මේ වස්‌සාන කාලය. වස්‌ තුන්මාසයෙන් හරි අඩක්‌ම ගෙවිලා ගිහිල්ලා. වේලාව පෙරවරු 10.30ට විතර ඇති. පරිසරයම අඳුරු කරලා. වැසි වැටෙනවා. කුටිය ඇතුළ හොඳටෝම සීතලයි. කළුවර මැකෙන්න කුටියේ ඉටිපන්දමක්‌ පත්තුකරලයි පිංවත් ඔබට මේ සටහන ලියන්නේ.

මේ දවස්‌වල ගම්මානයේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝංචි වගා කරලා. පරිසරයේ වියළි කාලගුණය නැවතිලා. වැටෙන මේ වැස්‌ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්‌තිමත් කරනවා.

නමුත් බලාපොරොත්තු නැති හිස්‌ ජීවිතයක්‌ භික්‍ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස්‌බව තුළ අපරාජිතභාවයකුත් තිබෙනවා. ඒත් එය භාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහිපිංවතුන්ලා, සමහර ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා භික්‍ෂුවට ඇවිත් කියනවා ‘දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන් ඈත් වෙන්න. නගරයට යන්න එපා, කැලයේම වැඩ සිටින්න. ධර්ම දේශනා කරන්න යන්න එපා, දන්න දෙය වුව සඟවාගෙන සිටීම නුවණට හුරුයි’ කියලා. අවංකවම ඒ අයට බයයි මේ භික්‍ෂුවත් ඉහත දේවල් වලට ගිහිල්ලා පිරිහිලා යයි කියලා. සශ්‍රික ගිහි දායක ඇසුරට වැටිලා පිරිහිලා යයි කියලා. ලැබෙන සිව්පසයට මංමුලා වෙලා වල්මත්වෙයි කියලා. ලැබෙන ප්‍රතිචාරයන්ට මත්වෙලා විකෘතියක්‌ වෙයි…. කියලා.

ඊයේ කුටියට භික්‍ෂුව මුණගැසෙන්න තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ භික්‍ෂුවට ප්‍රකාශ කළේ ‘ඔබ වහන්සේ දැන් ප්‍රසිද්ධයි’ කියලා. එහෙම කියලා උන්වහන්සේ සිනාසුනා. ඒ සිනහව තුළ යම් යම් අර්ථයන් භික්‍ෂුව දැක්‌කා. එයින් ගම්‍ය වුණේ ‘ඔබත් ප්‍රසිද්ධිය නිසා විනාශයට යනවා’ කියන අර්ථයයි.

භික්‍ෂුව මේ සටහනේ මුල සඳහන් කළා භික්‍ෂුවට තිබෙන්නේ බලාපොරොත්තුවලින් හිස්‌වූ අපරාජිත ජීවිතයක්‌ය කියලා. අපි මේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා, ජීවිතය බලාපොරොත්තුවලින් හිස්‌ කළාට පස්‌සේ, නැවත ජීවිතයට පුරවාගැනීමක්‌ සිද්ධවෙන්නේ නැහැ. ඒ නිසයි භික්‍ෂුව අපරාජිතභාවය කියන වචනය පාවිච්චි කළේ.

භික්‍ෂුවක්‌ උතුම් නිවන් මාර්ගයේදී අපරාජිතභාවය ලබන්නේ දිනුමත්, පැරදුමත් දෙකම පරාජයකොට දමලා. කඳුලත්, සිනහවත්, උපේක්‍ෂාවත් තුනම පරාජයකොට දමලා. මෙතැනට තමයි ලෝකෝත්තර සම්මා සතිය කියලා කියන්නේ. මේ සම්මා සතිය තුළ සකස්‌කොටගත් අපරාජිතභාවය නිරතුරුවම පාර පෙන්වන්නේ ලෝකය ඉදිරියේ පළවෙනියෙක්‌ වෙන්න ලෝකය ඉදිරියේ වීරයෙක්‌ වෙන්නවත් තවත් අසහාය චරිතයක්‌ වෙන්නවත් නොවේ. ලෝකයා ඉදිරියේ අන්තිමයා වෙන්නමයි. ලෝකයා ඉදිරියේ දෙවැනියෙක්‌ වෙන්නමයි. මොකද ඔහු සම්මා සතිය තුළින් ජීවිතයේ ඇලීමට අදාළ කුණු කන්දල්, ලාටු හිස්‌කරගත් කෙනෙක්‌. නිවන්මාර්ගයට පළිබෝධකයන් ලෙස දකිමින් ජීවිතයෙන් හිස්‌කොටගත් අපවිත්‍ර දෑ ඔහු නැවත ජීවිතයට පුරවාගන්නේ නැහැ. සම්මා සතිය කියන අර්ථයේ ශ්‍රේෂ්ඨභාවයයි ඔබ මේ දකින්නේ. ලෝකයේ උතුම්ම නිදහස උදෙසා නිවන් මාර්ගය අවහිර කරන, ලෝකයට බැඳෙන, ලෝකයට ඇලෙන සියලුම අපද්‍රව්‍ය ජීවිතයෙන් හිස්‌ කරනවා.

කල්ප සියක්‌ කෝටි ප්‍රකෝටි ගණනක්‌, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ පසුකොට පැමිණි ගමනේ, තවම අපට ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණය සකස්‌කොටගන්න පුළුවන්කමක්‌ ලැබිලා නැහැ. එම නිසා ධර්මය දකින ඇස වැසිලයි තිබෙන්නේ, විෂම අපද්‍රව්‍ය වලින්. මේ අපද්‍රව්‍ය නිසාම අපි ලෝකයට බයයි. ලෝකයාටත් බයයි. මොකද ඔහු තාම පරාජිත චරිතයක්‌. අපරාජිතබවක්‌ ජීවිතය තුළ නැහැ.

සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක්‌ සිංහ නාදයක්‌ කරනවා, මම හරියට සිඟමන් සොයා යන රොඩී රැළක රොඩී දරුවෙක්‌ වගේය කියලා. හරක්‌ රැළක ඉන්න අං කැඩුණු ගොනෙක්‌ වගේය කියලා. උතුම් පැවිදි ජීවිතය කියන්නේ ලෝකයේ ඉදිරියේ පළවෙනියෙක්‌ වෙන්න තියෙන කැමැත්ත පරාජයකොට දැමීමට යන ගමනක්‌. ඔහු ලෝකය තුළ දෙවැනියෙක්‌ වුවත් පරාජිත ලෝකය හමුවේ අපරාජිත චරිතයක්‌. නිරතුරුවම අපිව ලෝකය ඉදිරියේ පළවෙනියෙක්‌ බවට පත්කරන්නේ අප විසින්ම පුරවාගත් බර නිසා. සක්‌කායදිට්‌ටි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස කියන බර, කාමරාග පටිඝයන්ගේ බර, පංචඋපාදානස්‌කන්ධය නිත්‍ය යෑයි කියන්නාවූ මෝහයේ බර නිසා අපි පුද්ගල සංඥාවට බැඳී යනවා. ගිහි ජීවිතය තුළ රූපයන් කෙරෙහි තෘෂ්ණාව නිසාම, ඉහත බන්ධනයන්ට අපි කොටුවෙනවා වගේම පැවිදි ජීවිතයේදී ශීලය, සමාධිය, හුදෙකලාව, විවේකය කියන බැඳීම් වලට බැඳී යනවා. අපි තවම ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ නැතිනම්, ගිහි දායක බැඳීම්, සශ්‍රීක සිව්පසය, ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශාවන් සර්පයන් හැටියටයි දැකිය යුත්තේ.

භික්‍ෂුව සාමණේර අවධියේ වැඩසිටි එක්‌තරා තුන් බිත්ති කුටියක, ලොකු හූනන් කිහිපදෙනෙක්‌ නිතර ගැවසුනා. හූනන්ව කෑමට ප්‍රියකරන කුණකටුවා කියන සර්පයා මැටි බිත්ති දිගේ බඩගාමීන් රාත්‍රියට හූනන් පසුපස හඹායනවා. ඒත් එදා භික්‍ෂුව එම කුණකටුවාට බිය වුණේ නැහැ. නමුත් එදා භික්‍ෂුව කුණකටුවාට වඩා දායක ඇසුරට, සශ්‍රීක සිව්පසයට, ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශාවලට බයවුණා. භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ මුල් වසර හතර මනුෂ්‍ය සමාජය මගහැරලයි භික්‍ෂුව ජීවත් වුණේ. කාටවත් ධර්මයක්‌ දේශනා කළේ නැහැ. ඉහත ධර්මතාවයන් නිරතුරුවම සර්පයන් වශයෙන්මයි දැක්‌කේ.

නමුත් වර්තමානයේ භික්‍ෂුවට ඉහත ධර්මතාවයන් කෙරෙහි බියවීමට අවශ්‍ය නැහැ. ඒ වුණත් ඔබට බියක්‌ දැනෙනවා. නමුත් භික්‍ෂුව බියෙන් මිදිලයි ජීවත් වෙන්නේ. භික්‍ෂුවට ඉහත කාරණය සපථ කිරීම උදෙසා ඔබට දෙන්න සහතිකයක්‌ නැහැ. පිංවත් ඔබට දිය හැකි එකම සහතිකය වෙන්නේ භික්‍ෂුව ආරක්‍ෂා කොටගත් උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි.

එක පිංවත් භික්‍ෂූන්වහන්සේනමක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා ‘ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්‌ද?’ කියලා. භික්‍ෂුව එම ස්‌වාමීන් වහන්සේට ප්‍රකාශ කළේ, භික්‍ෂුව සටහන් තැබූ පොතපත තිබෙනවා, භික්‍ෂුව දේශනා කළ ධර්මය තිබෙනවා, පිංවත් ඔබ වහන්සේට මේවා පරිශීලනය කරලා කැමති තීරණයකට එන්න පුළුවන් කියලයි. භික්‍ෂුව සමාජය තුළ විවෘතව ජීවත්වෙන කෙනෙක්‌. එම නිසා භික්‍ෂුවගේ ශීලය, සමාධිය, ප්‍රඥාව කෙරෙහි චිත්‍රයක්‌ ඔබට අවශ්‍යනම් ඇඳගන්න පුළුවන්. එහෙම ඇඳගෙන කැමති තීරණයකට ඔබට එන්න පුළුවන්. ඔබේ තීරණය කුමක්‌ වුවත් එය භික්‍ෂුවට අදාළ වෙන්නේ නැහැ. මොකද භික්‍ෂුව ලෝකය ඉදිරියේ සිටින්නේ අන්තිමයා හැටියටයි.

හිස්‌ කරපු ජීවිතයක්‌…. අපරාජිත චරිතයක්‌….

මේ ලස්‌සන වචන දෙක භික්‍ෂුවගේ ජීවිතයට හොඳින් ගැලපෙනවා. භික්‍ෂුව ඕනෑම ගිහිපැවිදි පිංවතෙකුට අවවාද කරන්නේ මාර්ග ඵලය ගැන සිතන්න එපා. ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ශක්‌තිමත්ව ගමන්කරනවා කියන කාරණය පමණක්‌ සිතන්න කියලයි. මේ දුකෙන් නිදහස්‌වෙනවාය කියන කාරණය පමණක්‌ සිතන්න කියලයි. මේ මාර්ග ඵල උන්මාදය කියන්නේ ලෝකය හිනස්‌සන, ධර්මයේ අර්ථය විකෘති කරන කෙලෙස්‌ ගොඩක්‌. මාර ධර්මයන් විසින් වර්තමාන සමාජය තුළ උතුම් අධිගමනයන් හාස්‍යයට පත්කොට තිබෙනවා. විහිළුවක්‌ බවට පත්කොට තිබෙනවා.

නමුත් මේ මොහොත සද්ධර්මයේ දීප්තිමත්ම මොහොතක්‌. බුදුරජාණන් වහන්සේ අද දවස එදා දිවැසින් දකින්න ඇති. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභීන් පහළවෙන මේ උතුම් වර්තමාන කාලය, අධිගමලාභීන් සිංහනාද පවත්වන යුගයයි. තරුණ වීර්යවන්ත ස්‌වාමීන්වහන්සේලා හුදෙකලා වනසෙනසුන් තුළ, පන්සල් ආරාම තුළ වීර්යවන්තව ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන යුගයයි. ගිහි පිංවතුන්ලා ගිහි බැඳීම් තුළ සිටිමින්ම සතර අපායෙන් මිදීමට වීර්යය වඩන යුගයයි. එම නිසා බුදුරජාණන් වහන්සේ දවස යම් ධර්ම ශක්‌තියක්‌ ලෝකය තුළ තිබුණාද, වර්තමානයේ එම ධර්ම ශක්‌තිය ලෝකය තුළ මෝදුවී තිබෙනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම රහතන් වහන්සේ කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වගේම, මේ ශාසනයේ අවසාන මහරහතන් වහන්සේ වීමට ඔබට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා.