පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගය උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමිකරගන්න එපා. මේ උතුම් ධර්මශක්‌තිය බිඳින්න, අවසන් කර දක්‌වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා සශ්‍රික සිව්පසයට, ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා කරවනවා. උතුම් අධිගමනයන් හාස්‍යයට ලක්‌කරනවා. මන්දබුද්ධික අධිගමලාභීන් බිහිකරනවා. මාරයාගේ මේ ක්‍රියාවලිය සමාජය තුළ වේගයෙන් සිදුවෙන බව පිංවත් ඔබට පෙනෙනවා.

මේ යුගයේ බිහිවන සද්ධර්මයේ සැබෑම ශක්‌තිය සැබෑම අර්ථය විකෘති කිරීමටයි මාරයාගේ මේ ව්‍යායාමය. හෙට දවසේ යමෙක්‌ සැබෑ අර්ථවත් ආකාරයෙන් උතුම් සෝවාන් ඵලයට, උතුම් රහත් ඵලයට පත්වුවහොත් ඔහුව විවේචනය කරන්න මාරයා දහසක්‌ දෙනාව සමාජය තුළින්ම ඇතිකරනවා. එයයි වර්තමාන ලෝකයේ ස්‌වභාවය.

මෙම ස්‌වභාවය ධර්මය හැටියට දකිමින් එය මාර්ගය වැඩීමට කමටහනක්‌ කරගන්න. මේ ස්‌වභාවය සමාජය තුළ ඇතිකරගන්නේ අසද්ධාව තුළින්මයි. මිච්ඡා ශීලය, මිච්ඡා සමාධිය, මිච්ඡා ප්‍රඥාව තුළින් පෝෂිත අපේ සිතුවිලි අපව මාර ධර්මයන්ගේ ගොදුරු බවට පත්කරවනවා. පිංවත් ඔබ මුලින්ම මේ ජීවිතයේදී ‘මම සතර අපායෙන් මිදෙනවා’ය කියන චිත්තය ඇතිකරගන්න. අපි මුලින්ම රහතන් වහන්සේ නමක්‌ බවට පත්වීමට නොවෙයි, යායුත්තේ සතර අපායෙන් මිදීමටයි. සතර අපායෙන් නොමිදී අපට රහත් භාවයට පත්වීමට පුළුවන්කමක්‌ නැහැ. අපි ආරම්භයේදීම රහත්භාවයට පත්වෙනවාය කියන අධිබලාපොරොත්තුව ඇතිකරගතහොත් අපි තුළ අධිමාන්නය ඇතිවෙන්න පුළුවන්. දුර බලාපොරොත්තුවක්‌ ඇතිකරගත් නිසාම වේගවත් භාවයට පත්වෙන්න පුළුවන්. ඒ තුළින්ම අපි තුළ මාන්නය සකස්‌ වී සෝවාන් ඵලයට පත්වීමට පෙරාතුව සෝවාන් ඵලයට පත්වුණාය කියන මිත්‍යා විශ්වාසයට එන්න පුළුවන්. පටන් ගැනීමම විකෘතිභාවයට පත්කරගතහොත් ජීවිතය සක්‌කාය දිට්‌ඨියෙන් පිරීයනවා.

මෙවැනි ගිහි පැවිදි චරිත සමාජයේදී අපට නිතර හමුවෙනවා. සතර අපායෙන් තවම මිදිල නැහැ. නමුත් තමන් සකෘදාගාමී, අනාගාමී, රහත්භාවයට, තත්ත්වයට පත්ව ඇතයි සිතනවා. මේ අධිමාන්නය නිසා සංසාරයේ අපට නිවන් මාර්ගය අහිමිව ගිය අවස්‌ථා බොහොමයක්‌ තිබෙනවා. ඔබ ඉන්නේ කොතැනද කියලා කොයිම වෙලාවකවත් හිතන්න යන්න එපා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඉන්නවාද කියල හිතන්න.

භික්‍ෂුව ගිහිකෙනෙක්‌ වශයෙන් මුලින්ම පැවිදි වීමට ගියේ අවුරුදු 24 දී. අදාළ තපෝභූමියේදී පැවිදිවීම අරමුණුකරගෙන දින දහයක්‌ මම දසසිල් වෙලා හිටියා. මේ දින දහය තුළදී මම දැක්‌කා මා තුළ තිබු රාගය, ද්වේෂය, භාවනාවෙන් යටපත් කරගන්න බැරිය කියලා. මම මට අවංක වුනා. ස්‌වයංපරීක්‍ෂණයක්‌ සිදු කළා. මම තීරණය කළා පැවිද්දට මම තවම සුදානම් නැහැය කියලා. දින දහයකට පසුව නැවත නිවසට පැමිණියා.

ඉන් වසර විස්‌සකට පසුවයි භික්‍ෂුව පැවිදිභාවයට පත්වෙන්නේ. එම වසර විස්‌ස පුරාවටම මම ගිහි වත සම්පුර්ණ කළා. මම පැවිදි වන අවස්‌ථාවේ අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තා කවදාහරි දවසක මගේ ඇස්‌දෙක පියවෙන මොහොතේ ඒ කියන්නේ මැරෙන මොහොතේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් තොරව මගේ අවසන් හුස්‌ම පිටවෙනවා කියලා. එතැන තමයි භික්‍ෂුව ඇතිකරගත් අධිෂ්ඨානය. භික්‍ෂුවට මාර්ග ඵල උම්මාදය කවදාකවත් තිබුණේ නැහැ. ජීවිතයේ එකම අධිෂ්ඨානය තිබුණේ අවසන් හුස්‌ම පොද ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් තොරව පිටවේවාය කියන අධිෂ්ඨානය. මේ තැන හරි සරල තැනක්‌, හරිම නිවුන තැනක්‌, මාර ධර්මයන්ට අතපොවන්න බැරිතැනක්‌. අධිෂ්ඨානයම නිවුන සිතුවිල්ලක්‌. මාර්ගඵල උම්මාදය කියන විකෘති උම්මාදය භික්‍ෂුව පරාජයකර දැමුවේ ඉහත උපක්‍රමය තුළිනුයි.

පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා අපි සතර අපායෙන් මිදුනාය කියල දන්නේ කොහොමද කියලා. තමා සතර අපායෙන් මිදුනාය කියන විශ්වාසය තමාට ලබාදෙන්නේ ලෝකෝත්තර සම්මා සතියයි. සම්මා සතිය හේතුවෙන්ම සකස්‌ වෙන සම්මා සමාධියත් සම්මා සමාධිය හේතුවෙන් සකස්‌වෙන සම්මා ඥානයන් තුළින් තමා තුළ විශ්වාසයක්‌ ඇතිකරගන්නවා නැවත තමා සතර අපායට වැටෙන්නේ නැහැ කියලා. තමා සතර අපායෙන් මිදුනාය කියන විශ්වාසය ඇතිකරනවා. ඔහු නුවණින් පීර පීරා බලනවා තමා තුළින් මමත්වයේ දැඩිභාවය මැරීගිහිල්ලද කියලා. තෙරුවන් කෙරෙහි උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි විචිකිච්චාව පහව ගිහිල්ලද කියලා. අන්‍යශීල වෘතයන් කෙරෙහි තිබෙන බැඳීම පහව ගිහිල්ලද කියලා. ඉහත ක්‍රමය හැර වෙන තමන් සතර අපායෙන් මිදුනාද කියල දැනගන්න ක්‍රමයක්‌ නැහැ. ලොව්තුරාබුදුරජාණන් වහන්සේනමකට හැර වෙනත් කිසිවෙකුට අනුන්ගේ අධිගමනයන් ප්‍රකාශ කිරීමට පුළුවන්කමක්‌ නැහැ. ඒ නිසයි භික්‍ෂුව සඳහන් කළේ ඔබ ඉන්නේ කොතනද කියළ හිතන්න යන්න එපා. මාර්ගය තුළ ශක්‌තිමත්ව ස්‌ථානගතවෙන්න කියලා. ඔබ අවංකවම සෝවාන් ඵලයට පත්වුනා නම් ඔබට ලැබුණාවූ ඵලය ගැන බෝඩ්ලෑලි ගහ ගන්න යන්නේ නැහැ. ඔබ දැකල තිබෙන්නේ රූපයේ අනිත්‍යභාවය, වේදනාවේ අනිත්‍යභාවය, රූපය අනිත්‍යයි කියලා දැක්‌ක කෙනා රූපය ඔසවා තබන්න උත්සාහ ගන්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියල දැක්‌ක කෙනා වේදනාව තුළ මුසපත්වෙන්න යන්නේ නැහැ. අවබෝධය කියන්නේ හිස්‌වීමක්‌. පුරවාගැනීමක්‌ නොවෙයි. අවබෝධය කියන්නේ විශ්වාසයක්‌. මංමුළාවීමක්‌ නොවෙයි. අවබෝධය කියන්නේ නිහඬභාවයක්‌. සටන් පාඨයක්‌ නොවේ. අවබෝධය කියන්නේ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ඵලයක්‌. මෙහෙයුමක අවසානයක්‌. ක්‍ෂණික ප්‍රතිඵලයක්‌ නොවෙයි.