ධර්ම සාකච්ඡාවකදී පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැරිද කියලා. අවංකවම සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැහැ. සමාධියක්‌ නැහැය කියන්නේ පංචනීවරණ සිතේ බහුලයි කියන කාරණයයි. පංචනීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චාව කියන ධර්මතාවයන්ට. මෙම අපද්‍රව්‍ය සහිත සිතේ ධර්මතාවයන්ට අදාළ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. ලෝභ, ද්වේශ, මෝහ වැනි විෂම ධර්මතාවයන්නම් හොඳින් වැඩේවි. එම නිසා භාවනාවට පෙරාතුව සමාධිමත් සිතක්‌ ඇතිකරගන්න අවශ්‍ය වෙනවා. ඊට උපකාරක ධර්මයක්‌ සලස්‌වල දෙන්නේ ශීලයේ පරිපූර්ණභාවයයි. පංචනීවරණයන්ගෙන් විසිරුණු සිත බොහෝම කලබලකාරියි. සැප සහිත අරමුණු ඔස්‌සේ හඹාගෙන යනවා. මේ කලබලකාරී බවට සතිය සැඟවිලා යනවා. මෙවැනි වෙලාවක සංසාර බිය දකිමින් ජීවත්වෙන්න. සතර අපාය සිහියට නගාගන්න. ධර්ම මාර්ගයත් ඔබත් අතර ඇති පරතරය දකිමින් බිය ඇතිකරගන්න. ඔබ ඔබව ලැජ්ජාවට පත්කරගන්න. එවිට භාවනා අරමුණු ඉදිරියේ සිත සන්සුන් වේවි.

මෙවැනි උපක්‍රම තුළිනුත් ඔබේ සිතේ චංචල ස්‌වභාවය නවතින්නේ නැත්නම් ඒ වෙනුවෙන් ඔබ ආයාසයක්‌ ඇතිකරගන්න. ඇස්‌දෙක පියාගෙන ආශ්වාස, ප්‍රාශ්වාසයට පමණක්‌ සිත යොමුකරන්න. ආශ්වාස ප්‍රාශ්වාසය නවතා දමා මොහොතක්‌ දෑස්‌ පියාගෙන සිටින්න. නැවත නැවත මෙය සිදුකරන්න. මේ සියළු ක්‍රියාවන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න. අපි හැමවිටම ශීලය සමාධිය ගැන පමණයි කතා කරන්නේ. ප්‍රඥාව ගැන කථාකරනවා අඩුයි. ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ මාර්ගයක්‌. එය ඵලයක්‌ නොවේ. නිවන් අවබෝධ කරගන්නාවු මාර්ගයක්‌. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕන මෙම මාර්ගයේ ගමන් කර ඵලයක්‌ ලබාගන්න. එම ඵලයන් තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන්. ශීලය තුළ හෝ සමාධිය තුළ නැවතී ඉඳල අර්ථයක්‌ නැහැ. ශීලය පමණක්‌ සමාධිය පමණක්‌ තනිව අරගන්නේ නැතිව ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය හැටියට නිවීමේ මාර්ගය දකින්න ඔබ දක්‍ෂවෙන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගසක අරටුවෙන් ප්‍රයෝජනය ඇති මනුෂ්‍යයෙක්‌ හොඳ ගසක අරටුව තිබියදීම අරටුව හඳුනා නොගත් නිසාම අරටුවයයි සිතාගෙන ගසේ කොළ අතු කපාගෙන යනවා කියලා. තව කෙනෙක්‌ ගසේ අරටුවයයි සිතලා ගසේ පොත්ත කපාගෙන යනවා. තවත් මනුෂ්‍යයෙක්‌ ගසේ අරටුවයයි සිතා ගසේ සිවිය කපාගෙන යනවා. තවත් මනුෂ්‍යයෙක්‌ ගසේ එලය කපාගෙන යනවා කියලා. මේ කිසිවෙක්‌ ගසේ අරටුවෙන් ප්‍රයෝජන ගන්න දක්‍ෂ නැහැ කියලා. එක කුල පුත්‍රයෙක්‌ ජාති, ජරා, ව්‍යාධි දුක දැකලා ඉන් මිදෙමියි කියල ශ්‍රද්ධාවෙන් ගිහිගෙදරින් නික්‌මිලා පැවිදි වෙනවා. පැවිදි භාවය හොඳින් කරගෙන යනවා. පැවිදි භාවයේ වටිනා ලක්‍ෂණ නිසාම, ප්‍රසන්න සිත්ගන්නාසුළු භාවය නිසාම දායක පිරිස්‌ ඇතිවෙනවා. ඒ නිසාම ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා රැස්‌කරනවා. මම ඇති අයෙක්‌ වෙමි, කීර්තිය ඇතියෙක්‌ වෙමි, පිරිවර ඇතියෙක්‌ වෙමි, මහේශාඛ්‍ය වෙමියි සිතනවා. අන්‍යයන් පින් නැති අල්පේශාක්‍යයන් හැටියට දකිනවා. උත්තරීතර ප්‍රනීත ධර්මයන් ඇතිකරගන්න උත්සහගන්නේ නැහැ. මෙවැනි භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ අරටුව යෑයි සිතා කොළ අතුකපාගෙන යන මනුෂ්‍යයෝ වගේය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ ශ්‍රද්ධාවෙන් පැවිදීවී කීර්ති ප්‍රශංසා සොයා නොගොස්‌ තමා උසස්‌ අනුන් පහත්යෑයි නොසිතා ප්‍රනීත ධර්ම වැඩීමට වෑයම් කරනවා. ඔහු ශීලය හොඳින් පරිපූර්ණ කරනවා. ශීලය උදෙසාම තම පැවිදි ජීවිතය කැපකරනවා. ඉන් එහා උත්තරීතර ප්‍රනීත ධර්මයන් වැඩීමට වෑයම් කරන්නේ නැහැ. මොහු සසුන ලිහිල් කොට ගත්තෙක්‌ වෙනවා. මෙවැනි භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ අරටුවයෑයි සිතා ගසේ පොත්ත කපාගෙන යන මනුෂ්‍යයා වගේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ ශ්‍රද්ධාවෙන් පැවිදිවී ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වී සමාධි සම්පත්තිය ඇතිකරගන්නවා. ඔහු ඉන් එහා ප්‍රනීතධර්මයන් වැඩීමට උත්සහ ගන්නේ නැහැ. මොහු ධ්‍යාන සම්පත් ලබාගනිමින් ඒවා උපාදානය කරගෙන ජීවත්වෙනවා. ඉන් එහා උත්තරීතර ධර්මයන් වඩන්නේ නැහැ. මොහුත් සසුන ලිහිල්කොට ගත්තෙක්‌ වෙනවා. මොහු ගසේ අරටුව තිබියදී ගසේ අරටුවයයි සිතා ගසේ සිවිය කපාගෙන යන මනුෂ්‍යයා වගේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ සිටිනවා. ඔහු ශ්‍රද්ධාවෙන් පැවිදිවී ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වී සමාධිමත් සිතෙන් වාසය කරනවා. ඔහු සමාධි සම්පත්තියෙන් නොසෑහී ඉන් එපිට චුතුපපාතඥාන, පූර්වේනිවාසානුස්‌සති ඥාන වැනි ප්‍රනීත ධර්මයන් සොයමින් වාසයකරනවා. ඉන් එපිට ධර්මයේ උතුම් හරයක්‌ ගැන සිතන්නේ නැහැ. මේ භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ එලය කපාගෙන යන පුද්ගලයාවගේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් කුල පුත්‍රයෙක්‌ සිටිනවා. ඔහු දක්‍ෂයෙක්‌. ඔහු මේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන් දැකලා ශ්‍රද්ධාවෙන් පැවිදිවෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට බැඳෙන්නේ නැහැ. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙලා උතුම් සමාධිමත් සිතෙන් වාසය කරනවා. මොහු ශීලයේවත්, සමාධියේවත් ආශ්වාදයට බැඳෙන්නේ නැහැ. මොහු දක්‍ෂයි රූපාචර අරූපාචර ධ්‍යානඵල අනිත්‍යබව දකින්න. උත්තරීතර ප්‍රනීත ධර්මයන් ජීවිතයට ලබමින්ම එම ප්‍රණීත ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව දක්‍ෂයි. ඔහු ශීලය නිසාවත් සමාධිය නිසාවත් නැවත ලෝකයට බැඳෙන්නේ නැහැ. සංස්‌කාරයන්ගේ බියකරු හැටියට දකිමින්ම විදර්ශනා නුවණ ඇතිකරගන්නවා. සංසාර ගමන කෙලවර කරගන්නවා. මෙම භික්‍ෂුව ගසේ අරටුව සොයාගෙන ගොස්‌ දක්‍ෂ ආකාරයෙන් ගසේ අරටුවම තෝරාගත් දක්‍ෂයා බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ඉහත ධර්මය තුළින් පිංවත් ඔබටත් නුවණින් විමසා බැලිය හැකියි සද්ධර්මයේ අරටුවයයි සිතා ඔබ ගසේ අතු කොළද, පොත්තද, සිවියද, ඵලයද පරිහරණය කරන්නේ කියලා. මෙසේ සිතමින්ම ගසේ අරටුව හඳුනාගන්න උත්සහ ගන්න ඔබ දක්‍ෂවන්න. වර්තමාන සමාජය දෙස බලනවිට අපිට පෙනෙනවා සමහරෙක්‌ මහේශාඛ්‍යභාවය සොයාගෙන යනවා. තවත් පිංවතුන්ලා මස්‌ මාංශද, නිර්මාංශද කියන තර්කයේ පැටලිලා සිටිනවා. තවත් පිංවතුන්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැමිනෙණතෙක්‌ බලාසිටිනවා. මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුර බුදුරජාණන් වහන්සේ ඉහත දේශනාවෙන් පැහැදිළි කර දෙනවා. මෙතනදී අපි කාගේවත් වරදක්‌ නොවේ දැකිය යුත්තේ. අපගේම ඉන්ද්‍රියධර්මයන්ගේ නොදීයුණු භාවයයි. එහෙමනම් අපේ ප්‍රශ්නයට විසඳුම තිබෙන්නේ විවේචනය තුළ නොවෙයි. අපේ දුර්වලභාවය අපිම හඳුනාගැනීම තුළයි. සද්ධර්මයේ උතුම් අරටුව අතුරුදන් නොවී තිබියදීම අතුකොළ, පොත්ත, සිවිය, එලය විනිවිද ගොස්‌ අරටුව මතුකරගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. ජීවිතය කියන්නේ අවසානයේ මතකයක්‌ පමණයි. ඒ මතකයන් මරල දමලා ජීවිතය මරණයට යනවා. අන්තිමට මතක්‌ වෙච්ච මතකය තවත් ජීවිතයක්‌ උරුමකොට දෙනවා. මියයාමත් ඉපදීමත් ජීවිතය කරගෙන භවය ගලාගෙන යනවා. භව නිරෝධයට අවශ්‍ය විසඳුම තවම සන්දීට්‌ඨිකව තිබෙනවා. ගසේ අරටුව හඳුනාගත් නිසාම අපි අතු කොළ එකතුකරමින් ගස්‌ වටේ කැරකෙනවා. දුකෙන් මිදීමට දුකම සොයනවා. උතුම් ශීලයත් සමාධියත් අනිත්‍යබව දකිමින් විදර්ශනා නුවණ ප්‍රඥාව ඇතිකරගන්න දක්‍ෂවෙන්න.

පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ ශීලය විදර්ශනා නුවණින් දකින්නෙ කොහොමද කියලා. පිංවත් ඔබ කුමන ශීලයක්‌ සමාදන්වුවද ශිල්පද හොඳින් ආරක්‍ෂා කරගන්න. දැන් ඔබට පුළුවන් භාවනාවක්‌කොට ගන්න. ශීලයෙන් ලැබෙන ආනිශංස තමයි අප්‍රමාදීභාවය ඇතිවෙනවා. ඒ කියන්නේ සතර අපායන්ට වැටිලා ප්‍රමාද වෙන්නේ නැහැ. දෙවැනි ආනිශංසය තමගේ කීර්ති රාවය පැතිරෙනවා. ඕනෑම සභාවක්‌ ඉදිරියට නොබියව යනවා. සිහිමුලානොවී මැරෙනවා. සුගතියේ උපදිනවා. දැන් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න මේ ආනිශංස සියල්ල විපාකදීල අනිත්‍යවන දේවල්. මෙන්න මේ ශීලයේ ආනිශංසයන්ගේ අනිත්‍යභාවය ඔබ නුවනින් මෙනෙහි කරන්න. එතකොට ඔබ භවයට බැඳෙන්නේ නැහැ. සිල් සමාදන්වෙලා එහි ආනිශංසයෙන් දෙවියෙක්‌ වේවායැයි ඔබට සිතුනොත් අතීතයේ ඔබම ශක්‍රයාවෙලා ඉඳලා නැවත සතර අපායට වැටුන හැටි නුවණින් මෙනෙහි කරන්න. සිල් ආරක්‍ෂා කරල එහි ආනිශංසයෙන් නැවත සශ්‍රීක මනුෂ්‍යයෙක්‌ වේවා කියලා ඔබට සිතුනොත් අතීතයේ ඔබ සක්‌විති රාජ සම්පත් ලබල ජීවත් වෙලා නැවත සතර අපායට වැටුන හැටි මෙනෙහි කරන්න. ආනිශංසයේ ආශ්වාදයට බැඳෙන්න එපා. විපාක දීල අවසන්වන සංස්‌කාරයන්ටම බැඳෙන්න එපා. එවිට ඔබ තුළ ඇති චිත්තයයි සකස්‌ වෙන්නේ.

ශීලය විදර්ශනා නුවණින් දකිනව වගේම සමාධියේත් අනිත්‍යභාවය විදර්ශනා නුවනින් දකින්න. සමාධිය ඇතිවුණාය කියන්නෙ පංචනීවරණ යටපත් වුණාය කියන කාරණයයි. යටපත් වුණ පංචනීවරණ නැවතත් සකස්‌ වෙනවාය කියන කාරණය නුවනින් දකින්න. සමාධියේ ආශ්වාදය හැටියට ඔබ ලබන ධ්‍යාන ඵලයන්ගේ අනිත්‍යභාවය දකිමින් සමාධිය උතුම් විදර්ශනා නුවන ඇතිකරගැනීම සඳහා උපයෝගීකර ගන්න. සමාධිය කියන්නේ තාවකාලික සැපයක්‌ මිස දුකෙන් මිදීමක්‌ නොවේ. දුකෙන් මිදීමක්‌ සමාධිය තුළ සැඟවී තිබෙනවා. සමාධිය තුළ සැඟවී තිබෙන දුකෙන් මිදීමේ අර්ථය සමාධියම විදර්ශනා නුවණින් දැකීම තුළින් ඔබ මතුකරගන්න ඕනේ. එසේ නොවුනොත් ශීලයත් සමාධියත් අපිට තාවකාලික ආශ්වාදයක්‌ අවාසනයේ සංසාර බියමයි සකස්‌කර දෙන්නේ.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියා. ඔහුගේම වචනවලින් කියනවානම් ඔහුගේ මුළු ජීවිතයම රෝගයක්‌. වෛද්‍යවරයෙකුට සොයාගන්න බැරි කායික වේදනාවකින් නිරතුරුවම ඔහු පෙළෙනවා. මේ තරුණ මහත්මයා රෝගී තත්වය නිසාම ජීවිතය නැතිකරගන්න ගිය අවස්‌ථා කීපයක්‌ම තිබිල තියෙනවා. ඔහු කුටියට ඇවිත් භික්‍ෂුවට කියන්නේ තමාට දීවිනසාගැනීමට හැර වෙනත් විකල්පයක්‌ නැති බවයි. ඔහු කල්පනා කරනවා ජීවිතය නැතිකරගතහොත් මේ වේදනා සියල්ලෙන්ම මිදුනාය කියල. භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළේ ඔබ කරන සුදුසුකම්ලත් වෛද්‍ය ප්‍රතිකාර දිගටම කරන්න. මනෝවෛද්‍යවරයෙක්‌ව මුණගැසෙන්න. හැකිතාක්‌ බෝධිපුජා, දන්දීම්, ගිලන් අයට උපස්‌ථානය කරන්න කියලා. මෛත්‍රී චින්තනයෙන් සෑමවිටම ඉන්න කියල. මේ කරන කුසල් ශක්‌තියෙන් තමන්ගේ ජීවිතයට බලපාන අතීත අකුසල් තිබේනම් එම අකුසල් විපාකයන් නැතිවන බව දකිමින් ජීවත්වන්න කියලා. ලෙඩෙක්‌ය කියන කාරණය සිතන්නෙ නැතිව තමා හැම මොහොතකම නීරෝගී කියන කාරණය දකින්න කියලා. සමහර පිංවතුන්ලා සිත ලෙඩකරගෙන ජීවත්වෙන්නේ. හිත ලෙඩ වුණොත් ශරීරය අනිවාර්යෙන්ම ලෙඩ ගොඩක්‌මයි. බුදුරජාණන් වහන්සේ නකුලපියාට දේශනා කරනවා පිංවත් නකුල මේ කය ලෙඩ හැදෙන දෙයක්‌ කටුවකින් වැසීගිය බිත්තරයක්‌ වගේ. මේ කය පරිහරණය කරමින් යමෙක්‌ මොහොතක්‌ හෝ නිරෝගීභාවයක්‌ බලාපොරොත්තුවෙනවා නම් එය අඥානකමක්‌. ඔබ මේ විදීහට හික්‌මෙන්න ඕන. මා හට අසනීප වලින් පීඩිත කයක්‌ තිබුණට මම සිත විතරක්‌ ලෙඩ කරගන්නේ නැහැ කියලා. ඥානවන්ත ආර්ය ශ්‍රාවකය සතර මහා ධාතුවෙන් හටගන්නා රූපය ආත්මය කර ගන්නේ නැහැ. මා තුළ රූපය රූපය තුළ මා සිටිනවා කියල ගන්නේ නැහැ. රූපය තුළ ආත්මයත් ආත්මය තුළ රූපයත් තිබෙනවාය කියල ගන්නේ නැහැ. එහෙම දකින කෙනා රූපය වෙනස්‌වෙන විට රූපය ලෙඩවෙන විට පසුතැවෙන්නේ නැහැ, කනගාටුවෙන්නේ නැහැ කියල බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. වර්තමානයේ සමහරක්‌ රෝගාබාධවලට මූලික හේතුව මේ සිත ලෙඩකර ගැනීම.

එක අම්මා කෙනෙක්‌ සිටියා ඇයගේ දියණිය පහේ ශිෂ්‍යත්ව විභාගයට බොහෝම මහන්සිවෙලා සූදානම් කළා. මේ කාලයේදී ඇය උදයට නැගිට්‌ටෙ පාන්දර තුනට. ඒ දරුවාට අවශ්‍ය සටහන් පිළියල කරන්නට. අවසානයේ දරුවාගේ විභාගයේ ප්‍රතිඵල පැමිණියා. දරුවා අවශ්‍ය සුදුසුකම් ලබල සිටියේ නැහැ. සිත ලෙඩවුණු ඒ අම්මා රෝගාතුර වුණා. දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර කරන්නට වුණා. තමන්ගේ දෙයක්‌ තමන්ට අයිති නැතිවිට අනුන්ගේ දෙයක්‌ තමාගේ කරගෙන දුක්‌ විඳිනවා. මුලින් සඳහන් කළ මහත්මයා භික්‍ෂුව මුණගැසෙන්නට පැමිණ ප්‍රකාශ කළේ තමාගේ ශාරීරික වේදනාව ඉවසිය නොහැකි තැන තමාට දීවිනසා ගැනීමට සිතෙනවාය කියල. ඔහු එවැනි උත්සහයන් කිහිපයක්‌ අතීතයේ අරගෙන තිබෙනවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට මතක්‌ කළේ ඔබ සිතන්න මෙතැන දර කැබලි තුනකින් අවුලපු ගිනි ගොඩක්‌ තිබෙනවා. භික්‍ෂුව ඔබට කියනවා මේ කුඩා ගිනිගොඩට විනාඩියක්‌ ඔබේ ඇගිල්ල දමාගෙන ඉන්න කියල. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඔබ විනාඩියක්‌ ගිනිගොඩට ඇඟිල්ල දමාගෙන සිටින විට ඇතිවෙන වේදනාවද වැඩි ඔබේ ශරීරයේ රෝගය නිසා තිබෙන වේදනාවද වැඩිකියල. එවිට එම මහත්මයා කියනවා මේ ඇඟිල්ල ගිනිගොඩට දමාගෙන සිටිනවිට ඇතිවෙන වේදනාව වැඩිය කියල. දැන් පින්වත් ඔබ නුවණින් මෙනෙහි කරන්න ඕනේ සංසාරබිය නොදකින නිසාම අපි අඩු වේදනාව අතහැරල වැඩි වේදනාව උරුමකරගන්නවා. අඩු දුක අතහැරල වැඩි දුක තෝරාගන්න යනවා. අසනීපය නිසා ඇතිවන ශාරීරික පීඩාව විඳගැනීමට නොහැකිව සියදීවිනසාගතහොත් අනිවාර්යෙන්ම ඊළඟ උපත නිරයේමයි සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙන්නේ. මෝහය නිසාම කර්මය කර්ම ඵල විශ්වාසය නොමැති නිසාම කැමත්තෙන්ම පොඩි දුකක්‌ අතහැරලා ලොකු දුකක්‌ තෝරාගන්නවා. සියදිවි නසාගන්නවා කියන්නේ තමාගේ අකුසල් සංස්‌කාරවලින් තමාම පලිගන්නවා කියන කාරණයයි. තමා කෙරෙහි තමා ද්වේශය ඇතිකරගන්නවා කියන කාරණයයි. එහි විපාකය හැටියට ගිනි නිරයට වාටුනොත් ඒවායේ ආයුෂ කල්ප ගණන් දිගයි. අපිම කළාවු අකුසල්වල විපාකයන් මතුවෙන විට ඔබට සියදිවි නසාගනන්ට සිතෙන්න පුළුවන්. එවැනි අවස්‌ථාවක කවදාකවත් ඉක්‌මන් වෙන්න එපා. කල්‍යාණමිත්‍ර ඇසුරත් තමාට වඩා අවබෝධයෙන් වැඩි කෙනෙක්‌ සොයාගෙන යන්න. අකුසල විපාකයන් බලවත් වෙන විට ඒවා අපිට උපක්‍රමශීලීව විපාකයන් දීමට කටයුතු කරනවා. එම අකුසල් සංස්‌කාරයන්ගේ උපක්‍රමශීලීබව හඳුනාගත යුතු වන්නේ ශ්‍රද්ධාව තුළින්මයි. ඒවාට පිළිතුරු සෙවිය යුත්තේ කුසලය තුළින්මයි. ශ්‍රද්ධාව රහිත පුද්ගලායව පිරිහෙනවා. සංසාර බිය රහිත පුද්ගලයා පිරිහෙනවා. ප්‍රඥාව රහිත පුද්ගලයා පිරිහෙනවා. අවපසට යන සඳක්‌ වගෙයි ඒ අයගේ ජීවිතය. ශ්‍රද්ධාව, සංසාරබිය ඇති, අලස නැති ප්‍රඥාවන්ත පුද්ගලයා පුරපසට යන සඳ වගේ දීයුණු වෙනවා, සැප ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.