ලෝකය ගලාගෙන යනවා කුසල් අකුසල් ඊට උපකාරීවෙනවා. පිංවත් ඔබට ලෝකය අවශ්‍යනම් කුසලයයි ඔබ උපකාරගත යුත්තේ. එම නිසා පාසල් දරුවන් සෑම විටම දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුව පංචශීලය අර්ථවත්ව සමාදන්ව නිරතුරුවම බුද්ධ වන්දනාවන්ට සහභාගී වුවහොත් සහෝදර ශිෂ්‍යයන් සමග සමගියෙන් කටයුතු කළොත් දරුවන්ට පුළුවන් තමාගේ අතීත කුසල් ශක්‌තිය මතුකරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න.

පිංවත් දරුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරවය නොකළොත් පංචශීලය ආරක්‍ෂාකර නොගත්තොත් දිනපතා බුද්ධ වන්දනාවට සහභාගි නොවුනොත් පිංවත් දරුවන් තුළින් මතුවී එන්නේ අතීතයේ අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයයි. වර්තමාන පාසල් දරුවා තුළින් ඔබ දකින්නේ මේ අනතුරයි.

සෝපාක පුංචි හාමුදුරුවො, නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ, සංකිච්ච පුංචි හාමුදුරුවෝ, දබ්බමල්ල ඵුස්‌ස පුංචි හාමුදුරුවෝ, චුල්ල පන්තක පුංචි හාමුදුරුවෝ ළමා කාලයේදීම උතුම් රහතන් වහන්සේලා බවට පත්වුනා. ඒ ළමා ජීවිත තුළ තිබු අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තිය මතුකර ගත් නිසා. බලන්න මොනතරම් අයෝමය කුසල් ශක්‌තියක්‌ ළමා ජීවිත තුළ සැඟවිලා තිබෙනවාද කියල. ළමා ජීවිතය තුළ සැඟවී තිබෙන අතීත කුසල් ශක්‌තිය දරුවන්ට පමණක්‌ තනිව මතුකරගන්න බැහැ. වර්තමානයේ පාසල් දරුවා තුළින් දෙමාපියන් මතුකොට ගැනීමට උත්සාහ ගන්නේ අධ්‍යාපනය පමණක්‌මයි. මෙතනදී හුඟාක්‌ වෙලාවට අපි පැරදෙනවා. ගුණයෙන් තොර දරුවෙකුයි අපි සමාජගත කරන්නේ. අවසානයේ ඒ දරුවන් දෙමපියන්ටවත් සලකන්නේ නැහැ. එම නිසා දෙමාපියන් ගුරුවරුන් හැමවිටම වැඩිහිටියන්ට ගරුකිරීම කියන කාරණයේදී, පංච ශීලය ආරක්‍ෂා කිරීම කියන කාරණයේදී, දිනපතා බුද්ධ වන්දනාව කිරීම කියන කාරණයේදී දරුවන්ට ආදර්ශවත් විය යුතු වෙනවා.

භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ ගිහි පාසල් ජීවිතය. ගිහි කාලයේදී භික්‍ෂුව ඉගෙන ගත්තේ ක්‍රිස්‌තියානි පාසලක. පාසලේ හතේ ශේ්‍රණිය දක්‌වා බුද්ධාගම විෂය අපිට ඉගැන්වූවේ නැහැ. බුද්ධාගම විෂය තිබෙන වේලාවට අපිව පුස්‌තකාලයට යවනවා. අ.පො.ස (සා.පෙ.) විභාගය ඉලක්‌ක කරගෙන අටේ ශේ්‍රණියේ පටන් තමයි අපිට බුද්ධාගම විෂය ඉගැන්වූයේ. භික්‍ෂුව ජීවිතයේ කවදාකවත් දහම් පාසලකට ගිහිල්ල නැහැ. භික්‍ෂුව බුද්ධ වන්දනාවට අදාළ ගාථා කියන්න, කරණීයමෙත්ත සූත්‍රය කටපාඩමින් කියන්න ඉගෙන ගත්තේ අම්මා සමග නිවසේදී බුද්ධ වන්දනාව කරද්දියි. අම්මා කියල දුන්න, අම්මාගෙන් ඉගෙන ගත්ත ගාථ පෙළයි අදත් ඔබ සමග බුද්ධ වන්දනාව කරන විට සජ්ජායනා කරන්නේ. බලන්න අම්මා කෙනෙකුට දරුවෙකුගේ ජීවිතයේ යහපත උදෙසා මොනතරම් ආදර්ශයක්‌ දෙන්න පුළුවන්ද කියලා.

දරුවන් නිසා දුක්‌වෙන අම්මලා සමාජයේ අප්‍රමාණ සිටිනවා. මේ අය සිතන්නේ තමන් පැමිණි භව ගමනේ තමන්ට ලැබුණු පළමුවැනි දරුවයි මේ ලැබිල තිබෙන්නේ කියලා. සංසාරයේ දිග, පළල, ගැඹුර දකින්නේ නැහැ. දරුවන් උදෙසා අතීතයේ මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළල තිබෙන බව දකින්නේ නැහැ. දරුවා කියන කාරණය මහා බියක්‌, දරුවා කියන කාරණය මහා දුකක්‌, දරුවා කියන කාරණය මහා බැඳීමක්‌. දරුවෙක්‌ ඉපදුනාය කියන්නේ දුකක්‌ ඉපදුනාය කියන කාරණයයි. සංසාර බිය නොදකින නිසාම ලෝකයට අපව බැඳ තබන කාමවස්‌තුව දරුවායි. දරුවන් නිසා අප කොච්චර නම් අපාගත වෙලා ඇත්ද? තම දරුවා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ඇඳ මත වේදනාවෙන් පෙලෙනවිට එම අම්මා දරුවාට කියනවා පුතේ ඔබ සුවපත් කරන්න මම අපායට උනත් යන්න ලෑස්‌තියි කියල. අම්මල තාත්තල වශයෙන් අපි දරුවන් නිසා කල්ප ගණන් සතර අපායේ දුක්‌විඳිල තිබෙනවා. දරුවා තුළින් ඇති මේ සංසාර බියයි මතුකර ගත යුත්තේ. එතන තමයි මේ දුකෙන් මිදෙන මාර්ගය තිබෙන්නේ. ධර්මානුකූලව සිතීමෙන් තොරව අපට මේ අනතුරෙන් ගැලවෙන්න බැහැ. තවත් අපි අනතුරුවලටයි යන්නේ. දරුවන් නිසා දුක්‌විඳින දෙමාපියන් ස්‌ථිර අධිෂ්ඨානයකට එන්න ඕන. මම මේ භව ගමනේ ලබන අවසාන දරුවයි මේ ලැබුවේ කියල. මේ ජීවිතයේ ලැබුණ දරුවන් හොඳින් පෝෂණය කරමින්, යුතුකම් ඉටුකරමින්, දරුවා තුළින්ම ලෝකයෙන් දරුවාගෙන් මිදෙන ස්‌වභාවයට ඔබ පැමිණිය යුතුයි. එතන තමයි දරුවා කියන දුකේ නිමාව තිබෙන්නේ.

මේ සටහන් තබන භික්‍ෂුව අම්මා, තාත්තා කියන බැඳීමෙන් මිදුනේ අම්මා තාත්තාව කමටහනක්‌ කරගෙනමයි. දරුවන් හැටියට අපිව ලොකුමහත් කරන්න උගන්වන්න අම්මා තාත්තා ගත්තාවූ වෙහෙස වින්දාවු දුක දෑස්‌ දෙකෙන් දැකලාමයි අම්මා තාත්තා කියන අර්ථයන් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදුනේ. අම්මා තාත්තා විඳපු දුක දැකලමයි දෙමාපියන් කෙරෙහි සංසාර බිය ඇති කරගත්තේ.

අම්මාගේ නෙතින් තාත්තාගේ නෙතින් මා උදෙසා නැගුණු සෑම කදුළකම මා කඳුළු සාගරයක්‌ කර දැක්‌කා. මහ සාගරය දකින හැම මොහොතකම භික්‍ෂුව සිතන්නේ මේ සංසාරයේ මගේ අම්මලා තාත්තලා මා උදෙසා හෙලූ කඳුළු සාගරයයි කියල. කඳුළු සාගරයේ ප්‍රමාණය දකින විට මේ මුළු ලෝකයේම සත්වයෝ මගේ අම්මලා තාත්තලා හැටියට දකින්න මට දක්‍ෂතාවය ලැබුණා. මේ මොහොතේත් භික්‍ෂුව කරුණාවෙන් මේ සටහන් තබන්නේත් ඒ ඥාතීත්වය දකින නිසාමයි.