ධර්ම සාකච්ඡාවක්‌ අවසානයේදී එක්‌ මැදිවියේ මහත්තයෙක්‌ ප්‍රකාශ කළේ, තමන්ගේ බිරිඳ හරියට කේන්ති ගන්නවා. තමන් කොපමණ අවවාද කළත් ඇය අහන්නේ නැහැ. බිරිඳ ධර්මයට කැමැති නැහැ. එයාට කේන්ති ගියහම හරියට යක්‍ෂණියක්‌ වගේ කියලා. ඒ මහත්මයා අසනවා ‘මම මොකද හාමුදුරුවනේ කරන්නේ’ කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළේ ‘ඔබම කියනවා, ඔබගේ බිරිඳ යක්‍ෂණියක්‌ වගේය කියලා. බිරිඳ ඔබට ඔය බල කරන්නේ ඔබටත් යක්‍ෂයෙක්‌ වෙන්න කියලයි. ඇය යක්‍ෂණියක්‌ වුවදෙන්, ඔබ යක්‍ෂයෙක්‌ වෙන්න එපා. ඔබ ඇය ඉදිරියේ මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌ වෙන්න. පිංවත් ඔබට ගැටෙන්න මෙතන කිසිම දෙයක්‌ වෙලා නැහැ. ඔබ මේ දකින්නේ ධර්මයයි. බිරිඳක්‌ ගත්තානම් ඔබ ඒ ගත්තේ දුකක්‌. සැමියෙක්‌ තෝරාගත්තා නම් ඔබ ඒ ගත්තේත් දුකක්‌. බිරින්දෑවරු වෙනුවෙන් ඔබ සංසාරයේ හෙළා ඇති කඳුළු, රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩිය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඔබේ බිරිඳ ඔබට ඔය බල කරන්නේ එම කඳුළු සාගරයට තව තවත් කඳුළු, රුධිරය එකතු කරන්නටය කියලා. ඔබ මෙතැනදි දක්‍ෂ වෙන්න ඕනේ උතුම් සද්ධර්මය ප්‍රයෝජනයට අරගෙන මේ කඳුළු සාගරය උපරිම ආත්මභව හතකට සීමාකර ගන්න. නැවත බිරිඳ ඔබට බැන්නොත් ඔබ ඒ බැනුම් නිහඬව ඉවසන්න. බිරිඳ ඔබට පහරක්‌ ගැසුවහොත් දෙවැනි පහරත් ගසන්න හිස නමන්න. පිංවත් ඔබ සිතන්න එපා ඔබ ඒ හිසනමන්නේ තමාගේ බිරිඳට කියලා. ඔබ ඒ හිස නමන්නේ උතුම් සද්ධර්මයටයි. ඔබේ අකීකරු බිරිඳ තුළිනුත්, අකීකරු ස්‌වාමියා තුළිනුත් ඔබ අධිෂ්ඨානයක්‌ ඇතිකර ගන්න මම මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි, අවසාන ස්‌වාමිපුරුෂයායි කියලා’

දුක ඇති කරන දේ කෙරෙහි අවබෝධයෙන් කළකිරීම ඇතිකර ගන්න. අකීකරු බිරිඳව, ස්‌වාමිපුරුෂයාව කමටහනක්‌ කොටගෙන නැවත ‘බිරිඳ’ ‘ස්‌වාමිපුරුෂයා’ කියන දුකෙන් මිදෙන්න.

මාස 3කට විතර පසුව ආයෙමත් අර මහත්මයා භික්‍ෂුව මුණගැසිලා කියනවා ‘හාමුදුරුවනේ දැන් මගේ බිරිඳ හොඳයි. කේන්ති ගන්නේ නෑ’ කියලා.

භික්‍ෂුව වැඩ සිටින ලෑලි බංකුව ඉදිරිපිට සක්‌මන් මළුවක්‌ තිබෙනවා. එම සක්‌මන් මළුවේ පැති බැම්මේ කළුගලක්‌ යටින් අඟල් දහයක්‌ පමණ දිග ගැඩවිල් පණුවෙක්‌ සක්‌මන් මළුව තුළ ඇදී යනවා. එම ගැඩවිල් පණුවා පසුපසින් කෙල වැනි දියරයක්‌ වැගිරෙනවා. ඒ නිසා පණුවා යන පාර හොඳින් සලකුණු වෙලා, පණුවා වටයක්‌ ගිහිල්ලා එයා මුළින් මතුවූ ගල ළඟටම ඇවිත් සිටිනවා. පණුවා සිතාගෙන සිටින්නේ එයා දීර්ඝ ගමනක්‌ ගියා කියලා. නමුත් එයා පටන්ගත්ත තැනටමයි ආපසු ඇවිත් සිටින්නේ.

අපිත් සංසාරයේ කොපමණ නම් දීර්ඝ ගමනක්‌ ගිහිල්ලා ආපහු පටන් ගත්ත තැනට ඇවිල්ලා ඇතිද? උතුම් මනුෂ්‍යයෙක්‌ වශයෙන් ඉපදිලා, අකුසල් සිද්ධ කරලා, සතර අපායට වැටිලා, ඒවායේ කල්ප ගණන් දුක්‌ විඳලා ආයෙමත් මනුෂ්‍ය ජීවිතයක්‌ ලබනවා. අපි හරිම සතටුයි. අපි හිතන්නේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවා කියලා. මෙවැනි දුර්ලභ මනුෂ්‍ය ජීවිත ලක්‍ෂ ගණනක්‌ ලබා තිබුණාය කියන කාරණය දැක්‌කේ නැහැ. වැලි මළුවේ වටයක්‌ කැරකුණු ගැඩවිල් පණුවා දැක්‌කහම අප පැමිණි සංසාර ගමනයි භික්‍ෂුවට සිහිවුණේ. ඒ ගැඩවිල් පනුවා තුළිනුත් සංසාර බියමයි සකස්‌ වුණේ.

පාසලක ඉහළ ශ්‍රේණියක ඉගෙනුම ලබන දරුවෙක්‌ පැමිණියා භික්‍ෂුව මුණගැහෙන්න. ඒ දරුවාට ප්‍රශ්නයක්‌ ඇතිවෙලා. ඒ දරුවාට දැනට ටික කාලයක සිට ඔහු මතු සම්මාසම්බුද්ධත්වයට පත්වෙනවාය කියලා අදහසක්‌ ඇතිවෙලා. එම දරුවා අසන ප්‍රශ්නය තමයි, මතු බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම සුදුසුද කියලා. ලොකු අයගේ දේවල් ආදර්ශයට ගන්න ගිහිල්ලා පොඩි අයට ඇතිවන ප්‍රශ්න බලන්න….

කොහොම වුණත් පාසල් දරුවෙක්‌ගේ ජීවිතය තුළ මෙවැනි අදහසක්‌ ඇතිවීම අගය කළ යුත්තක්‌. අපි දක්‍ෂ වෙන්න ඕනේ එම අර්ථවත් අදහස තුළින් වඩාත් නිවැරදි දේ මතුකොටගන්න. බුදුරජාණන්වහන්සේ නමක්‌ ලෝකයට පහලවෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මතුකොටගන්න. ඒ මතුකොටගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි අපේ ධර්මයේ සැබෑ අර්ථයකොට ජීවිතයට එකතුකරගත යුත්තේ. වෙනත් අතුරු අරමුණු නොවේ. මෙතැනදි එම දරුවා මතුකොට ගතයුත්තේ තමා තුළ සැඟවී තිබෙන අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියයි. එම අතීත කුසල් සංස්‌කාරයන් ළමා වියේදී දරුවන්ට මතුකොට දෙන්නේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට දක්‌වන කීකරුභාවය තුළින්. වැඩිහිටියන් වන්දනා කිරීම තුළින්. ශිල්පද පහ ආරක්‍ෂාකර ගැනීම තුළින්. දෙමාපියන් සමග බුද්ධ වන්දනාවන්ට සහභාගීවීම තුළින්. ඒ තුළින් දරුවන්ට පෙර භවයන්හී විපාක නොදුන් කුසල් ශක්‌තිය මතුකොටගන්න පුළුවන්. පෙර භවයන්හී කුසල් ශක්‌තිය මේ ජීවිතයේදී ඔබට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හුඟාක්‌ උපකාරී වෙනවා. එම නිසා අධ්‍යාපනය ලබන කාලය, ඉහත ගුණධර්ම ආරක්‍ෂා කරගෙන අධ්‍යාපනය උදෙසා පමණක්‌ වැය කරන්න.

තරුණ ප්‍රජාව ජීවිතයට ගලාගෙන පැමිණීමත්, අධ්‍යාපනයත් කියන කාරණා දෙකම සිද්ධවෙන්නේ එකම කාල වකවානුවේ. එම නිසා වැඩිහිටි පාසල් දරුවන් හුඟක්‌ පරිස්‌සම් වෙන්න ඕනේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළට යොමුකර ඇති දැඩි තරගකාරී බව නිසා පාසල් දරුවන් තුළ ද්වේශය, ඉරිසියාව, රාගය වැනි කාරණාවන් දැඩිව මතුකොටදෙන වටපිටාවක්‌ නිර්මාණය වෙලා තිබෙනවා. එම කුරිරු වටපිටාවෙන් ඔබට පොදුවේ මිදෙන්නට බැහැ. තම තමන් තනිවමයි නිදහස්‌ විය යුතු වෙන්නේ. අපගේ අකුසල්වල විපාකයන් නිසාම ඉදිරියේදී ලෝකය නිර්මාණය වෙන්නේ දුක වැඩි දිශාවට. පොදුවේ ශිෂ්‍යයා නිසා ගුරුවරයාට සතුටු විය හැකි කාලයක්‌ අනාගතයේදී උදාවෙන්නේ නැහැ. එම නිසා පොදුවේ ගැලවෙන්න මාර්ගයක්‌ අපට නැහැ. තමා තුළින් කුසලයේ ශක්‌තිය මතුකොට ගැලවෙන්න දක්‍ෂ වෙන්න ඕනේ.

පාසල් දරුවා තුළිනුත් අපි සංසාර බියමයි සකස්‌කොටගත යුත්තේ. දරුවන් ඇති අම්මලා දරුවන් නිසා මේ තරම් දුක්‌ විඳිද්දිත්, දරුවන් නැති අම්මලා දරුවන්වමයි ප්‍රාර්ථනා කරන්නේ.