එක්‌ තරුණ මහත්තයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා රහතන් වහන්සේ නමක්‌ තමා ඉදිරියේ සිටින මනුෂ්‍යයාව දකින්නේ කොයි විදිහටද කියලා.

රහතන් වහන්සේට එම මනුෂ්‍යයාව බාහිර ස්‌වරූපයෙන් පෙනෙනවා. නමුත් එම බාහිර රූප සංඥාව ඉක්‌මවාගිය, අවබෝධාත්මක මනුෂ්‍ය රූපය, වේගයක්‌ හැටියටයි රහතන්වහන්සේ දකින්නේ. රහතන්වහන්සේට පුළුවන් මනුෂ්‍ය රූපය දූවිල්ලක්‌ කර දකින්න. රූපයේ අර්ථයක්‌ නොමැති නිසාම රහතන් වහන්සේ රූපයක්‌ ඵස්‌සය වන මොහොතේම ‘දැක්‌කාය’ කියන තැන නවතිනවා. ඇසුනාය, දැනුනාය කියන තැනම නවතිනවා. රහතන් වහන්සේ දක්‍ෂයි මහා බ්‍රහ්මයා කියන රූපය දකින්න. ශක්‍රයා කියන රූපය දැක්‌කත්, සක්‌විති රජ කියන රූපය දැක්‌කත් එම රූපයන් ඵස්‌සය ළඟදීම අනිත්‍ය දකින්න. මේ දක්‍ෂභාවය රහතන් වහන්සේට පමණක්‌ ලැබෙන්නේ ඥාන දර්ශන තුළින් රූපයේ සුවිශේෂී අවබෝධය ඔහු ලබන නිසාමයි. මේ රූපයේ වේගය ඥාන දර්ශන තුළින් දකින මොහොතේ රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැරවී උතුම් සම්මා විමුක්‌තිය සාක්‍ෂාත් කර ගන්නවා.

ඉහත කාරණාවන් භික්‍ෂුව පිංවත් ඔබට සටහන් තැබුවේ රූපයේ අනිත්‍යතාවය දකිමින් ජීවත්වීමේ අගය පවසන්නයි. මස්‌ ඇසෙන් පෙනෙන රූපයේ අනිත්‍යභාවයත්, උතුම් ඥාන දර්ශන තුළින් දකින රූපයේ අනිත්‍යභාවයත්, අහසයි පොළවයි වගේ වෙනස්‌ වූවක්‌. පිංවත් ඔබ මේ මොහොතේ මස්‌ ඇසෙන් දකින රූපයේ අනිත්‍යභාවය දකිමින් සිටින්න. මොකද ඔබ බැඳුනෙත් බැඳීයන්නෙත් රූපයටමයි.

භික්‍ෂුවට මතකයි භික්‍ෂුව අනිත්‍ය සංඥාවන් තීව්‍ර ආකාරයෙන් වඩන කාලයේදී ලෝකයේ සිටි සුරූපී කුමරියක්‌ රිය අනතුරට පත්වී මියගිය ඛේදජනක ආකාරය නුවනින් දැක්‌කා. ඇයගේ සුරූපීභාවය, ප්‍රභූභාවයේ අවසානය කොයිතරම් නම් ඛේදජනකද කියලා නුවනින් මෙනෙහි කළා. ඇයගේ මීළග ජීවිතය කුමක්‌ වේවිද කියලා නුවනින් මෙනෙහි කළා.

රාජ්‍ය නායකයෝ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් මරාදමනු ලැබූ ඛේදජනක ආකාරය නුවනින් දැක්‌කා. එම රූපය කෙරෙහි එම ප්‍රභූභාවයන් කෙරෙහි අවබෝධයෙන් කලකිරුණා. මෙය සටහන් තබන භික්‍ෂුව බෝම්බ අනතුරකට හසුවී තමාගේ ශරීරය කුඩුවී විසිරී තිබෙනු මනසින් දැක්‌කා. එම කුරිරු මරණ නුවනින් මෙනෙහි කළා. මේ මොහොත ගිලිහී ගියොත් තවත් එවැනි කුරිරු මරණ ලක්‍ෂ ගණනක්‌ හිමිවන බව නුවනින් දැක්‌කා. ඒවා තුළින් සංසාරබිය ඇතිකරගැනීම සඳහා….

ධර්ම සාකච්ඡාවකදී මහත්තයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා රහතන් වහන්සේට විඳීම කියන කාරණය තිබෙනවා නේද කියලා. රහතන් වහන්සේට විඳීම ඇතිවෙනව කියන කාරණය වැරදි කාරණයක්‌. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙන්නේ නැහැ. විඳීම කියලා කියන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුනට. මේ කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්ණාව ක්‍ෂය කරපු උත්තමයෙක්‌. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙනවා නම් එයින් අදහස්‌වෙන්නේ ඔහු තෘෂ්ණාව නැතිකරල නැහැ. මෙතනදී සමහරක්‌ පිංවතුන්ලා ඵස්‌සය සහ වේදනාව කියන කාරණා දෙක පටලවා ගන්නවා. රහතන් වහන්සේ තුළ ඵස්‌සය සිද්ධවෙනවා. නමුත් රහතන් වහන්සේ ඵස්‌සය ළඟදීම ඵස්‌සයේ අනිත්‍යතාවය දකිනවා. විඳීමක්‌ සකස්‌වීමක්‌ නැහැ.

එතකොට එම මහත්මයා නැවත ප්‍රශ්න කළා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතලය, දැනෙන්නේ නැතිද කියල. ආහාරයක තිත්ත, පැණිරස දැනෙන්නේ නැතිද කියලා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතල දැනෙනවා. තිත්ත, පැණිරස දැනෙනවා. එය විඳීම නොවෙයි ඵස්‌සයයි. දැනුනා කියන තැන රහතන් වහන්සේ නවතිනවා. එය බොහෝ සියුම් තැනක්‌. උෂ්ණය, ශීතල දැනෙනවා තිත්ත පැණිරස දැනෙනවා ඒවා කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් ඇතිවෙන්නේ නැහැ. විදීම් ඇතිවෙනවානම් ඉන් අර්ථවත් වෙන්නේ තෘෂ්ණාව ක්‍ෂය කරලා නැති බවයි. රස දැනෙනවා. නමුත් රසයට බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් උපේක්‍ෂාවන් සකස්‌කර ගන්නේ නැහැ. එම නිසාම රහතන් වහන්සේ තුළින් විඳීම් කියන කාරණය ප්‍රතික්‌ෂේප වෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ රහතන් වහන්සේ දැක්‌කාය, ඇසුනාය, දැනුනාය කියන තැන නතරවෙනවාය කියල. පැණිරස දැනෙනවා. ඇලීමක්‌ නැහැ. තිත්ත රස දැනෙනවා. ගැටීමක්‌ නැහැ. පැණිරසත් තිත්ත රසයත් දැනෙනවා උපේක්‍ෂාවක්‌ නැහැ. ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැක්‌ක තැනදී විඳීමට පැවත්මක්‌ නැහැ.

ධර්ම සාකච්ඡාවක්‌ වෙලාවේදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්‌ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා.

මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌ හෝ බාහිර රූපයක්‌ අරමුණුවෙලයි සකස්‌වෙන්නේ. තමන් කළාවු ශක්‌තිමත් කුසලයක්‌ හෝ ශක්‌තිමත් අකුසලයක්‌ මෙහිදී අරමුණු වෙන්න පුළුවන්. මෙම අවසාන චුති සිතට අදාළව ඊළග ප්‍රතිසන්ධිය සකස්‌වෙනවා. ඉහත කාරණය පිංවත් ඔබට හොඳින් තේරුම් ගන්න පිංවත් ගෞරවණීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට කියු කථා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් තබනවා.

එක්‌තරා තරුණ මහත්තයෙක්‌ මුහුදු බඩ ප්‍රදේශයේ ජීවත්වුණා. ඒ මහතාගේ විනෝදාංශය මාළු සහ කකුළුවන් ඇල්ලීම. සෑම උදෑසනම එම තරුණ මහත්මයා මුහුදු වෙරළට යනවා. මාළු සහ කකුළුවන් අල්ලන්න. මෙහෙම කාලයක්‌ මේ කටයුත්තේ නියලෙනවිට මේ මහත්මයා හදිසි අනතුරකට ලක්‌වෙනවා. ඔහු දැඩිසේ ගිලන්වෙනවා. ඔහු මරණාසන්න බවට පත්වෙනවා. ඔහු සිතනවා තමාව මැරෙන්නයි යන්නේ කියලා. නමුත් ඔහුගේ සංසාරයේ පිනට මැරෙන්නේ නැහැ. ඒ තරුණ මහත්මයා කියනවා තමා මරණාසන්න වෙච්ච වෙලාවේ තමා නේවාසික සිටි රෝහලේ වාට්‌ටුවේ තිබෙන සෑම කොන්ක්‍රීට්‌ කණුවක්‌ම ඒ මහතාට පෙනුනේ අඩු දික්‌කරගෙන සිටින විශාල කකුළුවන් වගේය කියල. දැන් ඔබට මට කොන්ක්‍රීට්‌ කණුවක්‌ පෙනෙන්නේ කොන්ක්‍රීට්‌ කණුවක්‌ වගේනේ. නමුත් මේ මහත්තායාට මරණාසන්න වෙලාවේ කොන්ක්‍රීට්‌ කණු සියල්ලම පෙනිල තිබෙන්නේ අඬු දිග්කරගත් කකුළුවන් වගෙයි. යම් හෙයකින් මේ තරුණ මහත්මයා මියපරලොව ගියානම් අනිවාර්යෙන්ම මේ මහත්මයා නැවත උපත ලබන්නේ කකුළු බිත්තරයක්‌ තුළයි. උපාදාන පච්චයා භවෝ උපාදනයයි භවය සකස්‌ කර දෙන්නේ. නමුත් මේ මහත්මයා මියපරලොව ගියානම් ඒ මහත්මයා කකුළුවෙක්‌ උපදියි කියලා මේ ලෝකේ කිසිවෙක්‌ විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය ඒ උතුම් යථාර්ථය අපිට මැනවින් පැහැදිලිකර දෙනවා. ඉහත කථාවෙන් ඔබට පැහැදිලි වෙනවා. තමාගේ ඊළඟ උපත තීරණය කරන්නේ තමා තුළින්මය කියලා.