බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ ස්‌වාමීන්වහන්සේලා උදය වරුවේ පිණ්‌ඩපාතය වැඩීමට කාලවේලා වැඩිනම් අන්‍යාර්ථකයින්ගේ ආරාමවලට ගිහිල්ලා, අන්‍යාර්ථකයින් සමග ධර්මය සාකච්ජා කළ අවස්‌ථා රාශියක්‌ තිබෙනවා. අන්‍යාර්ථකයින් ඉදිරිපත් කළ නොගැලපෙන කරුණුවලට ස්‌වාමීන්වහන්සේලා පිළිතුරු දෙන්න යන්නේ නැහැ. එම කරුණු පිළිනොගෙන, ප්‍රතික්‍ෂේපද නොකර බුදුරජාණන්වහන්සේ මුණගැසී එම ධර්ම කාරණා නිවැරදි කරගන්නවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට ගරුකළ යුතුයි කියලා. එම කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, ශීලයට, සමාධියට, අප්‍රමාදීභාවයට, ධර්ම සාකච්ජාවට. ධර්ම සාකච්ජාව නිවන් මාර්ගයට අදාළ ගරුකළයුතු ධර්මයක්‌ වෙනවා. ධර්ම සාකච්ජාව සාර්ථක කරගැනීමට නම් සවන්දීමේ හැකියාව අපි ඇතිකරගතයුතු වෙනවා.

නිවන් මාර්ගයේ ගමන්කරන පිංවතාට නිහඬ පරිසරය හුඟාක්‌ වැදගත් වෙනවා. අපි කොයි තරම් විවේකී ස්‌ථාන සොයමින් ගියත්, උතුම් සද්ධර්මයේ සැබෑම අර්ථය තුළදී සැබෑම නිහඬතාව තිබෙන්නේ ඝෝෂාව තුළයි. මොකද ඝෝෂාව තුළදියි පිංවත් ඔබට හඳුනාගත හැක්‌කේ ඔබේ සිත කොයිතරම් නිහඬද කියලා. ලෝකය ගිනිගනිද්දී තමාගේ නිහඬ සිත අත්දකින්න පුළුවන් ඝෝෂාව තුළදීමයි. ඝෝෂාව තුළදී දකින නිහඬතාව තමයි ධර්මයේ සැබෑම අර්ථය කියන්නේ. අපි හුදකලාවට ඇලිලා, ඝෝෂාවට ගැටෙනවා නම් අපි යන්නේ ධර්ම මාර්ගයේ ආපස්‌සට යන ගමනකුයි.

භික්‍ෂුව දන්න එක ස්‌වාමීන්වහන්සේ නමක්‌ හිටියා, උන්වහන්සේ බොහොම ගෞරවයෙන් වස්‌ කාලයේ වස්‌ සමාදන්වුණා. නමුත් කුටියේ ටික දවසයි වැඩසිටියේ. කුටියේ සිට කිලෝමීටර් භාගයක්‌ පමණ දුරින් තිබෙන ගමේ පන්සලේ හවස හයට ශබ්දවිකාශනයෙන් පිරිත් පටියක්‌ විකාශය කරනවා කියලා, එම පිරිත් හඬ සමග ගැටී කුටිය හැරගියා. අපි උපාදානය කරගත් හුදෙකලාව කියන කාරණය, බුදුරජාණන්වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනාකළ පිරිත් ධර්මයන් සමගත් ගැටෙන ස්‌වභාවයට පත්වුණා. පිංවත් ඔබ කැමති දෙයට වගේම, අකමැති දෙයටත් සවන්දීමේ ශක්‌තිය ඇතිකොටගන්න. එවිට ඔබට පුළුවන් උපේක්‍ෂාව කියන තැනට ඔබේ සිතිවිලි ඔසවා තබන්න.

අපි කැමති දේවල්වලට වඩා ලෝකය තුළ අපි අකමැති දේවල් තමයි වැඩිපුර තිබෙන්නේ. ලෝකය වෙනස්‌කරන්න අපිට බැහැ. අපි වෙනස්‌ වෙන්න ඕනේ. අපි වෙනස්‌වෙන්න නම් කැමැත්ත අකමැත්ත කියන තැන, අපි උපේක්‍ෂාව කියන තැනට ගන්න ඕනේ. එසේ නොවුණහොත් අපි අනුන් නිසා ප්‍රමාදයට පත්වූ අය බවට පත්වෙනවා.

භික්‍ෂුව දන්න එක්‌තරා ස්‌වාමීන්වහන්සේනමක්‌ උතුම් උපසම්පදාවෙන් බැහැරවෙලා, සාමණේර බවට පත්වෙලා. උන්වහන්සේ දැන් ප්‍රකාශ කරන්නේ නැවත තමන් උපසම්පදා ශීලයෙහි පිහිටන්නෙ නැහැය කියලා. ශීලයට බියවෙලා, කාටවත්ම සංසාර බියෙන් අත්මිදෙන්න බැහැ. උපසම්පදා වෙන්නේ නැහැ කියන්නේ උතුම් ශීලයන්ගෙන් පළායනවා කියන කාරණයයි. සම්මා සම්බුද්ධ ශාසනය අයිති දක්‍ෂයාටයි. අදක්‍ෂයා නැති ප්‍රශ්න ඇතිකරගන්නවා. සිල්පදයක්‌ රැකීමත්, සිල්පදයක්‌ බිඳීමත් අපිතුළ සංසාර බියමයි සකස්‌කොට දෙන්නේ.

පිංවතුන් කල්පනාකරන්න පුළුවන් සිල්පදයක්‌ රැකීම කොහොමද සංසාර බිය ඇතිකරන්නේ කියලා. සිල්පදයක්‌ රැකීම තුළ අපිට ලැබෙන්නේ සුගතියයි. පිංවත් ඔබ මේ ඉපදීලා සිටින මනුෂ්‍ය ලෝකය සුගතියටයි අයිතිවෙන්නේ. එහෙම නම් සුගතිය කියන්නේත් සංසාර බිය ඇතිකරන තැනැක්‌මයි. ඒ නිසා අපි දක්‍ෂවෙන්න ඕනා සීලයේ ශක්‌තිය තුළින්, සුගතියත්, දුගතියත් දෙකම අනිත්‍ය බව දකිමින් විදර්ශනා නුවන ඇතිකරගන්න. ඒ කියන්නේ රැකෙන සිල්පදයත්, බිඳෙන සිල්පදයත් දෙකම විදර්ශනා නුවණින් දැකලා විදර්ශනා ඥාණය ඇතිකරගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. රකින සිල්පදය නුවණින් දැකලා සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන් වගේම, බිඳෙන සිල්පදයත් විදර්ශනා නුවනින් දැකලා සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන්. මේ උතුම් ධර්මයේ තිබෙන සියුම් තැන් මේවා. පිංවත් ගිහිපිංවතුන් වන ඔබ අතින් සිල්පදයක්‌ දුර්වල වුණොත් ඔබ කරන්නේ, ඒ දුර්වල වූ සිල්පදය ගැන සිතමින්, විතර්ක සකස්‌කරගනිමින්, තව තවත් අකුසල් රැස්‌කරගන්නා කාරණයයි. ස්‌වාමීන්වහන්සේලාත් සමහරවිට ඇවැත් දේශනා කරමින් පිරිසිඳුවිය හැකි ශීලයන් ගැන, ඇවැත් දේශනාකිරීමෙන් අනතුරුවත් විතර්ක සිත් ඇතිකරගන්නවා. නමුත් දක්‍ෂයා බිඳුණු ශිල්පදය තුළින් නැවත පිරිසිදුභාවයට පත්වී, බිඳුණු ශිල්පදය විදර්ශනා නුවණින් දකිමින් විදර්ශනා ඥානය ඇතිකරගන්නවා.

ලොව්තරා බුදුරජාණන්වහන්සේගේ කාලයේ ජීවත්වුණු එක සර්පයෙක්‌ දැකලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ සර්පයා අතීතයේදී බොහොම දක්‍ෂයෙක්‌ වෙලා සිටියා කියලා. මොකද මේ සර්පයා කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ ජීවත්වුණු ස්‌වාමීන්වහන්සේ නමක්‌. දිනක්‌ උන්වහන්සේ ඔරුවකින් ගංගාවක්‌ තරණය කරනකොට, අනතුරක්‌ සිද්ධවෙන්න ගිය මොහොතක ළඟ තිබෙන අත්තක්‌ අල්ලාගෙන තිබෙනවා. ඒ මොහොතේ ඒ අත්තේ තිබුණු කොළයක්‌ කැඩිලා ස්‌වාමීන්වහන්සේගේ අතට ඇවිල්ලා. බුදුරජාණන්වහන්සේ පනවා ඇති විනය කාරණා අනුව උපසම්පදා භික්‍ෂුවක්‌ ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ වෙනවා. සීලයෙන් බොහොම පරිපූර්ණව ජීවත්වුණු මේ ස්‌වාමීන්වහන්සේට මේ කුඩා වරද හරිම හිසරදයක්‌ වුණා. ඇවතින් මිදීම සඳහා ඇවැති දේශනා කිරීමට තවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මුණගැසුනෙත් නැහැ. මේ කොළය කැඩීමේ වරද ගැන සිතමින්, දුක්‌වෙමින් සිටියා. එදිනම රාත්‍රියේ උන්වහන්සේ අපවත්වෙනවා. ඒ අපවත්වෙන මොහොතේ ගසක කොළයක්‌ කැඩීමේ වරදයි උන්වහන්සේට සිහිපත්වුණේ. දෝමනස්‌සසහගත සිතින් අපවත් වෙලා සතර අපායට වැටෙනවා. ජීවිතය පරදුවට තබා රැකගන්න දක්‍ෂ වූ සිල්පද එකක්‌වත් සිහිපත් කරගන්න උන්වහන්සේ දක්‍ෂ වුණේ නැහැ. බලන්න අදක්‍ෂකමක මහත. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අවුරුදු විසිහයදාහක්‌ ආයුෂ වින්දනය කරලා, එම අවුරුදු විසිහයදහස තුළ හොඳින් සිල්පද ආරක්‍ෂාකරගෙන, බිඳුණු එකම සිල්පදය නිසා, සතර අපායට වැටෙනවා. ලෝකය අසාධාරණයි කියන කාරණය මෙයින් මොන තරම් හොඳින් වැටහෙනවද. සංසාරය කොයිතරම් නම් බියක්‌ද කියන කාරණය පැහැදිළිවෙනවද.

පිංවත් ඔබ ඇස්‌දෙකටත් වඩා පරිස්‌සමින් සිල්පද ආරක්‍ෂාකරගන්න. වැරදීමෙන් හෝ ශිල්පදයක්‌ බිඳුනොත්, ඒ ගැන සිතමින් කම්පාවෙන්න එපා. ගැටෙන සිතක්‌ ඇතිකරගන්න එපා. සිල්පදයක්‌ බිඳුනොත් එම බිඳුණු සිල්පදය, අතීත පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියට දකිමින්, බිඳුණු සිල්පදයෙන් රැස්‌වුණ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. හැබැයි බිඳුණු සිල්පදය අනිත්‍යභාවයෙන් ඔබ විසින් යටකරදැමුවද, බිඳුණු සිල්පදයට අදාළ අකුසලය තමාට අනාගතයේදී විපාකය පිණිස පැමිණේවී. භව ගමනයි කෙටි කෙරුමට අවශ්‍යවන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සෝවාන් ඵලයට පත්වුණ පිංවතාට, තව ගෙවීමට ඇත්තේ අතේ තිබෙන පස්‌මිටේ ප්‍රමාණයේ දුකක්‌ය කියලා. මහ පොළොවේ තිබෙන පස්‌ ප්‍රමාණයට මොහු දුක්‌ විඳලා තිබෙනවා කියලා.

එමනිසා ඔබ බුදුරජාණන්වහන්සේ අතට ගෙන පෙන්වන පස්‌මිටට බියවීමට අවශ්‍ය නැහැ. එම පස්‌ මිටේ ප්‍රමාණයට දුක විශාකා උපාසිකාවටත් තිබුණා. ඉහත කාරණයට උපසම්පදා භික්‍ෂුවක්‌ සතරපාරාජිකාවට පත්වීම කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. එම වැරදිවල විපාකයන්, ආපසු හරවන්න බැහැ කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.