භික්‌ෂුව පසුගිය මාස හතර අවිවේකී මාස හතරක්‌ දිගටම ධර්ම දේශනා පැවැත්වූවා. පිංවතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රතිචාර දැක්‌වූවා. දැන් වස්‌ කාලය පටන් අරගෙන, සති කිහිපයක්‌ ගෙවී ගිහින්. මේ මොහොතේ සිට ගෙවීගිය ධර්ම දේශනා පැවැත්වූ මාස හතර ගැන ආවර්ජනය කොට බලද්දි, එය මැකීගිය සටහනක්‌ පමණයි. ක්‍රියාවක්‌ තිබුණා, බැඳීමක්‌ නැහැ. තැනකට බැඳෙන, තැනකට ඇලෙන තෘෂ්ණාවේ ලාටු, භික්‌ෂුව හොඳින් හඳුනාගෙනයි තිබෙන්නේ.

වේලාව සවස 5.00 ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස ඇති බංකු ලෑල්ල මත වාඩිවෙලා ඔබට මේ සටහන් ලියන්නේ. අඳුට වැටෙන්න ආසන්න වෙලාවේ තොරතෝරංචියක්‌ නැතිව කුරුල්ලන් කෑගසනවා. භික්‌ෂුවට අදහස්‌ ගලාඑනවා. ඒවා භික්‌ෂුව සටහන් තබනවා. මේ වනතුරු භික්‌ෂුව සටහන් තැබූ දෙයක්‌ ප්‍රතික්‌ෂේප වෙලා නැහැ. ඒත් හෙට කුමක්‌ වෙයිද කියලා කියන්න බැහැ. අතීතයේ ස්‌වාමින්වහන්සේලා නිසා පිංවත් ජනතාව තුළ උද්‍යෝගය වැඩිවෙන අවස්‌ථා තිබී තිබෙනවා. ඒත් එම උද්‍යෝගය කාලයත් සමගම නැතිව යනවා. මෙය සටහන් තබන භික්‌ෂුවට ලැබෙන ප්‍රතිචාරයත්, තව මොහොතකින් නැවතිලා යන්න පුළුවන්. ලෝකයාගෙන් අප්‍රමාණ විවේචන එන්න පුළුවන්.

මනුෂ්‍යයාගේ චිත්ත සමාධිය පිරිහෙනකොට, එම මනුෂ්‍යයා නිරතුරුව අනුන්ව විවේචනයට පෙළඹෙනවා. අපි ඉදිරියේ තිබෙන්නේ ක්‍රමානුකූලව චිත්ත සමාධිය පිරිහීයන සමාජයක්‌. එම නිසා අනාගතයේදී විවේචන බහුලවෙන්න පුළුවන්. කොයි දෙයත් වෙනස්‌ වෙනවා කියන, කොයි දෙයත් අපිට අයිති නැහැයි කියන, උතුම් ධර්මයයි පිංවත් ඔබට මෙහි සටහන් තබන්නේ. උද්‍යෝගය නැගෙන තැනත්, එම උද්‍යෝගය හීනවන තැනත් තවත් එක්‌ ක්‍රියාවක්‌ පමණක්‌මයි. ධර්මය අපිට කියා දෙන උතුම් සැනසිල්ලේ මාර්ගයයි අපි මේ දකින්නේ. අපි දකිනවාට වඩා ලෝකය හිතන්නේ හුඟාක්‌ වෙනක්‌ ආකාරයට. අපි දුක ගැන කතාකරනකොට ලෝකය අපට සැප පෙන්වනවා. අපි සංසාරය බිය ගැන කතාකරද්දී ලෝකය අපට සංසාරය සැපයක්‌ කොට පෙන්වනවා. අපි කියන දෙය අපි පෙන්වන දෙය, අඩු පිරිසක්‌ තමයි ජීවිතයට එකතුකොට ගන්නේ.

එක පිංවත් දරුවෙක්‌ සිටියා ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්‌. ධර්මයට ගොඩක්‌ ලැදියි. මේ වෛද්‍ය ශිෂ්‍යයාගෙන් තමන්ගේ මිතුරන් ප්‍රශ්නයක්‌ අසනවා. වෛද්‍ය විද්‍යාලයේදී අධ්‍යාපන පර්යේෂණ කටයුතු සඳහා මැරිච්ච මළමිනී කපනකොට, ඔබට අසුභය මරණානුස්‌සතිය වැඩෙනවාද කියලා. ඒ වෙලාවේ ඒ වෛද්‍ය ශිෂ්‍යයා කියනවලු ‘මොන අසුභයක්‌ද, මළමිනියක්‌ කපනකොටම මට පෙනෙන්නේම සල්ලි’ කොළයි කියලා ඒ කියන්නේ මළමිනිය කපනකොට, එම වෛද්‍ය ශිෂ්‍යයාට මැවිලා පෙනෙන්නේ අනාගතයේදී තමා වෛද්‍යවරයෙක්‌ වෙලා, මුදල් හම්බකරනවාය කියන උපාදානයයි. බලන්න මෙච්චර ධර්මයට ලැදි වෛද්‍ය ශිෂ්‍යයාත්, මළ මිනිය කපනකොට සලලි කොල නම් දකින්නේ, අපි ඉදිරියේ කොයි තරම් භයානක අනතුරක්‌ තිබෙනවාද?

උරුවෙල කාශ්‍යප කියන ජටිල නායකයා දමනය කරන්න, බුදුරජාණන් වහන්සේ පෙළහර ප්‍රාතිහාර්යයන් තුන්දහස්‌ පන්සියයක්‌ දැක්‌වූවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. බලන්න මොන තරම් බරපතල දෘෂ්ටීන්වලට මනුෂ්‍යයා බැසගෙන සිටිනවාද කියලා. නමුත් කණගාටුදායක කාරණය වන්නේ තමා තුළම ධර්මාවබෝධයේ ශක්‌තිය සැඟවී තිබියදීයි මෙවැනි දෘෂ්ටිවලට අපි බැසගෙන සිටින්නේ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති ලෝකය තුළ සංසාර බිය දකිමින්ම තමා තමාව දමනය කොට ගැනීමට පිංවත් ඔබ දක්‌ෂවෙන්න.

එක අම්මා කෙනෙක්‌ සිටිනවා ඒ අම්මට වයස අවුරුදු අසූවක්‌ පමණඇති. ඒ අම්මා කතාකළොත්, කතාකරන්නේ අනිත්‍ය ගැනමයි. මෙය සටහන් තබන භික්‌ෂුව දවසක්‌ ඒ අම්මා අසනීපවෙලා සිටි වෙලාවක ධර්මය ටිකක්‌ දේශනා කළා. නමුත් ඒ අම්මා භික්‌ෂුවට ධර්මයදේශනා කරන්න දුන්නේම නැහැ. ඒ අම්මා කියන්නේම මේවා හැම දෙයක්‌ම අනිත්‍යයි කියලා. භික්‌ෂුව කල්පනා කළා, තවදුරටත් මේ අම්මට ධර්මය කියලා තේරුමක්‌ නැහැ කියලා. භික්‌ෂුව කෙටියෙන් පිං අනුමෝදන් කරලා, එම නිවසින් වැඩමකරන්න, ආසනයෙන් නැගිට්‌ටා විතරයි, මේ අම්මා කියනවා, හාමුදුරුවනේ ඔබ වහන්සේ භාවනා කරලා, හැමදාම මට නිදුක්‌ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන්නය කියලා.

මෙච්චර වෙලා භික්‌ෂුවට ධර්මය කියන්න දුන්නේ නැහැ. අනිත්‍යය ගැනම කියා සිටියා, අවසානයේ ඒ අම්මා කියනවා භාවනා කරලා නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන්න කියලා. බලන්න, කතාවත්, ක්‍රියාවත් අතර කොච්චර පරතරයක්‌ තිබෙනවාද කියලා. අපි හැම වෙලාවෙම තමන්ට වඩා ගුණවත්, සිල්වත් අයට සවන්දෙන්න පුරුදුවිය යුතුයි. අපි දන්නා බව ප්‍රකාශ කරන්නට යාම නිසා, නොදන්නා දෙය දැනගන්න තිබෙන අවස්‌ථාව අපි අහිමිකරගන්නවා.

සවන්දීම කියන කාරණය හුඟක්‌ වටිනවා. භික්‌ෂුවගේ ගිහි ජීවිතයේදී භික්‌ෂුව කැමැතියි ඕනෑම අයෙකුට සවන්දෙන්න. දුප්පත් මනුෂ්‍යයකුගේ ජීවිතය තුළ, පොහොසත් මනුෂ්‍යයකුගේ ජීවිතය තුළ, සැඟවිලා තිබෙනවා බොහොම වටිනා කමටහන්. භික්‌ෂුවට මතකයි එක්‌තරා ප්‍රභූ මහත්මයෙක්‌ තමන් දැරූ තනතුර අහිමිවෙච්ච වෙලාවේ, ඒ පිංවත් මහත්මයාගේ දැස්‌වලට කඳුළු ගලාගෙන ආවා. ඒ කඳුළු පාලනය කරන්න ඒ මහතාට පුළුවන්කමක්‌ ලැබුණේ නැහැ. එදා ගිහි කෙනෙක්‌ හැටියට ඒ මහතාගේ මුවින් නික්‌මුණු වචනවලට පමණක්‌ නොවේ නෙතින් රූටා වැටුණු කඳුළු වලටත් සවන්දුන්නා. ගෞරවයෙන් ඇසුරු කළ කෙනකුගේ නෙතින් ගලාගිය කඳුළක්‌ තවත් කෙනකුගේ කඳුළු සාගරයක්‌ නිවා දමන්න සවන්දීම කියන කාරණය හුඟක්‌ උපකාර වුණා.

අනුන්ගේ නෙතින් ගලායන කඳුළක්‌ තුළිනුත් ඔබ සංසාර බිය ඇතිකොටගන්න. කඳුළ තුළින් සංසාර බිය දකින්න දක්‌ෂකෙනා, සිනහව තුළිනුත් සංසාර බිය දකින්න දක්‌ෂ වෙනවා. මොකද සිනහවත්, කඳුළත් දෙකම තෘෂ්ණාවේ ඵලයන් නිසා. ඒ අයට සවන්දීමට අපේ ඇති දක්‌ෂතාව නිසාමයි, අපිට ඒවා මතුකොට ගන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි සමහර පිංවතුන් සිටිනවා, ඒ අය සවන්දෙන්නේ දුර්වල තැන සොයන්න, අවසානයේ ඒවා විවේචනය කරන්න. අපි දක්‌ෂ වෙන්න ඕන අබෝධය උදෙසාම සවන්දීමට පුරුදුවෙන්න.