රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව, රූපය ඇසුරු කරමින්ම, ක්‍රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්‌වභාවයෙන්ම තිබෙන්නට හැර, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලාගන්න ඕනෑතරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස්‌ වුණාය කියලා ලෝකයට පාඩුවක්‌ නැහැ. ලෝකයට හැමදාමත් පෙරහැරවල් දෙකක්‌ තිබෙනවා. එක පෙරහැරක්‌ තමයි ධර්මයේ පෙරහැර. අනෙක්‌ එක තමයි අධර්මයේ පෙරහැර. ලෝකයේ හැමදාමත් අධර්මයේ පෙරහැර දිග වැඩියි. ධර්මයේ පෙරහැර හැමදාමත් දිගින් අඩුයි.

ධර්මාවබෝධය සඳහා ඇතිවන බුද්ධෝත්පාද කාලවල ආයුෂත් හුඟක්‌ අඩුයි. අධර්මයේ කාලය, අති දීර්ඝයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු විසි දහසක්‌. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමායුෂ අවුරුදු එකසිය විස්‌සයි. දැන් ඔබ නුවණින් දකින්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු ලක්‍ෂයක්‌ ගියාට පස්‌සෙද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ?

පරමායුෂ අවුරුදු විසිදාහක්‌, පරමායුෂ අවුරුදු එකසිය විස්‌සක්‌ බවට ක්‍රමානුකූලව අඩුවෙන්න අවම තරමින් අවුරුදු ලක්‍ෂ දහයක්‌වත් ගතවෙන්න ඕනේ. ඒ අවුරුදු ලක්‍ෂ දහයම පාහේ අබුද්ධෝත්පාද කාලය. ඒ කියන්නේ මාරයාගේ කාලය. මාරයා විසින් ලෝකය පාලනය කරන කාලය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවම වශයෙන් අවුරුදු ලක්‍ෂ දහයකට පසුවයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ වගේමයි ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තව ටික කාලයකින් අතුරුදන්වෙලා, නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇති වන්නේ තවත් අවුරුදු ලක්‍ෂ විසි පහක්‌වත් ඈතට ගිහිල්ලයි.

අබුද්ධෝත්පත්ති කාලවලදී, සතර අපායේ සත්වයාගෙත්, මනුෂ්‍යයාගෙත් අතර වෙනසක්‌ නැහැ. සුගතියෙත් දුගතියෙත් වෙනස ඇතිකොට දෙන්නේ ශීලය විසින්. අබුද්ධෝත්පත්ති කාලවලදී ධර්මය බවට පත්වෙන්නේ දුස්‌ශීල භාවයයි. දුස්‌ශීලභාවය නිසා, මනුෂ්‍යයාගේත්, දෙවියාගේත් තිබෙන ගුණාත්මකභාවය හීන කරනවා. මනුෂ්‍යත්වයට වටිනාකමක්‌ ලබාදෙන්නේ බුද්ධොත්පාද කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම ඉතාම දුර්ලභ දෙයක්‌ හැටියට. එය කණ කැස්‌බෑවෙක්‌ විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක්‌ය කියලා.

එසේනම් පිංවත් ඔබ නුවණින් දකින්න ඕනේ, මෙතැනදී බුදුරජාණන් වහන්සේ කණ කැස්‌බෑවෙක්‌ විය සිදුරෙන් අහස බලනවා වගේ, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම දුර්ලභ දෙයක්‌ බව කියන්නේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයක, උතුම් බෞද්ධයෙක්‌ වශයෙන් ඉපදීමයි. මිත්‍යාදෘෂ්ටිකභාවයට පත්වී ඉපදීම, අබුද්ධෝත්පත්ති කාලවල මනුෂ්‍ය ජීවිත ලබා ඉපදීම, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්‌ බවට පත්වන්නේ නැහැ. පිංවත් ඔබ නුවණින් මෙනෙහි කිරීම තුළින්ම මේ සත්‍යය දකින්නට ඕනේ. ඔබ මේ සත්‍යය දකින්නට අදක්‍ෂ වුවහොත්, මේ ලැබූ උතුම් බෞද්ධ ජීවිතයේ වටිනාකම ඔබ මතුකොට ගන්නේ නැහැ. මේ ලෝකධාතුව තුළ ජීවත්වෙන හැම මනුෂ්‍යයෙක්‌ටම වඩා ඔබ මේ බුද්ධෝත්පාද කාලය තුළ ලැබූ මනුෂ්‍ය උපත ශ්‍රේෂ්ඨ වෙනවා. කණකැස්‌බෑවෙක්‌ විය සිදුරින් අහස දකිනවාය කියන අතිශයින් දුර්ලභ ඉලක්‌කය ඔබ සපුරාගෙන සිටිනවා. ඒකයි භික්‍ෂුව ඔබට කියන්නේ ඔබ ලැබූ මේ උපත, කාලය, දීපය, දේශය, කුලය, මව කියන කාරණා බලා ලැබූ උපතක්‌ය කියලා. පිංවත් ඔබ මේ උතුම් ධර්මතාවයන් සුපරාගනිමින් ලැබූ මේ උපත අර්ථවත් කරගන්න දක්‍ෂ වෙන්න ඕනේ.

අපි සිතා ඉන්නවා මෛත්‍රී බුදරජාණන් වහන්සේ තව අවුරුදු පන්දහසකින් පහළවෙනවාය කියලා. මෙවැනි අදහස්‌ අමූලික ශ්‍රද්ධාව හැටියටයි ගැනෙන්නේ. ඔබම පෑනක්‌ කොළයක්‌ අරගෙන කාලය පිළිබඳව තීරණයකට එන්න.

බුදුරජාණන් වහනසේ ජීවමානව වැඩසිටි කාලයේ පරමායුෂ අවුරුදු 120 යි. වර්තමානයේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු හැත්තෑවට විතර බැහැලා තිබෙනවා. ඒ කියන්නේ වසර දෙදහස්‌ පන්සියයක කාලය ගෙවී යද්දී පරමායුෂ අවුරුදු පනහකින් මනුෂ්‍යයාගේ ආයුෂ අඩුවෙලා තිබෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහලවන්නේ මනුෂ්‍යගේ ආයුෂ අවුරුදු අසූ දහසක්‌ දක්‌වා ඉහළ නැගපු කාලයකදියි. එසේනම් ඔබම ගණන් හදා බලන්න, අවුරුදු දෙදහස්‌ පන්සියයකට ආයුෂ අවුරුදු පනහක්‌ අඩුවැඩි වීමක්‌ සිද්ධ වෙනවා නම් මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු අසූදහසක්‌ දක්‌වා ඉහළ යන්න අවම වශයෙන් තව අවුරුදු ලක්‍ෂ විසි පහකටත් වැඩිය යනවා. පිංවත් ඔබ නිවැරදිවම ගණන් හදා බැලුවහොත් මෙම කාලය මීට වඩාත් වැඩිවිය හැකි බව ඔබට තේරුම් යනු ඇත.