඔබ මාර්ගඵලලාභී දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ බවට පත්වුවහොත්. ඊට අදාළ ධර්මයන් වැඩුවොත්.

එම නිසා දුකට පසුතැවෙන හඬන ලතවෙන ඔබ දුකට පඬුරු බඳින, කොඩි එල්ලන ඔබ ඔබේ ජීවිතයෙන් අර්ථවත් ලෙසට දුක දුරුකර ගැනීමට ඈත්කර ගැනීමට වෙහෙසවිය යුතුයි. සශ්‍රික දෙවියෙක්‌ වීමට පෙර ඔවුන් මනුෂ්‍ය ලෝකයේදී ජීවිතයෙන් වැඩූ සැබෑම ධර්ම ප්‍රතිපදාව නුවනින් හඳුනාගන්න. අතීතයේ කුසල් දහම් සිදුකරගෙන සශ්‍රික දිව්‍ය ජීවිත ගතකරන මහේශාඛ්‍ය දෙවිවරුන් පිංවත් ඔබලා දුකෙන් සහනය ලැබීමට පූජා වට්‌ටි ඔසවාගෙන යනවිට පඬුරු බඳිනවිට සිනාසෙනවා මිස අන්කුමක්‌ කරන්නද? පිනම තමයි සැපය. එය ජීවිතයේ කොටසක්‌ කරගන්න. කර්මය, කර්මඵල විශ්වාසයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෘෂ්ණාවෙන් තොරව ඔබ පූජා කරන දානවේලක ඔබට ආයුෂ, වර්ණය, සැපය, බලය මෙලොව පරලොව වශයෙන් ලැබෙන බව මෙනෙහි කරන්න. එහෙත් ඔබ කාමය උදෙසා තෘෂ්ණාවෙන් ගිල දමන ආහාරවේලක සැඟවී ඇත්තේ ප්‍රේතයෙක්‌ම බව දකින්න. ඔබම කැමති දෙය තෝරාගන්න. හැබැයි ඔබ වැරැදි දෙය තෝරාගතහොත් මතු ජීවිතයේදී ඔබ ප්‍රේතයෙක්‌ නොවේ. අහම්බෙන්වත් මනුෂ්‍යයෙක්‌ව ඉපදුනහොත් දුකට හඬන්නෙක්‌ වීමටද පඬුරු බඳින, කොඩි එල්ලන මනුෂ්‍යයෙකුවීම අනිවාර්ය බව දකින්න. පඬුරුත් කොඩියත් කඳුළත් තුළ සැඟවුණ සංසාරික අකුසල් පිළිබඳ යථාර්ථය යම් මොහොතක ඔබ හෙළිකරගනීද ඒ හෙළිකරගන්නේ සැප ලැබීමේ සැබෑම මාර්ගයයි.