මේ මොහොත ධර්මයේ අර්ථයන් දීප්තිමත්ව බබළන මොහොතක්‌. එය හරියටම සවසට මුහුදු වෙරළට ගොස්‌ ඉර බැසයනවා බලනවිට ඇතිවන ඉරේ දීප්තිය වගේ. අතුරුදන්වීමේ ඇරඹුමයි අපිට දීප්තියේ ප්‍රභාෂ්වරභාවය තුළින් මතක්‌ කර දෙන්නේ. වර්තමානයේද බුදුදහමේ අර්ථයන් ජීවමානව තිබෙන බැවින් එම අර්ථයන් තුළින් ගුණාත්මක පණිවිඩයක්‌ ලෝකයාට ලැබෙන නිසා ලෝකයේ පවතින අනෙකුත් ආගම්ද ඒවායේ ගුණාත්මකභාවය ඉහළමට්‌ටමක පවත්වාගැනීමට උත්සහ ගන්නවා. මොකද බුදුදහමේ ශක්‌තිමත් අර්ථයන්ට මුහුණදීමට. එසේ නොවුණහොත් බුදුදහමේ අර්ථයන් ඉදිරියේ ඔවුන්ගේ ආගම් අර්ථශූන්‍ය වෙනවා. නමුත් යම් දවසක බුදුදහමේ අර්ථයන් ගිළිහී ගියොත්, ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය අතුරුදන්ව ගියොත්, අන්‍ය ආගම්වලට තරග කිරීමට දහමක්‌ ලෝකයේ නැතිව යනවා. ඒ හේතුව නිසා මුළු ලෝකයම සදාචාරාත්මක බිඳවැටීමකට ලක්‌වෙනවා. ශීලය විකෘති වී ගිය දුශ්ශීල සමාජයකදි මනුෂ්‍යයා සහ තිරිසන් සත්වයා අතර වෙනසක්‌ නැහැ. එවන් සමාජයක මනුෂ්‍යත්වය කියන කාරණය දුර්ලභ දෙයක්‌ වෙන්නේ නැහැ.

එක්‌ ධර්ම සාකච්ජාවකදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා සමාජය එන්න එන්නම පිරිහුණත් උතුම් යෑයි සැලකෙන මනුෂ්‍ය ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙන්නේ කොහොමද කියලා. නමුත් මෙවන් කලක මනුෂ්‍යයා දුශ්ශීල වෙන්න, වෙන්න මනුෂ්‍ය ජනගහණය වැඩිවෙනවා. එය හේතුඵල ධර්මයක්‌. මනුෂ්‍යයා ශීලයෙන් පිරිහෙනකොට මනුෂ්‍යයා තිරිසන් සතුන් සමග වඩාත් ලෙන්ගතුවෙනවා. දැන් බල්ලෙක්‌, පූසෙක්‌, මාළුටැංකියක්‌ නැති ගෙදරක්‌ නැති තරම්. ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය පිරිහෙනවිට මනුෂ්‍යයා තිරිසන් සතුන්ව මගේ කරගන්නවා. දරුවන් කරගන්නවා. බිරිඳ කරගන්නවා. තිරිසන් සතුන් සමග කාමයේ හැසිරෙන මිනිසුන් සමාජයේ සිටිනවා. විදේශ රටවල මේ තත්ත්වය වැඩියි. ඒ වගේමයි මනුෂ්‍යයා ශ්‍රද්ධාවෙන් පිරිහෙනවිට ප්‍රේතයා, යක්‍ෂයා කියන සත්වයින් සමග ඇසුරත් හුඟක්‌ වැඩිවෙනවා. රට පුරාම තොවිල්, දේවාල, සාස්‌තර කියන ස්‌ථාන වේගයෙන් වැඩිවෙනවා. මේ හැමදෙයක්‌ තුළින්ම අමනුෂ්‍යයින්, මනුෂ්‍යයින් සමග සම්බන්ධ වෙනවා වැඩියි. මනුෂ්‍යයාත් සතර අපායේ සත්වයන් අතරත් ඇසුර වැඩිවෙන්නේ ශ්‍රද්ධාවෙන් තොර දුශ්ශීල භාවය නිසයි.

සතර අපායත් උතුම් මනුෂ්‍ය ජීවිතයත් අතර ඇති පරතරය නොදකින නිසා මනුෂ්‍යයාත් සතර අපායේ සත්වයාත් වෙන්කර දක්‌වන ශිල්වත්භාවය මනුෂ්‍යයා තුළින් අතුරුදන්වෙමින්, මනුෂ්‍යයා දුශ්ශීලවත් වෙනවිට, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම දුර්ලභ කාරණයක්‌ වෙන්නේ නැහැ. එවිට මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තිරිසන් සතා ප්‍රේතයා කියන තැන ආසන්නයටම වැටෙනවා. එවිට මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම කනකැස්‌බෑවෙක්‌ වියසිදුරෙන් අහස බලනවා වාගේ දුර්ලභ දෙයක්‌ නොවේ. මනුෂ්‍යයා මැරිලා තිරිසන් සතෙක්‌, ප්‍රේතයෙක්‌ වෙනවා වගේම තිරිසන් සතුන් අමනුෂ්‍යයින් මැරිලා මනුෂ්‍යයින් වශයෙන් ඉපදෙනවා. මනුෂ්‍යයාගේ දුෂ්ශීලභාවය නිසා වැඩිවශයෙන් තිරිසන් සතුන් ප්‍රේතයින් ඇසුරට යාම හේතුවෙන් මේ සතර අපායේ සත්වයින් මැරෙන මොහොතේ මනුෂ්‍ය උපාදානයක්‌ සකස්‌කරගෙන මනුෂ්‍යයන් වශයෙන් උපදිනවා. මේ හේතුවෙන් වේගයෙන් මනුෂ්‍ය ගහනය ඉහළ යනවා. තිරිසන් සතුන් අමනුෂ්‍යයින් මැරිලා වේගයෙන් මනුෂ්‍යයින් වශයෙන් ඉපදෙනවා. නමුත් එම මනුෂ්‍යයාගේ ගුණාත්මකභාවයක්‌ නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙන වේගයෙන්ම දෙවියාද දුශ්ශීලභාවයට පත්වෙනවා කියල. මොකද මනුෂ්‍යයාගේ දුශ්ශීලභාවය දැකල කාමඡන්දයන්ට ප්‍රියකරන මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මනුෂ්‍යයාගේ ආදර්ශය ලබමින් දුශ්ශීලභාවයට පත්වෙනවා. දෙවියන්ද දුශ්ශීලභාවයට පත්වීම නිසාම දෙවියන් තුළද ලෝභ, ද්වේශ, මෝහ අකුසලයන් බහුලවී දෙවියන්ද මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. මනුෂ්‍ය ජනගහණය තව තව වැඩිවෙනවා. අබුද්ධොත්පාද කාලවල දිව්‍යතලවල දෙවියන්ගේ ගහණය ශීඝ්‍රයෙන් පහළ බසිනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ පහළ යන දිව්‍යගහණය, මනුෂ්‍ය ලෝකයේ ජනගහණයටයි එකතුවෙන්නේ. දැන් ලෝකය එකම අවුලක්‌.

පිංවත් ඔබ මේ ජීවිතයේදී අදක්‍ෂ වුවහොත්, ඔබටත් මේ අවුලේ කොටස්‌කරුවෙක්‌ බවට පත්වෙන්නට සිද්ධවේවි. එදාට ලෝකයේ ධර්මය බවට පත්වන්නේ ඇනකොටා ගැනීම, මරාගැනීම සහ යටත්කොට ගැනීමයි.

ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය අතුරුදන්ව ගිය සමාජයකදී ඔබව හරකුන් එළුවන් වගේ කෑලි කෑලිවලට කපා මරා දමාවී. මුවන් ගෝනුන් සේ වෙඩිතබා මරාදමාවි. ගස්‌වල අතුරිකිලි කපනවා වාගේ ඔබගේ අතපය කපලා දමාවී. ගල්ගෙඩි හිස මතට අතහැරලා පණපිටින් ඔබේ හිස කුඩුකරාවී. අමු අමුවේ ඔබලාව පුච්චලා මරාගෙන කාවී. ජනගහණය වැඩිවීමත්, ස්‌වභාවික සම්පත් හීනව යැමත් නිසා බලකාමී යුද කෝලාහලවලට මැදිවී ඔබ මැරුම්කාවී. දුකම, කඳුළම වියෝවම උරුම කරදෙන දුශ්ශීල සමාජයක්‌ අනාගතයේ ඔබට උරුමකරදෙන්නේ මේ සත්‍ය තත්ත්වය නුවණින් මෙනෙහි කරමින් අනාගත සංසාර බිය ඇතිකරගන්න. අතීතයේ ගෙවුණ අබුද්ධෝත්පාද කාලවල ඔබ විඳ ඇති දුක්‌ ගොඩ නුවණින් දකින්න. මැනවින් දැකීම තුළින්මයි ඔබ අවබෝධයෙන් කලකිරෙන්නේ. අවබෝධයෙන් කලකිරීම තුළින්මයි ඔබ නොඇලීමේ අර්ථය මතුකරගන්නේ. නොඇලීමේ අර්ථය තුළින්මයි පිංවත් ඔබ තුළ භවයෙන් නිදහස්‌ වීමට අවශ්‍ය සාධක සකස්‌වෙන්නේ. නිදහස්‌ වීම තුළින්මයි කවදාහරි දවසක අපි නිවීම සාක්‍ෂාත් කර ගන්නේ. එහෙමනම් නිවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය බවට පත්වෙන්නේ සංසාර බිය නුවනින්, මැනවින් දැකීමමයි.