ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ දුකට හේතුව වන කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ලාමකයි, තුච්ඡයි කියළා. මේ කාමයන්ගෙන් ආශ්වාදයන්ගෙන් දුරස්‌වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ.

මේ ආශ්වාදයට ඇති ලොල් භාවය නිසාමයි සත්වයා අප්‍රමාණ අකුසල් සිදුකරගන්නේ. ඒ අකුසල්වල ප්‍රතිඵලය තමයි කායිකව මානසිකව ඔබ අත්විඳින දුක පසුතැවීම. මෙය හඳුනාගතහොත් ඔබලාට දේවාල ගාණේ පඬුරු බඳින්න, භාරහාර වෙන්න යන්න අවශ්‍ය නැහැ.

වර්තමානයේ සමහරක්‌ පූජනීය බෝධීන් වහන්සේලාගේ බෝධි අතු භාරහාර සඳහා බැඳපු පඬුරුවලින් පිරිලා, එල්ලපු කොඩිවලින් පිරිලා, දේවාලවලත් එහෙමයි. ඔබේ ජීවිතයට බලපාන ප්‍රශ්න ඔබ හේතුඵලධර්මයන්ට අනුව ගලපාගතහොත් ඔබ නැවත පූජනීය බෝධීන්වහන්සේලාගේ බෝ අතුවල පඬුරු එල්ලන්නේ නැහැ. ඔබට පඬුරක්‌ බඳින්න අවශ්‍යනම් ඊට සුදුසුම තැන ඔබේම අත හෝ බෙල්ලයි. මොකද ඔබ එහෙම බැඳගතහොත් ඔබට නිරතුරුවම සිහිය පිහිටනවා. ඔබ එය දකින, දකින මොහොතක්‌ පාසාම. ඔබ තුළින් අකුසලයන් සිද්ධවෙන්න යනවිට එය වළක්‌වා ගැනීමට, කළ අකුසල් නැවත නොකිරීමට, නොකළ කුසල් සිදුකරගැනීමට… මොකද ඔබ පඬුරු බඳින්නේ ඔබට තිබෙන ප්‍රශ්නයක්‌ විසඳාගන්න භාරයක්‌ ලෙසටයි. ඔය ප්‍රශ්න ඇති වුණේ අතීතයේ ඔබ අකුසල් නිසාමයි. ඒ නිසා අනුන්ට භාරවෙලා වැඩක්‌ නැහැ. තමා තමාට භාරවෙන්න ඕනේ. සපථ වෙන්න ඕනේ. අකුසලයෙන් දුරුවෙලා කුසල් වඩනවාය කියලා. ඒ මාර්ගය තුළයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එවිටයි ඔබට අකුසල් යටපත් වෙලා කුසල් ඉස්‌මතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පව යටපත් කරලා පින මතුකරගන්න පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියලා කියන්නේ සැපයට කියන තව නමක්‌ය කියලා. සැපය හීනයි කියන්නේ පින හීනයි කියන එකයි. ඉවසීම තිබෙනවානම් තේරුම් ගැනීමට ඉතාමත් පහසු සමීකරණයක්‌ මේක. ඉවසීම නැති තැනදී ඔබ ඔබගෙන්ම පළිගන්නවා. එයත් දිට්‌ඨදම්ම වේදනීය අකුසල විපාකයක්‌. ඔබ අතීතයේ කරන අකුසල්වලට ඔබ විසින්ම වැරදි දෘෂ්ටීන් ඇතිකරගෙන කායිකව මානසිකව දඬුවම් විඳිනවා. වෙනත් කෙනෙක්‌ ඔබට දඬුවම් කරනවා නොවේ.

ඔබ ඔය දේවාල ගාණේ පිළිසරණ සොයා රස්‌තියාදුවන්නේ පෙර ජීවිතයේදී ඔබ අනුනගේ බලාපොරොත්තු කඩකරලා තිබෙන නිසා වෙන්න පුළුවන්. අනුනගේ බලාපොරොත්තු කඩකරලා අනුන්ව අතරමං කළ නිසා වෙන්න පුළුවන්. ඔබේ මහේශාඛ්‍යභාවයෙන් අනුනට පීඩාකිරීමේ අකුසලයේ ප්‍රතිබිම්බය තමයි ඔබ අත්විඳින්නේ. ප්‍රතිබිම්බය කියන්නේ ඔබම හේතුවෙන් සැදුනක්‌. මේ සෑම දෙයක්‌ම ධර්මානුකූලව බැලුවහම, ඔබට සිතෙන්න ඕනේ, සැප හෝ දුක ගැන සිත සිතා සිටීම නොව, මේ දෙකෙන්ම මිදිය යුතුය කියලා. මිදීමේ මාර්ගයට අවතීර්ණ වීමය කියලා. දුක, සැප දකින, මනින, කිරන, ගණන් හදන මමත්වයේ දැඩිභාවයෙන් මිදීමය කියලා.

රෙදි කැබැල්ලක බැඳගත් රුපියල් දෙකේ කාසියකින්, පොප්ලින් යාරයකින් මසාගත් කොඩියකින්, දේවාලයේ ත්‍රිශූලය මත ගැටගසන පඬුරකින්, දුකින් මිදීමට හැකි බවට ඔබ තුළ ඇති දෘෂ්ටිය, විචිකිච්ජාව, තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව තුළින්ම ඔබ නැතිකරගත යුතුය. තෙරුවන් වෙත ජීවිතය පූජාකර, ශීලයේ කොඩිය ඔබේ අතට ගෙන, කර්මය කර්මඵල විශ්වාසයෙන් හැකිතාක්‌ පඬුරු දන්දෙමින්, දුකට හඬනා කඳුළු මෛත්‍රියෙන් පිසදාගෙන, සැප ලබන සැබෑම මාර්ගයට අවතීර්ණ වෙන්න. මුලාවූ ලෝකයෙන් මිදී, සතර අපායෙන් නිදහස්‌වූ මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌ වන්න ඔබත් වීර්යය වඩන්න.